Monday, April 28, 2014

බෝට්ටු හා පාස්පෝට්



ලෝකයේ හැම පැත්තකින්ම වගේ අනවසර ලෙස රටවලට ඇතුළු වන මිනිසුන්ගේ කඳුළු කතා අහන්නට වෙනවා. බොහෝ විට මුහුදු අනතුරු, ඇතැම් ඒවා ගොඩබිම පෙනී පෙනී. කුඩා දරුවන් පවා මියයන අවස්ථා.

ලෝකය හැමදාම බෙදිලා තිබ්බේ. කාලෙකට කලින් කුලය/වහල්කම. ඊට පස්සේ හමේ පාට. ඊට පස්සේ දැන් ක්‍රමයෙන් ඒක වෙනුවට දේශසීමා හා පාස්පෝට්.

ප්‍රාථමික බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට ආපු මිනිසුන් පිරිසක් පරයා ඊට ලොකු බෝට්ටුවෙන් ආපු මිනිසුන් ගොඩ නැගු ශිෂ්ටාචාරය, ට්‍රෝලර් බෝට්ටු වලින් එන මිනිසුන්ව බාර නොගන්නේ ඇයි?

සරල සත්‍යය නම් ලෝකය සර්ව සම තැනක් නම් හැමෝටම හූල්ලන්න වෙන බවයි. මේ සීමිත සම්පත් හැමෝම අතරේ සමසේ බෙදුවොත් කාටවත් මොකුත් නැහැ. ආර්ථිකය කියන ඉමර්ජන්ට් ඉෆෙක්ට් එක එතනම මිය යනවා. ලෝකයේ තියෙන වාහන හැමෝම අතරේ බෙදුවොත් 
කට්ටියකට රෝදයක් තව කට්ටියකට සීට් එකක් වගේ ලැබෙන්නේ. එකම වාහනයක්වත් ආයිත් දුවවන්න බැහැ. මේක හොඳ ද නරක ද කියනවට වඩා මේක ස්වාභාවික තත්වය කියන එක තමා කියන්න වෙන්නේ.

ලෝකයේ ජනගහනය බෙදුම් ඉරකින් හැමදාම බෙදන්න වෙන්නේ එකයි. බෙදනවා නොවේ බෙදෙනවා කිව්වොත් නිවැරදියි

පාස්පෝට් එක ක්‍රමයෙන් අභාවයට යාවි කියා හිතන අනාගතයේ ලෝකයේ මිනිසුන් සේග්‍රගේට් කර තබන්නේ ඉඩම් මිල හා ජීවන වියදම. එන්න එන්නම ලෝකයේ සමහර කලාප වල ඉඩම් මිල හා ජීවන වියදම ඉහල යනවා. ඒ කියන්නේ වීසා සීමාවලින් ස්වාධීන උනත් ඒ ප්‍රදේශයට ඇවිත් ඉන්න මේ නූතන අන්ටචබල් ප්‍රජාවට බැහැ.

මගේ මතය නම් කවදාවත් මේවා නවතින එකක් නැහැ කියලයි.

කෙසේ වෙතත් මේ ලඟදි වාර්තාවක් නිකුත් කල එක්සත් ජාතීන්ගේ කිසියම් ආයතනයක් කියා තිබ්බා, අනාගතයේ [පරිසර වෙනස්කම් මත] ස්වාභාවික විපත් තීව්ර වුවහොත් ජාත්‍යන්තර සංචාරණයේ සීමා ලිහිල් කරන්න බලපෑම් කලයුතු බව. ඉතාම ප්‍රාථමික රාමුවකින් මානවයා කියන්නේ ස්වාභාවික විපත් වලින් බේරෙන්න සංක්‍රමණය වෙච්ච එකෙක්. හරිනම් අද 
සහරාව වේගයෙන් පැතිරී ගෙන එන සහෙල් කලාපයේ ඉන්න මිනිසුන්ට වෙනත් පැති වලට සංචරණය කරන්න හැකියාව තියෙන්න ඕනේ මොකද වර්තමානයේ ඒ ප්‍රදේශ වාසයට නුසුදුසු තත්වයට පත්වෙන නිසා. ඒ වගේම සිය රට ඉහල යන සාගරයට යට වූ කිරිබති වැසියන්ට.

මානව ශිෂ්ටාචාරයේ සැකැස්ම, මානවයාගේ සාමුහික සංචරණ අයිතිය තවම දැකලා නැහැ.

විසඳුම කුමක්ද?