Monday, March 16, 2015

ආර්ථිකයේ භෞතික විද්‍යාව

මේ අහම්බෙන් කියවන්න ලැබුණු ලිපියක සරල සිංහල සාරාංශයයි.

"වර්තමානයේ අප ලබාගෙන යන ආර්ථික වර්ධනය තාවකාලික එකකි. මන්ද යත් සම්පත් හා අවශ්‍යතා සීමිත බැවිනි. ඒ නිසා ඉදිරි සියවස් කීපයකට ලෝකය මෙවැනි ආර්ථික වර්ධනයක් පවත්වා ගතහොත් ඊට අවශ්‍ය සම්පත් දායකත්වය සැපයීමේ සම්පත් හිඟයක්ද බලශක්ති අවශ්‍යතා සැපයීමේ පාරිසරික අර්බුදයක් ද පැන නගිනු ඇත. ලෝක ආර්ථිකයේ ප්‍රසාරණය අරුත් විරහිත වූ කල ආර්ථිකයන් මීට වඩා විශාල ලෙස කඩා වැටෙමින් එහි සමතුලිතභාවය රැකගනු ඇත. මේ නිසා අදට අවශ්‍ය ප්‍රාග්ධනයේ හෝ මුදලේ හෝ පරිභෝජනත්වයේ ප්‍රසාරනයකට වඩා දිළිඳුකම පිටු දැකීමේ, ජීවන තත්වය උසස් කිරීමේ හා එකිනෙකා කෙරෙහි හොඳහිත වැඩිකිරීමේ ප්‍රසාරණයකි. ලෝකයේ දියුණුව මේ අලුත් මංපෙත් වලින් අරුත් ගැන්විය යුතුය."

වැඩිපුර මෙතනින් කියවිය හැකිය.

මගේ මතය නම් මෙය අසම්පුර්ණ හා එතරම් නිරවද්‍ය නොවන එහෙත් ඉතා වැදගත් අදහසක් බවයි. තවමත් 1950 දශකයේ පල්වන සමාජවාදයට එරෙහි ධනවාදයේ ශ්‍රී ලාංකීය ෆොසිල සංවාද අවකාශයට මෙය නව පැරඩියමකි.

ලේඛකයා හා අදහස් පල කරන අය නොදකින එක දෙයක් නම් ආර්ථික ප්‍රසාරණය වන්නේ භාණ්ඩ හා සේවා ගැන පැවතී ආදිකල්පිත දිශානතියේ පමණක් නොවීමයි. උදාහරණයකට ඉලෙක්ට්‍රොනික උපාංග වල සිට සයිබරය දක්වා වූ වෙනස් මානයක ප්‍රසාරණය ආර්ථිකයට එකතු කල පුළුල් පරාසය ඊට වැය වූ සම්පත් හා බලශක්ති ප්‍රමාණය මෙන් විශාල ගුනාකාරයකි.

අනික් අතට මේ නව්‍ය මංපෙත් විසින් සම්පත් හා බලශක්ති වැනි ක්ෂේත්‍ර වලට වාසියක් අත්කර දෙයි. අතත්‍ය අවකාශයේ සංවර්ධනය විසින් දිනෙක එදිනෙදා ගමනාගමනය අවම කළහොත් ඉන් ඉතුරුවන ශක්ති ප්‍රමාණය අතිවිශාලය.

තෙවනුව මෙය තවමත් විශ්ෆුල් සිතුවිල්ලකි. බොහෝ රැඩිකල් මතධාරීන් කියන්නා සේ සංවර්ධනයට හදවතක් අවශ්‍යය. වල්බූරු පරිභෝජනයට බුද්ධිමත් තිරිංග අවශ්‍යය. එහෙත් මේවා ප්‍රධාන ධාරාවේ නිෂ්පාදන ක්‍රමවේද සමග බද්ධ කරන ආකාරය ගැන තවම කිසි අදහසක් නැත. බොහෝ දෙනා උත්සහ කරන්නේ මිනිසුන් බුද්ධියෙන් සන්නද්ධ කර යහපත් ලෙස ජීවත් වන තනි මිනිසුන් තැනීමටයි. ඒ මිනිස්සු අප්‍රිකාවේ දිළිඳුකම පිටු  දැක ඉන්දියාවේ වනාන්තර ද රකිමින් සීමාසහිත පරිභෝජනයකට බුද්ධිමත් දායකත්වයක් දී ලෝකය පරිසරය හා එහි ආර්ථිකය තනි තනිව රකිනු ඇතැයි සිතති. එහෙත් ආර්ථිකය වැනි පොදු මානව ක්‍රියාකාරීත්වයෙන් ඇතිවන ඉපිලුම් ආචරණයක් [emergent effect] එක එකා තනි තනිව වෙනස් කිරීම ලෙහෙසියෙන් වන්නක් නොවේ. පද්ධතියට  ක්‍රමික  වෙනසක්  දෙන්නට  ඒ  තනි  මිනිසුන්  වැදගත්  වන නමුත්  ඔවුන්  හැමදාමත්  සුළු  පිරිසකි.  සමාජය  ම  මේ  කියන  තැනට  එන්නට  නම්  ආර්ථික  ක්‍රමවේදය  හෙවත් ආර්ථිකය  නම්  පැටර්න්  එක  වෙනස්  විය  යුතුවේ. එය පුද්ගල  වෙනස  ඉක්මවා යන්නකි.


අනික සියලු මිනිසුන් හොඳ කර සිදු කරන යුටෝපිය දියුණුවක් කවදාවත් සිදු නොවන්නකි.

අවශ්‍ය වනුයේ මේ වැදගත් ගති ලක්ෂණ පද්ධතියෙහි නිසර්ග ගතිගුණ බවට පත්කිරීමයි. පරිභෝජනය සීමා කරගෙන අප්‍රිකාවේ දිළින්දන් ඉස්සරහට අදිමින් පරිසරය සුරකින පද්ධතියක් සැකසීමයි. අපට තවම නිසි ක්‍රමවේදයක් නොමැත්තේ ඒ උදෙසාය. මුදල ලාභය වැනි සරල රාමුවකින් ඔබ්බට මේ සඳහා අපට ඇත්තේ පින/පව හෝ දෙවියන් හදවතේ ජීවත් කරවීම වැනි ක්‍රමයෙන් අභාවයට යන ආගමික සංකල්ප පමණි. ඒ නිසා සිදුවිය යුත්තේ යහපත් දේ හා සමාජයේ කලයුතු දේ මරණින් මතු දිවියේ නොව පුද්ගලයාගේ ආර්ථික සංවර්ධනයේ ෆ්ලයි බයිස් බවට පත් කිරීමයි.

කරන හැටි ගැන කතිකාවක් තවම දැක නැත.

Tuesday, February 3, 2015

නිරුවත් වනචර අවලම් නිරාගමිකයෝ

"නිරාගමික කියන්නෙත් තවත් ආගමක්"

"ඔය නිරාගම ගැලපෙන්නේ නිරුවතින් ඉඳගෙන, සත්තු මරාගෙන කාලා, සහෝදරයින් අතර ලිංගික කටයුතු සිදුවුණු ඒ කාලේ හිටපු නොදියුණු, අසීලාචාර කොටසකට කියලයි මටනම් හිතෙන්නේ"

ඔය අහල පුරුදු කතා.

පොදු උත්තරයක් දෙන්න හදන්නේ ඒ නිසා. කතාවට උත්තරයකට වඩා මේ දෙන්න හදන්නේ මෙහෙම කතා මිනිස්සු කියන්නේ ඇයි කියන එකට උත්තරයක්.

බොහෝ ආගමිකයන්ට ආගම් රහිත තත්වය ගැන අවබෝධයක් නැහැ. ඒ ගැන අවබෝධ කරගන්නට නම් ඔවුන් ඒ ඔස්සේ අධ්‍යනයක් හෝ දාර්ශනික චින්තනයක් කල යුතුයි. එහෙම කරපු ආගමිකයන් ඉන්නේ ටිකයි. බහුතරයක් ආගමිකයන් හදන්නේ තමන් නොදන්නා "නිරාගමිකත්වය" ගැන උපකල්පනයක් කිරීමයි. මෙහිදී මේ පුද්ගලයින් තම උපකල්පනය නිර්මාණය කරගන්නේ තම දැනුමේ තරමිනි.

ආගමක් එදා පටන් අදහන, තමන් වටේ ඉන්න සියල්ලනුත් එසේ කරන ආගමක් ඇදහීමෙන් පිටස්තර ලොකාවබෝධයක් නැති එකාට අනුව නිරාගමිකත්වයත් ආගමකි. ආගමක් නොවන අවස්තාවගැන අවබෝධයක් නැති කෙනෙක් ආගමක් නොමැති අවස්තාව ගැන වෙන කොහොම හිතන්නද?

ඒ වගේම තම තනි මතයෙන් ශිෂ්ටාචාරගත යහපත් මිනිසෙකු වන්නට තරම් බුද්ධිය මෝරා නැති මිනිසා තමා ශිෂ්ටාචාර කිරීම නොකඩවා ආගමට පවරයි. රකින්නට බැරි නිසා දිනපතා පන්සිල් ගන්න, වැරදි කර කර පවු සමාකරන, ආගමික මිනිස්සුන්ට හිතා ගන්න බැහැ තමා දිනපතා සතිපතා කරන ආගමික ශෝධනය නැති වුනොත් තමන්ට යන කල.

එහෙම වුනොත් තමන් " නිරුවතින් ඉඳගෙන, සත්තු මරාගෙන කාලා, සහෝදරයින් අතර ලිංගික කටයුතු සිදුවුණු ඒ කාලේ හිටපු නොදියුණු, අසීලාචාර" මිනිසුන් වේවි කියා ඔවුන් හිතනවා. ඉතින් තමා ගැන තියෙන ඒ අවිශ්වාසය සෙසු ලෝකයටද එසේය, ලෝකේ හැමෝටම තමාට වගේ වැරදි නිවැරදි කරන්න ආගමික ශෝධනය අවශ්‍යය කියා තම මට්ටම ලොවට පොදු කරලා හිතනවා.

අන්න එතකොට ආගමක් නැති එකා "නිරුවතින් ඉඳගෙන, සත්තු මරාගෙන කාලා, සහෝදරයින් අතර ලිංගික කටයුතු සිදුවුණු ඒ කාලේ හිටපු නොදියුණු, අසීලාචාර" කියා හිතෙන්නේ.

මේ සියල්ලට හේතුව කෙනෙක් තමාගෙන් පිට තමාට වෙනස් ලෝකයක සංසිද්ධි තේරුම්ගන්න තම හැසිරීම පමණක් යොදා ගන්න නිසා.

Friday, July 11, 2014

ආගමේ සන්නද්ධ අංශය හා ආගමේ දේශපාලන අංශය

කාලයක් තිස්සේ මට ලියන්න ඕනේ කරලා තිබ්බ දෙයක් අසම්මතයා "නිදහසේ" ලියලා ටික කලකට පෙර. අදයි මම දැක්කේ. 

මෙන්න මුළු ලිපිය: අපි රැශනල් ආගම්කාරයෝ

මට එකතු කරන්න තියෙන්නේ බොහොම ටිකයි.

ආගම්  මත පදනම් වූ   රැශනල් දර්ශනයක් හදන්න පුලුවන්  අදහස්  චෙරි පික් කරල. මේකට හේතුව හැම ආගමකම සැහෙන සාධාරණ තාර්කික හා නිවැරදි කාරනා පිරී තිබීමයි. ආගමික නායකයින් කියන්නේ [මිනිහෙක් ආගමික නායකයෙක් වෙන්නේ] ඔහු හෝ ඇය තත්කාලීන සමාජයට වඩා මට්ටමක් ඉදිරියෙන් උන්නු නිසා. ඒ නිසා මේ මිනිසුන්ට ලෝකය ගැන හොඳ නාඩි වැටීමක් තිබ්බා. ඒ නිසාම හැම ආගමකම බොහොම නිවැරදි දේවල් තියෙනවා. පහසුවට කියමු ආගමෙන් 50%ක් සත්‍ය හා නිවැරදි දේවල්.

එහෙත් ආගම් වල තියෙන ලොකුම දුර්වලකම තමා ඊළඟ පේලියේ හද්ද ගොන් ගොබ්බ බූරු වනචාරි, ප්‍රාථමික, ම්ලේච්ච දෙයක් ලියවී තිබෙන්නට ඇති ඉඩකඩ. ඒක පුද්ගල දර්ශන නේ. ඒ අයගේ කාලවල ඉගැන්වීම් වලින් සපුරා ස්වායත්ත නැහැ. ඉතින් එයාලගේ පූජනීය කරගත්තු ස්ථාවරයත් එක්ක මේ කතා ලියවෙන්නේ. එයාලගේ සුට්ටම් රටවල තිබ්බ චූටි චූටි ප්‍රශ්න තමා මහා නපුරු බියකරු විශ්වීය අර්බුද, අපාගත වන පාපී ක්‍රියා ආදී ලෙස එලියට එන්නේ.

ආගම තදින් අල්ලාගෙන ෆොලෝ කරන උන් තෝරාගන්නේ අර දෙවෙනි වර්ගේ ඒවා. මොකද ආගම තදින් බදාගෙන යන්න දෙවෙනි වර්ගය අවශ්‍යයි. ආගම් ලිහිල්ව අරගෙන රැෂනල් ලේබලයක් එක්ක ෆොලෝ කරන උන් [සහ ආගම් ඔක්කොම මාර සිරා කියා හිතන අන්යාගමිකයන්] කරන්නේ ඒ දෙවෙනි වර්ගය දිහා නැසූ කන්ව  වැසුනු දෑස්  සහිතව සිටිමින් පළමු බාගේ ප්‍රොමෝට් කරන එක.

හේතුවාදීන් ගැනත් යමක් කියන්න ඕනේ. හෙතුවාදීන්ගේ ලොකුම අර්බුදය තමා ආගම් ඇත්තෙන්ම 50% ඇත්ත වීම. බොහෝ හෙතුවාදින්ට තියෙන්න ඇරියස් එකක් පමණයි. ඒ නිසා උන් ඇත්තෙන්ම හේතුවාදීන් නොවේ. ඇන්ටි ආගමිකයන්. උන් කරන්නේ ආගමට ගහන්න ඕනේ නිසා ආගම ඇතුලේ තියෙන ඇත්ත 50% බොරු කරන්න දවල් රෑ නැතුව වෙහෙසෙන එක. හේතුවාදීන් හෝ නිරාගමිකයන් ඉන් ජෙනරාල්, කවදා හෝ සාර්ථක වන්නේ මේ ආගමේ කියාපු සත්‍ය 50% එසේ වන බව පිළිගන්න තරම් සාවධාන මනසක් හා අවංක සිතුවිල්ලක් ආපු දාට. ආගම විවේචනය කල යුත්තේ එහි සංයුක්ත ක්‍රියාකාරකම නිසා විනා එකින් එක බොරු කරමින් නොවේ. ඇත්ත කොටස ඇත්ත බව පිළිගනිමින් අවුල් කොටස පෙන්නා දීම විනා ඔක්කොම බොරු කරන්න යාම තේරුමක් නැති කතාවක්. හේතුවාදීන් එසේ වෙනතුරු හැසිරීමෙන් ඒ කට්ටියත් සමාන වන්නේ තවත් ආගමික කල්ලියකට.

කෙසේ වෙතත්  ඔය රෂනල් ආගමිකයන්ගේ සියවස් ගානක දීර්ඝ කාලින පැවැත්මට ආගම ආරක්ෂා කර දෙන්නේ අන්ධ භක්තික තදින් අල්ලා ගත් ආගමික අන්තවාදය. අන්තවාදීන් නැතිනම් ලෝකේ මේ එක ආගමක් වත් දීර්ඝ කාලයක් පවතින්නේ නැහැ. ඒ වගේම ඒ අන්තවාදයේ මොලේට කවදා හරි ආගමේ අවුල තේරීම වලකා ආගම මාර සිරා දෙයක් කියා මතවාදයක් සමාජගත කරන්නේ අර බොහොම නිවුණු රැෂනල් ආගමිකයන්. මේක හරියට සන්නද්ධ අංශය හා දේශපාලන අංශය වගේ අන්යෝන්ය සම්බන්ධයක්. ඔය මෑඩ්නස් දෙක මැද්දේ මේ නිල කොළ බෝලේ  පෙරළෙනවා ආසාදිත ප්‍රමුඛ ජෛව ප්‍රබෙදයක් එක්ක. තාමත් ඒ බෝලේ වැඩවලින් 90% තීන්දු ගන්නේ ඔය අංශ දෙක.

ස්තුතිය අසම්මතයට. හොඳ ලිපියක්.

Monday, April 28, 2014

බෝට්ටු හා පාස්පෝට්



ලෝකයේ හැම පැත්තකින්ම වගේ අනවසර ලෙස රටවලට ඇතුළු වන මිනිසුන්ගේ කඳුළු කතා අහන්නට වෙනවා. බොහෝ විට මුහුදු අනතුරු, ඇතැම් ඒවා ගොඩබිම පෙනී පෙනී. කුඩා දරුවන් පවා මියයන අවස්ථා.

ලෝකය හැමදාම බෙදිලා තිබ්බේ. කාලෙකට කලින් කුලය/වහල්කම. ඊට පස්සේ හමේ පාට. ඊට පස්සේ දැන් ක්‍රමයෙන් ඒක වෙනුවට දේශසීමා හා පාස්පෝට්.

ප්‍රාථමික බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට ආපු මිනිසුන් පිරිසක් පරයා ඊට ලොකු බෝට්ටුවෙන් ආපු මිනිසුන් ගොඩ නැගු ශිෂ්ටාචාරය, ට්‍රෝලර් බෝට්ටු වලින් එන මිනිසුන්ව බාර නොගන්නේ ඇයි?

සරල සත්‍යය නම් ලෝකය සර්ව සම තැනක් නම් හැමෝටම හූල්ලන්න වෙන බවයි. මේ සීමිත සම්පත් හැමෝම අතරේ සමසේ බෙදුවොත් කාටවත් මොකුත් නැහැ. ආර්ථිකය කියන ඉමර්ජන්ට් ඉෆෙක්ට් එක එතනම මිය යනවා. ලෝකයේ තියෙන වාහන හැමෝම අතරේ බෙදුවොත් 
කට්ටියකට රෝදයක් තව කට්ටියකට සීට් එකක් වගේ ලැබෙන්නේ. එකම වාහනයක්වත් ආයිත් දුවවන්න බැහැ. මේක හොඳ ද නරක ද කියනවට වඩා මේක ස්වාභාවික තත්වය කියන එක තමා කියන්න වෙන්නේ.

ලෝකයේ ජනගහනය බෙදුම් ඉරකින් හැමදාම බෙදන්න වෙන්නේ එකයි. බෙදනවා නොවේ බෙදෙනවා කිව්වොත් නිවැරදියි

පාස්පෝට් එක ක්‍රමයෙන් අභාවයට යාවි කියා හිතන අනාගතයේ ලෝකයේ මිනිසුන් සේග්‍රගේට් කර තබන්නේ ඉඩම් මිල හා ජීවන වියදම. එන්න එන්නම ලෝකයේ සමහර කලාප වල ඉඩම් මිල හා ජීවන වියදම ඉහල යනවා. ඒ කියන්නේ වීසා සීමාවලින් ස්වාධීන උනත් ඒ ප්‍රදේශයට ඇවිත් ඉන්න මේ නූතන අන්ටචබල් ප්‍රජාවට බැහැ.

මගේ මතය නම් කවදාවත් මේවා නවතින එකක් නැහැ කියලයි.

කෙසේ වෙතත් මේ ලඟදි වාර්තාවක් නිකුත් කල එක්සත් ජාතීන්ගේ කිසියම් ආයතනයක් කියා තිබ්බා, අනාගතයේ [පරිසර වෙනස්කම් මත] ස්වාභාවික විපත් තීව්ර වුවහොත් ජාත්‍යන්තර සංචාරණයේ සීමා ලිහිල් කරන්න බලපෑම් කලයුතු බව. ඉතාම ප්‍රාථමික රාමුවකින් මානවයා කියන්නේ ස්වාභාවික විපත් වලින් බේරෙන්න සංක්‍රමණය වෙච්ච එකෙක්. හරිනම් අද 
සහරාව වේගයෙන් පැතිරී ගෙන එන සහෙල් කලාපයේ ඉන්න මිනිසුන්ට වෙනත් පැති වලට සංචරණය කරන්න හැකියාව තියෙන්න ඕනේ මොකද වර්තමානයේ ඒ ප්‍රදේශ වාසයට නුසුදුසු තත්වයට පත්වෙන නිසා. ඒ වගේම සිය රට ඉහල යන සාගරයට යට වූ කිරිබති වැසියන්ට.

මානව ශිෂ්ටාචාරයේ සැකැස්ම, මානවයාගේ සාමුහික සංචරණ අයිතිය තවම දැකලා නැහැ.

විසඳුම කුමක්ද?

Thursday, November 28, 2013

පරිභෝජනයේ සදාචාරය 0: අලුත් චින්තන රාමුවක් අවශ්‍යය


සාම්ප්‍රදායික ධනවාදය සහ සමාජවාදය කියන්නේ හෙන රූඩිමෙන්ටරි තියරි. එව්වයේ කියන්නේ සරල දෙයක් කලාම සියල්ල හොඳවෙලා ඔක්කොම ලස්සන වෙලා යාවි කියන එක. ඔය වගේ රූඩිමෙන්ටරි තියරි වල අවසානේ තියෙන්නේ they all lived happily ever after වර්ගයේ සුරංගනා කතා වැනි සැනසිල්ලක්. හැබැයි කතාව මහා පොළොවේ හිටෙව්වම ඔය 'ආෆ්ටර්' කොටස තමයි තීරණාත්මක වෙන්නේ. සමාජවාදී වද කඳවුරුවල ධනවාදී ආර්ථික අවපාත වල අපි දකින්නේ ඒ "හැමෝම සන්තෝසෙන් ඉන්න" කතාවේ සත්‍ය ස්වරූපය.

මේ මූලධර්ම පරණයි. ඒවා නිර්මාණය වන්නේ සියවසකට එහා සමාජ තත්ත්ව තුල. නිකමට හිතන්න ඒ තත්ත්ව ලෝක යුද්ද කාලෙට වඩා පරණයි. ලංකාවේ මිම්මෙන් කිව්වොත් අර බැද්දේගම සිළිඳු ලා නිර්මාණය වෙච්ච ගම්පෙරළියේ චරිත නිර්මාණය වෙච්ච යුගයට වඩා පරණයි. වර්තමානය තීන්දු කරන්න මේවායින් පුළුවන් කියන්නේ මිනිසා පහුගිය සියවසකට වඩා කාලයක් අත්කරගත්ත සියලු බුද්ධිමය ජයග්‍රහණ තේරුමක් නැහැ කියන එක. මොකද අල්ටිමට් තියරිය හදල තියෙන්නේ ඊට කලින්ලු නේ.

ධනවාදය විසින් සමාජගත කල ඇතැම් සංකල්ප අනාගතයට වැදගත් වෙනවා. සමාජවාදය විසිනුත් සමහර වැදගත් සංකල්ප සමාජගත කරලා තියෙනවා. මේ සංකල්ප සමාජයේ ඉදිරි ගමනට වැදගත් වෙන වටින අදහස්. හැබැයි ඒ එකකින්වත් අපිට වර්තමානයේ ගැටළු හෝ ඒවායේ අනාගත දිගුවන් සපුරා විසඳන්න බැහැ. ඒවා පරිපූර්ණ උත්තර නෙවෙයි. ඒ වගේම අධික ජනගහනය සම්පත් හානිය, ආදී හේතු මත නිර්මාණය වෙච්ච ඒ කාලේ නොදැක්ක නමුත් අද අපිට වැදගත් වන ගැටළු රාශියක් අලුතෙන් හැදිලා තියෙනවා .

සමහරු කියනවා "ක්‍රම දෙකේ මිශ්‍රණයක්" කරමු කියලා. මේ කියන්නේ ප්‍රාථමික එක ක්‍රමයක් වෙනුවට ඒ වගේ දෙකක් මිශ්‍ර කරන්න. ලොකු වැදගත්කමක් නැහැ. කාරණා බැලන්ස් වෙයි එහෙත් යල්පැනගිය කමේ අඩුවක් නැහැ.

මේ නිසා වෙන්න ඕනේ අලුත් චින්තන ධාරාවකට ලෝකය යන එක. ඒ චින්තන ධාරාව තුල ධනවාදයෙන් සමාජවාදයෙන් [සහ එවැනි ක්ලැසිකල් සංකල්ප රාශියකින්] ගත්ත සාරයක් තියෙයි එහෙත් වඩාත් වැදගත් අලුත් තත්ත්ව තුල නිර්මාණය වන අලුත් ගැටළු වලට අවශ්‍ය අලුත් පිළිතුරක් හොයන එක. අර පරණ කුණු කන්දල් වලින් ස්වායත්ත ව

අනික ඒක නිකම් "වෙළඳපොල නිදහස" "නිර්ධන පන්ති ආඥාදායකත්වය" "කමියුනිස්ට්  සමාජය" වගේ සිම්පල් රූඩිමෙන්ටරි තියරි වලට වඩා මාර සංකීර්ණ සහ ගතික තියරි ගොඩක සංකලනයක් වෙයි. වෙන්න ඕනෙත් එහෙමයි. කොටින්ම ඒකට අමුතු නමක්, බල කඳවුරක් , දේශපාලන පක්ෂයක් ඕනේ නැහැ. පොදු මානව චින්තනයක් ලෙස ක්‍රමිකව විකාශනය වුණාම ඇති.

Sunday, September 29, 2013

වාස්තවික යතාර්ථය 0 : වාස්තවික යතාර්ථය කියන මාතෘකාව ම වාස්තවික දෙයක් නොවේ

වාස්තවික  යතාර්ථය  ගැන  සටහන්  පේලියක්  පටන්  ගත්තනේ.  බැලින්නම්  ඒ  එකකවත්  මම  ලියල  නෑ  වාස්තවික  යතාර්ථය  යනු   කුමක්ද  කියල.  මම හිතා  උන්නේ  ලිව්වා  කියල.  ඒත්  ලියල  නෑ.  එතකොට  මට  සිද්ද  වුනා  අතීතයට  ගිහින්  වාස්තවික  යතාර්ථය 0 සටහන  ලියන්න.  වැඩිය  කතා  නෑ. බේසික්  අර්ථ  දැක්වීම  තමා  ෆෝකස්  එක.

වාස්තවික  යතාර්ථය  කියල දාර්ශනිකයන්  කියන්නේ මිනිසාට   දැනෙන  දෙයින්  ඔබ්බට   යන  මිනිසාගෙන්  ස්වායත්ත  යතාර්ථයක්  පවතියි  කියල  ඒ කියන්නේ  ඔබ  අප  විඳින  ලෝකය  අපේ  මනස  තුල  නිර්මාණය  වන  දෙයක්  නොවේ.  එය  ඔයාකාරයෙන්  ම  පවතින්නක්.  අප  තනි   තනිව  හෝ  සමාජයක්  වශයෙන්  මේ  ගැන  නිර්මාණය  කරන  දැනුම  තමා  ඇත්තටම  තියෙන්නේ.  

අපි  මේක ප්‍රති උදාහරණයකින්  පැහැදිලි  කලොත්;  කම්පියුටර්  ගේම්  එකක  කැරැක්ටර්  එකක්  ගන්න  දැන්  මිනිහ  පොඩි වනාන්තරයක්  මැදින්  යනවා   ආයුධ  අරගෙන  මිනිහට  සතුරෝ   වෙඩි  තියනවා.  මිනිහගේ  විශ්වය  [එහෙම එක  ගතහොත්] තුල  මේ  සතුරෝ  වනාන්තරය  ආදිය  පවතිනවනේ.  හැබැයි  අපි  දන්නවා  ඒවා කම්පියුටර්  ග්‍රැෆික්  හෝ  ප්‍රෝග්‍රෑම්  එකකින්  ලියාපුවා.  අපේ  කතා  නායකයත්  එහෙමයි.  ඉතින්  ඒ  ගේම්  එකට  පරිබාහිරව   ඔවුන්ට  පැවැත්මක්  නෑ.  ඒ  ගේම්  එක  ඇතුලේ  විඳින  දේවල්  එයින්  පිටට  දැනෙන්නේ  නෑ.  දැන් ඔය  ගේම්  එකේ  කැරැක්ටර්  එක  අත්  විඳින [එයාට  අත්  විඳින්න  හැකි යයි  හිතුවොත්]  ඒ  ලෝකය  වාස්තවික යතාර්ථයක්  නොවේ.  එය  එයා  මවාගත්ත  එකක්.  හැබැයි   අපි  මේ  අත්  විඳින  ලෝකය  අපෙන්  ස්වායත්තව  එහෙම නොපවතින්නක්   නොවේ  මේ  ලෙසටම  පවතිනවා  කියල   තම  වාස්තවික  යතාර්ථ  සංකල්පයෙන්  කියවෙන්නේ.

ඕකෙන්  තරමක්  දුරට  යන  එම්මානුවෙල්  කාන්ට්   මේ  මතය   මොඩිෆයි   කරනවා  යථාර්ථයේ   කිසියම්  මූල  ස්වබාවයක්  වාස්තවිකව   පවතියි.  හැබැයි  අප  විඳින  ආකාරය  අපේ  පුද්ගලික  දැක්මකි  කියල. කෙසේ  හෝ  මේ  හැම  දෙයින්ම   කියන්නේ  අප  අත්  විඳින  ලෝකයේ  කිසියම්  වූ  ස්වරූපයක් අපෙන්  ස්වායත්තව පවතිනවා කියන  එක.

ඒක   එහෙම  නෙවිද?

ඒක  එහෙමද?

ඔය  ප්‍රශ්න  දෙකටම  උත්තර  දීගන්න  අමාරු  වෙන  ප්‍රධාන  ගැටලුව  වෙන්නේ තෙවෙනි ප්‍රශ්නයක්.

අපි  දන්නේ  කොහොමද?

ඔතනදි  මිනිසා මුහුණ   දෙන  සංකීර්ණ  ප්‍රශ්නය  නම්   මිනිස්  අත්දැකීමක්  නොවන  වෙනත්  ආකාරයක්  ගැන  මිනිසාට  කවදාවත්  ග්‍රහණය  කල  නොහැකි  වීම.  අපට  තාක්ෂණය  තිබ්බත්  ඒ  බොහෝ තාක්ෂණ  ක්‍රමවේද  අප  විසින්  විඳිනා  ලෝක  තත්වයන්  ගෙන් සැදුම්ලත්  ඒවා. තාක්ෂණය  අපට  අත්   විඳිය  හැකි  සීමා  ඉක්මවා  යනවා.  අන්වීක්ෂ   ලෝකය  ඈත දුර   ලෝකය  අපට  ග්‍රහණය  නොවෙන  නියුට්‍රිනෝ වගේ  දේවල්  මේ  දේවලින්  අපට  තාක්ෂණික   නිරීක්ෂණ  ගන්න  පුළුවන්  හැබැයි  ඒ  නිරීක්ෂණ  ගන්න  ක්‍රමවේද  අපේ   වින්දන  ක්‍රමවේද  වලම  දිගුවක්  පමණයි. ඒවායින්  කෙරෙන  නිරීක්ෂණ  වලින්  අප  විඳින  ලෝකය අපෙන්  ස්වායත්ත ලෙස   එලෙසින්  පවතියි  හෝ  නෑ  කියන්න  පදනමක්  එන්නේ  නෑ.  අපිට  අවශ්‍ය  එතැනදී  අපෙන් පිටස්තර  බුද්ධිමය  සංවේදනයක්.  එහෙම  එකක්  වෙලා  නෑ. 

සමහරවිට යතාර්ථය  අපෙන්  ස්වාය්ත්තවත්  මෙහෙමම  ඇති.  හැබැයි අනෙක්  අතට  අපිත්  වෙන  කවුරු  හරි  ලියපු  කම්පියුටර්  ගේම්  එකක  කැරැක්ටර්   වෙන්නත්  බැරි  නැහැ.  

මිනිසාට  මිනිසා  ඉක්මවා  යන  යතාර්ථය  ගැන  අවබෝධයක් නෑ. එහෙම  එකක්  තියෙනවා  හෝ  නෑ  කියල  නෙවි  කියන්නේ  එහෙම එකක්  තිබ්බත්  නැතත්  අපි  දන්නේ  නෑ.

ඔන්න  ඔය  හේතුව  නිසා   වාස්තවික  යතාර්ථය කියන  මාතෘකාවම  වාස්තවික  එකක්  නොවේ.  නිකම්  මවාගෙන  ඉන්න  දාර්ශනික  කතාවක්.  ඕක ගැන  විවිධ  මත  ලියන දාර්ශනිකයන්  කරන්නේ  තමන් මනුෂ්‍යයෙක්  ලෙස විඳින  දේ  ඊට  එහා  මවා   ගැනීමක්  කරා  දිගු  කිරීමක්  පමණයි.  

ඒ  උනාට  අපි  කොච්චර   දැකල  තියේද  වාස්තවිකව  යතාර්ථය පවතිනවා  කියල  හිතාගෙන  කරන කියන  දේවල්?  කොටිම්ම  විද්‍යාව  පවා  එහෙම කියනවා  නේද?  විද්‍යා නිබන්ධන  වල  යතාර්ථය  වාස්තවිකව  පවතියි  කියල  ඕනේ  තරම්  කියන්නේ.

ඇත්තම  කිව්වොත්,  යතාර්ථය වාස්තවිකව  පවතීද   නැතිනම්  අපිට  දැනෙන  කම්පියුටර්  ගේම්  එකක්  වගේ  දෙයක්ද  කියන  එක  අපිට  අදාලම  නෑ.  එය  අප  විශ්වය  ග්‍රහණය  කරන සියලු  ආකාරයන්  වලට  එහා  දෙයක්  නිසා  එය  කෙසේ  වුවත්  අපට  කිසිම  බලපෑමක්  වෙන්නේ  නෑ.  ඉතින්  මිනිස්සු  වාස්තවික  යතාර්ථය  කියල ඇත්තට  කියන්නේ  මෙන්න  මේ  අපිට  දැනෙන  යතාර්තයට.  ව්ද්‍යාව  සිය  මුළු  සංවාදයම  පවත්වා  ගන්නේ  අපිට  දැනෙන  මේ  රාමුව  තුල.  ඊට  එහායින්  අමුතු  බක්කක්  තියේද  නැද්ද  කියන  ප්‍රශ්නයට  විද්‍යාව  දෙන්නේ  හූ  කෙයාස්  කියන  පිළිතුර. ඕක  ගනිමු  ඊ  ගාව  කතාන්ගයට.

ඉතින්  ඔය  වාස්තවික  යතාර්ථය  කියන්නෙම  වාස්තවික  දෙයක්  නොවේ.  අපි  පවතිනවා   කියන්නේ  අපිට  දැනෙන  මානවීය  සීමා  තුල  ඇති  පැවතීමක්  පමණයි.





Thursday, August 22, 2013

සත්ව මිනිසා සහ දේව මිනිසා

සමාජය කියන්නේ මිනිසාගේ නිර්මාණයක්. එහි අයිඩියල් දේවල් නැහැ. එහි තියෙන්නේ මිනිසා විසින් හදා ගත්තු දේවල්. හොඳ නරක මිශ්‍රිත. පරිනාමිකව ගත්තම මිනිස්සු කියන්නේ සත්තු. පරිපූර්ණ ජීවී විශේෂයක් නොවේ.

එහෙත් මිනිස්සු හිතන්නේ සියල්ල නිමවන්නේ දෙවියන් කියා. දෙවියන් කියන නිර්මානාත්මක සංකල්පය අපේ නෝම් තීරණය කරන්න අපි යොදා ගන්නවා. මේ ඇදහීම නිසා බොහෝ මිනිස්සු තම මනක්කල්පිත දෙවියන්ගේ ස්වරූපයක් තමන් තුල ඉන්නවා කියා හිතනවා.

ඒ දේව මිනිසාට අනුව ලෝකයේ හරි වැරැද්ද මෙන්න මෙහෙම වෙන්න ඕනේ. මෙහෙම නොවීම මාර වැරදියි කියා තමන් තීන්දු කරගෙන ඉන්නේ.

ගැටලුව තියෙන්නේ ඇත්තෙන්ම ඉන්නේ සත්ව මිනිසා පමණයි. ඒ නිසා ප්‍රායෝගික ලෝකය දැක්කම දේව මිනිසාගේ නෝම් වලින් හිතන අයට විසංවාදයක් ඇති වෙනවා.

මේ විසංවාදය හිතට වද දෙන කොට ඒ වදයෙන් ගැලවෙන්න ඔවුන් විවිධ ක්‍රම සොයා ගන්නවා. බලන්න සමහර මිනිස්සුන්ට හරියට සල්ලි තියෙනවා. අනිත් අයට නැහැ. අපි මේ ලෝකය වෙනස් කරලා ඔක්කොගෙම ආදායම් සමාන කරමු. ඔන්න ඔය වගේ දේවල් මිනිසුන්ගේ හිත් වලට එන්නේ එහෙමයි. ලෝකය/ශිෂ්ටාචාරය කියන සත්ව මිනිසාගේ ප්‍රායෝගික නිර්මාණය විසින් දේව මිනිසාගේ සිතේ ඇති කරන දුක්බර හැගීම් සමනය කර ගන්නා හැටි.

සියලු යුතෝපිය චින්තනයට හේතුව මේ මවා ගත්තු දෙවියන්ගේ අවතාරයයි. සියලු යුතෝපිය චින්තන වල සාර්ථකත්වයට මේ දේව මිනිසා අතිශයින් අවශ්‍යයි. සත්ව මිනිසා එක්ක බැහැ ඒවා කරන්න.

දෙවියන් නැහැ කියා හිතුවට බොහෝ දෙනෙක් දෙවියන්ගෙන් ව්‍යුත්පන්න වන දේව මිනිසා හදා ගන්න තමයි දඟලන්නේ. සත්ව මිනිසා ඒ ලෙසට බාරගෙන වඩාත් පරිනාමිකව උසස් ජීවියෙක් කර ගන්න කාටවත් උවමනාවක් නැහැ. හෙවත් සමාජයේ වැරදි ඇති ලෙසට පිළිගෙන ඒවා හැකි තරම් යහපත් කර ගන්න ඕනේ නැහැ. සමාජයේ වැරදි නිසා තමන්ගේ යුතොපියා ෆැන්ටසියේ හිතෙන් ජීවත් වීමේ ගංජා ආතල් එක ඊට වඩා ආකර්ශනීයයි.