Sunday, May 6, 2012

කම්කරුවාද ශ්‍රමිකයාද? වම-දකුණ ඉතිහාසයට යවමු


ෆේස්බුක්  සමූහයක ඉස්මතු වූ කතාවක්.

කම්කරුවාද ශ්‍රමිකයාද? ලංකාවේ වම වරද්දාගත් මාක්ස් විද්‍යාවේ බරපතල වචනයක් - ශ්‍යාමන් හේමකොඩි


මට හිතෙන්නේ මෙහෙමයි. මේ ප්‍රශ්නය ගැන 1800 ගණන් වල ලෝකෙන් හිතන්න. මොකද මේ වමේ ව්‍යාපාරය අද කතා කරන මූලික රාමුව අයිති වන්නේ ඒ කාලෙට. 

ධනපතියා, ව්‍යාපාර හිමියා අන් සියල්ලටම උඩින්, ඒ කියන්නේ, ධනයෙන් බලයෙන් රදල පවුල් පසුබිමින්, සමාජ පිළිගැනීමෙන් හැම අතින්ම පැහැදිලි ධනපති පන්තියක් උන්නු, අවශේෂ සියලු ශ්‍රමිකයින් කම්කරු  වහලුන්ගේ ගානට වැටුණු ඒ යුගය. ප්‍රවේනි දාසයන්ගේන් වැටුප ලබන වහලුන්ට ප්‍රමෝට් වෙච්ච නිර්ධන පන්තියක් උන්නු යුගය. ලෝකය පැහැදිලි පන්ති වලට බෙදන්න ඇහැකි, පන්ති අතර වෛරයක් ඇවිලුණු යුගය.

අවාසනාවකට විසි වන සියවසේ මේ දර්ශනය හරි විදිහට යාවත්කාලින කර ගත්තේ නැහැ. අන්ධ භක්තිය හා පුද්ගල වන්දනාව ඉදිරියේ යටපත් වුන නිසා.

අද ඉදිරි පෙලේ සමාගමක මාසෙට ලක්ස ගානක් පඩි ගන්න [ඩොලර් වෙන්නත් පුළුවන්] විධායක නිලධාරියා හෙවත් ශ්‍රමිකයා අයිති වන නිර්ධන පන්තිය හන්දියේ කොමියුනිකේෂන් එකක් දා ගත්තු සමන් පෙරේරාගේ ධනපති පන්තියට වෛර කරනවා කියා කියන්න පොඩ්ඩක් උගුර කහනවා වගේ. පන්ති දැක්ම එක්තරා සුවිශේෂී දේශපාලන ආගමිකයන් පිරිසකගේ අන්ධ භක්තියට පමණක් සීමිත හිතලුවක් වෙන්නේ ඒකයි.

ඇත්තටම මේ වමේ දර්ශනය යාවත් කාලින කර ගත්තු මිනිස්සු හිටියා. නොර්වේ රාජ්‍යය අදටත් පාලනය කරන්නේ වමේ බුවාලා. හැබැයි රැවුල වවාගෙන රතු ෂර්ට් ඇඳගෙන පන්ති වලට සමාජය බෙදා ගෙන ධනපති පන්තියේ කැවුත්ත කන්න කෑ ගහන ඩයිනොසරයින් නොවේ. අවාසනාවට උන් වම්මු ලෙස සලකන්නේ නැහැ මේ ලේබල් වම්මුන්.

වර්තමානයට ඔය පන්ති කියවීම හා නිර්ධන විමුක්තිය ඉන්වැලිඩ්. ඒ කියන්නේ ලෝකේ සූරා කෑම සමාජ අසාධාරණය ධන තන්හාව වෙළඳපොල විසින් මිනිසා වහලුන් කර ගැනීම වගේ දේවල් නැති වෙලා කියන එක නොවේ. ඒවා සිද්ධ වෙන්නේ වෙනස් සන්දර්භ වල. ඔය පරණ පන්ති කියවීම් රෙපයාර් කර කර හිටියට වැඩක් නැහැ දැන්.

අද ඉන්න ඇතැම් ශ්‍රමිකයින් වෙනත් ධනපතියන්ට වඩා ඉහත සඳහන් ක්‍රියාවලියට දායක වෙනවා. අද ඉන්න ලොකුම විනාසකාරියා ප්‍රාග්ධනය නොවේ, අද ප්‍රාග්ධනය කියන්නේ වමේ රටවලුත් ඉල්ලා හඬන බොහෝ වැදගත් එමෙන්ම සමාජ හිතකාරි දෙයක්. අද මිනිසුන්ට ඕනේ ඔය පරණ සීන් නොවේ.

අන්න ඒ ගැන කතාකරනවා නම් ඔය පොසිල දේශපාලනය මැයි පළවෙනිදාට තියා වර්තමානය ගැන වෙනම කතා කරන්න. මාක්ස් ලා ව ඉතිහාසය කියන අල්මාරියට මාරුකර දේශපාලන අල්මාරිය අලුතින් පුරවන්න.

Monday, March 19, 2012

පිළිගැනීම හා ඇදහීම හෙවත් පෘතුවියේ අරය කීයද?

"අප බොහෝ දෙනකු බොහෝ දෑ විශ්වාස කරන්නේ අප ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියළු අධ්‍යයනයන් කිරීමෙන් පසුව නොවේ. එසේ කිරීමට ගියහොත් අපට කිසිවක් කරගත නොහැකි වනු ඇත. අප බොහෝ දෑ විශ්වාස කරන්නේ අපේ විශ්වාසය දිනා සිටින පුද්ගලයන් ඒ දේ කියන බැවිනි."— ආචාර්ය නලින් සිල්වා මහතා [මුහුණු පොතේ අයෙකුට  අනුව]

"
පෘථිවියේ සාමාන්‍ය අරය කිලෝමීටර් 6371 ක් බව සුජීව පිළිගන්නේ තමන්ම අධ්‍යයනය කරපු නිසාද?" --- එම 
තර්කය පදනම කරගෙන මුහුණු පොතේ අසන ප්‍රශ්නයක් [පුංචි කරෙක්ෂන් එකක් එක්ක උපුටා ගැනුනි]
මේ මෑතකදී සංවාදයක මුණ ගැහුණු ප්‍රශ්න දෙකක්. අපි උත්තර දෙන්න බලමු. 
හරියටම පෘතුවියේ අරය කිලෝමීටර් 6371 නොවේ. ඕක ආසන්න අගයක්. අනික පෘතුවියේ අරය කිලෝමීටර් 6371 කියා කියන්නේ කොදුවකින් මැනලා නොවේ. කිසියම් ක්‍රමවේදයකින් ගණනය කරලා. මේ සඳහා භාවිතා කරන ක්‍රම වේද හා සූත්‍ර මත මේකේ නිරවද්‍යතාවය තීන්දු වෙනවා. ඉතින් කවුරු හරි අදහනවා නම් පෘතුවියේ අරය ටක්කෙටම කිලෝමීටර් 6371 කියා ඔහු වැරදියි.
හැබැයි බොහෝ දෙනෙක් පිලි ගන්නවා පෘතුවියේ අරය කිලෝමීටර් 6371 වගේ ගානක් කියා. ඒ මොකද ඒ සඳහා භාවිතා කල ක්‍රමවේද පරීක්ෂණාත්මකව වෙනත් දේවලට යෙදිය හැකියි. උදාහරනෙකට ගොඩබිම දෙතැනක අතර දුර මනින සර්වේයින් මෙතඩ් එදිනේදා ටෙස්ට් වෙනවා. එයාකාරයෙන් පරිධිය මැන ගෙන අරය ගණනය කරන්න පුළුවන්. පොලොව ගෝලයක් කියා හිතුවොත් ඔබට ගෝලයක අරය මනින හැටි පර්යේෂණය කල හැකියි. 
ඒ වගේම මේක ඒක මිනිහෙක් තනියම මැනගෙන ලෝකෙට දේශනා කරන්නක නොවේ. විවිධ මිනිසුන් විවිධ වාරවල මනින ලද්දක්. ඒ හැම විටම මේ වගේ ඉලක්කමක් එනවා. 
ඒ නිසා පවතින තත්ත්ව තුල අපි පිලිගන්නවා ආසන්නව පෘතුවියේ අරය කිලෝමීටර් 6371 වගේ ගානක් කියා. ඇත්තටම ඕක 6400 ක් විතර කියා තමයි මම නම් ඔලුවේ තියාගෙන ඉන්නේ.
හැබැයි මේක විවිධ උපකල්පන මත කල එකක්. එතැනදී වැරදි වෙන්න පුළුවන් ක්‍රමවේදවල, පොලොව ගෝලයක් කියා හිතපු එකේ, එතකොට ලොකු ගෝලයක අරය හා පරිධිය අතර සම්බන්ධය පුංචි ගෝල වලට වඩා වෙනස් වෙන්න බැරි නැහැ.
පිලි ගන්නා ඒකයි විශ්වාස කරන ඒකයි අතර වෙනස තමා පිලි ගන්නේ වෙන හොඳ උත්තරයක්‌ ලැබෙන තුරු පමණයි. විශ්වාස කරන්නා වෙනත් උත්තර හොයන්නේ නැහැ, මේක ම අදහා ගෙන ඉන්නවා මිසක්.

එමෙන්ම පොලොව කියා දෙයක් ඇද්ද ගෝල කියා දෙයක් ඇද්ද මනිනවා කියා දෙයක් පවතියි ද මනින මිම්ම ඒ වෙලාවට පමණක් එහෙම වෙලා නොමනින කොට වෙනස් වේද යනාදී මිනිසාට ටැන්ජිබල් නැති ප්‍රශ්නත් ඕනතරං ඇහිය හැකිය. ඒවාට උත්තර නැහැ.
[ස්තුතිය: ප්‍රශ්නය මතුකළ පුද්ගලයාට]

ප්‍රශ්නය හා පිළිතුර

විශ්වය හා ජීවිතය යනු කවරේද යන ගැඹුරු ප්‍රශ්ණයට “අනේ මං නම් දන්නෙ නෑ” යන සරළ උත්තරය දෙන්නට හැකිනම් ඔබට ආගමක් ඇවැසි නොවන අතර විද්‍යාව ගැන විශ්වාසයක් ද අනවශ්‍යයි. Richard Feynman කියන හැටියට මිනිසුන්ට ආගම් ඇවැසි වන්නේ විශ්වය හා ජීවිතය යනු කවරේද යන “සරළ” ප්‍රශ්ණයට “අනේ මං නම් දන්නෙ නෑ” යන “ගැඹුරු” උත්තරය දෙන්නට උන්ට ඇති අපහසුව, ලැජ්ජාව, බිය, යනාදී හැඟීම් නිසාවෙනි. ඒ නිසා මේ කරුණු දැන ගෙන ඉන්නට ඔවුහු පෙළඹෙති. නමුත් මේවා තේරුම් ගන්න අමාරු නිසා විශ්වාසයකින් සැනසෙන්නට ඔවුන්ට සිදුවේ.

එතරම් සීරියස් නැතුව හිතුවොත්; Hitch Hiker's Guide To Galaxy පොත ලියූ Douglas Adams මීට පිළිතුර දනියි. එය 42 වේ. ප්‍රශ්නය මොකද්ද කියා ඇසු විට ඔහු  නොදැන  උන්නේ  ප්‍රශ්නයයි. ප්‍රශ්නය හොයන්න ඔහු ගත් සියලු වෑයම් අසාර්ථක විය.
Douglas Adams උපහාසාත්මක විද්‍යා ප්‍රබන්ධ කරුවෙකු නිසා ඔහුගේ කතාව හුදෙක් සිනහසෙන්නට ලියුවෙමි.

[ස්තුතිය: කලකට පෙර ලියු එකක් පරිස්සම් කර නැවත ලබාදුන් රිටිගල ජයසේන මහතාට]

Friday, March 2, 2012

මාක්ස් හා ලෙනින් ශ්‍රේෂ්ටයින් ද දුෂ්ටයින් ද?

මාක්ස් ලෙනින් වගේ මිනිසුන් ඒ අයගේ කාලවල තිබ්බ සමාජ පරිසරය තුල ඒ අයට කල හැකි දෙයක් කළා. ඒක ඒ මිනිසුන්ගේ සාමාජිය  මෙහෙවරක්. අනික මාක්ස් මාක්ස්වාදේ කියන කොට කවුරුත් උන්නේ රදල වාදී ක්‍රමයක. ඇමරිකාව විතරක් පන්තිවාදී රදල වාදයක. ලෝකයේ අද පවතින ධනවාදී රාමුව වත් හැදිලා තිබ්බේ නැහැ. ඒ යුගයේ උන්නේ ධනපති කර්මාන්ත ඉඩම් හිමියා සහ උගෙන් කස පාර කාපු නිර්ධන කම්කරුවා හෝ අඳ ගොවියා පමණයි. ඒ මිනිසුන් කලේ මෙන්න මේ පීඩිත පන්තිය වෙනුවෙන් පෙනී හිටීම.

අපි අද භුක්ති විඳින ඇතැම් නිදහසක් අපට ලැබුනේ මේ අය කල කතිකාවේ ප්‍රතිපලයක් ලෙස. මාක්ස්වාදීන් කල ලොකුම දේ විප්ලව කර මාක්ස්වාදී රටවල් හදන එක නොවේ. සමාජවාදී චින්තනය සමාජගත කර, ධනවාදියා පවා එයින් යමක් අර ගන්නා තැනට ගෙන ඒම. යැංකි ඩිකීටත් පාසල් පොත් ටික නිකම් දෙන්න හිතෙන්නේ මේ නිසා. එදා ඒ දේ නොවෙන්න ලෝකය තිබ්බේ දරදඬු රදලවාදයක. එමෙන්ම නරුම පන්තිවාදයක. සමාජවාදීන් ගෙනා අදහස් නිසා තමයි ක්‍රමයෙන් මේවා නියාමනය වෙමින් අද තියෙන සුමට රාමුව දක්වා එන්නේ.

අද ධනවාදයේ පිනකල් එක වන ඇමරිකාව හදන්නේ එළිපිටම සමාජවාදී අදහස් දැරූ රූස්වෙල්ට්. රූස්වෙල්ට් ට පෙර ඇමරිකාව අද අප්‍රිකාව වගේ. මිනිසුන් බඩ ගින්නේ මියගිය කාලකන්නි දේශයක්.

ඇත්තටම මාක්ස්වාදී අන්තවාදීන් මෙන්ම ධනවාදී අන්තවාදිනුත් අද මේ තියෙන ක්‍රමයට විරුද්ධයි. ඒ ධනවාදී අන්තවාදීන්ට එහෙම හිතෙන්නේ අපි නොදන්නවා වුනාට සැහෙන්න සමාජවාදී සංකල්ප සමාජගත වී ඇති නිසා.රැන්ඩියානු ධනවාදියෙක් එක්ක කතා කර බලන්න.

ඒ ක්‍රියාවලිය තුල මග හැරෙන එක දෙයක් විප්ලවය. අන්තවාදී මාක්ස්වාදිය හැමදාම හීන මැව්වට විප්ලවය වෙන්නේ නැහැ. විප්ලවය නොවෙන්න හේතුව අර වසුරිය වෙනුවට ගව වසුරිය වගේ මාක්ස්වාදය වෙනුවට සමාජ යාමනයක් නොතේරීම සමාජගත වීම. දැන් ඉන්නේ කසය ගත්තු ධනපතියයි තැලුම් කන නිර්ධනයයි විතරක් නොවේ. ඒ  යුගයෙන් ලද  ආභාශය නිසා තව සුවිශාල සමාජ ස්තර ගානක් හැදිලා. ඒ තුල ඉහල පහල යාම තවදුරටත් සිහිනයක් නොවේ. විප්ලවයක් වෙන්නේ නැති මූලික හේතුව මේකයි. මේ කත්ත්වය  හදන්න මාක්ස්  ලත් දායක  වෙනවා. 

අද මාක්ස් හා ලෙනින් බදා ගෙන ඉන්න මිනිසුන්ට පිස්සු, ඒ මිනිසුන් එදා සමාජය ගැන කල විවරණ අදට වලංගු නැහැ. මාක්ස් ලා ලෙනින් ලා සදාකාලික සත්‍ය දේශනා කල මුනි වරුන් නොවේ. ඔබ අප මෙන්ම හිතු සාමාන්‍ය මිනිසුන්. ඒ මිනිස්සු ඔව්වා කියන්න ඇත්තේ මේ විසි එක් වෙනි සියවසේ එවුන්ට අදහන්න නොවේ වෙන්න ඇති. අද හිටිය නම ඔවුන් වෙනස් කතාවක් කියයි.

අනික මේගොල්ලන්ටත් වැරදුනා. මාක්ස් කෙතරම් වරදා ගත්තද කිව්වොත් ඔහු රුසියාවට විප්ලවයක් කල හැකි බව පිලි ගත්තෙත් නැහැ. ඔහු හිතුවේ උගත් කම්කරුවන් ඉන්න බටහිර යුරෝපය මේක කරාවි කියා මිස මෝඩ ගොවින් ඉන්න රුසියාවට ඒ ශක්‍යතාවය ඇති බවක් ඔහු දුටුවේ නැහැ. එහෙත් මාක්ස්ට පස්සේ සියවසේ ලෝකයේ ඇතිවන තත්ව මත අර බටහිර යුරෝපේ කම්කරුවා වෙනුවට බිහි වන්නේ සම අවස්ථා තියෙන ධනවත් වෘත්තික පිරිසක්. මාක්ස් ගේ අනාවැකිය බිඳ වැටෙන්නේ එතන.

අනික මේ මතවාද තාක්ෂණික විප්ලවය දකින්නේ නැහැ. ඒක වෙන්නේ ඔවුන්ට පස්සේ, ඒ තුලින් ලෝක ආර්ථිකය වෙනස් වෙන හැටි දකින්නේ නැහැ.

මට මාක්ස් එක්කවත් ලෙනින් එක්කවත් අවුලක් නැහැ. ඔවුන්ගේ කාලවල කල හැකි දේ ඔවුන් කළා. මොකුත් නොකරන අපිට වඩා ඔවුන් ශ්‍රේෂ්ටයි. එමෙන්ම ඒ අයගේ ක්‍රියා වල ප්‍රතිපල අපි අද භුක්ති විඳිනවා.එහෙත් ඒ මිනිසුන්වත් නොන්ඩි කරමින් තවමත් ඒ අන්ධ භක්ති වල එල්ලී ගෙන ඉන්න අය නම අවුල්. අද ලෝකෙට අවශ්‍ය දේ අපි අලුතින් හිතන්න ඕනේ. පැරණ දේවලින් ආභාෂයක් ගත්තට කමක් නැහැ. එල්බ ගෙන ඉන්න නරකයි.

Tuesday, February 21, 2012

කූඩු

" රජයේ අඩුපාඩුවක් දැකලා කතා කරොත් UNP කාරයා කියාලා බණිනවා. රජයේ පැත්තට කතා කලොත් මහා රජාගේ එකෙක් කියලා බණිනවා. මෙහෙම වෙන්නේ ඇයි..?"

ඉහත දැක්වෙන්නේ සමන් වික්‍රමනායක කියා මහත්තයෙක් මුහුණු පොතේ අහපු ප්‍රශ්නයක්. ඇත්තටම මේක දැක්කම මට හිතුනේ ප්‍රශ්නේ මුල මීට වඩා ගැඹුරුයි කියා.

මිනිසුන්, විශේෂයෙන් අපේ රටේ මිනිසුන් ජීවත් වෙන්න ආසා කූඩු ඇතුලේ. කුඩා කාල වල ඉඳල ම විවිධ හැගීම වලට වහල් වෙලා අපි "අයිති වෙන තැන" තීරනය කරගෙන ඉන්නේ. ආගම ජනවර්ගය උපන් පළාත උප සංස්කෘතිය ආදී ලෙස තමන් විසින් තමන්ගේ කූඩු තීන්දු කරගන්නවා.

මේක තව ලෙවල් එකකට යන්නේ දේශපාලනය හා විද්‍යාව වගේ දේවල් ඔලුවට යන කොට. මාක්ස්වාදියා, ධනවාදියා, ලිබරල්වාදියා, දේශීය වාදියා, යනාදී දේශපාලන කූඩුත් ඉදි වෙනවා.

වෙන විදිහකට කිව්වොත් තමන්ගේ කූඩුවට වෙලා ඉන්න අපේ රටේ අය වැඩිපුර ආසයි. උදාහරණයකට මම ඉගෙන ගත්ත ඉස්කෝලෙන් එකට උසස් පෙළ කල සිසුන් අතරින් කටටියක්‌ එක විශ්ව විද්‍යාලයකටත් අනික් අය තවත් එකකටත් ගියා. ගිහින් වසරකට පසු නැවත හමු වුනාම පළමු විවී ගිය අය ප්‍රෝ රැගාලා. අනික් ඒකට ගිය අය ඇන්ටි රැගාල. මේ විවි දෙකේම රැගින් තිබ්බා. ඉතින් මේ ගැන හොයා බැලුවම, පළමු විවියේ අපේ පැත්තෙන් එන උන්ගේ ගැට්ට ප්‍රෝ රැග්. අනිකේ අපේ පැත්තේ උන් ඇන්ටි රැග්.

මීට අමතරව කැපුවත් කොළ/නිල්, රතු තොප්පි වගේ ඒවා සමහර විට පවුල් පරිසරයෙනුත් කාන්දු වෙනවා.

මම "අපේ රටේ" කියා කිව්වේ අපේ මිනිසුන්ගේ මේ ගති වැඩි නිසා. මට හමු වුන පිටරැටියන් ගත්තොත් උන් මෙච්චර කූඩු වලට දාන්න බැහැ. එක දෙයකදී එක කූඩුවක ඉන්න එකා තව එකකට තවත් එකක.

මෙහෙම කූඩුවක ඉඳගෙන හිතන කොට හරි ලෙහෙසියි. ආරක්ෂාව ලැබෙනවා. අනතුරක් වුනොත් කූඩුවේ අනිකුත් වැසියන් ඉන්නවා බේර ගන්න. ඒ නිසා මේක ලෙහෙසි වැඩක්.

එහෙත් මේක 100% අවංක වැඩක් නොවේ. තම හර්ද සාක්ෂියට එකඟ නොවෙන දේට පවා සහබාගි වෙන්න වෙනවා තමන්ට කූඩුව වෙනුවෙන්. මේ කූඩුවේ ඉන්න අනිකුත් අය රකින්න වෙනවා. හරි දේ වෙනුවට වෙන්නේ කූඩුවක් දිනීම. තමන් වැරදි දෙයක් දැක්කත් පෙන්නන්නේ නැතුව ඉන්නවා මොකද ඕක පෙන්නොවොත් අරුන් දිනලා අපේ කරෙත් නගින නිසා. දෙයක් කිව්වම කරුණු හොයන්නේ ඔප්පු කල යුත්ත සාක්කුවේ තියාගෙනයි. සංවාද වලට වඩා විවාද බහුල වන්නේ මේ හේතුව නිසාවෙන්.

දේශපාලන ලෝකයත් එහෙමයි. එක්කෝ ධනවාදය, නැතිනම් සමාජවාදය, නැතිනම් ජාතිකවාදය හෝ ලිබරල්වාදය දිනන තුරු රටකට යහපතක් වෙන්නේ නැහැ.
සැලසුම්  හැදෙන්න ඕනේ මේ ඔක්කොම එකතු කර සුදුසු තැනට සුදුසු සංකල්පය යොදාගනිමින්. අන්න එහෙම යන එක සැලසුමක්, එවැනි තවත් සැලසුමක් එක්ක කූඩු-වාදී නොවන පරිදි සංසන්දනය කර දෙන චන්ද වලින් රටේ අනාගතය තීන්දු වෙනවා නම් රටකට ලෙහෙසියෙන් දියුණු වෙන්න පුළුවන්.

ඒත් අපි කරන්නේ මෙන්න මේ කූඩුවට වෙලා, උගුරට හොරා බෙහෙත් කමින්, වරද පෙනී පෙනීත් නොපෙන්නා කූඩුවේ මායිම බේර ගන්න එක. කවුරුහරි මෙහෙම කූඩුවකට කොටු වෙලා නැතිනම් ඔහුව බලෙන්ම එකකට ගාල් කරන එක. තියෙන එකකට බැරිම නම් ඔහුට වෙනම කූඩුවක් හදලා දෙන එක.

යටින්ම බැලුවොත් මේක මතවාදී වහල් කමක ශේෂයක්.

Friday, January 27, 2012

අදහස් දෙකක්

සසර මහ දුකක් යැයි
ඉපදුම නවතවා
සසරින් පලා යාමට වඩා

නිවිය නොහැකි ඒ මහ දුක
ටිකක් හෝ අඩු කරන්නට
වඩා යහපත් හෙටක්
තනන්නට වෙහෙසීම අගනේ

කිසිවෙකුත් දුකෙන් නොමිදුනද
සැමට දුක අඩු වනු ඇත

-----------

පවත්නා ක්‍රමයෙහි
ඇතේ යැයි දාහක් වැරදි
එය කඩා බිඳ දමනවාට වඩා

අසාධාරණ වූ එම ක්‍රමය තුල
මිනිසුන් දැනුමින් පුරවා
තරමක හෝ සාධාරණයක්
තනන්නට වෙහෙසීම අගනේ

සර්ව සාධාරණ නොවුනද
අසාධාරණය අඩු වනු ඇත


[පිටස්තරයාගේ ලෝකයට දුන් කොමෙන්ටුවකි]

ආගමෙන් නිදහස් වී දේශපාලනය ඇදහීම

නිදහස අවශ්‍ය ආගම/දර්ශනය/විද්‍යාව ඇදහීමෙන්ම පමණක් නොවේ. දේශපාලන මතවාදයනුත් මිනිසාගේ නිදහස් සිතීමට බාධා ගෙනෙනවා. සමහරු ධනවාදය, මාක්ස්වාදය, පරිසර වාදය, ලිබරල්, ජාතික චින්තනය වගේ විවිධ දේශපාලන මත අදහාගෙන ඉන්නේ. මේ සේරම ලෝකය කියන දැවැන්ත සංසිද්ධියේ එක එක පැතිකඩවල්. ලෝකය දිහා බලන විවිධ perceptions.

මේ හැම දර්ශනයකම යහපතක් තියෙනවා ඒ වගේම ගත යුත්තකුත් තියෙනවා. එහෙත් මේ එකක් තනිකර අල්ලාගෙන ඒ රාමුවේ සිරවූ විට තමන් මානසික සිරකරුවෙක්.

එතකොට නිදහස් මනසක් ඇති අය චන්දෙ දාන්නේ නැද්ද? නැහැ කාටත් දේශපාලන අදහස් තියෙනවා. ඒවා එකම මතයක සිර කර ගන්න එකයි ගැටලුව. එහෙම එකක සිර නොවන්නා නිල්, කොළ, රතු, කහ, හරිත [කිව්වේ පරිසර වාදයේ පාට] ඕන පාටකට සුදුසු පරිදි චන්දය දෙන්නෙක්. ඒ තීන්දුව චන්දෙ දවසේ ගන්නෙක්. ඔවුන්ට සරලව පාවෙන චන්දදායකයන් කියා කියනවා. රටක අනාගතය යහපත් වන්නේ මේ පාවෙන චන්ද දායකයින් වැඩි වෙන තරමට කියා මට හිතෙන්නේ.

නිදහස් මතවාදියෙකුට රටක් ජාතියක් ජම්මයක් නැද්ද? ඇයි නැත්තේ. කෙනෙකුගේ ජාතිය නීර්ණය කරන්නේ ඒ කෙනා නොවේ. කෙනෙකුගේ රටත් මහන්සි වී වෙනස් නොකලොත් උපන් රටම තමා. එහෙම වෙනස් කලත් ආයිත් තව එක රටක්. මේ රටක නීති, ප්‍රතිපත්ති, ක්‍රියාකාරකම්, සංසිද්ධි, යුද්ධ, කෝලාහල කොයි කාටත් බලපානවා. එ නිසා කෙනෙක් මතවාදීව නිදහස් වීම සමාජය තුල ඔහු හෝ ඇය දරන වගකීම් වලින් නිදහසක් ලැබීමක් නොවේ. ඔවුන්ටත් තමන් ඉන්න රට හෝ පළාත හෝ ගම හෝ පවුල යනාදී දේ නියෝජනය කරන්න වෙනවා.

මේක ගෝත්‍රවාදයක් ද?

ඔව්. හැබැයි අහවල් චින්තනයද ගෝත්‍ර වාදයක් නොවන්නේ?

අනේ අපි නම් නියෝජනය කරන්නේ මානව ප්‍රජාවම...


එතකොට ඒකත් එක්තරා විදිහක ගෝත්‍රවාදයක් නොවේද? ඇයි සත්තු? එයාලා අයිති වන්නේ නැහැ.

මට හිතෙන්නේ ගෝත්‍රවාදය කියන මූලික ගතිය ඕනෑම නියෝජනයක අනිවාර්ය අංගයක්. ආයිත් ඒකෙන් ස්වායත්ත වී ඉන්න බැහැ.

හැබැයි කරුණු දුටු විට ඒවා අනුව ගලපා විවිධ මතවාද වලට හිර නොවී සුදුසු තීන්දු ගැනීම දේශපාලන නිදහස් චින්තනයයි.  පෙර කතා කළා වගේම විවිධ නිදහස් චින්තකයින් ගන්නා තීන්දු වෙනස් වෙන්න පුළුවන්. ඒ නිදහස නිසා.