Monday, November 28, 2016

පරිභෝජනයේ සදාචාරය 0: අලුත් චින්තන රාමුවක් අවශ්‍යය


සාම්ප්‍රදායික ධනවාදය සහ සමාජවාදය කියන්නේ හෙන රූඩිමෙන්ටරි තියරි. එව්වයේ කියන්නේ සරල දෙයක් කලාම සියල්ල හොඳවෙලා ඔක්කොම ලස්සන වෙලා යාවි කියන එක. ඔය වගේ රූඩිමෙන්ටරි තියරි වල අවසානේ තියෙන්නේ they all lived happily ever after වර්ගයේ සුරංගනා කතා වැනි සැනසිල්ලක්. හැබැයි කතාව මහා පොළොවේ හිටෙව්වම ඔය 'ආෆ්ටර්' කොටස තමයි තීරණාත්මක වෙන්නේ. සමාජවාදී වද කඳවුරුවල ධනවාදී ආර්ථික අවපාත වල අපි දකින්නේ ඒ "හැමෝම සන්තෝසෙන් ඉන්න" කතාවේ සත්‍ය ස්වරූපය.

මේ මූලධර්ම පරණයි. ඒවා නිර්මාණය වන්නේ සියවසකට එහා සමාජ තත්ත්ව තුල. නිකමට හිතන්න ඒ තත්ත්ව ලෝක යුද්ද කාලෙට වඩා පරණයි. ලංකාවේ මිම්මෙන් කිව්වොත් අර බැද්දේගම සිළිඳු ලා නිර්මාණය වෙච්ච ගම්පෙරළියේ චරිත නිර්මාණය වෙච්ච යුගයට වඩා පරණයි. වර්තමානය තීන්දු කරන්න මේවායින් පුළුවන් කියන්නේ මිනිසා පහුගිය සියවසකට වඩා කාලයක් අත්කරගත්ත සියලු බුද්ධිමය ජයග්‍රහණ තේරුමක් නැහැ කියන එක. මොකද අල්ටිමට් තියරිය හදල තියෙන්නේ ඊට කලින්ලු නේ.

ධනවාදය විසින් සමාජගත කල ඇතැම් සංකල්ප අනාගතයට වැදගත් වෙනවා. සමාජවාදය විසිනුත් සමහර වැදගත් සංකල්ප සමාජගත කරලා තියෙනවා. මේ සංකල්ප සමාජයේ ඉදිරි ගමනට වැදගත් වෙන වටින අදහස්. හැබැයි ඒ එකකින්වත් අපිට වර්තමානයේ ගැටළු හෝ ඒවායේ අනාගත දිගුවන් සපුරා විසඳන්න බැහැ. ඒවා පරිපූර්ණ උත්තර නෙවෙයි. ඒ වගේම අධික ජනගහනය සම්පත් හානිය, ආදී හේතු මත නිර්මාණය වෙච්ච ඒ කාලේ නොදැක්ක නමුත් අද අපිට වැදගත් වන ගැටළු රාශියක් අලුතෙන් හැදිලා තියෙනවා .

සමහරු කියනවා "ක්‍රම දෙකේ මිශ්‍රණයක්" කරමු කියලා. මේ කියන්නේ ප්‍රාථමික එක ක්‍රමයක් වෙනුවට ඒ වගේ දෙකක් මිශ්‍ර කරන්න. ලොකු වැදගත්කමක් නැහැ. කාරණා බැලන්ස් වෙයි එහෙත් යල්පැනගිය කමේ අඩුවක් නැහැ.

මේ නිසා වෙන්න ඕනේ අලුත් චින්තන ධාරාවකට ලෝකය යන එක. ඒ චින්තන ධාරාව තුල ධනවාදයෙන් සමාජවාදයෙන් [සහ එවැනි ක්ලැසිකල් සංකල්ප රාශියකින්] ගත්ත සාරයක් තියෙයි එහෙත් වඩාත් වැදගත් අලුත් තත්ත්ව තුල නිර්මාණය වන අලුත් ගැටළු වලට අවශ්‍ය අලුත් පිළිතුරක් හොයන එක. අර පරණ කුණු කන්දල් වලින් ස්වායත්ත ව

අනික ඒක නිකම් "වෙළඳපොල නිදහස" "නිර්ධන පන්ති ආඥාදායකත්වය" "කමියුනිස්ට්  සමාජය" වගේ සිම්පල් රූඩිමෙන්ටරි තියරි වලට වඩා මාර සංකීර්ණ සහ ගතික තියරි ගොඩක සංකලනයක් වෙයි. වෙන්න ඕනෙත් එහෙමයි. කොටින්ම ඒකට අමුතු නමක්, බල කඳවුරක් , දේශපාලන පක්ෂයක් ඕනේ නැහැ. පොදු මානව චින්තනයක් ලෙස ක්‍රමිකව විකාශනය වුණාම ඇති.