Thursday, October 8, 2015

බුද්ධිය කෙළවර නොදැනුවත්කම - The Perimeter of Ignorance

"බුද්ධිය  කෙළවර  නොදැනුවත්කම"  කියලා  මම  සිංහලට නැගුවේ  The Perimeter of Ignorance කියන  එක.  හරිම  හරි  පර්වර්තනයක්  නොවේ. එහෙත්  අවශ්‍යතාවය  ඉෂ්ට  වෙනවා.

මෙහි  අරමුණ  මූලික  වශයෙන්  දේශනයක්  හඳුන්වා  දෙන්න.  ඒ  නිසා   මේ  අදහස  මගේම  අදහසක්  නොවේ.  එක්තරා  දේශනයක අන්තර්ගතයෙන්  මට  වැදගත්  කියා  හිතෙන  කොටස  උපුටා  ගන්න  එක  කරන්නේ.  මෙය  මිනිසා  විශ්වය  පැහැදිලි  කිරීමේදී  හැසිරෙන  එක්තරා  මනෝ  විද්‍යාත්මක  ස්වරූපයක්  ගැන හෙවත්  විද්‍යාර්ථින් ගේ  ඇදහිලි  ගැන  කතාවක්.

ලෝකය  විශ්වය  ගැන  සංකීර්ණ  ක්‍රියාදාමයක්  පැහැදිලි  කරන මනුස්සයෙක් තම බුද්ධියෙන්  ගණිතමය  හැකියාවෙන්  ඔප්පු  කල  හැකි  දේ  බොහොම  විද්‍යාත්මකව  ඔප්පු  කරනවා. එතැනදී  ඔහු/ඇය  මැවුම්කරුවෙකු,  අද්භූත  බලවේගයක්  නැතුව සරළ  ගණිතමය  විද්‍යාත්මක  පැහැදිලි  කිරීමක්  කරන්නේ.  ඒ  මොකද  අර  වගේ  සුපිරියර්  දෙයක්  අමුතුවෙන්   ඕනේ නැහැ,  තම  බුද්ධි  හැකියාව ප්‍රමාණවත් 


හැබැයි  ඒ  විද්‍යාඥයාගේ  හැකියාවේ  සීමාවට,  බුද්ධියේ  උපරිමයට  ආවාම  විශ්වයේ  ක්‍රියාවලින්  ඒ  මට්ටමත්  ඉක්මවා  යද්දී  මෙයාට  හිතෙනවා, "මේක  වෙන  හැටි මට  වැටහෙන්නේ  නැහැ.  හැබැයි  මම මාර  ලොකු  පොරක්. ඒත්  මටත්  ගණිතයෙන්  විද්‍යාවෙන්  පැහැදිලි  කරන්න  බැහැ.  එහෙනම්  මේක  එකත් එකටම  මැවුම්කරුවෙකුගේ  මැවුමක්,  අද්භූත  බලවේගයක  පලයක්  වෙන්නම  ඕනේ". ඒ   නිසා  තම නොහැකියාව  ඉස්මතු  කරවන  තරම්  සංකීර්ණ  දේවල්  දෙවියන්ට  පවරනවා. ඔන්න  ඔහොම  තමයි  බුද්ධියේ  කෙලවරේ  ඇති  නොදැනුවත්කම  තුලින්  දෙවියෙක්  බූතයෙක්  ඉස්මතු  වන්නේ.

මෙය බොහෝ  දෙනෙකුට  පොදු  අවුලක්. සාමාන්‍ය මිනිසුන්ට  වගේ  ම  මහා විද්‍යාඥයින්ට  පවා.  දේශක  නීල්  ටයිසන්  කියනවා,  ඇමරිකාවේ  සාමාන්‍ය  මිනිසුන්ගෙන්  90% ක් දෙවියන්  වහන්සේ  අදහනවලු.  හැබැයි  මේ  ප්‍රතිශතය  උසස් විද්‍යාර්ථින් අතර  15% වගේ අඩු ලු .  හැබැයි  අර  90%  නොවේ  ඔහුගේ  ගැටලුව.  ඔහුගේ  ගැටලුව  නම් උසස් විද්‍යාර්ථින් අතර  15% ක් තවමත්  ඇයි  දෙවියන්  අදහන්නේ  කියන  එක.  ටයිසන්  කියන්නේ  ඊට  හේතුව  මේ  බුද්ධියේ  කෙළවර  ඇති  නොදැනුවත්කම තුලින් දෙවියන්  දැකීම කියන  එකයි.


අයිසැක්  නිව්ටන් ස්කන්ධ  දෙකක්  අතර  ගුරුත්වාකර්ෂණය ගැන කියලා,  ඊට  පස්සේ  ඒ  වගේ  ස්කන්ධ  රාශියක  හැසිරීම  එවකට දුබල  ගණිතය තුලින්  පැහැදිලි  කරන්න බැරි  වුණාම,  සොර  ග්‍රහ  මණ්ඩලය  වගේ  දෙයක්  නම්  මවන්න  ඇත්තේ  දෙවියෙක්  කියා  කිව්වා ලු.  තවත්  කෙනෙක්  පස්සේ  එය  පැහැදිලි  කලත්  ඔහුටත්  තමන්ට  නොහැකි  තත්වයට  ආවාම  දෙවියන්  ගෙන්  ඒ  අඩුව  පුරවන්න  හිතෙනවා. අදටත්  සමහරු  ජීවයේ  සම්භවයේ  පවතින  විවාදාත්මක  කරුණු  කීපයක්  එතරම්  නිරවද්‍ය  නොවන  උපකල්පන   එක්ක  එකතු  කරලා  හදනවා  මතයක්  ජීව  සම්භවය  සුපිරි  බුද්ධියක  නිර්මානාත්මක  වැඩක්  බව - බුද්ධිමත්  නිර්මාණවාදය  හෙවත්  Intelligent Design. මේක  දැනුම  නිර්මාණයක්  නොවේ.  නොහැකියාව, නොදැනුවත්කම  වසා  ගන්න දෙවියෙක්  
නිර්මාණය  කිරීමක්.

බලන්න  මුළු  කතාවම: The Perimeter of Ignorance

මේකටම අපි  කියනවා  දැනුමේ  හිඩැස  දෙවියන්ගෙන්  පිරවීමක්  ලෙස.  විශ්වය  තුල පවතින  ගතියක්  තමයි  දකින  හැම  මානයකින්ම  අනන්ත අපරිමිත  ස්වභාවයක්  පෙන්වීම.  දිගට  දිගට  යන්න  ගියත්,  පොඩියට පොඩියට  කඩාගෙන  ගියත්,  ලොකුවට  ලොකුවට  එකතු  කරගෙන  ගියත්  අපි  ඒ  අනන්ත  ස්වභාවය  දකිනවා.  අවාසනාවකට  මනුෂ්‍ය  අපි  පරිමිතයි. අපේ  මොලයේ  හැකියාව,  බුද්ධියේ  හැකියාව,  සිතීම  යන  සියල්ල පරිමිත  සීමාවක  හිර  වෙලා තියෙන්නේ.  මේ  පරිමිත  මිනිහා  අපරිමිත  විශ්වය  පැහැදිලි  කරද්දී  කෙරෙන්නේ  ඒ  ගැන  මොඩලයක්  හදන  එක. එනම්  පින්තුරයක්  පික්සල්  ගොඩකින්  නිර්මානය  කරනවා  වගේ  සන්තතික (continuous)  විශ්වය විභින්න (discrete) කැබලි  ගොඩකින්  තමා  පැහැදිලි  කරන්නේ.

නොදනුමේ  කුඩා  පෙට්ටි  ගොඩකින්  දැනුම  හදනවා.  මුලදී  බොහොම  ලොකු  කන්ටේනර්  සයිස්  නොදනුමේ  පෙට්ටි  කීපයක්.  විද්‍යාවේ  ප්‍රගමනය  කියන්නේ මේ  විශ්වය  පැහැදිලි  කරන  නොදනුමේ  පෙට්ටි  වල  සයිස්  එක  පුංචි  කරන  එක.  ඒ  සමග  මොඩලය  වඩාත්  තාත්විකව  සහ විද්‍යාත්මකව  නිර්මානය  වෙනවා.

හැබැයි  හැමදාමත්  අර  නොදනුමේ  පෙට්ටිය  ඉතුරුයි.  ඒ  පෙට්ටිය  තුලට  දෙවියන්  බස්සන්නට  ඇතැමුන්  පෙළඹෙනවා. ඒ  තමයි දැනුමේ  හිඩැස.  මේ පදනමින්  සමහරු  කියනවා  ඩාවින්ගේ  පරිනාම සංකල්පය  හා  පසුව  සොයාගත්  ඩී එන්  ඒ   ඔක්කොම  ඇත්ත  හැබැයි  ජාන  මියුටේෂන් කරන්නේ  කවුද?  අන්න  එතනයි  දෙවියන්  ඉන්නේ  කියලා.  ඔහොමම ජීවය  කියන  භෞතික  සිරුර  මත  වන ඉමර්ජන්ස්  එකත්   ආත්මය  නම්  මවාගත්  සංකල්පයක්  දාගෙන  පැහැදිලි  කරනවා. බු
ද්ධියේ  කෙළවර  ඇති  නොදැනුවත්කම තමා හොඳම  මනෝ  විද්‍යාත්මක  පැහැදිලි  කිරීම  මේ  ගැන  දෙන්න තියෙන.

මෙම  සටහන  නීල්  ටයිසන්  ගේ  දේශනාවේ  රාමුව  තුල තියන්න  මම උත්සහ  කළා.  එහි  කියවෙන  සංකල්ප  බටහිර  බුද්ධි  පද්ධතිය  තුල  වන  පැහැදිලි  කිරීමක්. ඒ  වගේම  දේවවාදය  සහ  අදේවවාදය  අතර  ගැටුමේ  දිගුවක්. එහෙත්  ලෝකයේ  සෙසු  දැනුම්  පද්ධති  ගත්තොත්  මේ  මුළු  ගැටුමම  පටු  තැනක  හිර  වෙනවා.  දේවවාදය  සහ  අදේවවාදය  අතර  ගැටුම බෞද්ධ  හෝ  හින්දු  සංකල්ප  එක්ක  ගලපන්නේ  කෙසේද?  ආදී  ලෙස  විශාල ප්‍රශ්න ගණනක්  ඇසිය  හැකියි. බටහිර  බුද්ධි  පද්ධතිය දේවවාදය  සහ  අදේවවාදය  අතර  ගැටුම කියන පටු  කතාවේ  හිරවීම මහා  අවාසනාවක්.  හරිනම්  විද්‍යාව  දෙවියන්ට  බම්බු  ගහගන්න  කියලා  ඉස්සරහට  යන්නයි ඕනේ.  එහෙත්  දෙවියන්  හා  විද්‍යාව  එකට  පැටලෙන  එකත්  දෙවියන්ට පක්ෂ  හෝ විපක්ෂ  කියා  දේව/අදේව  වාදයකම  දිගටම  හිරවෙන  එකත්  අවාසනාවන්ත  තත්වයක්. බටහිර  දර්ශන  වාදය  පවා එහෙමයි.   ටයිසන්ගේ  කතාවට  පරිබාහිර  වූ  ඒ  මාතෘකා  මම මේ  පෝස්ට් එකේ  ග්‍රහණය  කරන්නේ  නැහැ. ඒක  වෙනත්  දවසකට.

සැහෙන  පරණ  සංවාදයක්  නැවත ඉස්මතු  කළ  ලක්ෂාන්  වික්‍රමට  ස්තුතිය. ඒ  වගේම  වචන  පරිවර්තනය  නිවැරදි කරන්නට  දුන්නු  දායකත්වයටත් 

Thursday, September 17, 2015

එන්න ලෝඩ් ෆකීර්ලා නැති නිදහස් අවකාශයට

[කතාවට  පදනම  සැකසු  නදීෂා  හා රේශිකා  දෙදෙනාටත්,  මගේ මුල්  ලියමනේ  ඇද  අරින්න  උදව්  කළ  සැමටත් ස්තුතිය]

කාලේන ධම්ම සාකච්චා කියාගෙන සයිබරයේ නැගලා යන සංවාදයක් තිබ්බා. එක්තරා බෞද්ධ උපනිකායක [හෝ වෙන මොකද්ද එකක] හාමුදුරු කෙනෙක් කිව්වලු හරියට වැන්දේ නැත්නම් ඒ පාපයට අඩුකුලේ වෙලා උපදිනවා කියලා.

කෙනෙක්  මේකට  විරෝධය  පල  කරනවා. ප්‍රතිවාදී පාර්ශ්වය කියනවා ඒක එහෙම්ම බුදුහාමුදුරුවොමත් කියලා තියෙන එකක්ලු. ඉතින් බුද්ධ භාෂිතය හාමුදුරු කෙනෙක් දේශනා කිරීමේ අවුලක් නැහැල්ලු. එතකොට ආයිත් එනවා කතාවට ඒ වුණාට මේක වැරදි කතාවක් නේද බුදු හාමුදුරුවෝ ඒ කාලේ එහෙම කිව්වනම් එයත් වැරදියි කියලා. එතකොට එන උත්තරේ, එහෙම වෙන්නේ කොහොමද බුදු හාමුදුරුවෝ කිව්ව දේ අකාලිකයි ඒ නිසා මේක හරි වගේ අදහසක්.

මගේ අදහස් දැක්වීම මේ බුද්ධ භාෂිතයක් ද නැද්ද කියන බෞද්ධ මතවාදය ගැන නොවේ. ඒ නිසා මේක ඒ පෝස්ට් එකේ "ඉඟුරු දෝෂියක් වඩේකක් පොඩි චුවින්ගම් එකක්" වගේ විකිණීමක් ලෙස සැලකුවත් කමක් නැහැ. මේක ටිකක් හොලිස්ටික් කතාවක්.

ආගම් සියල්ලකම පවතින මූලික ලක්ෂණයක් තමයි ශාස්තෘ කේන්ද්‍රික භාවය. ශාස්තෘ මත හැමවිටම උත්තරීතර සර්වඥ බවක් ආරෝපණය කර ශාස්තෘ ගේ තීරණය අවසාන තීරණය ලෙස සලකන ගතිය. නමුත් අප දැනුම එකතු කිරීමේ ක්‍රියාවලියේදී කරන්නේ දැනුම නිර්මාණය කිරීම. ඊට ශාස්තෘන් නැහැ. දැනුම ලබාගත් පසු එහි හිමිකරුවා අපමයි. ඕවරයිඩ් කරන බලයක් ඉස්සර උන්නු මිනිහෙකුට නැහැ. අප හා වෙන ඕනේ එකෙක් සමානයි.

ඉතින් මේ දෙක ආකෘතික ව දෙකක්. ඉස්සරින්ම ඒක වටහා ගන්න ඕනේ.

ආගම් බිහිවුනේ ඇතැම් පර්ස්පෙක්ටිව් වලින් පසුගාමී හෝ නොදියුණු කාලෙක. ස්ථිරවම දැනුම හා බුද්ධි වර්ධනය අතින් පොදු සමාජය උන්නේ වර්තමානයට පහළ. ඒකයි ආගම් වල සුන්දර දේවල් ඔක්කොම අතීතකාලින ගූඩ ලෝගුවල එතුණු මූසල ලුකින් තැන් වෙන්නේ. දිවියලෝක හොඳ උදාහරණයක්. ඒ ආකරයටම ආගම නිර්මාණය කරන චින්තන පරිසරයත් අතීත කාලීනයි. අවුට්ඩේටඩ්. එව්වයේ සම්මුති හොඳ නරක ආදියත් එහෙමමයි. ආගමික නායකයාගේ ලෝක දැක්මත් එහෙමමයි.

අකාලික ලෙස හැමදේටම යෙදිය හැකි ආගමක් නැහැ. අකාලික බව කියවන්න ඕනේ 
බුදු දහමේ කියලා තියෙන කතාව තුල පමණයි. එනම් එහි කියවෙන මූලික ජීවන හරය තුල. අකාලික කිව්වේ එයට. හැබැයි අකාලික ලේබලය යටතේ බුදුන් කියපු ඔක්කොම එව්වා ඕනෙම දේකට දාන්න බැහැ.

කොටින්ම  මේක  ලිව්ව  ගමන්  කට්ටිය  මට  ඉන්බොක්ස්  කරනවා  බලන්න  අභිධර්මයේ  පරමාණු  ගැන  කියලා  තියෙනවා  තව  අරක  මේක  ඔය  විද්‍යා  කතා කියලා  තියෙනවා ආදී  ලෙස.
  අවුල  මේ  මිනිස්සු  සර්වඥ  අකාලික  කතාව   වචනාර්ථයේ  එල්බ  ගෙන ඉන්න එකයි. 

සර්වඥ  කියන්නේ  ලෝකේ  පවතින  හැම  හූණු  බිකක්ම  බුද්ධ  ඥානයේ  කියවා  තිබ්බ  බව  නොවේ.  අකාලික  කියන්නේ  ලෝකේ  සමාජයේ  වෙන  හැම  කෙහෙම්මලකටම බෞද්ධ කියවීමක්  ඉගැන්වීමක්  තියෙන  බව නොවේ.  ඒ  වචන වැලිඩ්  වෙන්නේ  බුදුන්  වහන්සේ  කතා  කරන්න උත්සහ  කල  මාතෘකාව  ගැන.  ඉතිරි  වල්පල්  උන්වහන්සේට  වැඩක්  නැහැ.
සර්වඥ  අකාලික  කතාව අදාළ  වන්නේ ඒ හරයට  පමණයි.

ඒ වගේම ඊ ළඟ කතාව තමයි බුදුදහමේ කියන ඔය හරය හරිද? අකාලික වෙන්න තියා ඕක නිවැරදි දෙයක්ද? ඔකේ වැරදි නැද්ද ආදී කතා. මෙන්න මෙතැනදී අපි අර කලින් කිව්ව ප්‍රශ්නේ එනවා. බෞද්ධයා ගන්නේ ශාස්තෘ හරි කියලනේ. ඒ නිසා සෙසු සංවාදය කෙරෙන්නේ බෞද්ධ නොවන හෝ ආගම හැර යමින් ඉන්න රාමුවක. මම එහෙම කෙනෙක්. මට බයනැතුව හිතන්න පුළුවන් බුදු හාමුදුරුවෝ කිව්ව එක හරිද වැරදිද කියලා. අපාගත  වේවි  කියලා  එහෙම  හිතන්නවත් බයේ ඉන්න  අර්බුදය  මට  නැහැ.

ඒ වගේම දාර්ශනික නිවැරැද්ද ඉක්මවන කුල කතාවක් වගේ සාමාජිය දේකදී ඒක විවේචනය කරන්න අපිට අයිතියක් තියෙනවා බෞද්ධ උනත් නැතත්. බුදු හාමුදුරුවෝ කිව්වා කියලා ඉමියුනිටි දෙන්න බැහැ. එහෙනම් ඉතින් නබි තුමාගේ දේශනා අමු අමුවේ කොපි කරනවා කියන සමහරු කරන දේවලුත් හරි වෙන්න එපයි. සාමාජියව වැදගත් වෙන තැනකදී අපිට අහවලාගේ දේශනා ඒ අහවලාගේ මොන ලොකුකමටත් උඩින් විවේචනය කරන්න අයිතිය තියෙනවා.

දැන්  මෙතැනදී  තව  වැදගත්  දෙයක්  කියන්න  ඕනේ.  අපි  මුලින්ම  කිව්වා ආගමික  නායකයාගේ ලෝක  දැක්මත් 
අවුට්ඩේටඩ් කියලා.  ඒ  නිසාම් අපි  පිළිගන්න  ඕනේ  ඒ  අතීත  යුගයේ  සමාජ  රාමුවලින් හිතලා  කියපුවට  වර්තමාන රාමුවලින් මැනලා  බණින  එක  වැරදි  බවත්.  පළමුවෙන්ම  එකල සමාජයේ  සාමාන්‍ය  තත්ත්ව  වන කුල  වාදය  වහල් භාවය වගේ  දේවල් ගැන  ඒ  ආගම්  වලට  කතා කරන්න වෙනවා.  ඒ  වගේම  ඒවාට  සම්මුති නීති  හදන්න වෙනවා.  එබ්‍රහමික  ආගම්  වහලුන්ට  හොඳින්  සලකන  හැටි  උගන්වලා  තියෙනවා.  එපමණකින්  අපිට  බණින්න  බැහැ  ඒ  ආගම්  වහල්  මෙහෙය ප්‍රොමෝට්  කළා  කියලා.  බුදු දහම  කුල වාදය  ප්‍රතික්ෂේප  කළත්  එකල  සමාජයේ  සරල  සිද්ධි  වන කුල කතා බුදු  දහමේ  අඩංගු  වෙනවා.  

අවුල  තියෙන්නේ  මේ  පැරණි  ජාගන්  හලලා  ආගමේ  හරය  නොගෙන  අපේ  දහම  අකාලිකය  එබැවින්  එහි  සියලු  ජාගන්  ද  පරම  සත්‍ය  වේ  කියලා  දැඩිව  එල්බ  ගැනීමෙහි.  මෙහෙම  කරන  සමහර  මුස්ලිම්මු  අන්‍යාගමිකයන්  වහල්  කමට  ගන්නවා  සිරියාවේ.  අන්න  ඒ වගේ  වැඩක්  තමයිමේ  හාමුදුරුවො කළ  බව කියන  කතාවෙනුත්  පෙනෙන්නේ.  බුදුන්  ගේ  දේශනාවක  තිබ්බ  කියලා  අදට  නොගැලපෙන  කුලවාදයක්  පතුරන  එක.

හැබැයි අපට මේ කතිකාවේ  කරන්න බැරි එක දෙයක් තියෙනවා. ඒ තමයි ඒ ශාස්තෘ වරයා සුවීට්. එයාගේ  සුප්රිමසි  එක  අකාලික  බව  සර්වඥ  බව  100%  හැම දේටම  වලංගුයි. මෙව්වා පස්සේ ආපු අමනයින්ගේ කතා කියලා උන්ට විතරක් බනින්න. අපි ආගමික ව්‍යුහය ප්‍රශ්න කරනවා නම්, ආගමික ඉගැන්වීම් විවේචනය කරනවානම් ආගමික නායකයාට සුවීට් බබා හෝ  උත්තරීතර තැන දෙන්න බැහැ. ආගමේ ඉඳගෙන ඒක කරන්නත් බැහැ. එදාට තමන් නොදැනම තමන් නිරාගමිකයෙක් නිදහස් චින්තකයෙක් වෙලා ඉවරයි.

සැබෑ නිරාගමිකත්වය නිදහස් චින්තනය කියන්නේ ඕකට මිසක් ශ්‍රී මහා බෝධිය දරට විකුණන්න, දළදාමාලිගාවේ හෝටලයක් හදන්න ලොරි ටෝක් දෙන ජනප්‍රියවාදයට නොවේ. ආගමික නායකයාගේ රොම්බ දාර්ශනික කතා බය නැතිව ඩයිසෙක්ට් කරන එකට.

එන්න එලියට. කතාකරන්න නිදහසේ. මේ ලෝඩ් ෆකීර්ලා නැති නිදහස් අවකාශය.

Saturday, May 30, 2015

පරිභෝජනයේ සදාචාරය 1: නතාෂා ගේ සාරිය සහ පින්වත් අප ස්වාමීන්ගේ පලතුරු පූජාව

නතාෂා ගේ සාරිය ගැන හනේ හපොයි ඕකෙන් කන්න බොන්න නැති එවුන්ට කී වේලක් දෙන්න තිබ්බද කියන එවුන් පින්වත් අප ස්වාමීන්ගේ පලතුරු පූජාවට සාදු සාදු කියති. නතාෂාගේ සල්ලි කොහොම කලාම තොපිට මොකද කියන එවුන් අර සෝමාවතියේ නාස්තිවෙන පලතුරු කන්න නැති කෙනෙකුට දුන්නේ නැති හැටි කියා විස්සෝප වෙති. නතාෂා සහ පින්වත් අප ස්වාමීන් මෙන්ම මේ දෙපිට කාට්ටු මත දක්වන්නන් සියල්ලන්ගෙන්ම ස්වායත්ත සරල සත්‍යයක් පවතියි.

සීමිත සම්පත් ඇති තැනෙක ද්‍රව්‍යයක වටිනාකම එහි මිළ ගෙවීමෙන් සපුරා හිමි නොවේ. සීමිත සම්පතක් කෙනෙකු අපහරණය කරන්නේනම් වෙනත් කෙනෙකුට සමාන දෙයක් අහිමි වේ. සෝමාවතියේ පලතුරු ලෙස හෝ නතාෂාගේ සාරිය ලෙස මිනිසුන්ට ඇති සම්පත් "නිරපරාදේ" නාස්ති වන්නේ නම් එහි මිළ ඔවුන් ගෙව්වද සාමාජිය ලෙස ඇති වගකීමක් ඔවුන් පැහැර හරිති. අවාසනාවකට අප ජීවත්වන ආර්ථික මොඩලය මේ "සම්පත් වලට මිළ ගෙවා කරන අවභාවිතාව" ගැන ලොකු කතිකාවක් කරන්නේ නැත.

අධිභාවිතයට නහුතෙට බිල ගහද්දීත් "විදුලිය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන්න" කියා කීමට සිදුව ඇත්තේ එබැවිනි.

පරිභෝජනයේ සදාචාරය මම මේ දැන් හැදු වචනයකි. එහෙම එකක් ඉස්සර පටන් තිබ්බා නම් ඊට වඩා වටියි.

ප.ලි.

මාධ්‍යවල  ඉන්ටරැක්ටිව් ගතිය  නිසා  බ්ලොග්  සටහන්  වෙනස්  කරන්න  වෙනවා.  මේ  සම්බන්ධයෙන්  ෆේස්බුක්    සංවාදයේ  සාතන්ගේ  අඩවිය  නගපු  ප්‍රශ්න  මගේ අදහස තවත්  ඉස්මතු  කරන්න  දායක  වුන  නිසා,  මෙතන  පටන්  දාන්නේ  ඒ  ටික.

  •  මේකත්  ධනපති   පන්තිය  හා නිර්ධන  පන්තිය  ගැන  තියෙන  ප්‍රකට  සංවාදයේ  දිගුවක්ද?

නැහැ. සම්පත් අවභාවිතාව පන්තිභේදයකින් තොරව සිදුවන්නක්.

පන්ති  භේදය  ගැන  කිව්වොත් මම ඔය රිජිඩ් ධනපති හා නිර්ධන පන්ති දෙකක පැවැත්ම සලකන්නේ මීට සියවසකට පමණ පෙර ලෝක තත්වයක් ලෙස. හැබැයි ලෝකයේ ඇති නැති පරතරය කියන එක එන්න එන්නම වැඩිවෙනවා. ඒ වගේම විශාල ධනස්කන්ධයක් පුංචි තැන් කීපෙකට සංකේන්ද්‍ර වෙනවා. එපමණක් දක්වා නිරීක්ෂණය කල හැකියි. පැහැදිලිවම  ඒ  අසීමිත  ධන  සංචිත  ඇතැම්  නාස්තිවලට  හේතුවක්

  •  මේ  සංකල්පය  ප්‍රයෝගික  ද?

ප්‍රායෝගික වෙන්න ඉස්සෙල්ලා අපට දැනිලා තියෙන්න ඕනේ නේද අවශ්‍යතාවය. අවශ්‍යතාවය දැනෙන්නපටන් ගෙන තියෙන්නේ කොහොමත්.

උදාහරණයක් දෙන්නම්, අඟහරු මත මිනිස්සු ජනාවාසයක් හදනවා. එහි සීමිත ඔක්සිජන් ප්‍රමාණයක් තියෙන්නේ. එහෙ ඉන්න මිනිසුන්ට කෑම්ප් ෆයර් එකක් දාන්න නිදහස ලැබේවිද? කොච්චර සල්ලි තිබ්බත්. මහා පොලොව අසීමිතව දැනුනේ අපි "පුංචි පවුලක්" කාලේ. දැන් අපි ලොකු පවුලක්

එතනදිත් නූගත්කම දිළිඳුකම හා දේශපාලනික වාරණ තුලින් අපේ ලොකුම ජනගහන මධ්‍යස්ථාන දෙක වන ඉන්දියාව හා චීනය [ලෝකයෙන් 2/5 ක්] අඩු පරිභෝජන රටවල් කරලා තිබ්බ. එකපාරට උන් ඕපන් වුණා. පහුගිය දිගටම ලෝක වෙළඳපොලේ ලෝහ හා ඉන්ධන මිල තීන්දු කලේ චීනයෙන් ආපු ඉල්ලුම අනුව. මහා ලොකු ආර්ථික විද්‍යාවක් නොවේ, අපි ගෙයක් හදන්න පටන් ගද්දි එක්තරා ගානට තිබ්බ කොන්ක්‍රීට් කම්බියක් මාසෙකින් එකහමාරකින් ගණන් ගියා චීනේ ලොකු කන්ස්ට්‍රක්ෂන් එකක් නිසා. බයිසිකල් පැද්ද චීන්නු ටික කාර් පදින එකම හිතන්නකෝ. දැන් මහපොළොවේ සීමා දැනෙන ගානට ඇවිත්. එතැනදී මේ සංකල්පය අවශ්‍යයි.

  •  අනිකාට  වඩා  ඉස්සරහින්  ඉන්න  ඇති  වුවමනාව  මිනිසා  ගල් යුගයෙන් මෙතෙන්ට  ගෙනාපු  දෙයක්.  මේ  කතාව  ඒ  මානවීය  හැසිරීම  එක්ක  ගැටෙනවද?

ජීව විද්‍යාත්මක මිනිස් ස්වභාවය කොහොමත් සිද්ධ වෙනවා. ඒකට ඉඩ දෙන්න ඕනේ. ඔය "හැමෝම සමාන කිරීම" අසාර්ථක වුනේ මේ මිනිස් ස්වභාවය නිසා. හැබැයි මේ  කතා  කරන්නේ  ආන්තික  හැසිරීම්  ගැන.

අනික ආන්තික හැසිරීම් වලට සීමා දැමීම ගැනම නොවේ මම කියන්නේ. ඒවා සාමජිය කතිකාවකින් බ්ලැක් මාක් කිරීම වරදක් නැහැ. ඊ ගාව නතාෂා මේ නතාෂාගේ සාරියටත් වඩා ලොකු එකක් හදන්න හෝ, ඊ ගාව "පින්වත් අප ස්වාමින්" මෙයා "ඩම්ප් කර  වදාළ" පලතුරු ලෝඩ් එකත් ඉක්මවා යන්න හිතද්දි සාමාජිය මතයකින් එයාලගේ හිතට ආවොත් "ශිහ් මේක මහා නාස්තියක්. අපි මේක නොකර ඉම්මු" කියලා නීති ඕනෙම නැහැ නේද?

ඒ සංවාදය නතර කරන්නේ "එයාගේ සල්ලිනේ ඕන දෙයක්" කියන මතය නිසා. මම ඉලක්ක කරන්නේ ඒ මතය. සල්ලි එයාගේ වුනාට නාස්තිය අඩු කරන සමාජ වගකීමත් එයාට හිමියි

සාතන්  ඔබට බෙහෙවින්ම  ස්තූතියි  දෙයක්  මේකට  එකතු  කළාට 

Friday, May 29, 2015

වාස්තවික යතාර්ථය 1 : විද්‍යාව "පවතිනවා" කියන්නේ මොකකටද?

වාස්තවික යතාර්ථයක් පවතීද කියන මාතෘකාව යටතේ විවිධ ස්ථාන වල සංවාද රාශියක් කෙරුණා. මේ ගැන "පරිපූර්ණ"  බ්ලොග් සටහනක් ලියන්න උන්නත් ඒකත් වාස්තවිකත්වය වගේම අභව්‍ය දෙයක්, හෙවත් මේ කපේ ලියවෙන්නේ නැහැ. ඒ නිසා මගේ අදහස් ලියවෙන තැන්වලින් කොපි කර ලිපි සීරිස් එකක් ලෙස ලියන්න හිතුවා. මෙව්වයේ එකම දේ නැවත ලියවේවි, එහෙන් මෙහෙන් පටන් ගනීවි, ඉවරයක් වෙන එකකුත් නැහැ. ඔන්න ඔහේ ගියදෙන්. මේ පලවෙනි කථාංගය.

සංවාදයට හේතුවන ප්‍රකාශය: වාස්තවික මමක් නෑ කියන එක බටහිර චින්තනයේ පිළිගත්ත තත්වයක් කියල [] කියන කතාව වැරදියි.

මගේ ප්‍රශ්නය: "වාස්තවිකත්වය" භෞතික දෙයක් වෙන්න ඕනෙද? එසේනම් භෞතික කියන්නේමොකද්ද? මිකීමවුස් වාස්තවික නැද්ද?

පිළිතුර: මිකී මවුස් තියා ගෙදර ඉන්න මීයෙක් වත් වාස්තවික නෑ නේද?

--------

දැන් අපි එතනින් කතාවට අවතීර්ණ වුනොත්...

කිසිම දෙයක් වාස්තවික නොවේ නම් වාස්තවික කියා වචනයක් තියෙන්නේ ඇයි? වාස්තවික බව  ගැන කෙරෙන  වාදය  පවා  වාස්තවික නැහැ නේද? හෙවත් වාස්තවික කියන  අර්ථයත්සත්‍ය පැවැත්මක් නොවේ නේද? එයත්මවා ගැනීමක්. කුඩා ළමයෙකුට මිකී මවුස්. බොහෝ මිනිසුන්ට ගෙදර මවුස්. වෙන වෙනස් ඩිග්රි එකක මවා ගැනීම්

මෙතැනදී "බටහිර විද්‍යාව" කියන දැනුම් පද්ධතිය කරන්නේකිසිම තේරුමක් නැති ඒ වචනය භාවිතාවට ගන්නේ නැති එක. කොහෙත්ම අනවශ්‍ය දෙයක් ගැන කතාකරන්
නෙ මොකටද? පවතිනවා කියන හැමතැනම ඩිස්ක්ලේමර් එකක් දාල "මෙහි පවතින බව වාස්තවිකත්වයක් ලෙස නොසලකන්න" කියන්න ඕනේ නැහැනේ. ඒක නිකම් හරියට තාත්තා කියා ලියන තැන ඩිස්ක්ලේමර් එකක් [යු නෝ වට්] දානවා වගේ. විද්‍යාව එහෙමදාන්නේ නැතිනිසා සමහරු කියනවා විද්‍යාව වාස්තවිකත්වය වැළඳ ගන්නවා කියලා.

විද්‍යාව "පවතිනවා" කියන්නේ ඔය වාස්තවික පැවැත්මට නොවේ. හුදෙක් ඔබ මම ගස් වැල් ගෙවල් ආදිය "පවතින" එකට. ඒක කීවෙනි ඩිග්රි එකක යථා භාවයක්ද, එතනින් එහාට මවාපෑමක් ද කියන විද්‍යාවේ මීටරේට පරිබාහිර කතාව උන් හුදෙක් අල්ලලා දානවා.

උදාහරණයකට වාස්තවිකත්වය වගේම ටූත් ෆෙයාරි ගැනත් බටහිර විද්‍යාවේ කිසිම පැහැදිලිකිරීමක් නැහැ. එයින් කියවෙන්නේ නැහැ ටූත් ෆෙයාරිව බටහිරවිද්‍යාව විසින් පිළිගන්න බවක් හෝ ප්‍රතික්ෂේප කරන බවක්. ඒකෙන් කියන්නේ ටූත් ෆෙයාරිට බටහිර විද්‍යාව දක්වන්නේ හූ කෙයාස් සම්බන්ධයක් බව.

වාස්තවිකත්වය අවශ්‍ය වන්නේ බටහිර දර්ශනවාදයට, එයත් "පැවැත්ම" "ඔබ්ජෙක්ට්" වගේ එව්වා හාරගෙන හාරාගෙන යද්දී. එහෙම හාරන්න අවශ්‍ය වෙන්නෙත් ඊට පෙර ආගමිකව ආත්මයක දරදඬු පැවැත්මක් උන්ගේ ඔලුවලට බැස්සු නිසා. ඩේකාට් වගේ මිනිසුන්ට ගැලවෙන්න බැරි ඒකෙන්. කාන්ට් එහෙම පොඩ්ඩක් වෙනස් විවරණයක ඉන්නවා. හැබැයි බටහිර දර්ශනය ළූණු ගෙඩියේ ලෙලි ඔක්කොම ගැලෙව්වා කියලා මමහිතන්නේනැහැ. දේව ධර්මයෙන් ගැලවිලා සියවස් කීපයකින් එච්චර දුරක් යන්න බැහැ. කෙසේ වෙතත් Objective reality මාතෘකාවට එන්නේ එතනින් විනා බටහිර විද්‍යාවෙන් නොවේ.

Objective reality ගැන බටහිර විද්‍යාව දක්වන්නේ හූ කෙයාස් සම්බන්ධයක්. බොහෝ දුරට බටහිර දර්ශනවාදය ගැනත් විද්‍යාව දක්වන්නේ ඒ සම්බන්ධයම තමා.

මරිමෝඩ හන්දියක සැඟවුණු යතාර්ථය

No traffic lights no accidents යන මාතෘකාව යටතේ අන්තර්ජාලයේ වයිරල් වන වීඩියෝවක් තියෙනවා. ඒ වීඩියෝව අලළා අදහස් පළකරන ඇතැමුන්, මෙහි ට්‍රැෆික් ලයිට් හෝ පොලිස් නිලධාරින් උන්නා නම් ඔය තරම් හොඳට වාහන ගමන් නොකරනු ඇතැයි කියා කියනවා . එනයින් රටේ පාලකයින්, නීතිය, නීති ක්‍රියාත්මක කරන රාමුව නැතුව මිනිසුන්ට ඔහේ අරාජික ලෙස පවතින්න දෙන්නේ නම් ලෝකය සුන්දර වන බවට මතයක් සමහරුන්ගෙන් එලියට එනවා.

අරාජිකත්වය කියන දිග මාතෘකාව එකවර ග්‍රහනය කරන්නට බ්ලොග් පෝස්ට් එකකින් අමාරුයි. එහෙත් ට්‍රැෆික් ලයිට් නැති හන්දියේ සත්‍ය කතාවත් ඒකෙන් අප දකින අරාජිකත්වයේ උදාහරණයේ නරුම රියලිටියක් පමණක් කතාවට ගන්න ඉඩක් මෙතනින් විවර වෙනවා

මේක විහිළුවට ශෙයා කරන අය ගැන නොවේ මම ඉලක්ක කරන්නේ මේ වගේ එව්වයෙන් සීරියස් දේශපාලන මතයක් දෙන්න හදන අයව. ඇත්තෙන්ම ආරම්භයේදී මෙය එතරම් සීරියස් කතාවක් ලෙස නොසිතන්නට පෙළඹුණේ මෙවැනි මරිමෝඩ හන්දියක් දිහා බලලා හුරේ අරාජිකත්වයට ජයවේවා කියන මිනිස්සු හරියටම උතුරු කොරියාව දිහා බලලා මාක්ස්වාදයට ජයවේවා කියන එකාලා වගේම නිසා. ඒත් මේක ටිකක් සීරියස් යන බවක් පෙනෙනවා.

අපි හන්දියට බහිමු.





මේ අඩිස් අබාබා නගරයේ මෙස්කල් හෙවත් කුරුස චතුරශ්‍රයයි. වසර එක්දාස්හයසීයක් පරණ ඉතිහාසයක් තියෙන බව කියවෙනවා. චතුරශ්‍රය ආශ්‍රිත හන්දියේ විශේෂත්වය නම් කිසිම ගයිඩන්ස් එකක් නැති එක. ඒ බව මේ වීඩියෝවේ පෙන්වනවා.

වීඩියෝවේ නොපෙන්වන්නේ මේක කෙතරම් මාරක හන්දියක් ද කියන එක. ඔය රෙකෝඩ් කල විනාඩි කීපෙට වාහන හැප්පි නොහැප්පි බේරිලා ගියාට වසරකට මාරක අනතුරු අතිවිශාල ප්‍රමාණයක් වෙන හන්දියක්. 2004-2006 සමයේ අනතුරු 237ක්. මිලියන ගානක් ඉන්න අඩිස් අබාබා නගරයෙ මුළු අනතුරු වලින් 8% කට මේ තනි හන්දිය වග කියනවා. මෙතනින් පාර පනින්න ගිහින් වාහන වලට යටවෙන ප්‍රමාණය විශාල ගානක්. මෙන්න මෙතනින් බලාගන්න හන්දියේ කැරට්ටුව

ඔන්න ඕක තමා අරාජිකත්වයේ සත්‍ය මුහුණුවරත්. න්‍යාය අනුව අරාජිකත්වය මාරයි. They all lived happily ever after කියලා උපකල්පනය කලොත්. එහෙත් ඒ සියලු කතන්දර උදාහරණ මේ වීඩියෝව වගේ සත්‍යයේ තෝරාගත් වාසිසහගත මොහොතක් පමණයි. සත්‍යය මුළුමනින් ගත්තොත් බිහිවන්නේ මාරාන්තික අනීතික ලෝකයක්.

ඔය යුතොපීය දර්ශන රාශියක පොදු දුර්වලකමක්. ඒ මත දරන මිනිස්සු සමස්තයන් බැහැර කරලා තැනක දෙකක පාලිත තත්ත්ව යටතේ කෙරෙන පරීක්ෂණයක් පෙන්නලා ලෝකෙට කියනවා මෙහෙම කරනන ඔක්කොම හරියාවි කියලා. එහෙත්  ඒ  භුමියේ  සත්‍යය  ගැන  නිසි  අධ්‍යනයකින්  නොවේ.  සිහිනෙන්  ඇවිදීමක්  පමණයි.

මෙස්කල් හන්දියට ට්‍රැෆික් කොන්ට්‍රෝල් එකක් අවශ්‍යයි කියන මූලික සත්‍යයට පිටුපාලා ඕනෑතරම් සෙල්ලම් කරන්න තමන් රවටා ගන්න ඔබට නිදහස තියෙනවා. එහෙත් හන්දියට "බැහැලා බැලුවම" තේරෙයි මේ වගේ ස්ථාන වලට නීතියක්, පාලනයක්, යාමනයක්, යාමනය කළහැකි යාන්ත්‍රණයක් අවශ්‍ය බව.

Monday, March 16, 2015

ආර්ථිකයේ භෞතික විද්‍යාව

මේ අහම්බෙන් කියවන්න ලැබුණු ලිපියක සරල සිංහල සාරාංශයයි.

"වර්තමානයේ අප ලබාගෙන යන ආර්ථික වර්ධනය තාවකාලික එකකි. මන්ද යත් සම්පත් හා අවශ්‍යතා සීමිත බැවිනි. ඒ නිසා ඉදිරි සියවස් කීපයකට ලෝකය මෙවැනි ආර්ථික වර්ධනයක් පවත්වා ගතහොත් ඊට අවශ්‍ය සම්පත් දායකත්වය සැපයීමේ සම්පත් හිඟයක්ද බලශක්ති අවශ්‍යතා සැපයීමේ පාරිසරික අර්බුදයක් ද පැන නගිනු ඇත. ලෝක ආර්ථිකයේ ප්‍රසාරණය අරුත් විරහිත වූ කල ආර්ථිකයන් මීට වඩා විශාල ලෙස කඩා වැටෙමින් එහි සමතුලිතභාවය රැකගනු ඇත. මේ නිසා අදට අවශ්‍ය ප්‍රාග්ධනයේ හෝ මුදලේ හෝ පරිභෝජනත්වයේ ප්‍රසාරනයකට වඩා දිළිඳුකම පිටු දැකීමේ, ජීවන තත්වය උසස් කිරීමේ හා එකිනෙකා කෙරෙහි හොඳහිත වැඩිකිරීමේ ප්‍රසාරණයකි. ලෝකයේ දියුණුව මේ අලුත් මංපෙත් වලින් අරුත් ගැන්විය යුතුය."

වැඩිපුර මෙතනින් කියවිය හැකිය.

මගේ මතය නම් මෙය අසම්පුර්ණ හා එතරම් නිරවද්‍ය නොවන එහෙත් ඉතා වැදගත් අදහසක් බවයි. තවමත් 1950 දශකයේ පල්වන සමාජවාදයට එරෙහි ධනවාදයේ ශ්‍රී ලාංකීය ෆොසිල සංවාද අවකාශයට මෙය නව පැරඩියමකි.

ලේඛකයා හා අදහස් පල කරන අය නොදකින එක දෙයක් නම් ආර්ථික ප්‍රසාරණය වන්නේ භාණ්ඩ හා සේවා ගැන පැවතී ආදිකල්පිත දිශානතියේ පමණක් නොවීමයි. උදාහරණයකට ඉලෙක්ට්‍රොනික උපාංග වල සිට සයිබරය දක්වා වූ වෙනස් මානයක ප්‍රසාරණය ආර්ථිකයට එකතු කල පුළුල් පරාසය ඊට වැය වූ සම්පත් හා බලශක්ති ප්‍රමාණය මෙන් විශාල ගුනාකාරයකි.

අනික් අතට මේ නව්‍ය මංපෙත් විසින් සම්පත් හා බලශක්ති වැනි ක්ෂේත්‍ර වලට වාසියක් අත්කර දෙයි. අතත්‍ය අවකාශයේ සංවර්ධනය විසින් දිනෙක එදිනෙදා ගමනාගමනය අවම කළහොත් ඉන් ඉතුරුවන ශක්ති ප්‍රමාණය අතිවිශාලය.

තෙවනුව මෙය තවමත් විශ්ෆුල් සිතුවිල්ලකි. බොහෝ රැඩිකල් මතධාරීන් කියන්නා සේ සංවර්ධනයට හදවතක් අවශ්‍යය. වල්බූරු පරිභෝජනයට බුද්ධිමත් තිරිංග අවශ්‍යය. එහෙත් මේවා ප්‍රධාන ධාරාවේ නිෂ්පාදන ක්‍රමවේද සමග බද්ධ කරන ආකාරය ගැන තවම කිසි අදහසක් නැත. බොහෝ දෙනා උත්සහ කරන්නේ මිනිසුන් බුද්ධියෙන් සන්නද්ධ කර යහපත් ලෙස ජීවත් වන තනි මිනිසුන් තැනීමටයි. ඒ මිනිස්සු අප්‍රිකාවේ දිළිඳුකම පිටු  දැක ඉන්දියාවේ වනාන්තර ද රකිමින් සීමාසහිත පරිභෝජනයකට බුද්ධිමත් දායකත්වයක් දී ලෝකය පරිසරය හා එහි ආර්ථිකය තනි තනිව රකිනු ඇතැයි සිතති. එහෙත් ආර්ථිකය වැනි පොදු මානව ක්‍රියාකාරීත්වයෙන් ඇතිවන ඉපිලුම් ආචරණයක් [emergent effect] එක එකා තනි තනිව වෙනස් කිරීම ලෙහෙසියෙන් වන්නක් නොවේ. පද්ධතියට  ක්‍රමික  වෙනසක්  දෙන්නට  ඒ  තනි  මිනිසුන්  වැදගත්  වන නමුත්  ඔවුන්  හැමදාමත්  සුළු  පිරිසකි.  සමාජය  ම  මේ  කියන  තැනට  එන්නට  නම්  ආර්ථික  ක්‍රමවේදය  හෙවත් ආර්ථිකය  නම්  පැටර්න්  එක  වෙනස්  විය  යුතුවේ. එය පුද්ගල  වෙනස  ඉක්මවා යන්නකි.


අනික සියලු මිනිසුන් හොඳ කර සිදු කරන යුටෝපිය දියුණුවක් කවදාවත් සිදු නොවන්නකි.

අවශ්‍ය වනුයේ මේ වැදගත් ගති ලක්ෂණ පද්ධතියෙහි නිසර්ග ගතිගුණ බවට පත්කිරීමයි. පරිභෝජනය සීමා කරගෙන අප්‍රිකාවේ දිළින්දන් ඉස්සරහට අදිමින් පරිසරය සුරකින පද්ධතියක් සැකසීමයි. අපට තවම නිසි ක්‍රමවේදයක් නොමැත්තේ ඒ උදෙසාය. මුදල ලාභය වැනි සරල රාමුවකින් ඔබ්බට මේ සඳහා අපට ඇත්තේ පින/පව හෝ දෙවියන් හදවතේ ජීවත් කරවීම වැනි ක්‍රමයෙන් අභාවයට යන ආගමික සංකල්ප පමණි. ඒ නිසා සිදුවිය යුත්තේ යහපත් දේ හා සමාජයේ කලයුතු දේ මරණින් මතු දිවියේ නොව පුද්ගලයාගේ ආර්ථික සංවර්ධනයේ ෆ්ලයි බයිස් බවට පත් කිරීමයි.

කරන හැටි ගැන කතිකාවක් තවම දැක නැත.

Tuesday, February 3, 2015

නිරුවත් වනචර අවලම් නිරාගමිකයෝ

"නිරාගමික කියන්නෙත් තවත් ආගමක්"

"ඔය නිරාගම ගැලපෙන්නේ නිරුවතින් ඉඳගෙන, සත්තු මරාගෙන කාලා, සහෝදරයින් අතර ලිංගික කටයුතු සිදුවුණු ඒ කාලේ හිටපු නොදියුණු, අසීලාචාර කොටසකට කියලයි මටනම් හිතෙන්නේ"

ඔය අහල පුරුදු කතා.

පොදු උත්තරයක් දෙන්න හදන්නේ ඒ නිසා. කතාවට උත්තරයකට වඩා මේ දෙන්න හදන්නේ මෙහෙම කතා මිනිස්සු කියන්නේ ඇයි කියන එකට උත්තරයක්.

බොහෝ ආගමිකයන්ට ආගම් රහිත තත්වය ගැන අවබෝධයක් නැහැ. ඒ ගැන අවබෝධ කරගන්නට නම් ඔවුන් ඒ ඔස්සේ අධ්‍යනයක් හෝ දාර්ශනික චින්තනයක් කල යුතුයි. එහෙම කරපු ආගමිකයන් ඉන්නේ ටිකයි. බහුතරයක් ආගමිකයන් හදන්නේ තමන් නොදන්නා "නිරාගමිකත්වය" ගැන උපකල්පනයක් කිරීමයි. මෙහිදී මේ පුද්ගලයින් තම උපකල්පනය නිර්මාණය කරගන්නේ තම දැනුමේ තරමිනි.

ආගමක් එදා පටන් අදහන, තමන් වටේ ඉන්න සියල්ලනුත් එසේ කරන ආගමක් ඇදහීමෙන් පිටස්තර ලොකාවබෝධයක් නැති එකාට අනුව නිරාගමිකත්වයත් ආගමකි. ආගමක් නොවන අවස්තාවගැන අවබෝධයක් නැති කෙනෙක් ආගමක් නොමැති අවස්තාව ගැන වෙන කොහොම හිතන්නද?

ඒ වගේම තම තනි මතයෙන් ශිෂ්ටාචාරගත යහපත් මිනිසෙකු වන්නට තරම් බුද්ධිය මෝරා නැති මිනිසා තමා ශිෂ්ටාචාර කිරීම නොකඩවා ආගමට පවරයි. රකින්නට බැරි නිසා දිනපතා පන්සිල් ගන්න, වැරදි කර කර පවු සමාකරන, ආගමික මිනිස්සුන්ට හිතා ගන්න බැහැ තමා දිනපතා සතිපතා කරන ආගමික ශෝධනය නැති වුනොත් තමන්ට යන කල.

එහෙම වුනොත් තමන් " නිරුවතින් ඉඳගෙන, සත්තු මරාගෙන කාලා, සහෝදරයින් අතර ලිංගික කටයුතු සිදුවුණු ඒ කාලේ හිටපු නොදියුණු, අසීලාචාර" මිනිසුන් වේවි කියා ඔවුන් හිතනවා. ඉතින් තමා ගැන තියෙන ඒ අවිශ්වාසය සෙසු ලෝකයටද එසේය, ලෝකේ හැමෝටම තමාට වගේ වැරදි නිවැරදි කරන්න ආගමික ශෝධනය අවශ්‍යය කියා තම මට්ටම ලොවට පොදු කරලා හිතනවා.

අන්න එතකොට ආගමක් නැති එකා "නිරුවතින් ඉඳගෙන, සත්තු මරාගෙන කාලා, සහෝදරයින් අතර ලිංගික කටයුතු සිදුවුණු ඒ කාලේ හිටපු නොදියුණු, අසීලාචාර" කියා හිතෙන්නේ.

මේ සියල්ලට හේතුව කෙනෙක් තමාගෙන් පිට තමාට වෙනස් ලෝකයක සංසිද්ධි තේරුම්ගන්න තම හැසිරීම පමණක් යොදා ගන්න නිසා.