Thursday, May 23, 2013

ජාතිකත්වය හා ළූණු ගෙඩිය [කරුණාරත්න පරණවිතාන මහතා ට පිළිතුරක්]


සතර දිගන්තය ලියනා කරුණාරත්න පරණවිතාන මහතා ගේ ජාතිකත්වය ගැන ලිපි පෙළට දුන් පිළිතුරක සංශෝධිත සටහනකි. මේ ලිපියවත් කියවන්නේ නැතිනම් මෙහි අගමුල නොවැටහීමට ඉඩ තිබේ.

---------------

ඔබ ජාතිකත්වය ගැන කරන කතිකාවත් ලෙනින් කලාක් වැනිම වූ පටලැවිල්ලකි. ඔහු තරම් ඔබ [ඔබ කියන ලෙස] ප්‍රයෝජ්‍යවාදියෙක් වූවා දැයි නොදනිමි.

ජාතිකත්වය සඳහා ජාතිය මනා කොට නිර්වචනය කරන්නට සිදු වේ. ස්ටාලින් විසින් කලේ රුසියානු මූලික සෝවියට් රාජ්‍යයක් ගොඩ නැගීමට අවශ්‍ය වූ අර්ථ දැක්වීමකි. එය එසේම හැම තැනටම සත්‍ය නොවේ.

මේ ගැටලුව මනාව තෙරුම් ගන්නට "නව ලෝකයේ' රටක දිහා බලන්න. කැනඩාවේ ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ මිනිස්සු තවම තම මුල් ජාතීන්ට අනුගතවීමට තරම් මතකයක් හිමි ඇත්තන්ය. මම 1/2 ක් ස්කොටිෂ්, 1/4 ගානේ ජර්මන් සහ අරාබි කියා කීමට හැකි බොහෝ දෙනෙකු සිටිති. 1/8 පමණ අබෝරිජිනි වුනත් ඇබෝ ලෙස පෙනී සිටින ඔසියෝ සුලබය. එහෙත් මේ කිසිම රටක ස්කොටිෂ්, ඉන්ග්ලිෂ්, ජර්මන් ජාතිකත්වයක් ඉස්මතු වන්නේ නැත. ඒ පදනමින් ඔවුන් ජාතිකවාදීන් නොවේ. ඕස්ට්‍රේලියාවේ තවමත් සැහෙන විශාල සුළුතරයක් වන ඇන්ග්ලෝ වරුන් ඇන්ග්ලෝ ඔස්ට්‍රේලියානුකම අගයන්නට හෝ ඒ මත දේශපාලනය කරන්නට නොඑති. පෝලින් හැන්සන් ඇන්ටිට හොදි බේරෙන්නට වැදුනේ එබැවිනි.

එහෙත් මේ සියලු දේශයන් ජාතින් සහිත වූ ජාතිකවාදී ස්තාවර වල සිටින දේශයන් වේ. කැනඩා දේශය කැනේඩියානු ලෙසත්, ඇමරිකානු දේශය ඇමරිකානු ලෙසත්, යනාදී වශයෙන් ඔවුහු පාස්පෝට් පදනමින් ජාතියක් නිර්මාණය කරති. මේ මට්ටමින් ඔවුහු ජාතිකවාදී හැසිරීමක් දක්වති. එනම් නියෝජනයක් කරති. ඒ නියෝජනය ඔවුන්ගේ අනුදැනුමින් තොරවම බහුතර වාදී වේ. එනම් මේ රටවල පවතින පද්ධතිය තුල ක්‍රිස්තියානි මූලික චින්තනයක්, සුදු/ඉංග්‍රීසි මූලික සංස්කෘතියක්, කොටින්ම ක්විබෙක් ඇනොමලිය හැරුණුවිට ඉංග්‍රීසි බස මූලික වූ රාජ්‍යයන් වේ.

එහෙත් භුමියේ මේ ජාතින් නොපවතී.

මෙන්න මේ විසංවාදය තුල ඔබ සිටින ස්ථාවරය පැහැදිලි නොවී ඔබ ලේබලයක් ලෙස 'ජාතිකවාදය" ගැන කතා කිරීමෙන් පලක් නොවේ. එය මුහුණු දෙකක් ඇති මහ බඹෙක් හෝ ඉදිරි මුහුණ අහිමි මහසොනෙක් වන්නේ මේ කතාවේ අතුරු කලාප තුලය. අත්‍යන්තයෙන් ජාතිකවාදය ලෙස ඔබ කතාවට ගන්න මතවාදය ළූණු ගෙඩියකි. ලෙලි ගලවා බැලු විට ඇතුළු ලෙලි/බික් පෙනේ. එමෙන්ම මෙහි පිටත මට්ටමට ජාතිකවාදය කියා බොහෝ දෙනෙක් කියන්නේද නැත.

ලංකාවට මේ කතාව යොදා බැලීම තවම කවුරුත් හරියට කර නැත. ලංකාවේ ජාතිකවාදය කියා කියන්නේ අප්‍රිකාවේ ගෝත්‍රවාදය වැනි දෙයකි. ඒ තුල අතීත කාමය පමණක් නොව තමන්ගේ ගෝත්‍රික කුට්ටිය වෙනුවෙන් පෙනී සිටීමත් නොඅඩුව තිබේ. එහි ධ්‍රැවිකරණයේ ආන්තික බව නිසා ඕස්ට්‍රේලියානු පන්නයේ පිට පොත්තක් වැඩෙන්නේ නැත.

මේ විසංවාදය තුල මා කලක සිට මුහුණ දුන් එහෙත් මටම හිනා යන කතාවක් කැටි වී තිබේ. එකම මොහොතක වර්ගවාදියෙක්, ජාතිවාදියෙක් මෙන්ම විජාතිකවාදියෙක්, ජාතිකත්ව විරෝධියෙක් වීමේ මහගු භාග්‍ය මට හිමිය. ඒක මහත්මයෙක් හලාල් වලට එරෙහිව මුස්ලිම් අන්තවාදයේ අඩුපාඩු ගැන කරන මගේ කතා මත මා සිංහල ජාතිකවාදියෙක් කරද්දී, තවත් මහත්මයෙක් බොදුබලසේනාවට හා සින්හල බෞද්ධ ජාති[ක] වාදය කල ක්‍රියා වලට මතු කල විරෝධය තුල මගේ හලාල් විරෝධය පලක් නැති දෙයක් ලෙස දකින්නේ එකම මොහොතකය. මෙය සිනහ උපදවන තත්වයක් වුවද අප ඒ විහිළුව තුල අතරමං වන්නේ ජාතිය ගැන හරි හමන් නිගමනයක් නැති බැවිනි. එය හුදු විසංවාදයක් බැවිනි. [මට ඒ ගැන කිසිම අවුලක් නම් නැත]

වචන වල අරුත පැටලිලි වනවිට භාවිතය තෙරුමක් නැතිවේ. ඒ නිසා පුරුදු "මෙව්වා' බාසාවෙන් කිව්වොත්, රාජ්‍යය කියන අපි පිලි ගත්තත් නැතත් පිළිගන්න සිදුවන නියත රාමුව තුල එකක් ලෙස පවතින ඕස්ට්‍රේලියා, කැනේඩියානු, ඇමරිකානු "මෙව්වෙක" යහපත් හා කාලින දෙයක් වුවද, ඒ ළූණු ගෙඩියේ හුදෙක් ඇතුළු බික් වන ඇන්ග්ලෝ, ස්කොටිෂ් හෝ අබෝරිජිනි "මෙව්වෙක" අදට නොගැලපෙන බහුබූතයකි.

අවාසනාවට ලංකාවේ ඇත්තේ පිට පොත්ත නොවැඩුණු, එහෙයින්ම අනාරක්ෂිත වූ එකිනෙකා සමග කුලල් කා ගන්නා ළූණු බික් ගොඩකි. යුරෝපිය හෝ නව ලෝකයෙන් ළූණු ගෙඩිය ගැන කියූ කතන්දර බික් ගොඩක් කා ගන්නා ලංකාවට කෙලින්ම ඇද දැමීමෙන් බයානක ප්‍රතිපල ඇතිවිය හැකිය.

Saturday, April 13, 2013

මොලය ද මනස ද ආත්මය ද?

මොලය ද මනස ද ආත්මය ද කියන සංවාදය ළඟදී ඉස්මතු වූයේ දොරමඩලාවේය. අදාළ පැය කීපය තුල ගතයුතු යමක් සාකච්චා වූයේද යන්න මට ද ප්‍රශ්නයක් නිසා මේ එම වැඩ සටහනට පිළිතුරක් නොවේ. දොරමඩලාව ගැන මගේ අදහස මෙතනින් බලා ගත හැක. මෙය එම වැඩසටහන ගැන නොව ඔවුන් හරියට ග්‍රහණය නොකළ එම මාතෘකාව ගැන ලියවෙන මගේ මතයයි.

ඇත්තෙන්ම මේ මාතෘකාව වෙනස් කරන්නට කැමැත්තෙමි. මොළය යන්න අදහස පටු කරයි. ජීවීන්ගේ නියුරෝන සිරුර පුරා විසිර පවතියි, මොලය යනු එහි වැඩි ප්‍රමාණයක් තියෙන තැනකි. මාතෘකාව වනුයේ මානවයා [ජීවියා] ලෙස අප දකින්නේ හුදෙක් නියුරෝන පද්ධතියේ ක්‍රියාකාරිත්වයක් ද නැතහොත් ඉන් පරිබාහිර යමක් තිබේ ද යන්නයි.

මාතෘකාව ස්වාභාවයෙන් ම ආගමික ස්වරූපයක් ගනියි. භෞතික පරිසරයෙන් ස්වායත්ත ආධ්‍යාත්මික යමක් ඇති බව කියන ආත්ම වාද හා එවැන්නක් නොමැති බව කියන වෙනත් වාද [අනාත්ම වාද ඇතුළුව] ලොව පුරා හට ගත්තේය. මේවා බොහෝ විට ආගමික පර්යේෂණ තුලින් ආ සංකල්ප වේ. මානව ජීව විද්‍යාව ගැඹුරට හදාරා ඒ තුලින් නිගමන වලට ආවේද එසේ නැතිනම් හුදෙක් දාර්ශනික චින්තාව තුලින් මේ තීරණ ගත්තේද යන්න අපැහැදිලි වේ.

කෙසේ වෙතත් සමහරු කියන්නේ නියුරෝන ඇතුළු භෞතික සිරුර ඉක්මවන ආත්මීය ස්වභාවයක් ඇති බවයි. එය සිරුරකට ඇතුළු වී අප නිර්මාණය වේ. එම නිසා මනුෂ්‍යයා යනු අදාළ ආත්මය විනා එයට සෙවන දෙන සිරුර නොවේ. මේ සංකල්පය සරලය. ජීවය නම් වූ සංකීර්ණ ක්‍රියාවලියේ සැබෑ සංකීර්ණතා නොදකින විටෙක ජීවියා ක්‍රියාත්මක වන්නට මෙවැන්නක් අවශ්‍ය බව කෙනෙකුට සිතෙන්නට පිළිවන. නූගත් ගෝත්‍රිකයෙකුට ස්ව්‍යන්ක්‍රිය යන්ත්‍රයක් පෙන්නුවොත් ඔහු එම ක්‍රියාකාරිත්වය මෙහෙයවන භූතාත්මයක් සිටින්නේයයි සිතනු ඇත. මනස හා ආත්මය සිරුරින් ස්වායත්ත වෙනම ක්‍රියාවලියක් ලෙස ගන්න මේ මතය සමීප වන්නේ එවැනි තත්වයකටයි.

විද්‍යාවේ දියුණුවත් සමග අපි බොහෝ දේ උගත්තෙමු. අද අප දන්නා පරිදි නියුරෝන නම් සෛල බිලියන ගණනක් මිනිසෙකු තුල පවතියි. එම ඕනෑම නියුරෝනයක් තවත් එවැනි නියුරෝන දහස් ගණනක් සමග සම්බන්ධ විය හැක. මෙම සම්බන්ධතා රසායනිකව යෙදෙන භාරයකින් අඩු වැඩි කරයි. එනයින් මෙලෙස ඇතිවිය හැකි මුළු සම්බන්ධතා සංකරන ගණන නියත ලෙසම අප දන්නා විශාල ම සංඛ්‍යාව වනු ඇත. දහයේ පාදයෙන් ලිව්වොත් අඩුම ගානේ ඩිජිට්ස් දහස් ගණනක් වත් පවතිනු ඇත.

එක නියුරෝනයක් සලකා බැලුවොත් එය ක්‍රියාත්මක වන්නේ ඇනලොග් ඉන්පුට් එකකිනි. එනම් අනිකුත් නියුරෝන වලින් එන ප්‍රතිචාර කිසියම් භාරයකින් අඩු වැඩි කොට එකතු කර තනි අගයක් සාදා ගැනේ. මෙම අගය පරිගණක ලොජික් ගේට් මෙන් 1/0 ලෙස නොව ඕනෑම දශම ගණනක් පවතින ඉලක්කමක් ලෙස සැලකිය හැක. ඒ කියන්නේ ඕනෑම නියුරෝනයකට එක ඉන්පුට් සිග්නල් එකකින් මහා කතාවක් තේරුම ගත
 හැක. 4.5678... හෝ 2.7689... යනාදී ලෙසිනි. මෙන්න මේ ඇනලොග් සිග්නල් එක අනුව ඩිජිටල් හෙවත් 1/0 උත්තරයක් දීම නියුරෝනය සිදු කරයි. එහෙත් උත්තර දෙන වේගය පාලනය කිරීමෙන් උත්තරය ද 1/0 ඉක්මවන මට්ටමක් දක්වා වෙනස් කිරීමට එයට හැකිය. 

මේ මගේ අඩු දැනුමින් මෙම සංකීර්ණ ක්‍රියාවලිය වචන ගත කල උත්සාහයකි [අඩුපාඩු සකසන කෙනෙක් වෙතොත් උදක්ම ස්තුතිවන්ත වෙමි]

ගැටලුව එන්නේ දැන් ය. අර තරම් සංකරන ගණනක සර්කිට් හරහා මේ තරම් පුංචි ප්රෙසිෂන් එකක් සහිත සිග්නල් ගලා යයි. ඔබ අප දකින්නේ වර්තමාන පරිගණකයකට සිතා ගන්නවත් බැරි තරම් සංකීර්ණ වූ කොටින්ම සංසන්දනය පවා තේරුමක් නැති යාන්ත්‍රික ක්‍රියාවලියකි. මිනිසා ජීවත් වන දිගු ආයුකාලය තුල වැඩෙන මෙම පද්ධතිය තුල අප මෙතෙක් දන්නා සංකීර්ණම සංසිද්ධි සිදු විය හැක.

මිනිසා යනු හුදෙක් නියුරෝන ගොඩකි යන භෞතිකවාදී මතය බිහිවන්නේ මෙතැනිනි.

ඇත්තෙන්ම භෞතිකවාදයට මීට පෙර අතීතයක් හිමි වේ. ඉස්සර කීවේ ද්‍රව්‍යවාදය කියාය. ද්‍රව්‍යවාදී වුවත් කිසියම් ආධ්‍යාත්මයක් එක්ක ගලපන හේගල්,  හුදෙක් ද්‍රව්‍ය වල සකස්මෙන් මිනිසා සමාජය නිෂ්පාදනය හා ආර්ථිකය බිහිවන හැටි පහදන මාක්ස් මේ කතිකාව කලකට පෙර සිදු කළහ. පසුකාලීනව ද්‍රව්‍ය නොවන ශක්ති ප්‍රභේද සොයා ගත් පසු ද්‍රව්‍ය හා ශක්ති එකතුවක් හෙවත් භෞතිකයක් තුලින් මානවයා දැකීමට. සමහරු පෙළඹුණි. ඒ අනුව නියුරෝන විනා අන් කිසිවක් නොමැත. ඒ භෞතිකවාදයේ ජීවියා ගැන කරන පැහැදිලි කිරීමයි.

ප්‍රතිවාදී තර්කය හෙවත් ආත්මවාදය නගන මූලික පැනයට භෞතිකවාදය විසින් හරියට උත්තර දී නැත. ආත්මවාදය කියන්නේ ආත්මය විසින් මෙම භෞතිකය මෙහෙයවන බවයි. ආත්මයක් නැතිනම් භෞතිකය මෙහෙයවෙන්නේ කෙසේදැයි මිනිසා නියුරෝන ගොඩක් පමණි කියන මතය ඉහත කරුණු තුල පැහැදිලි කර නොමැත. කියන්නේ මාර සංකීර්ණ බව පමණි.

පසු කාලීනව විද්‍යාත්මක පරිකල්පන දියුණු වන විට විද්‍යාව [හා අනිකුත් දැනුම් ක්ෂේත්‍ර] දුටු වෙනත් විශ්වීය ක්‍රියාවලින් විය. එවැනි එක සංකල්පයකි ඉමර්ජන්ස්. ඉමර්ජන්ස් යනු ලෝකයේ සුලබ සිදුවීමකි. කුඩා සරල ක්‍රියා මහා ගොඩක් දිගින් දිගටම සිදු වෙද්දී ඒ තුල මහා පරිමානයේ සංකීර්ණ පැටර්න් ඇතිවීමක් ලෙස මෙය ආසන්නව [විද්වත් මත වලට ඉඩ හරිමින්] පැහැදිලි කල හැකිය.

මෙන්න මෙහෙම දෙයක් නිකමට හිතන්න. ඉතා සරල කුඩා ක්‍රියාකාරකම් මහා ගොඩක් සිද්ද වෙන්න ගන්නවා. මට බඩගිනි වෙනවා. මම කඩෙන් පාන් බාගයක් ගන්නවා. ඔබට සින්දුවක් අහන්න විදිහක් නැහැ. ඔබ රේඩියෝවක් ගන්නවා. ගමරාල එළවලු කපනවා. අතිරික්තය පොලට දානවා. මෙන්න මෙහෙම මිලියන ගානක් මිනිස්සු දේවල් ගන්නවා විකුනනවා. සල්ලි එක්ක ගනුදෙනු. මේ සිද්ධි ලෝක ධර්මතා විසින් පාලනය කරනවා. ඉතාම "කෙට්ටු මනුස්සයෙක්" වන මම කන්නේ "හරිම අඩුවෙන්". ගමරාලට හැමදාම අස්වනු කපන්න බැහැ. ඔබේ රේඩියෝවේ තත්වය බාල වෙන්න කලක් ගත වෙනවා. ඒ කියන්නේ අපි ඉන්නේ සපුරා අහඹු ලෝකෙක නොවේ. මේ සිද්ධි පාලනය කරවන කිසියම් මූලික සීමා පවතිනවා. මෙන්න මේ සරල මිලට ගැනීම් හා විකිණීම් ගොඩ මිලියන ගානක් එව්වෝ කරගෙන යද්දී අපි ඕකට ආර්තිකය කියනවා.

ආර්ථිකය නේ. ඒකට වැඩක් තියේද මගේ පාන් බාගේ. මුදල් අමාත්යන්ශේ කටයුතු කරනේ මගේ පාන් බාගේ ගණන් කරලද? නැහැ. ආර්ථිකය උඩ ඉඳන් බැලුවම පැටර්න් ගොඩක්. යට වෙන සරල ක්‍රියා ගැන නොසොයා නොබලා කෙනෙකුට අවශ්‍ය නම් ආර්ථික සැලසුම් කරන්න ආර්ථිකය පාලනය කරන්න පුළුවන්. ආර්ථිකය ඉමර්ජන්ස් එකක්. ආර්ථිකය සිදුවන්නේ අපේ ක්‍රියාකාරකම් වලින් උනාට අපි නැතුව බැරි උනාට, ආර්ථිකයට වෙනම එක්සිස්ටන්ස් එකක් තියෙනවා. වෙනම මෙහෙයවිය හැකියි.

ඉමර්ජන්ස් එකක් වෙන හැටි සරල ක්‍රියා සිලියන ගණන [කිව්වේ ලොකු ගානක් කියන අදහස] වෙන වෙනම ගලපා පැහැදිලි කරන්න බැහැ. එය අඩුම ගානේ මානව අපේ චිත්ත හැකියාවෙන් පිටස්තරයි. එහෙත් ඒවායේ පැටර්න් දිහා බලලා සංකීර්ණ පද්ධතිය පමණක් සලකා එය පැහැදිලි කල හැකියි. මම හිටි ගමන් මලා කියා මගේ පාන් බාගේ අඩු වීම නොදැනුනා ට සුනාමියක් ඇවිත් "පාන් කන ජනතාව ගෙඩිය පිටින් සෙත්ත පෝච්චි උනොත්" ආර්ථිකයට පේනවා. පහල තියෙන කුඩා සරල ක්‍රියාකාරකම් ඉහල සංකීර්ණ සිස්ටම් එක බලන්නේ සංඛ්‍යාන හෙවත් ස්ටැටිස්ටික් කෝණයකින්.

[ඔන්න දැන් මේක දිග වැඩියි - මැරෙන්නද අප්පා. මම නොවේ ලෝකය මැව්වේ, මට දුන්න නම් මීට වඩා සිම්පල් මැවීමක් කරන්නේ - හරි තව ටිකයි]

මනසත් මෙන්න මෙහෙම ඉමර්ජන්ස් එකක්. මනස කියන ක්‍රියාවලියේ යටම මට්ටම හෙවත් නියුරෝන වල හැසිරීම සරලයි. අපිට කොලයක් අරගෙන ලියා ඉවර කල හැකියි. ඒවා බිලියන ගානක්, එකක් තව දහස් ගානක් එක්ක සම්බන්ධ වෙමින් අතිවිශාල ක්‍රියා ගණනක් කරනවා. මේවා පරිසරය විසින් තමන්ට ගැලපෙන ලෙස පරිනාමය කර ගන්නවා. ජාන හා මීම ලෙස මෙම පරිනාමික ලක්ෂණ ඉස්සරහට යනවා. ඉතින් මනස කියා දෙයක් හැදෙනවා මෙන්න මෙහෙම ගොඩ නැගෙන පැටර්න් වලින්.

භෞතිකවාදය හා ආත්මවාදය අතර ගැප් එක පියවෙන පැහැදිලිකිරීම ඕකයි. දැන් ඉතින් අපි කුමක් කරන්නද?

ආත්මවාදයට ඕනෙනම් චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්න පුළුවන්. අපි කිව්වේ මෙකෑනිසම් එකයි. අපි කියන්නේ මනස ස්වයං සිද්ධ ක්‍රියාවක් ලෙස. හැබැයි ඔබට අවශ්‍ය නම් එහෙම ආත්මයකුත් ගාවා ගන්න. ආත්මයක් රිංගන්නේ නැහැ කියා අපි ඔප්පු කලේ නැහැ. අපි කිව්වේ නොතේරෙන කාලේ ආත්මයක් නැතුව පැහැදිලි කල නොහැකි ඒ ක්‍රියාව අපි මෙන්න ආත්මයක් නැතුව දැන් පැහැදිලි කරන බව පමණයි.

භෞතිකවාදය ඔබ විසින් නොකළ පැහැදිලි කිරීම මෙන්න. හැබැයි ඔබ මෙතෙක් නොදුටු පැතිකඩ වනුයේ ඉමර්ජන්ට් මනසකට වෙනම පැවැත්මක් තියෙන බවයි. එය හුදෙක් නියුරෝන වලම ඉමර්ජන්ට් ඉෆෙක්ට් එකක් උනත් එය එතුලින් පැහැදිලි කල හැකි පැටර්න් ගොඩක්. එයට ගරු කරන්න.

දැන් එතකොට මිනිසා යනු නියුරෝන ද නැතිනම් මනස ද? මනස හෙවත් මේ නියුරෝන වල ඉමර්ජන්ට් ඉෆෙක්ට් එක තමා ජීවියා කියන තනි එකාගේ ලෝක නියෝජනය. හැබැයි ඒක නියුරෝන බිලියන ගානක සරල ක්‍රියා සිලියන ගානක ප්‍රතිපලයක්.

වීරසේකර රාලාමිලයි ගේ පිටිපස්සේ තියෙනවා පස් කන්දක් මනක්කන්ද කියලා. දැන් මේක කන්දක් ද පස් ගොඩක් ද?

Friday, November 23, 2012

චාල්ස් ඩාවින්ගේ පරිනාම වාදය ඔබ පිළිගන්නවාද?

[මුහුණු පොතේ සංවාදයක් ඇසුරින්]

 "චාල්ස් ඩාවින්ගේ පරිනාම වාදය" පිළිගන්න එපා. මිනිහට වැරදුනු තැනුත් ඇති. ඒක ආගමක් නොවේ. ඒක වර්තමාන දැනුමට සාපේක්ෂව බොහොම අසම්පුර්ණ කතාවක්.

එහෙත් ඔහු මතුකළ සංකල්පය ඔස්සේ කල පර්යේෂණ හරහා අද විද්‍යා දැනුම හොයාගෙන තියෙනවා පහත කරුණු;

- ප්‍රවේනි ලක්ෂණ පරපුරෙන් පරපුරට යන බව.
- ඒවායෙන් පරිසරයට ගැලපෙන ඒවා ස්ථාවර වෙන බව
- එහෙම ප්‍රවේනි ලක්ෂණ අරගෙන යන ඩීඑන්ඒ කියන බ්ලුප්‍රින්ට් එකක් තියෙනබව.

යනාදී ලෙස සැහෙන කරුණු ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. ඒ නිසා ඩාවින් මතුකළ මතය ප්‍රායෝගිකව සිද්ධ වෙන හැටි දක්වා කාරනා පැහැදිලි වෙනවා.

මෙන්න මේවා තමා වැදගත්. ඒවා මිනිහෙකුට ගොතන්න හෝ මවන්න බැහැ. ඩාවින්ගේ පරිනාමවාදය නොවේ මේ කාරනා තුලින් ඔබට තේරුම ගන්න පුළුවන් ජීවය පරිනාමය වන බව. ආයේ ඒක ඩාවින් ගේ අදහසක් ද, ජේසු ගේ අදහසක් ද, බුදුන්ගේ අදහසක් ද නලින් ගේ අදහසක් ද කියා බලන්න ඕනේ නැහැ.

එමෙන්ම පරිනාමවාදය කියන කාරණය ගැන අප දන්නා දේවල් තවත් ෆයින් ටියුන් වේවි. විද්‍යා දැනුම වර්ධනය වෙද්දී, විද්‍යාව ලෝකයව දිහා බලන ප්රෙසිෂන් ඒක වැඩි වෙද්දී සමහරු කියනවා, විද්‍යාව වෙනස් වෙනවා ඒ නිසා ඕක බොරු කියලා. නැහැ විද්‍යාව වෙනස් වෙනවා කියන්නේ මේ සංකල්ප කුට්ටිය තවත් පුංචි පුංචි මට්ටමට නිරවුල් කර ගැනීමක්.

කෙසේ වෙතත් විද්‍යාව කොහොමත් කරන්නේ ලෝකය මොඩල කිරීමක් පමණයි. එතනින් එහාට මොකුත් විද්‍යාවට අදාළ නැහැ. මේ මොඩල් එකේ ප්රෙසිෂන් වැඩි වෙන ඒක තමා වෙන්නේ. එනයින් හෙටත් මිනිසුන් පරිනාම සංකල්පය තවත් ෆයින් ටියුන් කරාවි.

පරිනාමවාදය මා දන්නා තරමින් පවතින හැම ආගමක් එක්කම ගැටෙනවා. කිසිම ආගමක් මේ සරල කාරනාව කෙලින්ම දේශනා කර නැහැ. ආගම් මේ දේවල් ගැන කතාකල තරමට මේ කාරණය නොදැන සිටීම ආගමික ශාස්තෘවරුන්ට සිදු වූ ලොකු වරදීමක්.

Friday, November 16, 2012

මාක් සකර්බර්ග් ලාංකිකයෙකු නොවන්නේ ඇයි?


අපේ රටේ බහුතරයක් ජනයා දර්ශන දෙකකින් නොමග යවා තිබේ.

පළමු වන්න බෞද්ධ කියා අප හිතන දර්ශනයයි. ඒ තුල ධනය නොහොබිනා දෙයකි. දානය උතුම් වේ. මුදලට වහල වීම වරදකි. වැඩිය හම්බු කරන්න නොහොබී. ලද දෙයින් සතුටු විය යුතු වේ. තව ටිකක් මහන්සි වුනොත් ලැබෙන දෙය වැඩි කර ගන්න පුළුවන් කියා හිතන්නේ නැත. ඊරිසියාව මෙහි එක බල කණුවකි. මට නැති නිසා තෝත් ලද පමණින් සැනසිය.

දෙවැන්න මාක්ස්වාදය කියා අප හිතන දර්ශනයයි. ඒ තුල ධනපතියා දුෂ්ටයෙකි. ව්‍යාපාරයක් යනු සේවක පිරිස පන්ති වෛරයෙන් හිමිකරු දවන තැනකි. විප්ලවය හා සටන ඕනෑම මොහොතක කල හැකි දේවල් වේ. ලාභ ලැබීම වරදකි. ධනපතියා පමණක් නොව ෆැක්ටරියේ යන්ත්‍ර පවා පුළුස්සා දැමිය යුතුය.ඊරිසියාව මෙහිද බල කණුවකි. මට නැති නිසා තොටත් නොලැබේවා.

1948 ලංකාවේ මහ මැතිවරණයේ සැලකිය යුතු ආසන ගණනක දිනා ගත්තෝ වම්මුය. මෙය සමහරවිට ආසියානු දේශයක වම්මු පිරිසක් වැඩිම ආසන ගණනක් දිනු අවස්තාව විය හැක.ලංකාව තුල මේ මතවාද පෝෂණය කරන 5% පමණ පිරිසක් හැමදාමත් උන්හ. 56 බන්ඩා පැමිණ ඉහත දර්ශන දෙකේ මිශ්‍රණයක් කියා කියමින් ජනයා රවටා නොගන්නට මෙය 25% පමණ විය හැක.

මේවායේ ප්‍රතිපල අපි අද භුක්ති විඳිමු. අපේ රටේ ප්‍රාග්ධනය කියා දෙයක් වෙනුවට ඇත්තේ විදේශ නය ඉල්ලා හිඟා කෑමයි. ආයෝජන කියන්නේ කළු සල්ලිය. දේශීය ව්‍යවසායකයා කියන්නේ කසිප්පු මුදලාලිටයි. ඊටත් එහා නම් ඊටත් ලොකු ජාවාරම් කරන එකෙකි. ආණ්ඩුව කලක ජනසතුකරණය කියා නිෂ්පාදන රාජ්‍ය ඒකාධිකාරයකට ලක් කළේය [ඇතැම් සේවා රජයට ගැනීම තරමක නිවැරදි දෙයකි] ඊට පසු ජනතාකරණය කියා ඒවා තම හිතවතුන්ට බෙදා දුන්හ. කවුරුත් ජනතාව නිසා එටිමොලොජි වල අවුලක් නොපෙනේ. එහෙත් රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත අවුලක් පෙනේ.

මේ දර්ශන දෙකේ අනුසාරයෙන් අපි අද සුවිසාල අකාර්යක්ෂම රාජ්‍ය අංශයක් හා ගජමිතුරු දූෂිත පුද්ගලික ප්‍රාග්ධනයක් සමග ඔට්ටු වන්නෙමු. ලංකා දේශපාලනයේ සියලු අර්බුධ වල මූලික හේතුව මෙන්න මේ දෙපාර්ශ්වයයි. අපට ටාටා කෙනෙක් හුන්ඩායි හෝ සෝනි කෙනෙක් නැත්තේ එබැවිනි. අපේ තරුණයින් අතරින් බිල් ගේට්ස් ලා ස්ටීව් ජොබ්ස් ලා, ලැරීපේජ්, සර්ජි බ්රින් සකර්බර්ග් වැන්නන් ඇති වන්නේ නැත. තවම එලියට එන්නේ චේ ලා පමණි.

ඒ සියල්ලේ මූලය ඉහත සඳහන් කල දර්ශන දෙකයි.

සාදුකින් පෙළෙන උන් තෙරුවන් සරණින් දැන් ඉතින් වත් නැගිටියවූ

Tuesday, October 23, 2012

ජනතාදාසගේ කරත්තය

ජනතාදාසට කරත්තයක් තිබේ. කරත්තය ඔහුගේ එදිනෙදා ජීවනෝපාය සකසා දෙයි. මෙය බෙහෙවින්ම පැරණි කරත්තයකි. බෝන් ලීය යටින් තැන තැන බොල් ගැහී රෝද පට්ටම් කඩතොළු වී, ලෑලි දිරා ගොස් ඇති මේ කරත්තය මහමග යන්නේ බොහොම අමාරුවෙනි. 

කොහොමත් සුද්දා මහත්තයා මේක ජනතාදාසට දෙන කොටත් මේක යන්තමින් අබලන්ය. නිසි පාවිච්චියක් නැතිකමත් හම්බෙන තුට්ටු දෙක එදිනෙදා වියදම් වීමත්, වැඩි දියුණු කරන්නට  ප්‍රාග්ධනය  සපයන්නෙකු  නැති වීමත් නිසා දැන්නම් කරත්තයේ ගන්න දෙයක් නැත.

ජනතාදාසට දූ පුත්තු හිතවත්තු සිටිති.

ලොකු පුතා ගේ නම බඩ ගොස්තරයා. ඒකාට මේ කරත්තේ අබලන් වීම ගැන කිසිම වේදනාවක් නැත. ඇත්තෙන්ම අබලන් වන තරමට ඌට වාසි වැඩිය. රෙපයාර් වලට ගෙනියන්නේ ඌට ඕනා තැන්වලටයි. ඒවායින් ඒ ඒ තැන් වලිනුත් අමුද්‍රව්‍ය වලිනුත් ඌට ගාන කැපේ. මේ නිසා කරත්තය හදා ගැනීම අධික වියදම් කටයුත්තකි. එපමණක් නොවේ ලඟදි ඉඳං ඌ කරත්තයට අනවශ්‍ය මගුල් ඒක පිට දමා තවත් කොමිස් සල්ලි හොයයි.

"තාත්තේ මට දෙන්න අර බෝන් ලීයේ ඇදේ ඇරගෙන එන්න" දවසක් බඩ ගොස්තරයා කීය.

එදා ගිය ගමන ආපහු අරගෙන ආවේ වෙන මොකුත් නැතුවට කරත්තයට ඒ සී එකක් හයි කරගෙනය. වැඩකුත් නැති කබල් ඒ සී එකට සල්ලි දුන්නෙත් ජනතාදාසයි. බඩ ගොස්තරයාගේ කොමිස් එකත් එක්ක එකතු වන ඒ ගානෙන් අලුත් ඒ සී එකක් ගන්නට තිබුණි. බෝන් ලීය තවම ඇදය.

ඒත් පවුලේ හයිකාරයා නිසාත් ලොකු ඒකා නිසාත් ජනතාදාස මේ වැඩ ටික කර ගන්න ඌවම පත් කර ගනී.

අනික් එකා ජාතිකයා වේ. ඒකා බණට දහමට ඉතිහාසයට ලැදී එකෙකි.

"තාත්තේ මේ කරත්තේ හොඳයි තාත්තේ. සුද්දා තමා මේකට කෙලියේ" ඌ නිතර දෙවේලේ සුද්දට බනියි.

"තාත්තලා හීල්ලුවට කරත්තේ තමා අපි එදා පටන් ගමන් බිමන් ගිය විදිහ. මේක තමා ලෝකේ හොඳම වාහනේ" අල්ලපු ගමේ සිරිපාල ලොරියක් ගත්තු දවසේ ඌ කීය.

"මෙතන අවුල මේ සුද්දගේ. ඕකා මේ කරත්තේ හැදුවේම අපි හැමදාම අමාරුවේ දාන්න" උගේ කතා අසන විට ජනතාදාසට මාර කෙන්තියක් එන්නේ සුද්දා එක්කයි.

"අපේම ක්‍රමයක් තිබ්බ හතරැස් රෝද වලින් දුවන. මේ සුද්දට තියෙන ගැතිකම නිසා අපි බලෙන්ම රවුම් රෝදෙට වහල් වෙනවා"

"රවුම කියන්නේ විෂම චක්‍රය. ඒකෙන් ගැලවෙන්න බැහැ. ඕන ප්‍රශ්නෙකට උත්තර හතරක් තියෙනවා. අන්න ඒ හතරැස් රෝදේ අපි හොයා ගන්න ඕනේ"
 
ජාතිකයා බෙහෙවින් දාර්ශනිකය. ඒත් ඇති වගේ වගක් නැත. ඌ කියන එව්වා මේ ලෝකයේ නොපවතින බැවිනි. කොච්චර බැන්නත් කරත්තය හැදුවේ සුද්දා මහත්තයා ය. ජාතිකයා තවම සෙල්ලම් කරත්තයක් වත් හදලා නැත.

ඊළඟ එකා ක්‍රම විරෝධියා වේ. කැම්පස් ගියාට මූ ගොඩ වැදුනේ රාත්තිරි ලෙච්චර් වලටයි.

"මේ කරත්තය පවතින තුරු මීට වඩා දෙයක් ලැබෙන්නේ නැහැ" ඌ කියයි.

"මේක අපි වෙනස් කරන්නෝන"

"මේ කරත්තය අපි කඩලා බිඳලා වනසලා දාලා අපේම අපේම අපේම වාහනයක්  හදමු තාත්තේ" හැගීම්බර ගැඹුරු හඬින් ඌ කියයි.

"කොහොමද බං ඒක කරන්නේ?' ජනතාදාස අහයි.

"අපි එකමුතුව වෙහෙසී ඒක හදන්න ඕනේ. ඒ සඳහා මුලින්ම අපි එකතුවෙලා මේක කඩන්න ඕනේ. මේ කරත්තේ තියෙනකම් ඒ වාහනේ හැදෙන්නේ නැහැ."

"මේ කරත්තේ වගේ නෙවෙයි ඒ වාහනේ. ඇක්සලේ රත්තරන්. තට්ටුව රිදී. රෝද පට්ටම වෙනුවට අලුත්ම අලුත් ටයර්. එව්වයේ පැච් එකක්වත් යන්නේ නැහැ."

ජනතාදාසගේ පුංචි මොලේට ඒක දෙයක් තේරේ. යකඩ පට්ටම කැඩුවට රබර් ටයර් නොවේ. ඇක්සලය රත්තරන් නොවේ. මහන්සි වෙලා කඩලා හැදුවත් මේවා කවදාවත් නොවෙන දේවල්ය. කිසිම සංඛ්‍යාත්මක පදනමක් නැති ක්‍රම විරෝධියාගේ සුරංගනා කතාව හැමදාමත් ඔහොමමය. ඌට පොඩි කාලේ ඉඳං සුරංගනා කතා පොත් කියවන්නට දීපු මෝඩකම.

ජනතාදාස මූට කරත්තේ අහලට එන්න දෙන්නේ නැත්තේ ආවොත් මූ ඒක කඩන නිසාය. ඒ නිසා දැනට ඌ කරන්නේ ලොකු අයියා හෙවත් බඩ ගොස්තරයාට නියවමින් ඉන්න එකයි.


[ප. ලි. 2018] බඩ ගොස්තරයා ට නිවුන් සොයුරෙක් සිටී. කලින් කලට විවිධ අන්වර්ථ නම් ගන්නා මුත් ඌ ද බඩ ගොස්තරයෙකි. උගේ වෙනස නම් බඩ ගොස්තරයා කරන තරම්වත් දෙයක් මූ නොකිරීමයි. කාලයක් ගමෙන් පැන බෝට්ටුවේ ඉතාලි ගිහින් හිට මූ ආපහු ආවේ යමපාලුවා කියා අලුත් අන්වර්ථ නමක් ද සමගය. දැන් යමපාලුවා අඳින්නේ ෆුල් සූට් ය. පිළිකන්නට බැස්සත් සනීස් දාලා ය. කට ඇරියොත් ජාත්‍යන්තර ටෝක් ය. ඒත් ජනතාදාසට මීටර් වන පරිදි මූ ආවට පස්සේ ගෙදර සල්ලි ලාච්චුවේ සල්ලි මිසින්ය. අනික මූ කලින් කලට කරත්තේ කෑලි විකුණයි. මූ කියන හැටියට කරත්තේ කෑලි ටික විකුණා ජනතාදාසගේ සල්ලි ලාච්චුව සුද්ද කළ පසු ගෙදර ආර්ථිකය දියුණු වේ. රට ෂෝ එක දාමින් ගෙදරට කෙළවන මේකාට කණට එකක් ගසා එළවන්නට වැඩි දවසක් නැති බව කේන්ති ගිය ජනතාදාස ප්‍රාදේශීය සබාවේ මන්තිරි කෙල්ලට කිව්වේ ඒකි කරත්තෙන් ඒ ලෙවල් ටියුෂන් පන්තියට එක්ක යන දවසකය[/ප. ලි. 2018]

"කරත්තේ ඔහේ යන්න දෙන්න ජනතාදාස" ධනලි බරල මහත්තයා උපදෙස් දෙයි.

"ඔහේ කිව්වේ මහත්තයෝ"

"ගොනා බඳිනවා පාරට දානවා. තමුන් බුදිය ගන්නවා. එච්චරයි"

"එතකොට කොහේ නම් යයිද?"

"එහෙම අවුලක් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. තමුන් ඇඟිලි නොගහන තරමට හොඳයි"

"හපොයි අහින්සකයෙකුගේ කර උඩින් ගියොත්?"

"ඔව්වා ඔක්කොම බලන්න බැහැ ජනතාදාස. කරත්තේ යන පාරේ ඔහේ යන්න දෙන්න."

ධනලි බරල මහත්තයාට පුංචි හිනාවක් දැම්මට ජනතාදාස කවදාවත් ඒක කරන්නේ නැත. ලෝකේ අනිත් පැත්තට නොගියට ඔහු කරත්ත පදවා දන්නා තරමින් මෙහි ඇති අවුල දකී. පාලනය නොවන කරත්තය කොහේ යා දැයි කිව නොහැක.

ජනතාදාස මේ ඔක්කොම ඉවසාගෙන දරාගෙන හිදී. මේ එකෙකුගෙන් වත් ගොඩ යන්න බැරි බව ඔහු දනී. එහෙත් හැමදාම ඔහු මෙය පදවයි. රාජාලියා මුදලාලිගෙන් ටැම්පරියක් හෝ කොන්තරාත් එකක් අදියි. මකරා මුදලාලිගෙන් ගිනි පොලියට ණයක් අරගනියි. ඔය මොකෙන් හෝ මේ ලදරම පදිමින් ඉන්නට ඔහුට සිදුවේ.

අනික් හැමෝටම ඇති අවුල නම් ඒක රැයකින් මේ ඔක්කොම ප්‍රශ්න විසඳන්නේ කෙසේද යන්නයි. එහෙත් ජනතාදාසට වැටහෙන පරිදි මේවා එහෙම විසඳන්නට බැරිය. අදට වඩා වැඩියෙන් කීයක්‌ හරි හොයා ගන්නට හෙට වෙහෙසෙනු විනා කරත්තය විජයොත් රථය වී ජනතාදාස මාතලී කරවන්න නොහැකි බව ඔහු දනියි. ප්‍රශ්නත් එක්ක හිඳිමින් ඒවා විසඳ ගන්නවා විනා ප්‍රශ්න නැති හෙටක් ගැන සිහින මවමින් ඒ ෆැන්ටසි වලට කාලය කා දැමීමෙන් පලක් නැති බැවිනි.

Sunday, May 6, 2012

කම්කරුවාද ශ්‍රමිකයාද? වම-දකුණ ඉතිහාසයට යවමු


ෆේස්බුක්  සමූහයක ඉස්මතු වූ කතාවක්.

කම්කරුවාද ශ්‍රමිකයාද? ලංකාවේ වම වරද්දාගත් මාක්ස් විද්‍යාවේ බරපතල වචනයක් - ශ්‍යාමන් හේමකොඩි


මට හිතෙන්නේ මෙහෙමයි. මේ ප්‍රශ්නය ගැන 1800 ගණන් වල ලෝකෙන් හිතන්න. මොකද මේ වමේ ව්‍යාපාරය අද කතා කරන මූලික රාමුව අයිති වන්නේ ඒ කාලෙට. 

ධනපතියා, ව්‍යාපාර හිමියා අන් සියල්ලටම උඩින්, ඒ කියන්නේ, ධනයෙන් බලයෙන් රදල පවුල් පසුබිමින්, සමාජ පිළිගැනීමෙන් හැම අතින්ම පැහැදිලි ධනපති පන්තියක් උන්නු, අවශේෂ සියලු ශ්‍රමිකයින් කම්කරු  වහලුන්ගේ ගානට වැටුණු ඒ යුගය. ප්‍රවේනි දාසයන්ගේන් වැටුප ලබන වහලුන්ට ප්‍රමෝට් වෙච්ච නිර්ධන පන්තියක් උන්නු යුගය. ලෝකය පැහැදිලි පන්ති වලට බෙදන්න ඇහැකි, පන්ති අතර වෛරයක් ඇවිලුණු යුගය.

අවාසනාවකට විසි වන සියවසේ මේ දර්ශනය හරි විදිහට යාවත්කාලින කර ගත්තේ නැහැ. අන්ධ භක්තිය හා පුද්ගල වන්දනාව ඉදිරියේ යටපත් වුන නිසා.

අද ඉදිරි පෙලේ සමාගමක මාසෙට ලක්ස ගානක් පඩි ගන්න [ඩොලර් වෙන්නත් පුළුවන්] විධායක නිලධාරියා හෙවත් ශ්‍රමිකයා අයිති වන නිර්ධන පන්තිය හන්දියේ කොමියුනිකේෂන් එකක් දා ගත්තු සමන් පෙරේරාගේ ධනපති පන්තියට වෛර කරනවා කියා කියන්න පොඩ්ඩක් උගුර කහනවා වගේ. පන්ති දැක්ම එක්තරා සුවිශේෂී දේශපාලන ආගමිකයන් පිරිසකගේ අන්ධ භක්තියට පමණක් සීමිත හිතලුවක් වෙන්නේ ඒකයි.

ඇත්තටම මේ වමේ දර්ශනය යාවත් කාලින කර ගත්තු මිනිස්සු හිටියා. නොර්වේ රාජ්‍යය අදටත් පාලනය කරන්නේ වමේ බුවාලා. හැබැයි රැවුල වවාගෙන රතු ෂර්ට් ඇඳගෙන පන්ති වලට සමාජය බෙදා ගෙන ධනපති පන්තියේ කැවුත්ත කන්න කෑ ගහන ඩයිනොසරයින් නොවේ. අවාසනාවට උන් වම්මු ලෙස සලකන්නේ නැහැ මේ ලේබල් වම්මුන්.

වර්තමානයට ඔය පන්ති කියවීම හා නිර්ධන විමුක්තිය ඉන්වැලිඩ්. ඒ කියන්නේ ලෝකේ සූරා කෑම සමාජ අසාධාරණය ධන තන්හාව වෙළඳපොල විසින් මිනිසා වහලුන් කර ගැනීම වගේ දේවල් නැති වෙලා කියන එක නොවේ. ඒවා සිද්ධ වෙන්නේ වෙනස් සන්දර්භ වල. ඔය පරණ පන්ති කියවීම් රෙපයාර් කර කර හිටියට වැඩක් නැහැ දැන්.

අද ඉන්න ඇතැම් ශ්‍රමිකයින් වෙනත් ධනපතියන්ට වඩා ඉහත සඳහන් ක්‍රියාවලියට දායක වෙනවා. අද ඉන්න ලොකුම විනාසකාරියා ප්‍රාග්ධනය නොවේ, අද ප්‍රාග්ධනය කියන්නේ වමේ රටවලුත් ඉල්ලා හඬන බොහෝ වැදගත් එමෙන්ම සමාජ හිතකාරි දෙයක්. අද මිනිසුන්ට ඕනේ ඔය පරණ සීන් නොවේ.

අන්න ඒ ගැන කතාකරනවා නම් ඔය පොසිල දේශපාලනය මැයි පළවෙනිදාට තියා වර්තමානය ගැන වෙනම කතා කරන්න. මාක්ස් ලා ව ඉතිහාසය කියන අල්මාරියට මාරුකර දේශපාලන අල්මාරිය අලුතින් පුරවන්න.

Monday, March 19, 2012

පිළිගැනීම හා ඇදහීම හෙවත් පෘතුවියේ අරය කීයද?

"අප බොහෝ දෙනකු බොහෝ දෑ විශ්වාස කරන්නේ අප ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියළු අධ්‍යයනයන් කිරීමෙන් පසුව නොවේ. එසේ කිරීමට ගියහොත් අපට කිසිවක් කරගත නොහැකි වනු ඇත. අප බොහෝ දෑ විශ්වාස කරන්නේ අපේ විශ්වාසය දිනා සිටින පුද්ගලයන් ඒ දේ කියන බැවිනි."— ආචාර්ය නලින් සිල්වා මහතා [මුහුණු පොතේ අයෙකුට  අනුව]

"
පෘථිවියේ සාමාන්‍ය අරය කිලෝමීටර් 6371 ක් බව සුජීව පිළිගන්නේ තමන්ම අධ්‍යයනය කරපු නිසාද?" --- එම 
තර්කය පදනම කරගෙන මුහුණු පොතේ අසන ප්‍රශ්නයක් [පුංචි කරෙක්ෂන් එකක් එක්ක උපුටා ගැනුනි]
මේ මෑතකදී සංවාදයක මුණ ගැහුණු ප්‍රශ්න දෙකක්. අපි උත්තර දෙන්න බලමු. 
හරියටම පෘතුවියේ අරය කිලෝමීටර් 6371 නොවේ. ඕක ආසන්න අගයක්. අනික පෘතුවියේ අරය කිලෝමීටර් 6371 කියා කියන්නේ කොදුවකින් මැනලා නොවේ. කිසියම් ක්‍රමවේදයකින් ගණනය කරලා. මේ සඳහා භාවිතා කරන ක්‍රම වේද හා සූත්‍ර මත මේකේ නිරවද්‍යතාවය තීන්දු වෙනවා. ඉතින් කවුරු හරි අදහනවා නම් පෘතුවියේ අරය ටක්කෙටම කිලෝමීටර් 6371 කියා ඔහු වැරදියි.
හැබැයි බොහෝ දෙනෙක් පිලි ගන්නවා පෘතුවියේ අරය කිලෝමීටර් 6371 වගේ ගානක් කියා. ඒ මොකද ඒ සඳහා භාවිතා කල ක්‍රමවේද පරීක්ෂණාත්මකව වෙනත් දේවලට යෙදිය හැකියි. උදාහරනෙකට ගොඩබිම දෙතැනක අතර දුර මනින සර්වේයින් මෙතඩ් එදිනේදා ටෙස්ට් වෙනවා. එයාකාරයෙන් පරිධිය මැන ගෙන අරය ගණනය කරන්න පුළුවන්. පොලොව ගෝලයක් කියා හිතුවොත් ඔබට ගෝලයක අරය මනින හැටි පර්යේෂණය කල හැකියි. 
ඒ වගේම මේක ඒක මිනිහෙක් තනියම මැනගෙන ලෝකෙට දේශනා කරන්නක නොවේ. විවිධ මිනිසුන් විවිධ වාරවල මනින ලද්දක්. ඒ හැම විටම මේ වගේ ඉලක්කමක් එනවා. 
ඒ නිසා පවතින තත්ත්ව තුල අපි පිලිගන්නවා ආසන්නව පෘතුවියේ අරය කිලෝමීටර් 6371 වගේ ගානක් කියා. ඇත්තටම ඕක 6400 ක් විතර කියා තමයි මම නම් ඔලුවේ තියාගෙන ඉන්නේ.
හැබැයි මේක විවිධ උපකල්පන මත කල එකක්. එතැනදී වැරදි වෙන්න පුළුවන් ක්‍රමවේදවල, පොලොව ගෝලයක් කියා හිතපු එකේ, එතකොට ලොකු ගෝලයක අරය හා පරිධිය අතර සම්බන්ධය පුංචි ගෝල වලට වඩා වෙනස් වෙන්න බැරි නැහැ.
පිලි ගන්නා ඒකයි විශ්වාස කරන ඒකයි අතර වෙනස තමා පිලි ගන්නේ වෙන හොඳ උත්තරයක්‌ ලැබෙන තුරු පමණයි. විශ්වාස කරන්නා වෙනත් උත්තර හොයන්නේ නැහැ, මේක ම අදහා ගෙන ඉන්නවා මිසක්.

එමෙන්ම පොලොව කියා දෙයක් ඇද්ද ගෝල කියා දෙයක් ඇද්ද මනිනවා කියා දෙයක් පවතියි ද මනින මිම්ම ඒ වෙලාවට පමණක් එහෙම වෙලා නොමනින කොට වෙනස් වේද යනාදී මිනිසාට ටැන්ජිබල් නැති ප්‍රශ්නත් ඕනතරං ඇහිය හැකිය. ඒවාට උත්තර නැහැ.
[ස්තුතිය: ප්‍රශ්නය මතුකළ පුද්ගලයාට]