Saturday, October 15, 2022

පරිභෝජනයේ සදාචාරය 7 - වඩා වටින්නෙ මොකද්ද?

"What is worth more, art or life? Is it worth more than food? More than justice? Are you more concerned about the protection of a painting or the protection of our planet and people? The cost of living crisis is part of the cost of oil crisis, fuel is unaffordable to millions of cold, hungry families. They can’t even afford to heat a tin of soup.”

අද ලන්ඩනයේ වැන්ගෝ මැතිතුමාගෙ චිත්‍රයකට ටොමටෝසෝස් විසික් කල ඇබිතිල්ලන් කෙල්ලො දෙන්නගෙ පණිවුඩේ.

"වඩා වටින්නෙ මොකද්ද? චිත්‍ර ද ජීවය (මිනිස්සු) ද? චිත්‍රය ආහාර වලට වඩා වටීද? යුක්තියට වඩා වටීද? වඩාත් කන්සර්න් එකක් දෙන්නෙ පින්තුරෙ ආරක්ශාව ගැනද පොලොව සහ මනුශ්‍යාගෙ ආරක්ශාව ගැනද? ජීවන වියදම් අර්බුදය ඉන්ධන වියදම් අර්බුදයේ කොටසක් වෙලා.මිලියන ගානක් සීතලේ බඩගින්නෙ ඉන්න මිනිසුන්ට ඉන්ධන වලට ගෙවා ගන්න බෑ. ඔවුන්ට සුප් ටින් එකක් රත් කරගන්නවත් වත්කමක් නෑ"

මේ කෙල්ලො දෙන්න අයිති ජස්ට් ස්ටොප් ඔයිල් කියන "පරිසර ත්‍රස්ත කල්ලියක්" ලෙස විකිපීඩියාව හදුන්වන කල්ලියට. ඔවුන්ගෙ මූලික සටන තියෙන්නෙ ෆොසිල ඉන්ධන නිපදවීම නතර කරන්න.

ඇත්තෙන්ම ඔය චිත්‍රය ද වටින්නෙ? ඒ ප්‍රශ්නෙට උත්තරේ එන්න අවස්තාව මත. මේ මොහොතෙ ඔය චිත්‍රය වටිනවා වුනාට වඩාත් භීම වූ බයංකාර වූ මොහොතක් තියෙන්න පුලුවන් චිත්‍රය මෙලෝ වටිනාකමක් නැති. චිත්‍ර කියන්නෙම ස්පෙකියුලේටඩ් වටිනාකමක් තියෙන දෙයක්. ශෙයා මාකට් එකේ ශෙයාස් වගෙ. ඒවගෙ ගර්භිත වටිනාකමක් නෑ. ඒව ගෙ වටිනාකම තීන්දු වන්නෙ බාහිර ලෝකෙ තත්ව මත.

ඒත් වඩා වැදගත් ප්‍රශ්නෙ ඒක නෙවි. චිත්‍රෙ පැත්තකින් තියන්නකො. ඇත්තෙන්ම වටින්නෙ මිනිස් ජීවිත ද නෙවිනම් ග්‍රහලෝකෙද?

ඇබිතිල්ලන් කෙල්ලො දෙන්න නොදන්නව වුණාට රියල් බෙදුම මේක.

එක පසෙකින් ඉන්ධන හිගය ඉන්ධන මිල ආහාර හිගය සීතල ඒ මත මියයන හෝ දුක් විදින මිනිස්සු. අනෙක් පසින් ඉන්ධන භාවිතය ආහාර නිශ්පාදනය ආදිය නිසා දුක් විදින මහපොලොව සහ එහි නපුරු බලපෑමෙන් පීඩා විදින මිනිසා සහ සෙසු ජීවය. ඔය දෙකම එක පාර නිවන් දක්කන්න බෑ. ඒකයි ප්‍රශ්නෙ.

මහ පොලොව ගැන හිතල ෆොසිල ඉන්ධන අඩු කරල කාබන් එමිශන් තදින්ම වෙන කෲශිකර්මය ඇදුම් නිශ්පාදනය ගමනාගමනය වගෙ එව්වට දැඩි සීමා හා නීති දැම්මොත් මුලින්ම උද්ගත වන ත්ත්වය තමා පවර් කට්ස් ඉන්ධන හිගයන් ආහාර හිගයන් ඇදුම් මිල ඉහල යාම් සේවා ස්තානවලට යාමට නොහැකි විම ගමන් ගාස්තු ඉහල යාම් රැකියා අහිමි වීම්. අනික් අතට මිනිසුන්ට ඇතිවෙන තරමට අඩු මිලට ඉන්ධන නිපදවල ආහාර සහ අනෙකුත් අවශ්‍යතා ඉශට කරල දීල ජීවන වියදම් අඩු කරල හන්දියට ආවම බස් එකක් ස්ටේශමට ආවම කෝච්චියක් දුර ගමන් යන වාහන ආදිය සපයාගන්න උදව් කලාම ඒක නිසා වෙන එමිශන් එක වැඩි වෙලා මිහිතලේට කෙල වෙනව.

ඔන්න ඔය අදුරු සත්‍යයෙන් පැනල ගිහින් තමා මේ මැටිමෝල් පරිසර සංවිධාන කතා වෙන්නෙ.

සත්ව පාලනයෙන් වෙන එමිශන් වලට නවසීලන්තය ටැක්ස් කරන්න යනව. ලෝක ආහාර නිශ්පාදනයට සැලකිය යුතු දායකත්වයක් දෙන නිසා ඒකෙන් පලමුකොටම ආහර මිල ඉහල යාමකුත් දෙවනුව ආහාර නිශ්පාදන අඩු විමකුත් වේවි කියනව. ලෝකෙ කෲශිකර්මෙ දැනෙන වැඩක් කරන නෙදර්ලන්තය තමන්ගෙ නයිට්‍රජන් පොහොර භාවිතය අඩු කරන්න යනව. ගොවීන් පාරට බැහැල උද්ඝෝශන කරනව. ඇමරිකාවෙත් කතිකාවට ගන්නව පරිසර නීති නිසා ගොවිතැනට වෙන බලපෑම්. දැන්ටමත් අපි දන්නව ඔපෙක් ල තෙල් නිශ්පාදනේ අඩු කලොත් හෝ රුසියා යුක්‍රේන් යුද්දෙ නිසා ඉන්ධන මිලට වෙච්ච දේ.

ඇත්තෙන්ම මේ  කෙල්ලො දෙන්න කියන ජීවන වියදම් වැඩිවීම ඉන්ධන වියදම් වැඩිවිම සීතල හාමත ආදියෙන් මිහිතලයට වෙන්නෙ යහපතක්.  පරිභෝජනය අඩුවීම  - කෙතරම් කුරිරු  ලෙස හෝ - මිහිතලයට හැමවිටම යහපත්. 

රියල් ප්‍රශ්නෙ ආයෙ ඇහුවොත්;

"වඩාත් වැදගත් මොකද්ද? මිනිස් ජීවිත මේ ලබා ගන්න ආතල් එක ඇතුලෙ මෙහෙම්ම තියාගෙන පරිසරේට මිහීතලේට කෙලවනවද? මිනිස් ජීවිත වලට විවිධ හිරිහැර දුක් කම්කටොලු ඇතිවන පරිදි නීති සකසමින් ආර්තික අර්බුද ඇතිවෙද්දිත් මිහිතලේ රකිනවද?"

කලින් ප්‍රශ්නෙ ලේසියි. වයස දහාටක කෙල්ලක් ඒ මත පරිසර ත්‍රස්තවාදියෙක් කරවන්න පුලුවන්. මේ ප්‍රශ්නෙ අමාරුයි. උත්තරයක් නෑ. හම්බුනොත් කියන්න.

Friday, September 30, 2022

පරිභෝජනයේ සදාචාරය 6 - ගෝලීය දේශගුණ වෙනස්වීම් කතිකාවේ පවතින මිත්‍යා

ගෝලීය දේශගුණ වෙනස්වීම් ගැන ලංකාවේ සයිබර් කතිකාවක් පටන්ගෙන තියෙනව. අවාසනාවකට ඒක මූලික වශයෙන් කතාවට ගන්නෙ ධනවාදි සමාජවාදි ගුරුකුළ බදාගෙන නිසා ඒකෙ අවලාද සහ චෝදනා ඉක්මවන ලොකු දෙයක් නෑ. ගෝලීය දේශගුණ වෙනස්වීම් කියන කතිකාව ඔය දාර්ශනික ගුරුකුල වලට වඩා ඉහළ මට්ටමකට යන දෙයක්. හොලිස්ටික් කතාවක්. ඒක ඕව බදාගෙන ඒවට භක්තියෙන් ප්‍රතිවාදි එකට වෛරයෙන් කතා කළ හැකි එකක් නොවේ.

දේශගුණ වෙනස්වීම් කතිකාව තුල ලෝක මට්ටමින් තියෙන මිත්‍යා කීපයක් කතාවට ගන්න වටිනව.

1. ගෝලීය දේශගුණ වෙනස්වීම් ඇති වන්නේ ධනවාදය නිසාවෙනි, ධනවාදයේ සමාගම් වල ලෝභය/ලාභය  නිසාවෙනි කියන මතය. මේක වැරදි මතයක්. දේශගුණ වෙනස්වීම් වලට මූලික හේතු දෙකක් තියෙනව. එකක් තමා ලෝක ජනගහනයේ පහුගිය වසර සීයෙ විතර සිදු වූ අසාමාන්‍ය ප්‍රසාරණය. 1900 ලෝක ජනගහනය වගෙ පස් ගුණයකට වඩා දැන් ඉන්නව. අනික තමා පහු ගිය අඩ සියවසේ පමණ ඒ වැඩිවන ලොකු ජනගහනයන් ඊට කලින් පලවෙනි ලෝකෙට සීමා වෙච්ච උසස් ජීවන තත්වයන් උදා කරගන්න සමත්වීම. ඉතින් මෙන්න මේ ලොකු ජනගහනයක හැමෝම යහපත් ජීවිත ගෙවන එක නඩත්තු කරගන්න මිහිතලයට බෑ.

2. ධනවාදි ආර්තික යාන්ත්‍රණය තුල ගෝලිය දේශගුණ වෙනස්වීම් වලට පිළීතුරු තිබේ කියන මතය. තව  වැරදි මතයක්. ධනවාදි ආර්තික යාන්ත්‍රණය තුල කිසිම ප්‍රශ්නයකට එහෙම පිළිතුරු නෑ. එය හුදෙක් ආර්තික මෙහෙයුම් ක්රමවේදයක්

3. සස්ටේනබල් ඩෙවලොප්මන්ට් හෙවත් ග්‍රීන් ග්‍රෝත්  කියන සන්කල්පය. ඒ කියන්නෙ කිසියම් ක්‍රමවේදයන් අනුගමනය කලොත් ආර්තික වර්ධනය එලෙසින්ම පව්ත්වා ගනිමින් කාබන් විමෝචනය ගෝලිය දේශගුන වෙනස්විම් ඇති නොවන ගානට පාලනය කල හැකි කියන එක. මේක තව මිත්‍යාවක්. නියත වශයෙන්ම ආර්තික වර්ධනය ඍණ කරන්න වෙනව උශ්ණත්ව ඉහළ යාම පාලනය කරන්න නම්

5. ලෝකෙ ඉන්න ඉහළම ධනපතින් කීප දෙනාට දේශගුණ වෙනස්වීම් සම්බන්ධ දැනුමක්, සැලසුමක්, පිලිතුරක් හෝ එවන්නක් කිරීමට දැඩි උනන්දුවක් තිබේ කියන මතය. එහෙම නෑ. ඔවුන්ට කිසියම් දෙයක් කරනන් ඔනෙ කමක් තියෙනව ඒත් ඒ වෙනුවෙන් තම ව්‍යාපාර පාඩු ලබන තැනට ගෙනේවි කියා මන් හිතන්නෙ නෑ

6. නිශ්පාදනය මත පදනම් වන පරිභෝජනය අමතක කරන කාබන් පියසටහන්. මේක තමා මන් හිතන්නෙ තියෙන ලොකුම අවුල. කිසියම් රටක කාබන් පියසටහන සකසන කොට ඒ රටේ කෙරෙන නිශ්පාදන කටයුතුවල කාබන් විමෝචන මත ඒක සකසන එක වැරදියි. මොකද ධනවත් රටවල් නිශ්පාදන කටයුතු වෙන කාඅහරි තනිකරම අවුට්සෝස් කළ හැකි නිසා. ඇත්තෙන්ම වෙන්නෙ ඒකයි. පළමු ලෝකය නෙට් සීරෝ ඉලක්ක සකස් කරද්දි ඉබේම ඔවුන්ගෙ සමාගම් නිශ්පාදන චීනය වගෙ රටකින් කරගන්නව. එතකොට චීනෙ පියසටහන හොදටම වැඩි වෙනව. ඒත් එහෙම වෙන්නෙ අර ධනවත් රටවල් ම වෙළදපොලක් වෙලා ඉල්ලුම හරහා නිශ්පාදනය් මෙහෙයවන නිසා. පියසටහන් හදන්න ඕනෙ පරිභෝජනයට

7. ප්‍රතිචක්‍රීකරණය. මෙය සාර්තකව ක්‍රියාත්මක වන  ක්‍රමවේදයක් නොවේ. දැනට අපි රිසයිකල් කියල එකතු කර යවන දේවල් නැවත නිශ්පාදන ක්‍රියාවලියේ අමුද්‍ර්ව්‍ය බවට හරවන්න ලේසි ක්‍රමවේද නෑ. ඒ වගේම පළමු ලෝකෙ රටවල ඊට අවශ්‍ය ශ්‍රම සම්පත නෑ. ඉතින් එයාල කරන්නෙ සල්ලි දීල දුප්පත් රටවලට ඒ රිසයිකල් ද්‍රව්‍ය යවන එක. දුප්පත් රටවල් සල්ලි ටික ගන්න ඒ කුනු ලෝඩ් එක ගත්තට ඒකෙ ද්‍රව්‍ය රිසයිකල් කරන්න එතරම් උනන්දු නෑ. ඔවුන් ඒව බොහො වෙලාවට ඩම්ප් කරනව. එතනදි අර පලවෙනි ලෝකෙ රටේ ස්ටැන්ඩර්ඩ් එක්ක කරන ඩම්ප් කිරීමවත් වෙන්නෙ නෑ. නිකම්ම ගන්ගා ඇලදොල මුහුද වගෙ තැන්වලට දාන්නෙ.

8. මිනිස්සුන්ගෙ ජීවිත වලට ඉපයීම් වලට ලොකු වේදනාවක් නොවී ගෝලිය දේශගුණ වෙනස්වීම් වල අර්බුද විසදන්න පුලුවන් කියන මතය. මේකත් වැරදියි.  ඇත්තෙන්ම මෙතන දෙපැත්ත කැපෙන කඩුවක් තියෙන්නෙ. ගෝලිය දේශගුන වෙනස්වීම් වල අර්බුද නවතන්න තරමෙ තදබල වෙනසක් ගෙනාවොත් ආර්තිකයන් කඩා වැටිල මිනිසුන්ට විශාල අර්බුද වලට මුහුන දෙන්න වෙනවා. ඒත් එහෙම නොකලොත් දේශගුන වෙනස්වීම් හා සාගර ජල මට්ටම ඉහල යාම නිසා මිනිසුන්ට විශාල අර්බුදවලට මුහුන දෙන්න වෙනවා. ඔය දෙක අතර ට්‍රේඩෝෆ් එකක් තමා කරන්න වෙන්නෙ. කොහෙන් බැලුවත් පරාදයි.

9. ඔය අන්ක අටේ සිදුවිම වෙන්නෙ ධනවාදය හා අධිපරිභෝජනය නිසා කියල මිත්‍යාවක් තියෙනව. අන්ක එකේ කිව්ව වගෙ මේ ඉන්න ජනගහනයට යන්තම් හෝ හොද ජීවන තත්වෙක ඉන්න අවශ්‍ය නිශ්පාදනය ධ්නවාදෙන් කලත් වෙන මොන වාදෙන් කලත් මේ පරිසර අර්බුද හටගන්නව.

10. ගෝලිය ආර්තික අර්බුදය වෙන්නෙ සමාගම් ලාබ ගන්න හිතන් මිනිසුන් ගොනාට අන්දල සපයන කොහෙත්ම අවශ්‍ය නැති නිශ්පාදන නිසා කියන මතය. මේකට සමගාමිව මිනිසුන්ගෙ මූලික අවශ්‍යතා කියන්නෙ ආහාර ඇදුම් වගෙ කීපයක් කියල මතේකුත් තියෙනව. ඒ දෙකම වැරදියි. මිනිස් ශිස්ටාචාරය ලබාගත් දියුනුව තුල තියෙන බොහෝ දේවල් මිනිසුන්ට අත්‍යාවශ්‍ය දේවල් බවට පත්වෙලා, නොවේනම් ඔවුන්ට ආයෙ යන්න වෙනව මිට වඩා බෙහෙවින් පහත් මට්ටම්ක ජීවන තත්වයක් ගෙව්ව කාලෙට. අනික ඔය කියන ආහාර ඇදුම් වගෙ මූලිකයි කියන අවශ්‍යතා තමා අධිකම කාබන් විමෝචන වලට හේතුව. ආයිත් කියන්න තියෙන්නෙ මේ ඉන්න ජනගහනය පව්ත්වා ගන්න බෑ මිහිතලෙ රත්නොකර.

11. විද්‍යාවට මේ ප්‍රශ්නෙට උත්තර තියෙනව කියන මතය. නෑ විද්‍යාවට උත්තරයක් නෑ. ඔවුන්ට තියෙන එකම උත්තරේ ආර්තිකයන් කාබාසිනියා කරල මිනිස් ජීවිත වලට සුවිසල් අර්බුදයක් දාල කරන විමෝචන නතර කිරීමක්. ඒක කරන්න බැරි නිසා තම තමන් රවටා ගන්න එක තමා ඔය ක්‍යෝටෝ පැරිස් ග්ලාස්ගෝ සමුලු වල කරන්නෙ. විද්‍යා-වාදින් ඉන්නව හරි එහෙනම් අපි මිනිසුන්ට ඉන්න පුලුවන් වෙන ග්‍රහලෝකෙකට යනව වගෙ බොලද කතා කියන. නෙවිනම් අගහරු ටෙරාෆෝම් කරනව වගෙ කතා. මේව ඉතින් හොලිවුඩ් වලින් සයන්ස් ඩිග්‍රි ගන්න අයට හොද සුරන්ගනා කතා

12. සාගර ජල මට්ටම 2100 වෙද්දි ඉහල යයි කියන්නෙ අඩි කීපයක්. ඒකෙන් ලොකු ප්‍රදේශයක් යටවෙන්නෙ නෑ. ඒ නිස ලොකු ප්‍රශ්නයක් නෑ කියන මතය. මෙය අනවබෝධයෙන් කරන ප්‍රකාශයක්.  මේ අය සලක්න්නෙ නෑ සාගර මට්ටම් ඉහල යාමත් එකක් වෙන ගොඩබිම් ඛාදනය ගැන. ඒ වගේම සමහර ක්‍රියාකාරකම් කීපයක් ටිපින් පොයින්ට් එක පැන්නොත් ඊට පස්සෙ මිනිසුන්ට පාලනයක් නෑ ගෝලිය ව්‍යසනය මහා පරිමානෙන් වෙන්න ගන්නව. උදාහරන කිපයක් දුන්නොත්, තව සෙල්සියස් දශම ගානක් වැඩි වුනොත් ග්‍රීන්ලන්ත අයිස් තට්ටුව ඉවර වෙනකම් දියවෙන එක නවතන්න බැහැ. ෆ්ලොරිඩාව පමන ලොකු කිමි ගානක් ගනකම ඇන්ටාක්ටික් ත්වේට්ස් ග්ලේසියරය මූදට ලිස්සා යාම නවතන් ඉන්න අයිස් තට්ටුව තව සෙල්සියස් දශම ගානකින් දියවෙන්න පුලුවන්. ඊට පස්සෙ ඒක එක පිටිම්ම ලිස්සා යන්න ඉඩ තියෙනව. සාගරික හයිඩ්‍රේට දියවෙන්න ගත්තොත් ඒකෙන් මිනිසාට හිතාගන්න බැරිතරම් කාබන් නිකුත් කරන්න පුලුවන්. පර්මෆ්‍රොස්ට් භුමින් වල අයිස් දියවුනොත් ඒකෙනුත් එවැනිම ලොකු කාබන් කිකුතු වෙන්න පුලුවන්. මේව වෙන්න තව සෙල්සියස් දශම ගානක් ගියාම ප්‍රමානවත්. වෙන්න පටන් ගත්තාම් ඒව නවතන්න බෑ ඒව නිසා ගොලිය දේශගුනේ වෙනස්වෙන එකත් නවතන්න බෑ.

13. ධනවත් රටවල් පලමු ලෝකෙ රටවල් කාබන් පුලුස්සා පරිභෝජන කරන රටවල් මේ ගෝලිය අර්බුදේ අනාතයින් බාරගනී කියන මතය. නෑ ඒ වෙද්දි ඒ රටවලත් ලොකු ආර්තික සහ සමාජිය අර්බුද ඇවිත් තියෙන්නෙ. ඔවුන් ට වෙන අය බලන්න බැරිවෙයි.

තව මතක් වුණොත් එකතුකරන්නම්. මේ ප්‍රශ්න වල බරපතල කම හුදෙක් ආර්තික න්‍යායක වරදක් වගෙ සරල දේකට එහා යනව. මේවාට උත්තර හුදෙක් අධිපරිබෝජන නවතා හෝ සුවදායි ජීවිතේ පුන්චි පුරුදු කීපය වෙනස් කර ලබා ගන්න බෑ. කාටවත් මේකට උත්තරයක් නෑ.

Saturday, February 5, 2022

පරිභෝජනයේ සදාචාරය 5 - සංවර්ධනයේ දෙපැත්ත

ලොකු හාහෝවක් යනව "ලන්කාව ලෝකයෙ සන්වර්ධිත රටවල් අතර දෙවැනි තැන" කියල. කෙනෙක් ඒකට මෙන්න මේ ලින්ක් එක දාල තිබ්බ. ඒ ලින්ක් එක බැලුවම කතාවත් ඇත්ත. ලන්කාව දෙක කොස්ටාරිකා එක. ඔය යුරෝපා රටවල් ඔස්ට්‍රෙලියා කැනඩා ඇමෑරිකාස් ජපානෙ සින්ගා එහෙම එකසිය පනහක් විතර පහල. ඉතින් ඒක බලන උන් කියනව ලිස්ට් එක උඩ යටමාරු කරලද කියල. 

හැබැයි මේ ලිස්ට් එක නම් කර තියෙන්නෙ සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ඉන්ඩෙක්ස් කියල. එතන මිස් වෙන්නෙ "තිරසාර" කියන වචනෙ. දැන් ඔය ලිස්ට් එක හදාපු කෙනා තිරසාර සන්වර්දනය කියන්නෙ, ඒක පුද්ගල පරිසර භක්ශණය අඩුවෙන්ම කරල සමාජ ජීවන තත්වය හා ආදායම තත්වෙක තියාගන්න එකට. ආර්තිකය  වර්ධනය කරමින් පරිසරේ  රකින  එකට - ග්‍රීන් ග්‍රෝත්. ඔන්නොය ඇල්ගො එකට දැම්ම පරිසරේට නිය පිටකින් නොරිද්දන (ඔව් ඒක ඇත්ත අනිත් රටවල් එක්ක සන්සන්දනේ කලාම) මොකද්දො හේතුවකට සාපෙක්ශව තරමක් ලොකු ඒක පුද්ගල ආදායමක් හිමි ජීවන තත්වයන් තමන්ගෙ මට්ටමේ අනික් රටවලට වඩා හොද ලන්කාව සුරුස් ගාල ලිස්ටෙකේ උඩට එනවා. කොස්ටාරිකා, සිලි ලන්කා, ජෝජියා පැනමා කියුබා තමා උඩම ඉන්නෙ.

දැන් ඔය ලිස්ටෙකේ අයිරනියත් ඒකමයි. කිසියම් හෝ ආකාරයකින් ඉහල ඒක පුද්ගල ආදායමක් හා යහපත් ජීවන තත්ව උදාකරගත්තට මේ කිව්ව රටවල් ඉන්නෙ ආර්තික සන්වර්ධනයෙන් වල පල්ලෙ. රෙපුගූනැ රටවල්. දැඩි ආර්තික අවිනිශ්චිතභාවයන්ට මුහුන දෙමින්. ඒව රටවැසියට දැනෙන ගානට ඇවිත්. එක්කො සමාජවාදි ලොකු අයියෙක් නෙවිනම් ණය දෙන ආයතන විසින් මුන්ට දුන්නු ණය වලින් තමා ඔය ගානට එන්නෙ. ඇත්තෙන්ම ආර්තික සන්වර්ධනය කරගන්න තියෙන බැරිකම මිස අර භූතානෙ වගේ සිය කැමැත්තෙන් හිතල ඔතෙන්ට ආපු උනුත් නෙවි තනි කනා පල්ලමේ ආපු උන්. සන්වර්ධනය කරගන්න බැරිකම නිසා ඕකෙ උඩටම ආපු උන්.

ඉතින් මේ තිරසාර සන්වර්ධන ලිස්ට් එක හදාපු කෙනා ඒක අරගෙන ලෝකෙ සන්වර්දිත ලිස්ට් එක එක්ක තියල ඒකෙ අරුම පුදුම උඩ යට මාරුවිම බලනව නම් සන්වර්ධනය කියල එයා කියන්නෙ සෙසු ලොකෙ කියන එක නොවේ කියල තේරෙන්න ඕනෙ. සපුරා වෙනස් දෙකකට එකම නම දැම්මම වෙන්නෙ ඒකෙන් කොන්ෆියුස් උන්ග බුන්ගා වෙන ලෝක ප්‍රජාව සාමාන්‍ය සන්වර්ධනය ඉල්ලමින්ම ඒක තිරසාරව සිදුවේයයි බලාගෙන ඉන්නව.

ඒ නිසාම ඒක බලන කවුරුත් තේරුම් ගන්න ඕනෙ මිනිස් වර්ගයා සන්වර්දනය කියන්නෙ පරිසරේට අම්මට සිරි වෙන්න කෙලවන එකටය ඔය ක්‍යෝතෝ පැරිස් ග්ලාස්ගෝ සමිට් ලෝකනාත බුලක් ය. ලෝක පරිසර විනාශය නවත්වන්නනම් ඇති හැකි රටවල් ආර්තික අවපාතයක් සිය කැමැත්තෙන් දාගන්නම ඕනෙය කියල. ඒ කිව්වෙ පලවෙනි ලෝකෙ ජීවත් වෙන ආතල් ජීවිතේ ගෙවන්නයි මිහිතලේ රත්වෙන එක නවතන්නයි පෙන්ගුවින්ගෙ පස්ස අතගාන්නයි පෝලබෙයාට හග් දෙන්නයි එකපාර බැරි බව. ග්‍රීන් ග්‍රෝත්  කියන්නෙ අමු මිත්‍යාවක්.

මන් හිතන්නෙ මේ සියල්ල එකපාර කල හැකියි කියල හිතන සමස්ත ලෝක වාසියා තමා අපිට ඉන්න ලොකුම ප්‍රහසනය. ග්‍රේට තූන්බර්ග් අච්චර කෑ ගැහුවෙ ඒකයි. මුන්ට යකෝ පිස්සුනෙ මුන් මේ ආතල් ජීවිතේ මෙහෙම ගෙවන ගමන් කියනව ලොක උශ්ණත්වය ඉහල යාම නවත්තපල්ල කියල. හරියට ඒක අගහරු ලෝකෙන් ඇවිත් කරල දෙන්න ඔනෙ වගෙ. සමාජෙට අලුතෙන් බැස්ස යමක් වැටහෙන් පොඩි එකෙක්ට කෑගැස්සෙන්න ඕනෙ තමා ඒක දැකල.

දැන් බොහො දෙනෙක් මාව දන්නෙ ලන්කාවෙ සන්වර්ධනය වෙනුවෙන් පෙනි ඉන්න කෙනෙක් ලෙස නිසාත් කෝල් පවර් ස්ටේශන් ගහල පවර් ග්‍රිඩ් එක බැලන්ස් කරගන්න කියන කෙනෙක් ලෙස නිසාත් මේකෙ පරස්පරයක් තියේද කියල හිතෙන්න පුලුවන්. නෑ එහෙම නෑ. රෙපුගූනැ රටවල් කියල රටවල් ලිස්ට් එකක් ඉන්නව. අහම්බෙන් කැරකිලා තිරසාර සන්වර්දනේ උඩටම උන් එන්නෙ තිරසාර "සන්වර්දනය" කියන්නෙ පවතින්නක්නොවෙන නිසා. එහෙම රටවල් තමන්ගෙ අතිශයින් කුඩා පරිසර ෆුට්ප්‍රින්ට් එක තවත් හීනි කරමින් කුස පිටපොත්තට අලවාගෙන නහින්න ඔනෙ නෑ. ඒ රටවල් තව ටිකක් පරිසරේ කන්සියුම් කලාට කමක් නෑ. ඒ රටවල් තමන්ට දෙපයින් හිටගන්න ගානකටවත් එනකම් හිතන්න ඕනෙ මේ කියන තිරසාර "සන්වර්දනේ" ගැන නෙවි සන්වර්දනය කියල පොදුවෙ කියන කීයක් හරි උපයාගෙන ආර්තිකේ සවිමත් කරගන්න එකට. මෙතන වගකීම තියෙන්නෙ ඔය තිරසාර ලිස්ට් එකේ යට ඉන්න උන්ට. උන් තමා පරිසරේ කන යක්කු. උන් දැනටමත් සන්වර්ධිතයි. ඉන්නෙ සැපේ. උන්ගෙ සන්වර්දනේ වෙනුවෙන් තමා ලෝකෙ කාල තියෙන්නෙ. උනුයි කැපකිරීම කල යුතු.

පරිසරේ රකින ගමන් ලෝකෙ සන්වර්ධිත රටවල් ජීඩීපී ග්‍රෝත් එකක් තියාගන්න ආකාරය අධිපරිභෝජන ආතල් ලෙසටම තෲප්ත කරන ආකාරය ගැන කතාකිරිමත් විහිලුවක්. මේ රටවල් තමන්ගෙ ආර්තිකය පැලසුම් කල අවපාතයකට යවාගන්න ඕනෙ. පරිභෝජනයට සදාචාර සීමා දාගන්න ඔනෙ. නිකම් අවුරුද්දකට පාරක් සුපින්සමුලුවක් තිබ්බට වැඩේ වෙන්නෙ නෑ. තම අධිපරිභෝජනේට අවශ්‍ය දුම් ගහන වැඩ ටික චීනට අවුට්සෝස් කරලත් හරියන්නෙ නෑ.

ඒ නිසා මේ කතාවෙ ලොකුම අයිරනිය නම් සන්වර්ධනය කියන වචනෙ කොන්ෆියුස් වෙන භාවිතාවත්, සන්වර්ධිත රටවලට සැප ජීවිත ගෙවමින් පිස්සො වගේ පරිභෝජනය කරමින් ඒ ගමන් පරිසරේකුත් රකින්න පුලුවන් කියල හිතන කට්ටියත් තමා. ලන්කාව ඔය"සන්වර්ධිත රටවල්" ලිස්ට් එකේ දෙවෙනි තැන ඉන්න එක, අපිට කොහෙ හරි වැරදුනාද බන් කියල මුලු ලෝකයාටම තව ටිකක් හිතන්න වටින දෙයක්.

Tuesday, October 19, 2021

ඩූම්ස් ඩේ කතා

තාක්ශණයේ දියුණුව, නව ඛනිජ හා ලෝහ සකසන ක්‍රමවේද සොයගැනීම, නව උපකරණ සැකසීම, නව යුද උපක්රම දියුනු වීම ආදිය එක්ක ලෝකය නව තාක්ශණික යුගයකට ගමන් කරනව. ඒ සමගම ඒ නව ඛනිජ හා ලෝහ මත ධ්නය ඒකරාශි වෙනව. ධන කුවේරයින් බිහි වෙනව. අතිරික්ත ධනය මත තාක්ශණ වේදින් බිහි වෙනවා, තාක්ශණ ධන කුවේරයින් හැදෙනවා. මේ මිනිසුන් අතර හුවමාරු වෙළදාම් එක්ක වාණිජ මැද පන්තියක් හැදෙනව, උන් ආර්තිකය හසුරුවන්න සක්‍රියව දායක වෙනව. සාපේක්ශව නිදහස් ආර්තිකයක්. ඒ කිව්වෙ ධනය හිමි අය ඒව ආයෝජනය කරමින් තවත් ධනය රැස් කරන්න කරගෙන යන දේශසීමා ඉක්මවන තනි ආර්තිකයක්.

ඒ මත ස්මාජයේම ජීවන තත්වය ඉහළ යනවා. මෙතෙක් වෙන් ව තනිව උන් ගම්මාන නගර වෙනුවට ලොකු කලාපයක් යාවෙන විශ්ව ගම්මානයක් හැදෙනව. මෙතෙක් බලය පෙන්නන්න කළ යුද්ද ආයෙ කළොත් මේ යුටෝපියාව කඩා වැටෙන නිසා ඒ ඒ රටවල පාලකයින් සහ ධනවතුන් සාකච්චාවෙන් එකගතාවෙන් සහ සහයෝගයෙන් ජීවත් වෙන්න පුරුදු වෙනව. ඒ සමග දිගුකාලිනව සාමය උදාවෙනව.

භාණ්ඩ නිශ්පාදනය සන්කීර්ණ වෙනව. එක කෙළවරක අමුද්‍රව්‍යයක් තව කෙළවරක අමුද්රව්‍යක් එක්ක තවත් තැනක මහ පරිමානෙට නිපදවා තවත් බොහෝ තැන්වල අගය එකතු කිරීම කර කලාපය පුරා බෙදා හැරෙනවා. ඒ මත සප්ලයි චේන් නෙට්වර්ක් එකක් හැදෙනව. රුධිර ධමනි වගෙ දිවෙන නාවික මාර්ග හැදෙනව ඒවට රුධිර නාළීකා වගෙ සෙට් වෙන ගොඩබිම් ප්‍රවාහනය දියුණූවෙනව.

මිනිස්සු යුටෝපියාවක ජීවත් වෙන්න ගන්නව කවදාවත් කඩා වැටේ කියල නොහිතන.

හැබැයි ප්‍රශ්න තියෙනව. වෙල්ත් ඩිස්ට්‍රිබියුශන්. අති විශාල ධනයක් තැන් තැන්වල ඒකරාහි වෙනව, එතකොට සාමාන්‍ය මිනිහගෙ ජීවිතේ අමාරු වෙනව. ක්ලොක්වර්ක් වගෙ මේ සිස්ටම් එක දුවන්න උන්ට ලොකු බරක් දරන්න වෙනව. පීඩනයක් නිර්මාණය වෙනව. වාණිජ පද්දතිය සක්‍රිය වෙන්න වෙනන් ආර්තිකය සන්කීර්ණ වෙනව. ස්තාවරත්වය සාමය සහ සන්වර්ධනය එක්කම ජ්නගහනය වැඩිවෙනව. ඒ මිනිසුන්ට ස්පයන්න වැඩියෙන් දේවල් ඕනෙ වෙනව. භූමිය අධික ලෙස ගොවිතැනට යොදල ආහර හිගයන් එනව, ජලය හිග වෙනව. මහජනයා ලොකු මට්ටමින් එකිනෙක අතර අන්තර් සබන්ද පවත්වන වෙළදාමෙන් දුර තැන් පවා ඉක්මනින් සම්බන්ද වෙන මේ ලොකෙ වසන්ගත‍යක් ආවම විශාල බලපැමක් කරනව මොකද පැතිරීමේ සන්ගුණකය වැඩියි. කනෙක්ටඩ් ලෝකයක්. පැන්ඩෙමික තත්වයක්.

ඒ සමගම සියල්ල කණපිට හැරෙනව. ඉතාම කෙටි කාලෙකින්. දශක කිපෙකින්. ආර්තිකයේ සියුම් ස්වභාවය එන්න එන්න ම වැඩි ව්වුණාම ඉතා කුඩා වෙනසක් වත් එයට දරාගන්න අමරුයි. හිතන්න කිසියම් නිශ්පාදනයක් කරනන් නගර 10 ක අමුද්‍රව්‍ය ඕනෙනම් නගර 5 ක ශ්‍රම බලකා ඔනෙනම් ඒ නිශ්පාදනය කෙරෙන්න ස්තාන 15 ක් සාමයෙන් සමෲද්දිමත් ව තියෙන්න ඔනෙ ඒ ස්තාන 15 අතර සියලු ගමන් මාර්ග සුරක්ශිතව සක්‍රියව තියෙන්න ඕනෙ. මේවයෙ පොඩි හරි වෙනසක් වුනොත් ඒ නිශ්පාදන ඇනහිටිනව. එක නිශ්පාදනයක් තව එකකට බලපානව. මේ සමග සප්ලයි චේන් අර්බුද හටගන්නව. ඒ එක්කම ආර්තිකයට අවිනිශ්චිතබවක් ඇතුලු වෙනව. නිදහස් ආර්තිකයේ අර්බුදය එනම් ආර්තිකයට ආයෝජනය නොකර ඉන්නත් තියෙන නිදහස ඉස්මතු වෙනව. මිනිස්සු මේ අවිචාරමත් කාලෙ ගෙවෙනකම් වස්තුව හන්ගනව. වෙල්ත් එක මුට්ටිකාසි වෙනව. ආර්තිකයන් බිද වැටෙනව.

කලාපිය හෝ ලෝක කාළගුණ විපර්‍යාස ඇතිවෙනව. කෲශිකර්මය බිද වැටෙනවා බොහෝ තැන්වල. සමාජයෙ කෙමෙන් වර්ධනය වෙන ෆෝල්ට් ලයින් දිගේ ඝට්ටන ඇතිවෙනව. මිනිස්සු තමන්ගෙම නගර කොල්ලකනව ධනවතුන්ගේ බලවතුන්ගෙ නිවාස කොල්ල කාලා ඒව බිමටම පුලුස්සා දමනවා.

විශාල මනුශය් සන්ක්‍රමණ ඇතිවෙනවා. යුටෝපියාව කඩා වැටෙනකොට එහි මුල්ම බලපෑම් එන්නෙ ප්‍රත්‍යන්ත පලාත් වලට. ප්‍රත්‍යන්ත වල යුද්ද ඇවිලෙනවා. ඒවයෙ ආර්තිකයන් සුන්නද්දුලි වෙනවා. ජීවත් වෙනන් අසීරු වෙනවා. මිනිස්සු මහා පරිමානෙන් කල්ලි ගැහිලා වඩාත් ධනවත් පෙදෙස් කරා බලහත්කාරෙන් සන්ක්‍රමණය වෙනවා. මේ එන මිනිස්සු ශිශ්ටාචාරෙ පස්ස පැත්ත. චින්තනයෙන් පසුගාමියි නොදියුනුයි. ඒත් උන් ජීවිතය සහ මරණය අතර සටනක ඉන්න නිසා ලොකු ඉලක්කම් වලින් අර කිව්ව දියුණු පළාත් වලට සන්ක්‍රමණය වෙනවා. මේ නිසාම ඒ පෙදෙස් වල බලය තීරණාත්මක ලෙස මේ මිනිසුන් අතට යනව. යුටෝපියාව ම්ලේච්චයින් අතට යනව.

ඒක ඉතින් ෆයිනල් මෝමන්ට් එක.

කීදෙනෙක් ඉන්නවද මේ වෙද්දි මට චෝදනා කරමින්. කීදෙනෙක් කියනවද මේ වෙද්දි මන් ඩූම්ස් ඩේ තියරි හදනවා කියල. කීදෙනෙක් කියනවද පිස්සුද බන් ඔහොම වෙන්නෙ නෑ කියල.

ඒත් ඔහොම වෙනව කියල නෙවි මන් කියන්නෙ. ඔහොම තමා වුනේ. ඔහොම තමා ඒක ඉවර වුණේ.

ලෝකඩ යුගයේ ශිශ්ටාචාරය හෙවත් බ්‍රොන්ස් ඒජ් සිවිලයිසේශන් කියල ලෝකය හදුන්වන අදින් වසර 4000 ක සිට 3200 ක් ඉස්සර වෙනකම් බටහිර ආසියාවෙ තිබ්බ ශිශ්ටාචාරය කඩා වැටුනෙ ඔහොම.

ඉතිහාසය විශ්ලේශණය කරන බොහො දෙනෙක් අද අපි ඉන්න ලෝක ශිශ්ටාචාරය එක්ක ලාක්ශණිකව ලොකු සමානකම් දකිනව මේ ලෝකඩ යුගයේ ශිශ්ටාචාරය තුල. යුරෝප මූලික ලොකයෙ ස්තාවර යුගයන් කියල කියන රෝමය, මොන්ගල් යුගය, ශු රොමාධිරාජ්‍ය, බ්‍ර්තාන්‍ය අධිරාජ්‍ය වගේ කාලවලට වඩා අද අපි ඉන්න තත්වෙට සමානකම් වැඩියි ලෝකඩ යුගයේ ශිශ්ටාචාරය තුල.

ලෝකඩ නිශ්පාදනය එක්ක නිර්මානය වන තාක්ශනික විප්ලවය මත තඹ සහ ටින් හාරන පතල් කර්මාන්තය ඒමත බිහිවන නව නිශ්පාදන, ඇෆ්ඝනිස්තානෙ බ්‍රිතාන්‍ය පමණ දුරවල් වලට ඇදුන සප්ලයි චේන්, මේව නිසා කනෙක්ට් වෙන ලෝකය එහි නිර්මාණය වන වාණිජ අධිරාජ්‍යය, වෙළදාම සහ භාන්ඩ/සේවා සැපයීමෙන් දියුනු වන සමාජෙ මැද පන්තිය. රජුන් ජනයා බලහත්කාරෙන් හසුරුවා කල දේවල් වෙනුවට ධනවතුන් සහ වෙලදුන් හා සෙසු මහජනයා එක්ව කල වඩාත් නිදහස් ආර්තික රාමුවක් පේන්න තියෙන්නෙ. ඒ මත ග්‍රීසිය තුර්කිය සුළු ආසියාව සහ ඊජිප්තුව අවට හැදෙන බලවත් ධනවත් එහෙත් සාමකාමි රාජධානි - මයිසිනියන්, සිප්‍රයිට්, හිටයිට්, ඊජිප්තු, ඇසිරියන් ආදී ලෙස. මෙයාල ඔක්කොම පාලනය කරන්නෙ අපෙ යු එන් එක වගේ හරිම හිතවත් පාලක පිරිසක් ඒ පාලකයින් යැපෙන්නෙ ධන කුවේරයින්ගෙන්, ටැක්ස් වලින්. අපෙ යු එන් එක හා පාලකයින් ලෝකෙ ධනය වෙනුවෙන් මලාට යුද්ද ඇතිවෙන්න නොදෙන්නා සේ මෙයාලත් යුද්ද වලකනවා. යුටෝපියාව හැදෙන්නෙ එහෙම.

සමහරවිට අපි මෙයාල ගැන දන්නව වැඩි ඇති. මොකද ඔවුන් ලේඛනය කලේ පිලිස්සු මැටි පුවරු වල. පිලිස්සු මැටි පුවරු වෙනත් ලේඛන ද්‍රව්‍ය වලට වඩා සුරක්ශිතව තියෙනව. ඒ නිසා වෙලදාම් කරපුව ඕඩර් දාපුව ඉන්වොයිස් එවපුව එකිනෙකාට යවාගත්ත හා යවාගන්න බැරි වූ ලියුම් අන්තිම අසාද්‍ය වෙලා අපිව බේරගනියෝ කියල යවාපු පනිවුඩ එහෙම සැහෙන්න හමුවෙලා තියෙනව. අකුරු කියව ගත්ත ගමන් ලොකු විස්තරයක් විවර වෙලා තියෙන්නෙ.

එය බිද වැටුනෙ අහවල් හේතුවටයි කියන්න බෑ. සප්ලයි චේන් බිද වැටීම එක්ක නිශ්පාදන ආර්තිකය හිරවෙන ආකාරය පේන්න තියෙනව. කොමද ද්න්නවද? භාන්ඩ හිගයන් ගැන සාක්ශි තියෙනව ඕඩර් රිපීට් කර කර ඉල්ලපු මැටි පුවරු තියෙනව, එවයි කියල හිතපු බාන්ඩ නොලැබීම ගැන ලියු ලියුන් තියෙනව. මේ වතාවෙ ආහාර එව්වෙ නැත්නම් අපි මැරෙයි කියල යැවු පනිවුඩ තියෙනව. මෝස්ට් ඉම්පෝටන්ට්ලි එහෙම ලියල ඒත් යවාගන්න බැරි වූ පනිවුඩ තියෙනව. ඒ කියන්නෙ යවනකම් වත් සර්වයිව් වී නෑ. ඒ නිසා ආර්තිකේ වැටෙන එක තමා මුලින්ම වුනා කියල හිතන්නෙ. ආයෝජන වෙනුවට සල්ලි මුට්ටිකාසි වෙලා සමහරු වළලලත් තියෙනව පස්සෙ හොද කාලෙක ගන්න හිතන්, ඒත් ඒ මිනිස්සුන්ට ඒව ගොඩ ගන්න වෙලා නෑ.

කලාපිය දේශගුණ අර්බුදයක සළකුණු තියෙනව. නියන් ජල හිගය සහ ෆැමින් වල සළකුනු කලාපෙ පුරාම තියෙනව. පැන්ඩෙමික වසන්ගත වල සළකුණු තියෙනව කනෙක්ටඩ් නිසා ඒක හැම තැනම ගියා කියල හිතන, බොහෝ නගර වාසින් තමන්ගෙම නගරෙ කොල්ල කෑව කියන්න සලකුනු තියෙනව.

ඔය කාරණා එක්ක මිනිස්සු පාරට බැහැල ධනය කොල්ල කන්න ඇති සල්ලි කාරයො රජුන් පලා යන්න ඇති. නගර ගිනි තිබ්බ කියන්නෙ නගර වැසියන් මයි. ඒක ඇවිල්ල පිස්සු හැදෙන මොහොතක්. යුටෝපියාවෙ සැපට උන්නු මිනිස්සුනෙ. උන්ට මල පනින්න ඇති. මේ තත්ව උත්සන්න වෙනකොට වඩාත් දුර බැහැර නොදියුණු පලාත් වලින් (යුරෝපා භුමියෙන්, මධ්‍යධරනි දූපත් වලින් එහෙම) ආපු සුවිසල් මිනිස් සන්ක්‍රමණ නිසා ඔවුන් එක්ක ඇතිවන යුද්ද සහ සාපේක්ශව නොදියුනු ඒ මිනිස්සු (සී පීපල් කියල හදුන්වන) මේවයෙ බලය ඇල්ලිම එක්ක කලාපය බිද වැටෙන්නෙ.

ශිශ්ටාචාරමය ලෙස උසස් තත්වයක් ආයෙ එන්නෙ සහස්‍රයකට පමන පසු.

නිකමට මේ මොහොත එක්ක සන්සන්දනය කර බලන්න. හරි දැන් ඔයාල ඩූම්ස් ඩේ කතා ටික තනියෙන් ලියා ගන්න.

ප.ලි. ෆේස්බුක් එකෙන් මට ආපු ප්‍රතිචාර එකක් පොඩි ක්ලැරිෆිකේශන් ටිකක් ලියන්න හිතුව, ඒ ප්‍රශ්න කිරීම් කල හැමට ස්තුතිය.

1. මේක අතීතෙ වෙච්ච ඉවෙන්ට් එකක්. ඒකම ආයෙ එහෙම්ම වෙනව කියල කියන්නෙ නෑ අපි දකීන්නෙ අපේ වගේ තරමක් නිදහස් එසේම ඉතා ෆ්‍රජයිල් ආර්තිකයක්. කනෙක්ටඩ් කලාපයක් සප්ලයි චේන් මත රදා පැවතුන ලෝකයක්. සිමිලරටීස් තියෙනව. වෙච්ච දේවල් වෙලා තියෙනව. මිනිස් ස්වභාවයන් නිසා අර වෙච්ච දේ වගෙ "නැඹුරුතාවන්" අපි ඉන්න කාලෙත් ඇතිවෙන්න පුලුවන්. හැබැයි ඉවෙන්ට්-වයිස් රිපීට් වීමක් අපි හෙව්වොත්, කිසිම දෙයක් මලාට එහෙම වෙන්නෙ නෑ. සමානකම් තියෙන්නෙ ස්ට්‍රක්චර් එකේ ඉතාම උඩ මට්ටමක පමනයි. ඊට පහලට ඩීටේල් වලින් අපි ඉන්න කාලෙයි ලෝකඩ යුගයයි අතර මහා වෙනස්කම් තියෙනවනෙ. අපි ඒක රිසෝල් කරගන්න හැටි අපිටම ආවේණිකයි සහ අපි විසින් ඩිෆයින් කරන්නෙ. ඉර්ණමක් වගෙ දැනටම ලියවිලා නෑ. ෆේමස් කියමනක් තියෙනව හිස්ට්‍රි ඩස් නොට් රිපීට් ඉට් ජස්ට් රයිම්ස් කියල.

2. අනික මේක මේ වෙලාවෙ යන කෝවිඩ් වසන්ගතෙ එ එක්ක පටල ගන්න එපා, මේ ගැටලු දිගුකාලිනයි. දශක හෝ සියවස් ගානක් තිස්සෙ යන කතා. ඒත් ශිශ්ටාචාර දෙකේ සමානකම් නිසා දිගුකාලිනව බොහො විට අපේ වයසෙනුත් එහාට වෙන්න ඉඩ තියෙන ෆේලියර් ගැන සමහරු කතාවෙනවා. කෝවිඩ් එකක් වෙච්ච දේවල් ඒ වල්නරබිලිටියට සාක්ශි සපයනව.

3. ඇත්තෙන්ම ඒ බොහො කතාවල බොහො දෙනෙක් නොදකින ක්‍රිටිකල් කාරනාවක් තමා චීනගෙ භූමිකාව. බ්‍රොන්ස් ඒජ් එකේ එහෙම එකෙක් ඉදල නෑ. මේ සිස්ටම් එක් කලප්ස් වීගෙන යනවනම් චීනගෙ භුමිකාව මොකක් වේද? එකාතකින් චින කියන්නෙ ආර්තිකේ ස්වාභාවිකව වැටිල වට්ටන්න පුලුවන් එකෙක් නෙවි උන්ගෙ ස්ටැට්ස් ඉදල කෲතිම එව්ව. අනික් අතින් චීන කියන්නෙ බලෙන් අල්ලගෙන ඉන්න එකෙක්, ස්වාභාවික බලයක් නෙවි. එක්කො ඔක්කොටම කලින් ඌ වැටෙනවා. ඉතින් මෙවැනිම දෙයක් වුණත් චීනා ගෙ භුමිකාව අනුව කලප්ස් නොවී වෙනත් අතරමැදි අවස්තාවලට මාරු වෙන්න පුලුවන්.

Sunday, September 26, 2021

අපි අපේ ශිශ්ටාචාරයේ උපරිමය පසුකර ගිහින් ද?

නගරයේ කළබල වීදි වල පේව්මන්ට් දිගේ වැඩියෙන්ම දකින්න ලැබෙන්නෙ ඌබර් ඊට්ස් බයිසිකල්. එව්ව පාරෙ පදිනව අඩුයි, පළල හින්දද කොහෙද. කෝවිඩ් රැල්ලත් එක්ක හේතු දෙකක් නිසා ඌබර් ඊට්ස් වැඩිවෙලා තියෙනව. එකක් තමා ඔඩ් ජොබ්ස් අඩුම වෙලා යාම. අනික තමා මිනිස්සු රෙස්ටෝරන්ට් වලට යන්න අකමැති වීම. කෝම වුණත් මේ ඌබර් ඊට්ස් පදින බර හරියක් ස්ටුඩන්ට්ස් ලා.

ඌබර් ඊට්ස් විතරක් නෙවි, ඌබර් ඩ්‍රයිවිනුත් සමාජෙට සැහෙන්න කා වැදිලා. ඒක කෝවිඩ් නිසා ටිකක් අඩුවෙලා. ඒත් මම දන්න පෙර ඔෆිස් වල යාලුවො ඉන්නව ජොබ් එකට අමතරෙන් ඌබර් එලවන. මේක හෙණම කූල් හොබි එකක් පාස්ටයිම් එකක්ම නෙවි. සම්මත ලයිෆ්ස්ටයිල් එකක පැය අටේ වැඩ මුරයෙන් පස්සෙ තමන්ගෙ පවුලෙ අය එක්ක කාලය ගෙවන්න හෝ තමන්ගෙ හොබි එකකට කාලය දෙන්න තමා ඉතින් කියන්නෙ. එතකොට කෙනෙක් අමතර පැය ගානක් ඌබර් එළවීම සළකන්න වෙන්නෙ 1888 චිකාගෝ වල පෙළපාලි ගිය කම්කරු ජනයාගෙ කණට ගහපු පාරක් වශයෙන්ද? අමතර වෙලාවෙ බිස්නස් හදන ඔන්‍ටප්‍රිනර් උන් ඉන්නව, අමතර වෙලාවෙ ක්‍රීඩා කරන උන් ඉන්නව මියුසික් කරන උන් ඉන්නව, හොබි වලින් හම්බු කරන උන් ඉන්නව ගේම් ස්ට්‍රීමින් කරන උන් ඉන්නව. ඒ ඔක්කොගෙම පොදු කතාව තමා එයාල කරන්නෙ තමන් ආසා දෙයක්. ඉපයීම සෙකන්ඩරි. ඒත් ට්‍රැෆික් එකේ වාහන එළවීම තෲප්තියක් කරග්ත් හෙනම රෙයා එකෙක් නොවෙන්න ඌබර් එකෙන් අනාගතෙ කල් පවතින ලොකු ව්‍යාපාරයක් ඔන්ප්‍රිනර් එකක් හැදෙන්නෙත් නෑ හොබි ආතල් එකක් තෲප්ත වන්නෙත් නෑ. ඌබර් එළවන්න මධ්‍යම පාන්තික මිනිස්සු පෙළඹීම සළකන්න වෙන එකම විදියනම් මධ්‍යම පාන්තික ජීවිතේට වයිට් කොලර් රස්සාව මදි වීම කියල තමයි.

අද මන් දකිනව ෆේස්බුක් එකේ සන්වාදයක දෙන්නෙක් ලියු කමෙන්ට් දෙකක්. මේ සන්වාදය මට දැන් හොයන්න බෑ, ඒ නිසා ඒ දෙන්නගෙන් අවසර ගන්නත් බෑ, ඒ නිසාම නම් දාන්නෙත් නෑ. මෙහෙම කමෙන්ට්දෙක ගන්න එක ඕකේ කියල හිතනව. මේ ඒ කමෙන්ට් දෙක.

"50-70 කාලෙ තම ඓන්න තිබ්බෙ. හොද ජොබකුයි හොද වාහනේකුයි තිබ්බ උන් රජ ආතල් එකක් ගත්තෙ ඒ කාලෙ"
"ඒ කාලෙ සපත්තු සේල්ස්මන් කෙනෙක්ටත් හොද ගෙයක් වාහනයක් ගන්න පුලුවන්කම තිබ්බ කියල කියන්නෙ"

මේ කතාව ජෙනරලයිස් කරගත්තොත් මෙයාල කියන්නෙ එයාලට ගෙවල් ගන්න බෑ වාහන ගන්න බෑ හෝ රජා වගේ ඉන්න ඕනෙ කියන එකට වඩා කාලයත් එක්ක ඔය මධ්‍යම පාන්තිකයක්ගෙ ජීවන අවකාශෙ සිහින් වෙලා ඉතුරුවෙලා තියෙන තරම ගැන කතාවක්. මේක සත්‍ය කතාවක්.

අසූව දශකයේ ඇමරිකාවෙ සමාජ ජීවිතය වෙනස් වූ ආකාරය ගැන කතාකරන්න බිද වැටුනු මධ්‍යම පාන්තික ජීවිත අළලා පටන්ගන්න කාටුන් සිරිස් එකක් තමා ද සිම්ප්සන්ස්. හෝමර් හෙවත් පවුලේ පියා බෝම පොඩි රස්සාවක් කරන්නෙ අම්ම ඉන්නෙ ගෙදර ළමයි තුනයි. මෙයාලට තමන්ගෙ ගෙයක් හා වාහනයක් තියෙනව. ඒත් මෙයාල ඉන්නෙ ම්ධ්‍යම පන්තියෙ පිට පොත්තෙ. අන්න ඒ මධ්‍යම පන්තියෙ පිට පොත්තෙ ඉන්න උන්ගෙ ජීවිත ගෙවෙන ආකාරය උන්ගෙ ගැටලු ගැන කතාවෙන්න තමා කතාව නිර්මාණය කරන්නෙ. ඒත් මොකක් හෝ හේතුවකට සිම්ප්සන්ස් ඉවෝල් වෙන්නෙ නෑ දැන් එපිසෝඩ් 32 ක් ගිහින් තාමත් යන්නෙ ඒ කතාවමයි (සිම්සන් නිතර බලන්නෙක් නොවෙන නිසා ඒක එහෙම වෙන්න කතාවෙ පැහැදිලි කිරීමක් තියෙද දන්නෙ නෑ, ඒත් ඒක මට අදාල නෑ). ඉතින් 2021 අපි මේ බලන්නෙ 1989 මධ්‍යම පන්තියෙ වාටියෙ උන්නු පවුලේ කතාව.

මාර සීන් එක කියන්නෙ ඒ පවුල අද ඇමරිකාවෙ ඉන්න හොද මධ්‍යමපාන්තික පවුලක ස්ටේටස් එකේ ඉන්නෙ. සිම්සන් පවුල එතරම් වැඩි පඩියක් නොවෙන එක ඉන්කම් එකකින් ගෙවපු ජීවිතේ ගෙවන්න අද වෙද්දි ඇමරිකන් මධ්‍යම පන්තියෙ දෙන්නම (ඒ වගෙ ජොබ්ස් වලින්) උපයලත් අමාරුයි. ඒ උපයන දෙන්නටත් අමතර රස්සා කරන්න වෙනවා. හෝමර් සිම්සන් අමතර රස්සා කරන්නෙ එදාවේලට හෙවත් එන්ඩ්ස් මීට් කරන්න නෙවි, ලමයෙක්ගෙ උවමනාවකට, හෝ මොකක් හෝ අකරතැබ්බයක් නිසා. ඒත් දැන් සෙකන්ඩ් ඉන්කම් එකත් අවශ්‍ය එදාවේලට.


දැන් ඔය බිග් බෑන් තියරි තියෙන්නෙ. විද්‍යා මූලදර්මය නොවේ ඇමරිකන් සිට් කොම් එක. ඒ කතාවෙ අතිශයින්ම අභව්‍ය සිද්දිය දන්නවද? නිළියක් වෙන්න හිතන් මාසෙට ඩොලර් දෙසියක් ද කොහෙද ගෙවාගෙන පන්තිත් යන කෙල්ලෙක් වේටර් රස්සාවක් කරල එල් ඒ වල පැසඩීනා කියන අෆ්ලුවන්ට් නේබර්හුඩ් එකේ ස්ටුඩියෝ අපාට්මන්ට් එකක ජීවත් වීම. ඒක සාමාන්‍ය වේටර් රස්සාවක් කරන කෙනෙකුට ඉම්පොසිබල්.


මධ්‍යම පන්තියට ඔහොමනම් දරිද්‍රතා ඉරට පහළීන් ඉන්න අයට කෝම ඇද්ද? ලෝක සම්මුතියෙන් දරිද්‍රතාවය කියන එක මනින්නෙ රටේ ගෙදරදොර මධ්‍යස්ත ආදායමෙන් බාගෙට අඩු ආදායම් ලබන්නන් කියල. මේ දරිද්‍රතා ඉර ට පහළ ඉන්න ප්‍රතිශතය මහ ලොකුවට වෙනස් වෙලා නෑ. ඒත් ඒ ඉරට පහළින් ඉන්න මිනිහෙක් එදිනෙදා ජීවිතේට කරන්න තිබ්බ දේවල් ටික මහ ලොකුවට වෙනස් වෙලා තියෙනව මේ වෙනකොට. පෙරට වඩා බෙහෙවින් අසීරුයි, ඒ වගේම ඒ ආදායමෙන් ඔවුන්ට ලබාගතහැකි දේත් පෙරට වඩා සීමිතයි.

ඕකත් එක්ක නිර්මාණය වන සන්කිර්ණ අර්බුදයකට බොහො රටවල් ගිහින් තියෙන්නෙ. තව ඇමරිකන් කොමඩියක් ගමු, බිග් බෑන් තියරි. ඒ කතාවෙ අතිශයින්ම අභව්‍ය සිද්දිය දන්නවද? නිළියක් වෙන්න හිතන් මාසෙට ඩොලර් දෙසියක් ද කොහෙද ගෙවාගෙන පන්තිත් යන කෙල්ලෙක් වේටර් රස්සාවක් කරල එල් ඒ වල පැසඩීනා කියන අෆ්ලුවන්ට් නේබර්හුඩ් එකේ ස්ටුඩියෝ අපාට්මන්ට් එකක ජීවත් වීම. ඒක සාමාන්‍ය වේටර් රස්සාවක් කරන කෙනෙකුට මේ මොහොතෙ ඉම්පොසිබල්.

පෙර සදහන් කළ 50-70 කාලෙට ආපහු යාමේ සිහිනය බොහො දෙනෙකුට එන හේතුව මේකයි. ඇත්තෙන්ම 60 කියන්නෙ පළමු ලෝකෙට මාරම හොද දශකයක් වෙන්න ඕනෙ. ලෝක යුද්ද ඉවර වෙලා ලෝකය නැවත ඕඩර් එකකට සකස් වෙලා ආර්තිකයන් පිකප් කරගෙන ආවට ජීවන වියදන් අහස උසට නැගල නෑ. මිනිස්සුත් මාර ඇචිව්මන්ට් ගත්ත කාලයක්. කලාව ගත්තත් අලුත්ම මානයකට යනව. මානව චින්තනය තදින් වෙනස් වෙනව. අපි අතේ ඒ කාලෙට වඩා දැන් ගැජමැටික් තියෙනව තමා. ඒත් ඒක ජීවිතේ යහපත් බව ගැන මිම්මක් නෙවි. මේ ශිශ්ටාචාරය විනාස වුන දවසක අනාගත ශිශ්ටාචාරෙක ඉදන් මේ ගැන අධ්‍යනය කරන කෙනෙක් ඔයාගෙ ගේම්ස් වල ග්‍රැෆික් කොලිටිය මත නෙවි ශිශ්ටාචාරයේ උපරිමය හෙවත් සීනිත් එක නිර්ණයකරන්නෙ. හැටේ සිට මේ දක්ව අපෙ ප්‍රගතිය තරමක් ඉන්ද්‍රජාලික එකක්.

මේක වුණෙ එකොහොමද? අපි අර අතීතෙට යන කතාව ගත්තොත්, ඔය කතාව කියන කිසිවෙකුත් 60 දශකෙ ඉන්දියාවට චීනෙට කොරියාවට වියට්නාමෙට අප්‍රිකාවට යන්න මලාට හිතන්නෙ නෑ. ජපානෙටවත්. ඔය හැම තැනකම වගෙ එක එක ආකාර වල මානව ඛේදවාචක විසින් මහජනයා පාගාගෙන ජීවිත ඉතාම දුක්බර ලෙස ගෙවමින් තිබ්බෙ. ලන්කාව විතරක් ගත්තත් ඔය ආපහු යන සිහිනෙ තියෙන්නෙ කොළඹ එවකට ඉහළ යයි සම්මත සමාජෙට යාම. ගමක උන්නනම් ඔය කියන කාරෙකක් තියාගෙන ගෙයක් තියාගෙන ඉන්න සිහිනෙ සාර්තක කරගන්න පුලුවන් ඉතා සුලු පිරිසකට පමණයි. ඉතින් ලන්කාවෙ මොකද වුණේ කිව්වොත් නිදහස් අධ්‍යාපනය සහ ලෝකෙට විවර වීම නිසා ඒ දේවල් ගන්න බැරි අයත් ඒව ගන්න මට්ටමට ආව. සම්පත් සීමිතයි නෙ ඉතින් සමාජෙ බර පිරිසක් එම්පවර් වෙනව කියන්නෙ ඊට කලින් එම්පවර් වෙලා උන්නු අයගෙ පවර් එක පොඩ්ඩක් හෝ අඩුවීමක් වෙනව කියන එක. බැලන්ස් එකක්නෙ තියෙන්නෙ. ඒ වගේම ඉල්ලුම හා සැපයුම අතර බැලන්ස් එක නිසා ගොඩ දෙනෙක් මේ දේවලට ඉල්ලුම් කියනකොට ඒව ලබාගන්න යන වියදම ඉහළ යනව. ලෝක මට්ටමෙත් වුණේ ඕකමයි. අර කිව්ව ඉන්දියාව චීනෙ කොරියාව වියට්නාමෙ සහ තව විශාල ප්‍රමාණයක් රටවල් පිකප් වෙලා ආවම පෙරකී පරිදි සම්පත් බෙදීමෙ බැලන්ස් එකත් එක්ක ඒව සුලබව තිබ්බ පළමු ලෝකෙට ඒව අඩුවෙන් ලැබෙන්නෙ අනික ඉල්ලුම ඉහල යාම නිසා ඒ සම්පත් වලින් උවමනා සපයා ගන්න යන වියදම වැඩියි.

ඒකයි සිම්සන් පවුල හා බිග් බෑන් තියරියෙ පෙනිගෙ කතාව දැන් සමාජෙට ලබාගන්න බැරි අභව්‍ය එකක් වෙලා තියෙන්නෙ. පනහ හැටේ දශකය ගැන අපිට රොමෑන්ටික් තාලෙට හිතෙන්නෙ. දැන් අර ඌබර්ඊට්ස් බයිසිකල් පදින ස්ටුඩන්ට්ස් ලට අපි කියන්නෙ මොකද්ද? මහන්සිවෙලා ඌබර් ඊට්ස් කරලා ඉගෙන ගනිල්ලා ඊට පස්සෙ උඹලට හොද රස්සාවක් අරගෙන කාරෙකක් හේම අරගෙන කාර් ගෙවල් වල ලෝන් බේරන්නයි ස්ටුඩන්ට් ලෝන් තියෙන රටවල ඒව බේරන්නයි ඌබර් ටැක්සි දුවන්න පුලුවන් කියලද?

මේක ශිශ්ටාචාරයේ කඩා වැටීමක් ද ? ශිශ්ටාචාරය කියල මන් කියන්නෙ පුනරුදයෙන් පටන් ගෙන යටත්විජිතවාදය ඔස්සෙ ලෝකෙ පුරා ගිය යුරෝපා මූලික ශිශ්ටාචාරය, ඒක තමා ලෝකෙ බහුතරයක් රටවල් ෆොලෝ කරන්නෙ කැමත්තෙන් හෝ අකමැත්තෙන්. අපි මේ දකින්නෙ ඒකෙ අවසානයද?

මන් මෑත කාලෙ බලාපු ලස්සනම යු ටියුබ් සීරිස් එකක් පෝල් කූපර් ගේ ෆෝල් ඔෆ් සිවිලයිසේශන්ස්. පෝල් ඉතිහාස දත්ත විශ්ලේශනය සහ කතාව කීමට එහායින් දෙයක් කරනව. ලෝකෙ උපරිමයන්ට ළගා වෙලා විවිධ හේතු නිසා බිද වැටුණු ශිශ්ටාචාර බිද වැටෙන්න ආසන්න මොහොතෙ මිනිස්සු ලියු දේවල් කියු දේවල් වලින් අරගෙන ඉතාම හැගුම්බර නාට්‍යමය අවස්තාවක් හදනවා අපි ඒ ශිශ්ටාචාරෙ කෙනෙක් නම් මේ කඩාවැටීම කෝමද දැනුනෙ කියන එකට. පෝල් ගෙ ෆෝල් ඔෆ් සිවිලයිසේශන් එකේ කඩා වැටෙන ශිශ්ටාචාරවල අවසානෙ තිබ්බ ලාක්ශනික ස්වරූපයන් අපි ඉන්න මේ ශිශ්ටාචාරෙත් දැන් පේනව. කිසිම දෙයක් සදාකල් මෙහෙම පවතින්නෙ නෑ, මේකත් තව එක ශිශ්ටාචාරයක් පමණයි. ඉතිහාසෙ තිබ්බ දැවැන්ත ශිශ්ටාචාරත් ඒවයෙ සීනිත් එකේදි මෙහෙම තමයි ෆීල් වෙන්න ඇත්තෙ. ඒව කඩා වැටිල තියෙන්නෙ සුලු සිද්දි වලින්. ඒත් කඩා වැටෙන්න ගත්තාම නතර කරගන්න බෑ. අපි ඉන්නෙ එහෙම තැනකද?

නෙවිනම් අපි ඉන්නෙ පැරඩියම් ශිෆ්ට් එකක් ලග වෙනන් පුලුවන්. උදාහරනෙකට කාර්මිකරණය සෞඛ්‍ය අන්ශවල දියුනුව ආදිය නිසා ලෝකෙ - විශේශයෙන් යුරෝපෙ - ජනගහනය වැඩිවත්ම එවකට තිබ්බ සාම්ප්‍රදායික කෲශි උපක්‍රම වලින් වවල කන්න දෙන්න ඉඩම් ප්‍රමාණවත් නොවීම නිසා ලෝක යුද්ද ඇතිවුණා කියල කියනවනෙ. ඒත් හරිත විප්ලවය විසින් ගොවිබිමක අස්වැන්න විශාල ලෙස ඉහල දමන නව ප්‍රබේද හදනවත් එක්කම ඒ ගැටලුව අවසන් වෙලා යනවා. ආහාර සුරක්ශිතතාවය ගැන අපි තාම ඉන්නෙ හරිත විප්ලවය විසින් නිර්මාණය කළ ඒ අලුත් පැරඩියම් එකේ.

ඔය දෙකෙන් වෙන්නෙ මොන එකද කියල නිරවුල් නෑ. ඒත් පෙර කී කතා සියල්ලෙ තියෙන පණිවිඩේ මේ වෙද්දි සමහර ජිමික්ස් වලින් අපි ඉස්සරහින් ඉන්නව කියල අපිට හිතුනට අපි යන්නෙ අනිත් අතට කියන එක. සීනිත් එක පහුවෙලා. සීනිත් එක පැන්නම ශිශ්ටාචාරය ඉන්න උන්ට මල වනයක් වෙනව. ඒකෙ නඩත්තු බිල ගෙවාගන්න ඉන්න උන්ට අමාරු වෙනව. පැරඩයිම වෙනසක් නොකලොත් ඒක වැටෙන්නෙ ඒකෙම බරට. අපි ඉන්නෙ ඒ මොහොතෙ නෙවිද?

Saturday, November 30, 2019

පරිභෝජනයේ සදාචාරය 4 - අද කළු සිකුරාදා. මෙන්න විශේශ වට්ටමක්.

බොහෝ පාරිභෝගික භාණ්ඩ අඩු මිළට සැපයෙන සේල් දවසක් වන කලු සිකුරාදා ඊයෙ දවසයි. මේ ඒ සමග ශෙයා වෙන මීම් එකක්.


අද කළු සිකුරාදා. මෙන්න විශේශ වට්ටමක්. 

100% ක ම වට්ටමක්. 



අද කිසිම වෙළද සැලකට ගොඩ නොවැදි නිවසේ සිටින්න. 

ඔබ 100% ක්ම ඉතුරු කරනු ඇත.

බොහෝ මෙවනි සේල් පවත්වන්නෙ අපට අවශ්‍ය දිනවල නොවේ. මන්ගලෝත්සවය විදෙස් ගමනක් වැනි සුවිශෙශි හේතුවකට ලොකු ප්‍රමාණයක් මිලට ගන්න සැලසුම් කරනවා නොවේනම් මෙ දවස එනකම් ඔබට මතකයක් වත් නැත. ඒ දවස එනකම් ඔබ ඔබේ අවශ්‍යතා සපුරා නොගෙන ඉන්නේ ද නැත.

එනයින් මෙවැනි සේල් වලින් ඔබ බොහෝවිට ගන්නෙ ඔබට අනවශ්‍ය දේවල් ගොඩකි. අවශ්‍යතා  නොව  අනවශ්‍යතා  ය. ඒ ඔබේ අධිපරිභෝජනයයි.

එමගින් ඔබේ සාක්කුවේ ඇති මුදල් අහවර වේ. ඒක මට අදාල නොවේ.

ඒත් එමගින් මානවයා සතු සීමිත සම්පතක් භාවිතා කරමින් මානවයාගෙ හෙට දවසට හානිකර වන කාබන් දහනය ඇතුලු බොහෝ පරිසර අර්බුද වලට ඉඩ සලසමින් නිපදවන ලද දෙයක් එතරම් අත්‍යාවශ්‍ය නොවන තත්වයෙන් ඔබ අත්පත් කරගනියි. හෙට එහි අඩුව පුරවන්නට එය නිපදවු කෙනා අලුතෙන් එකක් නිපදවන් අතර පෙරකී පාරිසරික භාරය එයින් වැඩිවේ.

මෙන්න මේ කොටසට ඔබ ගෙවන්නේ නැත, ගෙවා මේ කපේ ඉවර කරන්නත් බැරිය.

ඔබට කලු සිකුරාදා හෝ වෙනත් දිනයක භාන්ඩ මිලට ගන්නා ආතල් එකෙන් ඉවත් වන්න කියා මම කියන්නේ නැත. එහෙත් යමක් ගන්නට ඔබේ පොකට්ටුව අදින විට එහි පාරිසරික භාරය ගැනත් සැලකිලිමත් වන්නේ නම් බොහො විට අධිපරිභෝජනය නවතිනු ඇත.

ඒ පරිභෝජනයේ සදාචාරයයි.

අවාසනාවකට ටික දිනකට කලින් ග්‍රේටා තුන්බර්ග් ගේ කතන්දර පෝස්ට්ස් මීම්ස් ශෙයා කළ වුන් අද කළු සිකුරාද  ශොපින් කලෙක්ශන් ශෙයා කරති. උන්ම තව ටික දවසකින් පෙර කී මීමය ද ශෙයා කරති. නැවත ග්‍රේට තුන්බර්ග් කතා කළ දවසක ලෝක නායකයන්ට පෙනෙන්නට ඇගෙ කතන්දර ශෙයා කරති.

ප.ලි. මේකට  ආපු ප්‍රතිචාරයක්.  එහි  වැදගත්කම නිසා එකතු   කරනවා.

ප්‍රශ්නය: මාස දෙක තුනක්ම බලලා ඉදලා ඊයේ ---------- එකක් ඕඩර් කලා. දැන් උඹ කියන්නේ ගන්නෙපා කියලද?
පිළිතුර: අවශ්‍යතා නෙ බන් ගනින්. සේල් නිසා අනවශ්‍යතා ගන්න එපා. එච්චරයි

Sunday, September 29, 2019

පරිභෝජනයේ සදාචාරය 3 - ෆේස්බුක් එකෙන් පරිසරය සුරකින්නෝ

උද්වේගකර  ප්‍රකාශ  කරන පාසල්  දැරියක්  වන ග්‍රේටා  තුන්බර්ග් [ටක්කෙට  කිව්වොත් ග්‍රෙයෙටා තුන්බයෙග්] ලෝක  මට්ටමින්  විශාල  රැල්ලක්  වෙලා.  ග්‍රේටා මෙතෙක්  ආ  ගමන  ගැන  මට  යම් විවේචන  තිබ්බත්, දැන්  ඇය  පරිසරය  වෙනුවෙන් කාබන් නිකුතුව බින්දුව  කරන්න  දරණ  වෑයම වෙනුවෙන්  ජීවිතෙම  කැප කරල  තියෙන්නෙ.  මාර ලොකු  චරිතවලට බැරි වූ මට්ටමින් ලෝක  ජනගහනය  තමා පස්සෙ එක්කන්  යන්න ඇය සමත්.  ඉතින් අතීතය  පසෙක තියල  ඇගේ  අනාගත  කාරයභාරය  තමා අපි  දැන්  කතාවට  ගන්න ඕනෙ.

ඒ සමග  ග්‍රේටා  ගේ  වීඩියෝ  හැම  තැනම  ශෙයා වෙනව. 
ලොව පුරා විවිධ  පාරිසරික කතා යනව.  එදිනෙදා සාමාන්‍ය ජීවිත ගත කරන මිනිස්සු  ෆේස්බුක්  එකෙ  ග්‍රේට ගේ  කතාවක්  දාල  හරි අපි පරිසරේ වෙනුවෙන් කලා කියල නිකම්  ඉන්නව  සතුටු වෙනවා. දැන් අදාල  පුද්ගලයින්  පරිසරේ  රකියි.  ප්‍රශ්නය  කවුද  මේ  අදාල පුද්ගලයින්.

ඒ කතා  ඉලක්ක වෙන්නෙ "ලෝක  නායකයින්ට".  ඒ කිව්වෙ ලිහිල්ව රට  රටවල  නායක  දේශපාලකයන්, සහ සමාගම්  වල  ව්‍යාපාරිකයන්. ඒ  අනුව අප ශෙයා කල  ඒ  කතන්දර  දේශපාලක ව්‍යාපරික  ප්‍රජාවල නෙත ගැටිල  උන් පරිසරය  අප වෙනුවෙන් සුරකීවි.

ඇත්තටම  මේ පාර්ශ්ව  වැදගත්  මොකද පරිසරය සම්බන්දයෙන් නෛතිකව  ප්‍රතිපත්ති ලෙස  සහ  තාක්ශ්නික නිර්මාණ  ලෙස  වැදගත්  වැඩ කොටසක්  වෙන්න  ඕනෙ.  ඒ නිසා  ඒ පාර්ශ්ව  අතේ ලොකු  කාර්‍යයක් තියෙනවා.  හැබැයි  ඒකද ප්‍රධානම  දේ. දැන්  අපි  කාබන් නිකුතුව  අඩු  කරල  දෙන්න කිව්වම  ආන්ඩු  සහ  සමාගම්  අඩු  කර  දෙයිද? 

ඉස්සරින්ම මේ කාබන් නිකුතුව  වැඩි  වෙලා  තියෙන්නෙ  ඇයි? අපි  හුස්ම  ගන්න නිසාද?  නැහැ  කවදාවත්  එහෙම  කියනව  ඇහිලම  නැහැ.  මොකද්ද  මේකට  හේතුව?  කාර්මික  විප්ලවය   ධනවාදය  වගෙ බර වචන  වලින් කිව්වට  ඇත්තටම හේතුව  මොකද්ද?

පරිභෝජනය.

කාබන්  දහනය  කර  නිපදවෙන  භාණ්ඩ  සහ  සේවා පරිභෝජනය.

ඒ  මොනවද?  අපි  භාවිතා කරන  ඔක්කොම  වගේ.  ආහාර  ඇදුම්  බෙහෙත්  වාහන  නිවාස  ක්‍රීඩා  භාන්ඩ ... බේසිකලි  අපි  දන්න  සියල්ල.  මේ  නිශ්පාදන  ක්‍රියාවලිය  තුල කාබන් දහනයෙන්  ශක්තිය  නිපදවීම  සහ කාබන්  අධික  හරිතාගාර  වායුන්  මුදා  හැරීම  ට  අමතරව පොලොවේ ඇතැම්  ද්‍රව්‍ය ඉවර  වීම පතල්  හෝ  වෙනත්  අමුද්‍රව්‍ය නිපදවන  ක්‍රියා වෙනුවෙන්  ඉඩකඩ  වැයවීම  ඒවායෙ  
පරිසර අර්බුද  වගේ  කාබන්  නොවන  වෙනත්  අර්බුද ත් රාශියක්  හැදිල

හැබැයි  මේ භාණ්ඩ  සහ  සේවා ලෙස  අප  පරිහරණය  කරන  දේවල්  වලින්  වැඩි  තරමක් අපට  අවශ්‍ය ම නැහැ.  අඩුම  ගානෙ  අත්‍යාවශ්‍ය   නැහැ. බොහෝ ඒවා  අපි  නියමිත  කාලය  ගෙවිල  කැඩෙන්න  කලින්ම  ඩම්ප්  කරනව  අලුත්  දෙයක්  ගන්න.  ඒ  වගේම  අපි  අපට  අනවශ්‍ය  දේවල්  ගන්නව.  මේ  මුලු  ක්‍රියාවලිය  තුලම  අපි අපිට  ගන්න  ඕනෙ  භාණ්ඩ  හා සේවා  ඉක්මවා විශාල  ලෙස  වැඩියෙන්  ගන්නව.  පරිභෝජනය  අධි පරිභෝජනයක්  වෙන්නෙ මෙතන.

අර  කලින් ග්‍රේටා පනිවුඩ  යැව්ව  ඔබ  ශෙයා  කරමින් ඉලක්ක කල  ලෝක  නායකයින්  මේ  භාණ්ඩ  සහ  සේව  බලෙන්  අපේ  ඇගේ  ගහන්නෙ  නැහැ,  ඒත් උන්  ප්‍රචාරනය  හරහා ගන්න පෙලබීමක් කරනවා.  ඒ  මොකා  මොක  කලත්  ගන්නෙ  ඔබ.  ඔබ  ඒ තීන්දුව  ගන්නෙ ඔබේ  උවමනාවට. ග්‍රේටා  ගේ කතා  ෆේස්බුක්  එකෙ  දැම්ම  කියල ඔබ  නොගෙන  ඉන්නවද  නැහැනෙ.

දැන්  ඔබ  මේව  මිලට  ගන්නකම්  වෙලදපොලේ  ඊට  ඉල්ලුමක්  තියෙනවා. එතකොට  ඔබෙ  ෆේස්බුක් පනිවුඩ  දැකල ඒ භාණ්ඩ  සහ  සේවා නිපදවන්නන් පරිසරය  ගැන  ම  හිතල  නිශ්පාදන  අඩු  කලොත්  මොකද  වෙන්නෙ.  හිගයක්.  ඉල්ලුමක්.  ඒ  හිගය  දකින  මොහොතෙම  ට්‍රිගර්  වෙන  නව  ව්‍ය්වසායකයෙක්  ඒ භාණ්ඩ  හා  සේව  නිපදවන්න  පටන් ගන්නව.  ඒක  තමා  අපි  ඉන්න  ආර්තික ක්‍රමය.  ඒකට වෙනස්  එකක් ලෙස  මධ්‍යගත බලධිකාරයකින් ඒව  නිපදවීම  තහනම්  කලොත්  තමයි  අර  සෝවියට්  චීන  වගේ  රටවල්  වල  හැදුනු  හිගය  සහ  පෝලිම්  හැදෙන්නෙ [නෝට්:  ඒ  රටවල්  හිග  සහ පෝලිම්  හැදුනෙ  ආන්ඩු  පරිසරේ ගැන  හිතල  නිශ්පාදන  තහනම් කර නෙවි  විකාර  අසාර්තක  ක්‍රම  නිසා පරිසරේට කෙල  වුනාට මිනිසුන්ට  ඇති වෙන්න  දේවල්  නිපදවා  ගන්න බැරි  වීමෙන් - එක  වෙනම  කතාවක්]

කෝම හරි  ඔබෙ ඒ පනිවුඩය  දැනට  ඉන්න  ව්‍යාපාරිකයන් දැකල  ඒ  අනුව  කටයුතු  කලොත්  වෙන්නෙ  අලුතෙන්  තව 
ව්‍යාපාරිකයෙක්  හැදෙන  එක.  ඒකා  බොහෝ විට  චීනය  ඉන්දියාව  වගෙ රටක  වෙන්නත්  පුලුවන්. කාබන් නිකුතුවේ  ලොකු  පටලැවිල්ලක්  වෙන්නෙ  බටහිර  මේ සන්වාද කරන  පරිභෝජන  ලොකයට නිශ්පාදන  වෙන්නෙ  වෙනම තැනක  වීම. පලමු  ලෝකය  තමන්ගෙ එ කාබන්  නිකුතුව  අඩු  කරන්න නීති දැම්මම  ඒ රටවල් නිශ්පාදනය  අඩුවෙනවා.  ඊට  සමගාමිව  පරිභෝජනය  අඩුවෙන්නෙ  නැහැනෙ  මොකද  ඒකට  නීති දාන්න  බැහැ.  ඒ  නිසා  වෙන්නෙ  ඒ  අඩුවෙන කාබන්  ඉන්දියාව  චීනය  වගෙ  නිශ්පාදක  රටක් ලවා පුච්චල  ඒ  භාන්ඩ එහෙන්  ගෙන්ව  ගන්න එක. රටක  කාබන් ෆුට් ප්‍රින්ට් එක  බලද්දි  ඒ  රටේ  කර්මාන්ත  වලින්   නෙවි හරිනම් බලන්න ඕනෙ  පරිභෝජනයෙන්. 

මේ කතාව  යන්නෙ  කිසිම  භාණඩයක්  හෝ සේවාවක්  භාවිත කරන්න එපා  කියන  තැනට  නෙවි.  නො  එසේනම් මගේ  වාමාන්ශික  හෝ කොමිනිස්ට්  කියන මිතුරන් කීපයක් කියන ආහාර  ඇදුම් බෙහෙත්  වගේ ගල් යුගයේ  විතර සම්මුතියකින්  නම් කළ මූලික  අවශ්‍යතා  කියල එයාල කියන දේවල් දෙක  තුනක්  දීල  ඔය  ටීවී  කාර් ෆෝන් කම්පියුටර්  වගේ "ලක්සරි"  සමාජයෙන්  අයින් කරන්න කියන  තැනටත්  නෙවෙයි.  මේ කතන්දර  අසාර්තක  කතා.

මම කියන්නෙ ඔබෙ පරිභෝජනයේ  සදාචාරයක්  හදා  ගන්න.  ඔබ  මිලට ගත්  යමක්  වේ  නම් එය පට්ට  ගහල  ඉවර  වෙලා  ගන්නම දෙයක් නැති වෙනකම් පාවිච්චි කරන්න. හැම  දේටම  එහෙම බැරිනම් අඩුම  ගානෙ  පුලුවන්  ටිකටවත්  කරන්න.  භාන්ඩයක් හෝ සේවාවක්  පරිභෝජනය  කරන්න කලින් හිතන්න මෙක  මට ඕනෙමද කියල.

ඔබ  දුක් විදින්න එපා.  ඒත්  ඔබ  දැනුවත්ව  මදක්  සිතා  කටයූතු  කරනවා නම් ප්‍රමාණවත්.  
ඒ  සදහා  ඔබට  බාධාවක්  වෙන  එක  ප්‍රධාන සිතිවිල්ලක්  තමා,  ගෙවන්නෙ මම ඒ නිසා මම ගන්නව මට  ගෙවිය  හැකිනම් කියන එක.  ඕක  අවුල් චින්තනයක්.  ගෙවන  මොහොතෙ ඔබ  ගෙවන මිලේ  එහි පරිසර  භාරය  නැහැ. ඒ පරිසර  භාරය  ඊ ගාව පරපුරේ  කර  මත.  ග්‍රේටා  කෙල්ල  ඇගිල්ල  දික්  කරල  හව්  ඩෙයා  යු  කියල  අහන්නෙ  ඒ වෙලාවට.  මෙහෙම  සාවධානව  කියන එක  අමතක  වෙනවනම්,  මම  එතරම් කැමති නැති  ග්‍රේටා  ගෙ ඒ  වෙදනාත්මක  ඉරියව්ව වත් මතක්  කර ගන්නකො.

මේකෙන් ක්‍යෝටෝ හෝ පැරිස්  වල  එකග  වෙච්ච ඉලක්ක සපිරෙන්නෙ  නැහැ. ඒ  වගේම  උශ්නත්ව  වැඩිවීම අන්ශක  දෙකේ  නතර  වෙන  එකකුත්  නැහැ.  පරිසරේට කෙල  වෙන එක  වෙයි.  ඒත්  අඩුම  ගානෙ  ඒ බලපෑම අඩු  වෙයි.  හැබයි දැනට කියල ඔය පෙර කී කිසිවක් කවුරුත් කරන්නෙ  නැහැනෙ.  හැමෝම මේක ෆේස්බුක් එකේ  දාල  හිතේ  කහට  හෙවත් ගිල්ට  පමණක්  මකාගෙන  මාර  ලෙස පරිසරේට  ආදරේ වගේ  සන්තෝසෙන්  ඉන්නව.

අපි තව අඩියක් යන්. 
ලෝක  නායකයින්ට  මේක  කරන්න බැහැ.  මේක  ඔබ  අප  සියලු  දෙන කරන්න ඕනෙ එකක්.   

මන් උදාහරන දෙන්නම්.

ඇදුම්  විලාසිතා ගැන ලොකුවට නොහිතන මම ඇදුමක් ගත්තොත් ඉරෙනකම්ම අදිනවා. සමහර  ඇදුම්  අනුව  දශකෙ  ගත්ත  එව්ව තාම තියෙනව. මට  සැහෙන්න ඇදුම් තියෙනවා  මිනිමලිස්ටික් අයිඩියා  එකක් නෙවි.  එකම දේ පරිසරේට කෙලවල හදාපු මගේ ඇදුම්  එකක්වත්  අදින්න  පුලුවන්  තත්වෙන්  බින් එකකට  දාන්නෙ හෝ ඔය  කොහෙ  හරි ඉන්න වෙන හිගන්නෙක් මන් වෙනුවෙන් කරයි කියල  චැරිටි බින්  එකකට  දාන්නෙ  නැහැ.  මම  ඇදලම  ඉවර කරනවා.  ඒ  ඇරෙන්න  සෙසු  දේවල් ගැනත් මම කන්සවේටිව්.  මට තේරෙන්නෙ නැහැ මිනිස්සු අවු දෙක  තුනකින් කාර්  එක  විකුනල  ආයෙ  අලුත්  එකක් ගන්නෙ ඇයි  කියල.  මම ස්මාට්  ෆෝන් එකක් ගත්තෙ 2017 වසරෙ  ඒකත් වයිෆ්ගෙ ෆෝන් එක  ස්ක්‍රීන් ක්‍රැක්  වෙලා  විසික් කරන කොට.  එතකල් ෆීචර් ෆෝන් ලඩියක් තිබ්බෙ.  මට හේතුවක්  තේරුන් නැහැ  ස්මාට් ෆෝන් එකකට.  ගත්තමත් මම දැක්ක එකම හේතුව තමයි පාර හොයාගන්න එක, අනිත් ෆීචර්ස්  එකක්වත් මෙලෝ වැඩක්  නැහැ. 
පාර හොයන සීන්  එක  නිසා අර කැඩුනු ෆෝන් එක  අක්‍රිය වෙද්දි  සහ 4G එද්දි මම ස්මාට් ෆෝන් එකක් අලුතෙන් ගත්ත.

ඉතින්  හිතන්නකො ඇපල් හෝ සැම්සුන්  අලුත් ෆෝන් එකක් රිලිස්  කරන දවසෙ උදේ 
පාන්දර  මේ බුද්ධිමත් කියන පලවෙනි ලොකෙ  නගරෙ    කිලෝමීටර් ගනන් දිග  පෝලිම් වල  මිනිස්සු  ඉන්නකොට මට හිතෙන  එක.  ඒ ෆෝන් එක  අරගෙන  තිබ්බ යසට  වැඩ කරන එක  බින්  එකට  දානවා.  ඔය  ෆෝන්  එකේ  ඕක  හදන ඛණිජ  ගත්ත පතල්  වල  පරිසර  හානි, මිනිස්සුන්ගෙ  ශ්‍රම  වේදනා, කොන්ගෝ ජනරජයේ කොල්ටැක් වහල් බිම්වල ලේ  කදුලු  ජීවිත, ඕකට නිදිමරන්  පාඩම් කල ඉන්ජිනෙරුවන්ගෙ  ගෙවල් වල පිච්චුනු  ලයිට් ඔය ඔක්කොම හදන්න නිකුත් කල කාබන්....  ඔය  සේරම තියෙනවා.  යසට වැඩ කරද්දි  ඕක බින් එකට දානව ඒ ඔක්කොම දේවල් එක්ක අලුත් ෆෝන් එකේ  ස්ක්‍ර්‍රින්  කලර් පොඩ්ඩක්  වෙනස් නිසා  හෝ වෙනත් කිසියම් "ස්මාට්"  ප්‍රගමනයකට.

අන්න  ඒ අලුත්  ෆොන්  එකෙන් ෆේස්බුක් ගිහිල්ල  ග්‍රේටා තුන්බර්ග්  ගෙ පරිසර පනිවුඩ ශෙයා කරනවා.



Monday, September 16, 2019

අපි දන්නෙ නෑනෙ

කතරගම  දෙයියන්ගෙ  බලේ නිසා  පේවිලා  ගිනි  පාගන  මිනිස්සුන්ගෙ  කකුල්  පිච්චෙන්නෙ  නැහැල්ලු. මිනිස්සු  එහෙම කියනවා - ඒ  වුනාට  අර  කාලෝ  ෆොන්සේකා  පේවෙන්නෙ  නැතුව නීති  කඩල  ගිනි  පෑගුවෙ, එයාට  අවුලක්  වුනේ  නැහැනෙ - ඒක  හරි.  එයා  පෙන්නුවෙ  පේවෙන්නෙ  නැතුවත්  ගිනි  පාගන්න පුලුවන්  කියල.  ඒත්  දේව  බලෙනුත්  ගිනි පාගන්න තව  කෙනෙකුට  පුලුවන්  නේද?  අපි  දන්නෙ  නෑනෙ.

රාමනුජාන්  ගණන් හැදුවෙ නාමගිරි දේව  බලයෙන්.  එයා එහෙම  කියනව. ඒකත්  එක  දැනුම් පද්ධතියක් -  යමක්  දැනුම් පද්ධතියක්  වෙන්න  නම්  එක  මිනිහෙක්  හිතට  එන  කතාවක් කියල  මදිනෙ.  තව කී දෙනෙකුට 
නාමගිරි  දේව  බලයෙන්  ගණන්  හදන්න  හැකි  වුනාද? - ඇයි  ඉන්දියාවෙ  තව  ගණිත විශාරදයො  කීයක්  උන්නද? -  එයාල  කිව්වද  එයාලටත්  නාමගිරි  දේව  බලෙන්  ගණිතය  ලැබුනෙ කියල? -  එහෙම කියල  නැහැ.  ඒ වුනාට  කිව්වෙ නැති පමණීන්  දේව  බලයෙන්  නොලැබුනා  කියන්න බැහැනෙ.  අපි  දන්නෙ  නෑනෙ.

බිත්තරේ  කැරකුනේ  ප්‍රාණාසාදුගෙ  බලයෙන් ලු  අර  කියන්නෙ -  ඒ වුනාට අර  වෙන කොල්ලෙක්  මොන  සාදු  කෙනෙක්  වත්  නැතුව බිත්තරේ  කරකල පෙන්නුවෙ - ඒක  හරි  එහෙමත්  කරකවන්න  පුලුවන්.  ඒ  වුනාට අනිත් බිත්තරේ  කරකවන්න  ප්‍රාණ  සාදු  බලපානව වෙන්නත්  පුලුවන්  නේද?  අපි  දන්නෙ  නෑනෙ.

කනප්පුව  ඇවිදිනවා  ඕයි.  අර මිනිස්සු කියන්නෙ - කිසිම  ගුප්ත  බලයක්  නැතුව  නිකම්ම  කනප්පුව  කැරකුවමත් ඔහොමම  යනව  නේද? -  එහෙමත්  යනවා  තමා.  ඒ කනප්පුව  එහෙම වුනාට  මේ  කනප්පුව  ඇවිදින්නෙ  ගුප්ත  බලයකින් වෙනත්  පුලුවන්නෙ. අපි  දන්නෙ  නෑනෙ.

කාමරේ  රෑ තිස්සෙ  හොල්මන් -  පිස්සුද  ඕයි  මේ  කාමරේ  උන්නෙ  හිරවෙච්ච පූස්  තඩියෙක්  නෙ -  කාමරේ ඇතුලෙ උන්නෙ  පූසා  තමා,  ඒත්  පූසගෙ   ඇතුලෙ උන්නෙ  කවුරු  වෙන්න  පුලුවන්ද? අපි  දන්නෙ  නෑනෙ.

ඉවරයි  කියලද  හිතුවෙ.  නෑ නෑ  තව තියෙනෝ.  මේ  පුන්චි කාලෙ

ඔවා  දන්නෝද  මගෙ  සූටි  දත  වැටුනම  ලේන්  හාමි  තමා  ලොකු  දත  දුන්නෙ - පිස්සුද  අනේ  ඔව්ව බොලු කතා. දත්  නිකම්මලු  එන්නෙ -  එහෙම  දත්  නිකමුත්  එනව  ඇති  ඒ  වුනාට  මේක දුන්නෙ ලේන්  හාමි.   - ඔයා  දැක්කද? - 
සෑට  දුන්නෙ  අපි  දොයි. හා  වෙන්න  බැලිද? අපි  දන්නෙ  නෑනෙ.

තාත්තා  ඇද  යට  මකරෙක් ඉන්නෝ  දොයියන්න  බැරියෝ - හරි  ඔන්න පුතා  මම  ටෝච්  එක  ගහල  බලනවා  කෝ නෑනෙ -  ඒම  බෑ  ලයිට්  එලියට  ඌ  පේන්  නැතුව  යනවා.  කලුවර  උනාම  එලියට  එනවා - මොන පිස්සුද? -  ඇයි  ඒම  ඉන්න  බැරිද?  අපි  දන්නෙ  නෑනෙ.

----------------

මේ  හැම කතාවකම තියෙන්නෙ  එකම  පදනමක්.

-  කිසියම්  විශ්වාසයක්

-  ඒක  සත්‍ය  බවට  අමුතු  ශාක්ශියක්

-  ඒ  මත  විශ්වාසය  තහවුරු වීමක්

-  එතකොට  කෙනෙක්  ඇවිත්  එසේ  තහවුරු  නොවෙන  පරිදි  ඒ  අමුතු  ශාක්ශිය  කරල  පෙන්නනව

- එතකොට  කියනව  එයා ඒම කලාට  මේකත්  වෙන්න පුලුවන්  නෙ.  "අපි  දන්නෙ  නෑනෙ"  කියල.

මේ "අපි දන්නෙ  නෑ" කියන්නෙ  තව  දුරටත්  ඊට  ශාක්ශි  නැහැ  කියන  එක. එතනින් එහාට  ඉතින්  සම්පුර්නයෙන්ම  නොදන්නා  තත්වයක්.  එහෙම  පසුබිමක  කතාව ඔප්පු  කරගන්න  ඕනෙ  විශ්වාසය  යෝජනා  කරන  අය.  නැතුව  ඉතින්  කිසිම  ශාක්ශියක් නැති  කතන්දරයක් බොරුයි  කියල  මලාට  ඔප්පු  කරන්න  පුලුවනෑයි.

"අපි  දන්නෙ  නෑනෙ" හලෝ. මොකෙක්වත්  දන්නෙ  නෑනෙ.  දැනගන්න  දීපු  ශාක්ශියත්  එකෙක්  නිකම්ම කරල  පෙන්නුවනෙ.  ඔයාට  ඇත්තයි  කියන්න තිබ්බ  එකම එකත්  අහිමි  වෙච්චට  පස්සෙ ඔයත්  නොදන්න  එකක්  අපි  කෝමද  බොරුයි   කියන්නෙ.

අපි කවුරුත්ම  දන්නෙ  නෑනෙ.

 

Tuesday, September 3, 2019

කාලෝ ෆොන්සේකාගේ නික්ම යාම සහ නිරාගමික ඩොග්මාව

කාලෝ  ෆොන්සේකා  මහතා  මිය  ගිහින්.  සමහර මිනිස්සු  ජීවිත  කාලෙදි  කරන දේවල්  ඒ  අයගෙ  මරණෙදිත්  ඉස්මතු  වෙනවා.  කාලෝගේ  මරනය  සමග නැවත  කතිකාවට  එන්නෙ  ඔහු  ජීවත්ව  උන්නු කාලෙ  සිද්ධ  වෙච්ච  නිරාගමිකත්වය  සහ  දර්ශනවාදය  ගැන  කතිකාව මයි.

බොහෝ දෙනෙක්  කාලෝගේ මරණය  එක්ක  ප්‍රාර්තනාත්මක  ශෝක  ප්‍රකාශ  ලියල  තිබ්බ. ඒ සමගම කාලෝ ගේ මරණය ගැන ශෝක ප්‍රකාශ ලියන හැටි ගැන වාදයක්  පටන්  ගත්ත. මම ඔය වගේ ප්‍රශ්න ඒ හැටි සීරියස් ගන්නෙ නැහැ. මේක ලියන්නෙ ඒ ගැනම නෙවි ආසන්නයෙ වෙනත් යමක් ගැන.

පලමුවෙම්ම ඕවයෙ අගමුලක් ලොජික් එකක් නැහැ. කෙනෙක් මලාම කියන්න ඕනේ මේ ආකාරයේ දේවල් ය කියන එකට සම්මුති නිර්නායක නැහැ. ඒ නිසා ඔය වාදයේ කවුරු කවුරුත් තම කදවුර සුරක්ශිත කරගන්න වටේටම වෙඩි තියනවා විනා වෙන මොකුත් සදාචාරමය හර පද්ධතියක් නිර්මානය කරන්නෙ නැහැ.

දෙවනුව මට ඕක කෝම කලත් වෙනසක් පේන්නෙත් නැහැ. ඒ ඒ ආගම් අනුව ගත්තත් මරනය ලබන සැනින් කිසිවෙක් නිවන් යන්නෙත් නැහැ ටක්කෙටම ස්වර්ගයට යන්නෙත් නැහැ ඔය කියන වෙන එව්ව එකකවත් ඒ ලෙසින්ම වෙන්නෙත් නැහැ. වෙන්නම කියල හිතන්නෙත් නැහැ ප්‍රාර්තනය කරන කෙනා. මේක භාශාමය ප්‍රයෝගය්කින් කෙනෙක් අනිකාට ගෞරව දැක්වීමක්. ඒ සිතිවිල්ල තමා වැදගත් යන්න කිව්ව ඩෙස්ටිනේශන් එක අදාල නැහැ.

තෙවනුව විශ් කරන කෙනා නිසා ක්‍රියාව කරන්නෙ මම හිතන්නෙ ඒක ඒ කෙනාගෙ අයිතියක් එයා කැමති ලෙසින් විශ් එක කරන්න. මම හිතන්නෙ මේක අදහස් ප්‍රකාශනයේ අයිතියක් කියල.

හැබැයි මේ සන්වාදෙ සහ මීට පෙර සිදුවු සමාන සුබ පැතුම් අස්සෙ තියෙන එක පරස්පරයක් ප්‍රශ්න කරන්න වෙනවා. මේක අනික්වා වගේ නෙවි ලොජිකල් පරස්පරයක්. නිරවුල්ව පෙනෙන එකක්.

දැන් මෙතන විශ් එක කරන ක්‍රම දෙකක් තියෙනවනෙ. එකක් තමා පතන්නාගෙ ඇදහිල්ල අනුව, අනික තමා මියගිය කෙනා ඇදහුවා කියල අපි හිතන එක අනුව

එතකොට ආගම් අදහන මිනිසුන් මලාම මම දැකල තියෙනවා නිරාගමිකයන් ඔවුන්ට "සුබ ගමන්", "සුභ රාත්‍රියක්" වගේ නිරාගමික මෙත්ඩ්ස් වලින් විශ් කරනව. එතනදි ඒ නිරාගමිකයන් ඉන්නෙ අපි විශ් කරන්න ඕනෙ සුබ පතන්නාගෙ මතය අනුව කියල. ඒක එහෙමනම් කාලෝ වගේ නිරාගමිකයෙක් මලාම බෞද්දයින් නිවන් සුව පැතුවම ඒ නිරාගමිකය්න් අවුල් යන්නෙ ඇයි? ඒ අවස්තාවෙත් පෙර තිය්‍රිය අනුව පතන්නාගෙ ආගමෙන් නේ විශ් එක එන්නෙ.

එහෙම නැතුව කාලෝ නිරාගමික නිසා ඔහුට නිවන් සුව පැතීම අවුල්නම්, නිරාගමිකයන් සූදානම් ද ආගමිකයන් මලාම නිවන්සුව මොක් සුව වගේ එව්ව පතන්න? මොකද කාලෝ ගැන නිරාගමික මතය අනුව වෙන්න ඕනෙ එහෙම.

අන්න එතන පැහැදිලි අවුලක් තියෙනවා. මේක මම හයිලයිට් කලේ, මෙතන අසමානතාවයක් තියෙනවා. අපි තරමක් උසස් ඒ නිසා උඹල මලාම අපි අපේ එව්වයෙන් විශ් කොරන්න්නෙ අපි මලාමත් අපේ එව්වයෙන්ම තමා කෙරෙන්න ඕනෙ මොකද අපි ටිකක් ලොකු නෙ කියන එක ඕක යට තියෙනව. හෙවත් අපි තොපේ ප්‍රාතමික එව්ව තොපිට කියන්නෙත් නැහැ තොපි අපිට කියන්නත් එපා කියල.

මිත්‍රවරුනි මේ වගේ හැසිරීම් වලට් අපි ඩොග්මාවක් කියල කියනවා. අතීතයේ ආගම්වල ඩොග්මාවන් කාලය එක්ක ක්‍රමයෙන් ප්‍රහීන වෙද්දි නිරාගමික ඩොග්මාවක් හැදෙන්න පටන් ගෙන. මේක කොහෙත්ම නිදහස් චින්තනයකට යන පාරක් නෙවි. ආගම, ඇදහිල්ලට වඩා ඩොග්මාව අතිශයින් භයානකයි. ආගමේ නාමයෙන් වෙච්ච බොහෝ නොපණත් ක්‍රියා වුනේ ඩොග්මාව නිසා. ආගමික පද්ධති බුද්ධියෙන් වැහැරුනේ ඩොග්මාව නිසා.

ඒ වගේම ඔබ ලිබරල් මත දරන්නෙක් නම් ඉතාම පැහැදිලි වෙන්නඕනෙ මේක විශ් කරන්නාගෙ ලිබරල් නිදහසක් කියල, ඒත් අවාසනාවට ලිබරල් කියන බොහෝ දෙනා අධිකාරිවාදි ලෙස පව්ත්වා ගන්න සන්කල්පයක් සම්මත ලිබරල් චින්තනය ලෙස සලකා ඒකාධිපතින් ලෙස කටයුතු කරන්නන්.


මාතෘකාව "කාලෝ  ෆොන්සේකාගේ   නික්ම  යාම  සහ  නිරාගමික  ඩොග්මාව" කියල  දැම්මට  කාලෝ  ඒ ඩොග්මාව  හැදුවා  කියල  කියවෙන්නෙ  නැහැ.  හැබැයි  ඒ  අර්තයෙන්  එය  ක්ලික්  බේට්  එකක්  වේනම්  එසේ  වුනාවේ.

කෙසේ   වෙතත්  කාලෝ   ෆොන්සේකා  ගෙ  නික්ම  යාම  දාර්ශනික  සන්වාද  රාමුව  තුල  විශාල  හිඩසක්  නිර්මාණය  කරනවා. 
කාලෝ ෆොන්සේකාගේ දර්ශනික මතවදයන් එක්ක එකග වීමට වඩා එහි වැදගත්කම පවතින්නෙ වෙනත් රාමුවක උන්නු දාර්ශනික මතවාද තලය අලුත්ම දිහාකට ඇදගෙන යාමට ඔහු කල මෙහෙවර නිසා. දර්ශන වාද කිසිවක් නිරවද්‍ය යයි අපට සිතිය නොහැකියි එහෙත් පුලුල් වපසරියක විසිරෙන දාර්ශනික සන්වාදයක ප්‍රතිපලය වඩාත් පුලුල් එකක්. කාලෝ සමග එකග නොවුවද ඒ දාර්ශනික වපසරිය පුලුල් කිරීමට කාලෝ එය ගෙන ගිය පරාසය බෙහෙවින්ම උපකාරි වුනා. 

ඔහුට වගේම පෙර පරිච්චේදයේ කී සියල්ල එලෙසින්ම නලින් ද සිල්වාට ද වලන්ගු වෙනවා.

දර්ශනය තලයක් නම් අප ඉන්නෙ එහි මැද්දක. ඒත් ඒ ස්ටේජ් එක හදන කනු ටික නොවෙන්න සමහරවිට අප එහි කොතැනකවත් නොසිටිනවා  වෙන්න පුලුවන්. 

Saturday, August 24, 2019

පිස්සුද?

මිනිස්  මනස  ගන්න.  මනස  ගැන  කෙරෙන  විවිධ  ආගමික  විග්‍රහ  වෙනුවට  මිනිස්  මනස  කියන්නෙ  සිරුරේ, නියුරෝන  පද්ධතියේ,  රසායනික  සහ  ඉලෙක්ට්‍රොනික [සහ  වෙනත්  කිසියම්  භෞතික] ක්‍රියාවලියක ප්‍රතිපලයක් කියල  සලකමු. මනසේ  පහල  වෙන  සිතිවිලි  කියන්නෙ  එහි  තැන්පත්  වී  ඇති  මතක  කියන  රසායනික  ඉලෙක්ට්‍රොනික  පද්ධතිය  දිගේ  ගන  විවිධ  ධාරා  ගොඩක්.  ධාරා  ගලනවා  කිව්වට  නියුරෝන  එකින්  එකට  ගලන්නෙ  නැහැනෙ.  එකකින්  එන  ආරෝපන  අනික  මත  ඇතිකරන  බලපෑම්  ඒව  අතර  රසායනික  සැකසුම්  වලින්  තීන්දු වෙන්නෙ.  එහෙම  සැකසුම් බිලියන  ගානක්  ඩයිනමිකලි  හැදෙමින්  සහ  බිදෙමින් තමා  මනස  කියන  අපි  දන්න සන්කීර්නම  පද්ධතිය  හැදෙන්නෙ.

ඉතින්  ඔබ  නම්  පුද්ගලයාගෙ  මුලු  අතීත  මතකයම  ඔය  නියුරොන  අතර  රසායනික  බන්ධන  සහ  ඒ  ඒ  නියුරෝන අතර  සම්බන්ධතා   කියල  සලකන්න පුලුවන්.  ඔබ  නම් පුද්ගලය   සිතන පතන  ආකාරය  ඒ   පද්ධතියේ නියුරෝනයෙන්  නියුරොනයට  ආරෝපන  එහා  මෙහා යාමක්.  හැබැයි ඔය  ගමන් රැන්ඩම්  නැහැ.   දිගුකාලින පරිනාමය  විසින් ඕකෙ  සර්කිට්  ට්‍රේන්  කරල  තියෙන්නෙ.  ඒ  සර්කිට්  අස්සෙ  අලුතෙන්  ට්‍රේන්  වෙන්න  අවශ්‍ය  හැකියාවත්  ට්‍රේන් කරල  තියෙන්නෙ. 

උපමාවකින් කිව්වොත්  මනස කියන්නෙ  ශරීරයේ  සොෆ්ට්වෙයා  එක.  සිලිකන් වල  වෝල්ටේජ්  සහ  ධාරා ගලන ආකාරය  මෙහෙයවල  අපි  ඊට උඩින්  සොෆ්ට්වෙයා කියල තට්ටුවක්  මවා ගන්නව.  කෝඩ් ලියනවා  දුවල  විවිධ  දේවල්  කරගන්නව.  මනස කියන්නෙ  අර   නියුරෝන  වලට උඩින්  එහෙම  පවත්වාගන්න  මවාගත්  තට්ටුවක්.  ඒකෙ  වෙනස  පරිනමය  විසින්  අවු  බිලියන ගානක් ලිව්ව  ඒ  සොෆ්ට්වෙයා  එකේ  සෝස්  කෝඩ්  එක  නැහැ.  මිසින්.

මිනිස්සු  එකිනෙක අතර  අදහස්  හුවමාරුව  පටන් ගත්තම  මේ  මනසෙ  පැටර්න්  එකිනෙකා අතර  ශෙයා  වෙනවා.  ඒ  ශෙයාරින්  එක්ක  විවිධ  සම්මුති  හැදෙනවා.  ඒ සම්මුති  තමා  සමාජය  ශිශ්ටාචාරය   කියල  කියන්නෙ.  මනස සොෆ්ට්වෙයා  එකක් නම්  ශිශ්ටාචාරය  සමාජය  කියන්නෙ  ඉන්ටනෙට්  එකක්.  අර  එක  එක  සොෆ්ට්වෙයා  ඕනෙ ඕනෙ  තාලෙට  ලිව්වට  ඉන්ටනෙට්  එකකට  කනෙක්ට්  කරන්න  බැහැ.  ඉන්ටනෙට්  එකේ  ප්‍රොටෝකෝල්  තියෙනවනෙ  උදාහරනෙකට  http වගේ. ඒවා  තමා  අපි  හදාගන්න  සම්මුති.

සම්මුති  ශිශ්ටාචාර   වලට  බැහැර වෙන  සිතිවිලි  සමුදායන් වුනත්  මනසෙ  හටගන්න  පුලුවන්. සම්මුති  ශිශ්ටාචාර  ඔයාකාරෙට  හැදුනෙ  ඕක  මාර  නිවැරදි  ක්‍රමය නිසා  නෙවි.  අහම්බෙන්  එදා පටන් උන්නු  කට්ටිය  ඕක  තමා  හරි  විදිහ  කියල  පිලිගත්ත. ඒ පිලිගැනීම්  වලට  බලපාන  රියල්  හේතු  ඉමැජිනරි  හේතු රාශියක්  ඇති.  ඒත්  ශිශ්ටාචාරය  සහ  සම්මුති  කියන්නෙ  වඩාත්  නිවැරදි  ඒවා නොවේ,  හුදෙක්  රැන්ඩම්ලි  පික්  කල  ඒවා. හැබැයි  අපි   දිගටම ට්‍රේන්  වෙනවා  පවතින සම්මුති  සහ  ශිශ්ටාචාර  වලට  අනුගත නොවෙන  දේ  බැහැර  කරන්න.  මිනිහෙක්  ලමයෙක්  සන්දියේ  සිට  එහෙම පුරුදු  හදාගන්නව.  එහෙම  පුරුදු  නොවෙච්ච  මනසක්  ලොකු  මහත්  වුනොත් ඒකා මොකෙද්ද  කියන්න කාටවත්  බැහැ.  සම්මුති  ශිශ්ටාචාර කියන්නෙ  සම්මත වැදගත් වර්ල්ඩ්වයිඩ්වෙබ්  නම්  ඊට   පිටින් ඉන්න එකා  අයිති  ඩාක්  වෙබ් එකට. එතන ඉන්නව  නිදහස්  සටන්කාමින් සිට කුලි මිනිමරුවන්  ලමා  අපචාරකාරයින්  වෙනකම් ඔක්කොම.

මේක  ලුහු කියවීමක්, මීට  එහා යන  බයෝලොජියක්  සහ  මේක   එක්ක  එකග  සහ  ප්‍රතිවිරුද්ධව  යන ෆිලෝසොෆික තියෝලොජික  ඉගැන්වීම්  තියෙනවා.  මට මේ තරම  ඇති  කතාවට  ප්‍රවිශ්ට  වෙන්න. [ඔව් අපි තාම මුල]

ඉතින්  ඔය  නියුරෝන  එකිනෙක  අතර  ක්‍රියාකරන  ආරෝපන  රසයන අස්සෙන්  ගලාගෙන යද්දි  අපි  මන්ස  සහ  සිතිවිලි කියල හයිලෙවල්  එකක් හදාගන්නවනෙ.  ඒ  කෙමිකල්    සර්කිට් බිල්ඩ්  අප්  එතකොට   සර්කිට්  අතර ලොජික්  කිසියම්  හේතුවකට චුට්ටක්  එහෙමෙහෙ  වුනොත් මොකද වෙන්නෙ. සිස්ටම් එක ක්‍රැශ්  වෙයිද?  නැහැ  එහෙම වෙන්නෙ නැහැ. සිස්ටමෙක  ඒත්  හැසිරීමක් දෙනව.  ඒ  හැසිරීමෙ  බහුතරයක්  ක්‍රියාකාරකම්  සාමාන්‍ය  තත්වයට  සමානයි.  ඒත්  ඒකෙ  තැන් තැන් වල  අමුතු දේවල්  නිරවුල් නැති දේවල්  සරල බසින් කිව්වොත් ට්‍රැක්  පනින  තැන්  එමටයි.  මෙ සමාජ  ශිශ්ටාචාර   පොදු  සිතිවිලි රාමුවට එක පාර  ෆිට්  වෙන්නෙ නැහැ.  ලොජිකල් නැහැ.  විකාරයි  වගේ.

ඒ  තුලම  ඒක  සන්කීර්න  වෙනවා.  මේ  වෙනස්  පුද්ගලය කියන  එව්වත්  සෙසු  සාමාන්‍ය යයි  සම්මත කෙනා කියන  එව්ව  තරම්ම  දාර්ශනිකයි.  ඒත්  ඒ  දාර්ශනික කුට්ටි  අතර  මැද ගැප් ට්‍රැක්  පැන්න තැන්  පැහැදිලි  නැහැ.  අපැහැදිලි කියන්නෙ  මාර  ගඹුරක්  කියලත් හිතෙන  වෙලාවක් තියෙනවා [ඒ ෆිල්ම්  එක  මාර  සිරා ගැඹුරු  දාර්ශනික  එකක්, මොකද  මට මොකවත් තේරුනේ නැහැ -  ඕක  ප්‍රකට කතාවක්] ඒ නිස  ට්‍රැක් පැන්න එකයි නොතේරෙන  තරම්  සන්කිර්න එකයි අතර  මාර  ලොකු  වෙනසකුත්  නැහැ.

ඔන්න ඔය තත්වයට පොදුවේ  පිස්සු කියල  සමාජය කියනවා.  ඒක  හරිද  නැද්ද  කියන  එක  වෙනම කතාවක්  ඒත්  ට්‍රැක් පනින ලොජික් සම්මුතිගත අවබෝධ  වලට ග්‍රහනය නොවෙන තැන්  තමා  පිස්ස්සු  කියල කියන  එකට  අදාල වෙන්නෙ.  ඒත්  ඒ පිස්සු කියන මිනිස්සු  ඕන  එකෙක්  එක්ක  කත කරල බැලුවොත්  සීයෙට  අනුවක් කියන්නෙ හෙන  දාර්ශනික කතා. 

හැබැයි ඒව  එකට  එක  ගලපාගන්න බැහැ. ආයෙ  ඕනෙනම් කිව්ව හැකි  ගලපා  ගන්න බැරි  අපිට නොතේරෙන නිසා  ඒත්  ඒව  මාර ලොකු  තනි දර්ශනයක කොටස් කියල.  ඔය  දෙකෙන් කෝකද කියල  තෝරන්න  කාටවත්  බැහැ.

කලිම්ම කිව්වනෙ  ඔක්කොම කෙමිකල් කියල.  ඉතින් කෙමිකල්  අවුට්  යන්න  කෙමිකල්ම  බලපාන්න පුලුවන්.  දිගුකාලින  අබ්බැහි,  වෙනත්  ලෙඩ  වලට දීපු  බෙහෙත්  වගේ  එව්ව.   ස්වාභාවිකවම මනුස්සය  තුල  එන වෙනස්කම්  බලපාන්න පුලුවන්. සමහර උන්ගෙ  ජාන වල  තියෙන  සර්කිට් පැටර්න්  ස්වභාවයෙන්ම  ඒ  වෙනස් තත්ව  උන්ට  දෙනවා. ඒ වගේම  සොෆ්ට්වෙයා  එකේම  අවුල්,  ආදර   සම්බන්ද කැඩිච්ච සීන්, ජීවිතේ ප්‍රශ්න, පීඩන, ලෝකය  එපා වීම, දරගන්න බැරි තරම්  නරක  හෝ හොද  දේවල්  වලට  එකවර ලක් වීම [උදා: මම වගේ එකෙක් එක පාර බිලියනයර්  කෙනෙක් වීම, ඔබේ  යුටියුබ්  ගායනයක්  බිලියන දෙකහමාරක්  කට්ටිය නැරඹීම] ඔහොම  එක එක  සොෆ්ට්වෙයා අවුට්  යන තත්ව  උනත්  බලපාන්න පුලුවන්.

මම විශය විද්වතෙක් නෙවි  ඒත් පුද්ගලිකව මෙහෙම කීපයක්  එක්ක ලගින් ආශ්‍රය කරල කතා කරල තියෙනව.  එක  හේතුවක්  වුනේ ග්‍රාමිය  පරිසරයක  හැදුනු කෙනෙක් නිසා ගමේ  අපේ වයස් වල කොල්ලො  මේ  තත්වෙට  ආවම උන්ට  බලි තොවිල් ම කරනවා මිස නිසි සායනික  සේව  ලබා දෙන්නෙ නැහැ.  ඒ නිසා උන්  එක්ක කතා කර ගෙවල්වල උන්ට  පැහැදිලි  කරන්න  උත්සහ කරල තියෙනවා. ඒක  වටිනා  අත්දැකීමක්.

ඇත්තටම සමාජය  පිස්සු  කියල කියන ඒ  කට්ටිය  කියන කතාවල ලොකු  ගතයුතු  දේවල්  තියෙනවා.  වෙලාවකට   හිතෙනවා  ඒ  ගෙවල්වල ඉන්න සෙන්සිබල් ම එකා ඌ ද කියල. මොකද ඌට  හෙන  සෙන්ස් තියෙන නිසා තමා ජීවිතේ යතාර්තයේ  ඇතැම් පැති ගැන  හිතන්න ගිහින් මොලේ  අවුල් වෙන්නෙ.  අනික මන්  දැක්ක දේවල්  මේ වගේ පසුබිම්  වල  හෙන සීමාකාරි  අමුතු  විදිහට  උන්ව පාලනය කරන හදන ඔප්‍රෙසර්   කෙනෙක් නිතර ඉන්නව.  කතාවෙ ඉන්න්න කෙනා  අවුල් යන්නෙ ඔප්‍රෙසර්ට  එරෙහි සටන මනසේ දිනාගන්න බැරුව   වගේ,  ඒ  වගේම මම දකිනවා  එහෙම  අය  එක්ක නිතර  ගනු දෙනු  කරන පවුලේ  අනිත්  අයත්  සමහර වෙලාවට  ඒ  තත්වයටම වැටෙනවා  කියල.  සමහරවිට  එයාලගෙ  වේව්ලෙන්ත්  වලින්  සම්මුති  හදාගෙන ප්‍රයිවෙට්  නෙට්වර්ක් හැදෙනව වෙන්න පුලුවන්.  මානසික  අවුල් කන්ටේජස්  හෙවත් බෝ විය  හැකි කියල මම හිතනවා  බෝවෙන්නෙ සොෆ්ට්වෙයා  මට්ටමින්.

අනික මේ අවුල් කියන්නෙ හෙනම පොඩි  එව්ව. වරක් ඔහොම අපේ කොල්ලෙක්  එක්කගෙන  ගියා  කරාපිටියෙ  ඩොක්ට හරිශ්චන්ද්‍රගේ  සුලු  අවුල් තියෙන  අය ඉන්න  වෝඩ්  එකට.  ඩොක්ට   එනකම් අපි  පැය  දෙකකට  වඩා  උන්න.  එදා  දැකපු තත්ව  මාරයි.  එතන එක කොල්ලෙක් උන්න පොර අපි  එක්ක මුලු  වෙලාවම කතා කලා.  මිනිහට කිසිම අවුලක් නැහැ  ඒත් කතා  කරද්දි  සැරින් සැරේට "පීක්" කියනව.   පොඩි කාලෙ  කටින් කාර් පැදල    ඒ පුරුද්ද  ඇරගන්න බැහැල්ලු.  තව කෙනෙක් උන්න ඇය දිගටම ටීවී බලනවා.  ස්ක්‍රීන්  ඇඩික්ශන් තියෙන පොඩි  එකෙක්  වගේ.  හේතුව  අයට නිලියක් වෙන්න ඕනෙලු.  නිලියක්  ලෙස ජීවත්  වෙන්න හදනවා. ඒ  අවුල  ඇරෙන්න  අතිශයින්  සාමාන්‍යයි.

එතකොට  "පිස්සු"  නැහැ කියල  සමාජය කියන උන් ඉන්නෙ. උන්ටත්  ඔහොමම අවුල් තියෙනවා.  ඒව මාට්ටු වෙන්නෙ නැහැ, අපි බොහෝ දෙනෙක්  අර සමාජය කියන  ඉන්ටනෙට්  එකේ  ඉන්න  සම්මත  සන්කල්ප  අස්සෙ අපේ පිස්සු  හන්ගන්  ඉන්න  "පිස්සු"  සමාජයේම කොටසක්.  මාට්ටු වෙන උන්  අපි "පිස්සු" කියල ලේබල් කරනවා. 

අනික  ඒ පිස්සු නැති කියන සමාජයෙත්   ඉතාම ආන්තික මට්ටමට  සම්මතයට වෙනස් කතා  කියන අය ඉන්නවනෙ.  හැබැයි එයාලගෙ ජීවිතෙ අර   සම්මත  රාමුවෙ  ස්ටේබල්  පවතිනවා.  ස්ටේබල් නොවෙන  මට්ටමට  ආපු  අයට  තමා  ලේබලය වදින්නෙ.  ලොකු  වෙනසක්  නැති වෙන්න පුලුවන්.

හැබැයි ඒ ලේබලය වදින තැන සිට  වෙන්නෙ  මාර   අවුලක්.  ශාරිරික  ආබාධ වගේ නෙවි මෙව්ව.  මේවයෙ  සියුම් හේතු  සහ  ඒවට  විසදුම්  දෙන්න ලේසි නැහැ. මන් කිව්වනෙ සොෆ්ට්වෙයා ඒකේ  සෝස් කෝඩ්  නැහැ. ප්‍රශ්න හදන්නෙ කෝමද?  ඉතින් ශාරිරික  අවුල් වලට දෙන   බේත්  සහ  ප්‍රතිකාර වගේ  නෙවි මේවට  දෙන  ඒව අම්බාන  ප්‍රාතමිකයි.  නිකම්  ගෝත්‍රික  සමාජයක් වගේ.  අර  දතක්   රිදේනම්  කට්ටිය  අල්ලගෙන  තඩි  අඩුවෙන්  පන පිටිම්ම ගලවල දාපු,  ඔලුවෙ  කැක්කුමනම්  හිස්  කබලෙ  හිලක්  ගහල  පිලියම්  කරපු  පුරාන  බෙහෙත් වගේ මහ  දරදඩු  බෙහෙත් තියෙන්නෙ. ලාදුරු නම්  කොහේ හෝ කොලනියකට දැම්ම වගේ පොලිසියෙන්  අල්ලගෙන  ගිහින් රිමාන්ඩ් හෝ එහෙම නැත්නම් පිස්සන් කොටු කියන තැන්වලට   දාල ගාල් කරනවා.  මේව  ඒ වින්දිතයාට  දෙන්නෙ තවත් ලොකු පීඩනයක්.

හැබැයි  ඒ දේ  කරන්න වෙනව.  මොකද  මනස  අර  සම්මුති  වලට  සම්පුර්නයෙන්  අවුට් ගියාම් විශාල  ප්‍රශ්න  දක්වා  යන්න ඉඩ තියෙන නිසා.  ැයාලට  ඕනෙ  දියක්  කරන්න දීපල්ල කියනවා නම්  ඇමරිකානු  නිලියක් වන ශැරොන් ටේට් සහ ඇගෙ කුසේ උන්නු දරුවා මරා දාපු  උන්ටත්  එහෙම කරන්න තියෙන  අයිතිය පිලිගන්න වෙනවා  මොකද උන්ගෙ  මන්ස කියන  සොෆ්ට්වෙයා එක  අනුව ලෝකය  වන්සා දමන මහා  කුමන්ත්‍රනයක්  ඒ වෙලාවෙ  සිද්ද  වෙන්න  පටන්ගෙන. ශැරොන් මරා  දාන්න ඕනෙ ඒක නවතන්න නම්. ඒකත්  ඉතින්  හෙන  දාර්ශනිකයි.

ඒ නිසා මේ මිනිස්සු කියන එව්ව දාර්ශනිකය.  මාර ගැඹුරුය  අපිට  තේරෙන්නෙ නැතිය.  උන්ට  වඩා අනිත් උන්ට පිස්සුය වගේ බොහොම ඩ්‍රැමටික් එව්ව කිව්වට අවසන් වින්දිතයා   අර කෙනාමයි.  ඒ කෙනා  සමහර විට  බයෙන් තැව්ල  එහෙම නැත්නම්  ඩිප්‍රෙස්  වෙලා සුයිසයිඩ් කරගෙන  ඉවර වෙන්න පුලුවන්.  තුවක්කුවක්  අරගෙන ගමකට  වෙඩි තියල  දාන්න පුලුවන්.

ඒ  අයට ප්‍රතිකාර කරන්න ඕනෙ කියන්නෙ  ඒ නිසා. මෙතන  ප්‍රතිකාර කියන්නෙ  සමාජය කියන  සම්මුතිගත රාමුව  එක්ක කිසියම්  ලෙසකින් යා කරගතහැකි  මට්ටමකට ගෙන ඒම.  ඒගානට  ආවම  ඇති. කෝමත් ඉන්න හැම එකාටම  යම්  දුරකට පිස්සු තමා. මුන්ටත්  අනිත් උන් වගෙ එ සර්වයිව්  වෙන්න හැකිනම්  ඒ  ඇති.

ඔය වගේ ප්‍රශ්න තියෙන උන් කෝමත්  දාර්ශනිකව  දුරක්  ගිහින් තියෙන්නෙ.  ඒ නිස කතා කලොත්  උන් ඔක්කොටම සම්ප්පුර්න නැති   දාර්ශනික කතාවක් කිව හැකි.  ඒ නිසා ප්‍රතිකාර  අවශ්‍ය මිනිස්සු  එක්ක  දාර්ශනික  සන්වාද කරල උන්ගෙ  ට්‍රැක් පනින තැන් වල මාර ලොකු  සුරන්ගනා  කතා  හදල  ඒව යු ටියුබ්  දාල මාර රැඩිකල්  දෙයක් කිව්ව  කොච්චර  රැඩිකල් ද කිව්වොත් මටත් තේරෙන්නෙ නැහැ කියන තැනට  යන්න එපා.

Saturday, May 5, 2018

ශිෂ්ටාචාරයේ අවසානය ගැන කල්පාවසාන සාදය තුල කෙරුණු සංවාදය

ඩග්ලස් ඇඩම්ස් ලියු හිච් හයිකර්ස් ගයිඩ් ටු ගැලැක්සි කියන සයිෆයි පොතේ මෙහෙම කොටසක් තියෙනවා.

On the planet Earth, man had always assumed that he was more intelligent than dolphins because he had achieved so much—the wheel, New York, wars and so on—whilst all the dolphins had ever done was muck about in the water having a good time. But conversely, the dolphins had always believed that they were far more intelligent than man—for precisely the same reasons.

මිනිස්සු ශිෂ්ටාචාරයක් හදාපු එක මී මැස්සා මී වදය හදන එකෙන් ආක්රුතිකව වෙනස් වෙන්නේ නෑ. හැබැයි ඒ දෙන්න යන දුර නම් වෙනස් වෙනවා. ඒත් මිනිස් ශිෂ්ටාචාරය ඒ දුර යන්න යන්න එය බිහිකළ යුගයේ සාමාන්‍ය තත්වය මත රඳා පවතින්න ගන්නවා. ඒ වගේම එහි ප්‍රජාවට එය නැතුව පැවැත්මක් නැති වෙනවා. මේ නිසාම මට හිතෙන්නේ ශිෂ්ටාචාරය වගේම මිනිසාත් අඩුම කාලයක් පැවතුනු ප්‍රජාවක් වේවි. ලෝකයේ වසර මිලියන ගණන් කාල වල සිද්ධ වෙන වෙනස් වීම එක්ක අනුගත වෙන්න මේ ෆරජයිල් ශිෂ්ටාචාරයට ලෙහෙසි වන්නේ නෑ.

ඔය ඩග්ලස් ඇඩම්ස් කියන කතාව ප්‍රබන්ධයේ උපහාසාත්මක ප්‍රහසනයක් වුනාට අපිට ඒ කෝණයෙන් සීරියස් බලන්න පුළුවන්. අපි හදාගත්ත සිස්ටම් එක අපිව ස්වභාවයෙන් වෙන් කර සිස්ටම් එකේම යැපෙන්නෙක් කරලා. ඒත් ඒ සමගම ඒ සිස්ටම් එක ලෝක තත්වයේ වෙනස් වීම එක්ක කොහෙත්ම පවතින්න බැරි ගානට සංකීර්ණ වෙලා.

එන්ඩ් රිසල්ට් එක සරළයි. මිනිස්සු ඉන්නේ නෑ ඔය ඩයිනොසර හෝ වෙනත් සත්ව ප්‍රජා තරම් කල්. මේ සිස්ටම් එක කැඩුණු දාට මිනිසුන්ගේ පැවැත්ම එකවරම ප්‍රශ්නයට නැගෙන නිසා.

මේ කතාව ඇදිලා එන්නේ තාරක එරන්ද කල්දේරා ලියු කල්පාවසාන සාදය කියන සයිෆයි/ෆැන්ටසි පොත ට සමගාමිව ඔහු මා එක්ක කල සංවාදයක් නිසා. ඉස්සරින්ම මම මෙතන දානවා පොඩි දැන්වීමක්.

ඒ තමා තාරකගේ ඊ ගාව සයිෆයි/ෆැන්ටසි පොත මේ වෙද්දී ඔහු ලියන බව. එහි නම ඉයුලෝසියා: අර්ධ දේව සංග්‍රාමය. මේ එයින්  තෝරාගත්  කිසිම  ඕඩර්  එකක්  නැති  රැන්ඩම් වගන්ති කීපයක්.

කිසිදු ශාකයක් නොවැඩෙන පස් බිඳකුදු නැති කඳු මුදුනේ දේවාලය තුල පමණක් කුඩා කුඩා ශාක වර්ධනය වේ. වසර පුරා ම තෙතබර සුළඟ වැදී බිත්ති පුරා වෑස්සෙන දිය සීරා දිගේ ඇල්ගී ද සුදු පැහැ කුඩා බිම්මල් ද නැග ගියෝ ය. මිය ගිය පසු තමන් තමන්ට ම පස් වෙමින් සියවස් ගණනාවක් තිස්සේ ඉතා සූක්ෂම කුඩා ජෛවගෝලයක් එහි පවත්වා ගත්තේ ය. අධික සුළඟ නොසලකා දේවාලයේ පාෂාණ උළු අතර මුල් අල්වාගත් උඩවැඩියා විශේෂයක් වැවේ. වසන්ත සෘතුව ඇරඹෙත් ම ඒවා තද රතු පාට සිහින් දිගු සුළඟේ නටන පෙති සහිත මලින් පූදින අතර පහල නිම්න බිමට දේවාලය ගිනි ගෙන දැවෙන සේ පෙනේ. විග්‍රාණ්ඩ සිතුවේ එය හුදු අහම්බයක් වන්නට ඇති බවය. පක්ෂියෙකුගේ වසුරු හෙලීමකින් සියල්ල ඇරඹුණාවන්නට පිළිවන. එහෙත් සියල්ල සැලසුම්කර තිබුණා වන්නට ද හැකි ය.

දෙදෙනා අබිලි කන්දක් නැග මුදුනේ නතර වූහ. චන්ද්‍රයාගේ අඩක් පිරී ඇත. ඔරායන්ගේ උරහිසේ වල්ගාතරුව ය. බැකී දිගෑ දී සිය ටයරයක කැපුමක සිරවූ ඇණයක් ගලවමින් සිටියා ය. මකුළුවා කල්පනා කලේ ය. සෑහෙන්න කල්පනා කලේ ය. අනාගතය අනපේක්ෂිත ය. ඔහු බිය වූයේ ය. එසේ ම සතුටු වූයේ ය. යමක් සිදුවෙමින් පවතියි.

'රතු තරුව අදත් පායලා. ගොඩක් ලොකුයි. කෑලි කෑලි කැඩිල විසි වෙනව' යක්ෂ ගෝත්‍රිකාව ඇගේ ගෝත්‍රික ඒකාග්‍රතාවයක නතර වී සිටිනවා විය හැකි ය. 'ලේ ඉහෙනව හැම තැන ම. හැම තැන ම. ඇත්තම ලේ. රතු වයින් නෙවෙයි' මේඝා පරිස්සමෙන් අත ගෙන අධිරාජ්‍යයාගේ ඇඟිලි පහරින් රතු වී ඉදිමුණු දේවිගේ ගෙල දක්වා පොරෝණාව ඇද රතී වෙත ගියා ය. 'මෙහෙ දීපන් කකුල' ඈ රතීගේ මනෝ විකාර කියවීමට බාධා කලා ය. තෙල් බිංදු කිහිපයක් කකුල දිගේ හැලූ ඈ රතීගේ කකුල රෙදි පටකින් වෙලුවා ය. පාන්දර ජාමයයි. තරු වියැකෙන්නට පටන්ගෙන ඇත. එහෙත් මේඝා දුටුවා ය, රතු වල්ගාතරුව ඔරායන්ගේ උරහිස වසාගන්නට තරම් දීප්තියෙන් පුපුරු ගසමින් තිබුණු බව, ලෝකය වෙනස් වෙමින් පවතියි, කිසිදිනෙක නොවූ විරූ අන්දමට.


කෙසේ වෙතත් මෙතනින් පහල කතාව තාරක මා එක්ක කල සංවාදයක්. මේක ඔහුගේ පළමු පොතේ ප්‍රචාරණ වැඩසටහනේ කොටසක්.

අපේ අරමුණ පූර්විකාවේ කතාකළ ශිෂ්ටාචාරයේ දුබලකම ගැන කතා කරන්නට.

ඔහු: මුල්ම ප්‍රශ්නෙ ඇත්තට ම ප්‍රශ්නෙ පැහැදිලි කර ගැනීමක්. අපි හැමදාම කතා කරනවා ලෝක විනාශයක්, ශිෂ්ටාචාරයේ අවසානයක් ගැන. ඇත්තට ම මේ අවසානය නිර්වචනය කරන්නෙ කොහොමද ?

මම: අවසානය ගැන දෙන්න තියෙන නිර්වචනය අනුව තමා එක තීන්දුවෙන්නේ. ඇත්තෙම්ම අවසානයක් කියල එකක් අපට ග්‍රහණය වන විශ්වයේ නෑ. හැබැයි සමහර දේවල් කෙතරම් ලොකු බලපෑමක් කරනවද කිව්වොත් ඒවා "අවසානයක්" තමා

ඔහු: සිත් ඇදගන්නාසුළු උත්තරයක්. අවසානය යනු මූලික නිර්වචනයක් දෙන්න බැරි සංකීර්ණ සංකල්පයක් බව වෙන්න ඕන ඔබ අදහස් කරන්නෙ. අපි මේ ගැන කතා කරනවනම් එම සංකීර්ණ සංකල්පය අපි කැටගරිගත කර ගන්නේ කොහොම ද? උදාහරණයක් විදියට විද්‍යාත්මක, ආගමික ආදී පැති විශාල සංඛ්‍යාවකින් මේ දිහා බලන්න පුළුවන්.

මම: මෙහෙමයි, ශිෂ්ටාචාරයේ අවසානය ගැන නිර්වචනය කරගන්න ශිෂ්ටාචාරය කියන්නේ මොකද්ද කියලවත් නිර්වචනය කරගන්න බෑනේ. ශිෂ්ටාචාරේ හැදෙන්නේ තට්ටු ගානකින්, ගල් යුගයේත් ශිෂ්ටාචාරගතවෙන ලක්ෂණ මොනවා හෝ පෙන්නලා තියෙනවා. ඉතින් විනාශයකදී අපි තට්ටු කීපයක් පහලට වැටෙයි. එතකොට ඒක අවසානයක් කියල හිතෙන තරම්ම වැටීමක් වුනත් වෙන්න පුළුවන්.

සෑම අවසානයක්ම අලුත් දෙයකට ආරම්බයක් වෙයි. ඒක මේකට වඩා ඇඩ්වාන්ස් ද නැද්ද කියන්න බෑ.

අවු 12000 ක් අපි මාර විදිහට ලක් එකෙන් දුවල තියෙනවා. විශ්වයේ වෙනත් ශිෂ්ටාචාර තිබ්බනම් මෙච්චර ලකී නැතුව වෙන්න පුළුවන්

ආගම් කියන්නේ මේ කතිකාවේ කතන්දර වර්ගයක්. ඒ කතන්දර වෙන කතන්දර වලට වඩා බොහෝ දුරක් කාලය දිගේ ගිහින් නොවෙනස් ලෙස. ඉතින් අද වෙද්දී ඒවා අස්සේ තියෙන විස්තර ඒ හැටි අදාළ නෑ. හැබැයි ආගම් වල එන ලෝක විනාශ කතා ඒ යුගවල තිබ්බ "ශිෂ්ටාචාර" වලට ඇත්තෙම්ම මුහුණ දෙන්න වුන එව්වා වෙන්න ඇති [උදාහරණ දෙන්න පුළුවන්]. ඒවා ඉතිහාසේ අබ ගම්මිරිස් එක්ක අපි ට ලැබෙනවා. ඒ කතා කියවල මුන්ට පිස්සු කියල හිතෙන්න පුළුවන් හැබැයි ඒ තමා මේ මාතෘකාවට ආසන්නම මිනිස් අත්දැකීම්

අපි විද්‍යාව ට පස්සේ එමු

ඔහු: ඉතිහාසය සහ ආගම් තුළ තුල මෙම විනාශය සංකල්පගත වීම ඒ කියන්නෙ ඒ යුගයන්ගේ සමාජ දේශපාලනය ඔස්සේ ම නිර්මාණයන්. හොඳයි. ඒක වෙනම සංකීර්ණ මාතෘකාවක් නිසා අපි ඒක වෙනත් සංවාදයක් විවර වුණු මාර්ගයක් ලෙස සලකල අනාගතය දෙසට හැරෙමු. අද ජීවත් වෙන අපට ශිෂ්ටාචාරයේ අවසානය ගැන ඇති මතිමතාන්තර මොනවා ද?

මම: ආයිමත් මේක තට්ටු ගානක බිල්ඩිමක් නිසා තට්ටු අනුව සලකන්න වෙනවා.ඉස්සරින්ම වෙන පැත්තක් ගන්නම් ඒ තමා ආර්ථික.

අද අපි ජීවත් වෙන ස්පෙකියුලේටිව් ආර්ථික මොඩලය හරිම දුර්වලයි. ආයෝජන කියන්නේ හොඳටම ලජ්ජාශීලී කෙල්ලෙක්ගෙන් කැමැත්ත ගන්නවා වගේ අමාරු දෙයක්. පොඩි දෙයක් එහෙමෙහෙ උනොත් එයා බෑ කියන්න පුළුවන්. එහෙම ආර්ථිකයක ඉන්න අපිට පොඩි දෙයක් එහෙ මෙහෙ වෙලා අපේ ආර්ථික මොඩලය කඩා වැටෙන්න පුළුවන්.

පුංචි මට්ටමක උදාහරණයක් ලෙස සුළි සුළං තත්වයක්. වසර කීපෙකට පෙර පිලිපීනය හරහා ගිය සුළි සුළඟ නිසා උන්ගේ සැපයුම් තත්වය වැටුණා. නැවත බාහිරයෙන් ඇවිත් හදනකම් සති කීපයක් උන් ජීවත් වුනේ ප්‍රාථමික ලෙස.

මේ වගේ දෙයක් ලෝකෙටම උනොත් ලෝකේ ආයිත් කොහොම කවදා නැගිටියිද? පුංචිම එකක්. විශාල සූර්ය සුළඟක්  [ආරෝපිත අංශු විශාල ප්‍රමාණයක් පොලොව වගේ කීප ගුණයක්, සූර්යයා ගෙන් එලියට විසිවෙනවා නිකම් තෙල් තාච්චියට වතුර වැටුණා වගේ] - එහෙම එව්වා නිතර වෙනවා - එකක් අපිට කෙලින්ම වැදුනොත් වැදිලා අපේ සිස්ටම් එහෙම පිටින් වැටුනොත් ආයේ මේ ආර්ථික ශිෂ්ටාචාර තට්ටුව පන ගන්න ලෙහෙසි නෑ

ඒක ඉක්මවා යන එකක්. ඇමරිකාවේ යෙලෝස්ටෝන් සුපිරි යමහල විදාරණය උනොත් [වසර ලක්ෂ හතක පමණ සයිකල් එකක්, අන්තිම එක වෙලා තියෙන්නේ ලක්ෂ හතකට පෙර]

ඔහු: 1989 සිදු වූ මෙවන් සූර්යය කුණාටු තත්ත්වයක් පෘථිවියට බලපෑ බවට සඳහන් වෙනවා. මේ උදාහරණය මත සිට ප්‍රශ්න දෙකක් ඇසුවහොත්, මෙවැන්නකින් සිදුවිය හැකි විශාලතම පරිමාණයේ විනාශය කුමක් විය හැකි ද ? අනෙක් අතට මිනිස් ක්‍රියාකාරකම් පරිසර දූෂණය වැනි දේ මේ උදාහරණයට බලපාන්නේ කෙසේ ද ?

මම: මීට කලින් මෑත කාලේ වෙච්ච එව්වා නිසා මාකට් එහෙම වැටුනට පවර් සිස්ටම් ෆේල් උනාට රනින් රෙපෙයා කරලා ගොඩ දාගන්න පුළුවන් ඒවා. හැබැයි අපි මෑත කාලේ හොඳ එකකට මුහුණ දී නැහැ. 1859 ආපු එකක් තියෙනවා. දැන් ආවොත් බොහෝ විට අපේ පණිවුඩ හුවමාරු සහ බලශක්ති [විදුලි] පද්ධති ඔක්කොම වගේ වැටෙන්න ප්‍රමාණවත් කියල හිතනවා. ඒ වගේ උනොත්, ලෝකෙන් 90% කට විදුලිය නෑ ලෝකෙන් 90% ක් පණිවුඩ හුවමාරු ක්‍රම නෑ . මොකක් වෙයිද? මතක තියාගන්න අපේ සල්ලි පවා තියෙන්නේ සිස්ටම් එකේ. භෞතික ලෙස පවතින දේවල් පමණක් ඉතුරු වුනොත්, නීතිය සාමය පවා රකින්න ලෙහෙසි නෑ.සූර්ය සුළං කියන්නේ නිතර වෙන එකක්. ඔය ගානේ එකක් ඕනෙම මොහොතක වෙන්න පුළුවන්. මම පුංචිම එක දුන්නේ ලොකුම එව්වා ගොඩක් ඉතුරු කරලා

"මෙවැන්නකින්" කියල ඔබ කිව්වම සූර්ය සුළං නම් තියෙන සුලබ සහ කුඩාම දෙයක්, මිනිසුන් විසින් කරගන්නා වෙනස්කම් කියන්නේ තවත් එක මාතෘකාවක් මොකද වටේට කැරකෙන දාහක් මරුන් අතරේ අපි මේක තවත් ජීවත් වෙන්න බැරි කරගන්නවා. ඒ නිසා ස්වාභාවික උපද්‍රව [කොහොමත් වෙන එව්වා] සහ මානව ක්‍රියා වලින් වෙන ගැටළු [සස්ටෙනබිලිටි කියමු] වෙන වෙනම කතා කරන්න ඕනේ

ඔහු: අපි මානව ක්‍රියාවලින් සිදුවන මෙවන් හානියක් ගැන සඳහන් කලොත් ?

මම: මානව ක්‍රියාවලින් ලෝකය විනාශ වෙනවා කියන එක පොඩ්ඩක් විතර වැරදි කතාවක්. පළමුව මානවයා කියන්නේ ලෝකේ කෑල්ලක්, දෙවනුව අපි විනාශය කියන්නේ වෙනස්වීමට. එහෙත් දේවල් දෙකක් ෂුවර්, මානවයා විසින් නිර්මාණය කරගන්න තත්ත්ව තුල මානවයාට මේ ආකාරයට පවතින්න අමාරු මානව ශිෂ්ටාචාරය කඩා වැටෙන වෙනසක් කරගන්න පුළුවන්. සැහෙන චාන්ස් එකක් තියෙනවා. දෙවැන්න මානව ක්‍රියා නිසා ඇතිවන වෙනස්කම් වලින් අනෙකුත් ජීව විශේෂ වඳවී යන වේගය ඉස්සර කාලේ ක්ෂණික හිම යුග, අස්ටරෝයිඩ පොළොවේ වැදීම ගැමා කිරණ පිපිරුම් වගේ සිද්ධි වල වෙච්ච ජීව විනාශය වගේමයි. ඊටත් වඩා වේගවත්, මහා ජීව විනාශ කියන එව්වා සිද්ද වෙන් අවු දස දහස් ගානක් ගිහින් තියෙනවා. ඒත් මානවයා පහුගිය සියවස් ගානේ කල වෙනස ඊට වඩා වේගවත් ජීව විනාශයක්.

ඒ නිසා මානව ශිෂ්ටාචාරය තමන්ගේ අවසානයක් වගේම මහා ජීව විනාශයක් කරගන්න තියෙන ඉඩ වැඩියි. මානවයා හෝ ජීවය අහවර වෙන්නේ නෑ. වසර මිලියන ගානකින් වෙනස් ස්වරූපයකින් ආයේ එයි. සමහර විට මානවයා හඳුනා ගන්න බැරිවෙයි.

අපිට දැනෙන ලෙස ඒ සිදුවීම "ලෝක විනාශයක්"

ඔහු: ඔබ මේ කියන්නෙ Holocene extinction හෙවත් 6 වන මහා ජෛව විනාශය Sixth Extinction ගැන. ඒ වගේ ම මෙතැන ඉතාම අපූරු අදහසක් තිබුණා, ඒ තමා මානවයාගේ ජීවය අවසන් වෙන්නෙ නෑ සමහර විට සම්පූර්ණයෙන් ම වෙනස් ස්වරූපයෙන් ආපසු එයි, එයත් ලෝක විනාශයක් බව. හොලිවුඩයේ අප දකින AI එකක් හෝ රොබෝවරු ලෝකය පාලනය කරන යුගය පිළිබඳ අපේ ෆැන්ටසියට මේක අපූර්ව ආලෝකයක්. ඒ කියන්නේ ඒ ලෝකයේ ඇත්තේ ස්වරූපය වෙනස් කල මනුෂ්‍ය ස්වභාවයක් පමණක් බව. දැන් අපිට පුළුවන් වේවි ද ස්වභාවික විපත්, පොළවේ මධ්‍යයේ සිට අභ්‍යවකාශය දක්වා, කෙටි ලැයිස්තුවකට ගන්න ?


මම: මම මේ ගැන විෂය විද්වතෙක් නොවේ කියල කියන්නම ඕනේ. මගේ මතකයෙන් වෙච්ච හෝ වෙන්න පුලුවන් ස්වාභාවික දේවල් [මිනිසා ගේ බලපෑම නැති] ලිව්වොත්;

ආයිත් කඩනවා අහඹු [සුඩෝ රන්ඩම් කියමු] සහ නියත ලෙස.

මේ අහඹු

1. සුපිරි යමහල් විදාරණ - සයිබීරියා තැන්න ඩෙකාන් සානුව වගේ එව්වා හැදිලා තියෙන්නේ වසර දහස් ගානක් දිගට වෙච්ච දැවැන්ත යමහල් විදාරණ වලින්, ඒවා චක්‍රීය දේවල්. එයින් එකක් වුනොත්

2. ඇස්ටරොයිඩ. සූර්ය ග්‍රහ මණ්ඩලේ කියන්නේ ගල් කන්දක් නම් අපි ඉන්නේ ගල් කඩා වැටෙන බෑවුමේ. නිතර ගල් වැටෙනවා අපේ ලඟින් යනවා ඉස්සර වැටිලා අපේ විශ්ව ගමානේ චප්ප වෙලා තියෙනවා [මානවයා කියන්නේ එහෙම වැනසුණු වෙනත් ජීවීන්ගේ තැනක කෙටි කාලෙක බලය ගත්ත එකෙක්] ඉතින් ඉ=කියන්න ඕනේ නෑනේ මේ පොසිබිලිටිය. ඇස්ටරොයිඩ සයිස් එක අනුව ඕනේ දෙයක් වෙන්න පුළුවන්.

3. ගැමා කියන පිපිරුම් : මේවා අධික විකිරණ ප්‍රමාණයක් ඉතා පටු කදම්බ ලෙස මුදා හැරෙන අවස්තා. වාසනාව නම් පොලොවට ආසන්නයේ දැනට දන්නා දැනුමෙන් මේවා වෙන් තියෙන ඉඩ අඩුයි. හැබැයි ඉස්සර වෙච්ච අවස්ථා ගැන සාධක හමුවෙනවා. අපි මේ ගැන දන්නා තරම ඉතා අඩුයි.

මේ නියත.

4 . පොළොවේ ඇතිවුණු භූගෝලීය වෙනසක් නිසා පහුගිය වසර මිලියන 3-4 අතරේ ලෝකය පවතින්නේ "හිම යුගයක" [අර්ථ දැක්වීම - කොහේ හෝ ග්ලැසියර පවතිනවා අඩු වැඩියෙන් ] දැන් ග්ලැසියර හැදෙන එක සයිකල් එකක්. සාමාන්‍යයෙන් දීර්ඝ කාලෙකට [අවු 20000+] විශාල ලෙස ග්ලැසියර් සහ කෙටි කාලෙකට අඩු ග්ලැසියර්.[අවු 10000 වගේ]. මානවය මේ ශිෂ්ටාචාරේ හදන්නේ අන්න ඒ කෙටි උණුසුම් කාලයක් වන අවු 10000 ක විතර. පැටර්න් එක අනුව නම් ආයිත් අර වගේ අධික ග්ලැසියර් තත්වයක් එන්න ඕනේ. පොදු සමාජය හිම යුග කියන්නේ එව්වට.

5. සුර්යයා ගේ වෙනස්කම්. මම කියන්නේ තනිකර වසර බිලයන ගානකදී වෙන එව්වා නොවේ කෙටි කාලවල පවා සූර්යයා ගේ චක්‍ර අනුව වෙනස්කම් වෙන්න පුළුවන්. සූර්යයා ශක්තියෙන් 10% ක් අඩු කලොත් ජීවය අසරණ වෙනවා.

තව තියෙන්න පුළුවන්

ඔහු: භයානක බෝවන රෝග වගේ දේවල් අපට අහඹු විනාශයන් ලෙස ගත හැකියි නේ ද ? ඊට අමතරව අප දැන් සිටම දන්නා ඉතා ඈත අනාගතය පිළිබඳ නියත සිදුවීම් කිහිපයකුත් තියෙනවා නේ ද ? පෘථිවියේ ඔක්සිජන් අවසන් වීම, වසර බිලියන ගණනකින් පසු සිදුවන සූර්යයාගේ විනාශය වගේ දේවල් අපිට ගන්න පුළුවන් නේ ද ? ඊළඟට අපි ගමු ද මේ වගේ ම මානව ක්‍රියාකාරකම් මගින් සිදුවිය හැකි විනාශයන්ගේ ලිස්ට් එකකුත් ?

මම: [[භයානක බෝවන රෝග වගේ දේවල් අපට අහඹු විනාශයන් ලෙස ගත හැකියි නේ ද ?]]

ඔව් මේක මට මිස් වෙච්ච එකක්, මේක ජීව විනාශයක් ම නොවේ මානව ශිෂ්ටාචාරය විනාශ වීමක්.

[[පෘථිවියේ ඔක්සිජන් අවසන් වීම, වසර බිලියන ගණනකින් පසු සිදුවන සූර්යයාගේ විනාශය වගේ දේවල් අපිට ගන්න පුළුවන් නේ ද ?]]

මේවා අපි කතාකරන ස්කෝප් එකට එන්නේ නෑ කියා හිතෙනවා. ඒ කිව්වේ මානවයා හෝ ජීවයේ මේ අවධියට මේ දේවල් හෙණම දුරයි. සදාකාලික ලොකු පොර වගේ උන්නට මානවයා කවදාවත් සූර්යයාගේ ෆෙයාවෙල් හැන්දෑව දකින එකක් නෑ. මානවයා ඒ වෙද්දී කොහොම ඉන්නවද කියන එක අනාගතේ නෙවි එදා ඉන්න අතීතේ විශ්ලේෂණය කරන එකෙකුටවත් තේරෙන එකක් නෑ.

මිනිස් ක්‍රියාකාරකම් පටන් ගම්මු මෙහෙම. මේ ශිෂ්ටාචාරය මෙහෙම අහිංසකව ඉස්සරහට ගියත් එයම විනාශයක්. එනම් අපි මේ ඉන්න ආකාරෙටම සස්ටෙනබල් නෑ. අපේ ජනගහනය දිගටම වැඩි වෙද්දී අපේ සම්පත් සීමිතයි. එතනම අපිට සදාකාලික හෝ දීර්ඝ කාලින පැවැත්මක් නෑ.


ඒ මදිවට අපි කල විද්‍යා තාක්ෂණ කාර්මික ආර්ථික සහ යුදමය කටයුතු වලින් අපි අප ජීවත්වන ඊකෝ සිස්ටම් එකට බලපෑම් කරනවා. ඕකේ බලපෑම් ගැන ඇතිවෙන්න කතාවෙන නිසා මම ලියන්නේ නෑ. හැබැයි ඒ කතිකාව [අස්සේ විවිධ අතිශයෝක්ති තිබ්බට] අනුව අපි අනිවාර්යයෙන් මේ සිස්ටම් එක පවත්වාගන්න අමාරු තැනට ගේනවා. ග්‍රීන් හවුස් ඉෆෙක්ට්, ග්ලෝබල්  වෝමින්, ක්ලයිමට් චේන්ජ්, පරිසර දූෂණය, ආදිය එහි අතුරු කතා.

අපි අපේ ජනගහන වර්ධනය නැති කරලා [මැරෙන ගානට උපද්ද ගෙන] අපේ ක්‍රියාවලින් වෙන වෙනස [බලපෑම නෙවි එහි කල්පවතින ශේෂය] බින්දුව නොකලොත් තව සහශ්‍රයක් යද්දී අපිට විසඳුම් නැති වෙනවා.

එක්කෝ අපේ තාක්ෂණය ඊට උත්තර දෙන්න ඕනේ නොවේනම් අපි බිඳ වැටිලා කාකොටා ගෙන ස්වාභාවිකව ගහන පාලනය කරගන්නවා

ඔබ කැමැත්තෙන් කතාකළ ලෝක යුද්ද කියන්නේ ඒ ගහන පාලනයේ එක විදියක්. ලෝක යුද්ද නොවන දීර්ඝ කාලින මරාගනීම් වෙන්නත් බැරි නෑ. ත්‍රස්තවාදී අර්බුදේ උනත් පුංචියට එහෙම එකක්

ඔහු: අපි මුලින් ම ශිෂ්ටාචාරය මේ විදියට අහිංසකව ඉදිරියට යන සිනාරියෝව ගමු. ජනගහණ ප්‍රශ්නයට විසඳුමක් නැත්නම් සිදුවිය හැකි දේශපාලන සහ සමාජයීය පලවිපාක මොනවා ද ? ජනගහණය පාලනය කිරීම පමණක් ද මීට ඇති විසඳුම? නව නගර සංකල්ප, මුහුද ජනාවාස සඳහා යොදාගැනීම, පොළවෙන් පරිබාහිරට යෑම ආදී විසදුම් ගැන කිවහැක්කේ කුමක් ද ?

මම: විසඳුම් ගොඩයි. අපිට පුළුවන් ඉහලට යන්න [බිල්ඩින්] පහලටයන්න [පොලොව යට මුහුදු පතුල ], එතකොට කම්පැක්ට් වෙන්න.

තව ටිකක් එහාට ගිහින් කක්ෂගත ජනපද හදන්න හෝ වෙනත් ග්‍රහලෝක ටෙරා ෆෝම් කරන්න.

මේ දේවල් වලට වැදගත් කාරණා කීපයක් එනවා.

1. තාක්ෂණ ශක්‍යතාවය
2. ආර්ථික ශක්‍යතාවය [හැදුවත් එෆර්ඩ් කරන්න බැරිනම් පලක් නෑ]
3. සමාජීය සංස්කෘතික හා මනෝවිද්‍යාත්මක පැත්ත. ඒ කිව්වේ මිනිස්සු ඔව්ව වේගයෙන් හැදුවට මිනිස් මනස ඒ ප්‍රෙෂර් එක දරාගන්න ලෑස්තිද?

හැබැයි ඔය කාරණා විඳ ගත්ත කියමුකෝ. දැන් මේ දේවල් කරන්න ලොකු කාල ගතවෙනවා. ඒ කාලෙට වඩා ජනගහනය ඩබල් වෙන්න යන කාලේ අඩුයි.

මේක නිකම් ලංකාවේ පාරවල් පළල කරන සිද්ධිය වගේ. අපි දැන් තියෙන ට්‍රැෆික් එක දරාගන්න පාර පළල කරන්න ගල් දාල මාක් කරනවා. ප්‍රතිපාදන හදාගෙන පාර හදල ඉවර වෙද්දී ට්‍රැෆික් එක ඩබල් ට්‍රිපල්.

ඒ නිසා මම ඔය තාක්ෂණික උත්තර ගැන ස්කෙප්ටිකල්

ඔහු: ඉතා පැහැදිලියි. අහිංසක නැති ශිෂ්ටාචාරය ගැන දැන් කතා කරමු. න්‍යෂ්ඨික ව්‍යසන, ලෝක යුද්ධ ගැන අපිට බයක් තියෙනවා. මෙහි තාක්ෂණික සහ දේශපාලනික පැතිකඩ කතා කලොත් ?

මම: සිම්පල් එව්වා ගම්මුකො. කාබන් විමෝචන, ග්‍රීන් හවුස් ඉෆෙක්ට්, ක්ලයිමට් චේන්ජ් එතකොට පරිසර දූෂණ ආදිය. එව්වා අපේ සමාජේ ඉන්න නරක හෝ ධනේශ්වර හෝ මුදල් ලෝභී කාලකන්නි කීපයක් බලෙන්ම කරපු නොහොබිනා වැඩ කියල කට්ටිය අත හොදා ගත්තට අපි මේ කොටන කොම්පියුටරේ ඉඳල ඒ සිස්ටම් එකේ කොටස්. මේ විනාශය කලේ අපි. අපි ඔක්කොම. අපිට චොයිස් එකක් තිබ්බෙත් නෑ තමා. හැබැයි අපිම තමා කලේ.

ඒ නිසා අපිට නැතුව බැරි තාක්ෂණික, ආර්ථික සමාජීය ප්‍රසාරණය ම එක විනාශකාරී සිද්දියක්.

යුද්ද හා මිනිසා කරන සමූලඝාතන නම් සාමාන්‍ය දෙයක්. මිනිස්සුන්ගේ හැටි. මිනිස්සුන්ගේ ශිෂ්ටාචාරේ තියෙන අවංකම දෙයක්. මොකද ඉතිරි හොඳ මූණ බොරුවට නේ දාන්නේ.

වැඩේ තියෙන්නේ මේ වගේ එකෙකුට න්‍යෂ්ටික වගේ බලයක් යාම.

මට හිතෙන්නේ මිනිසාගේ තාක්ෂණික දියුණුව පිටස්තර ජීවියෙක් ග්‍රේඩ් කලොත්, කාර් එකේ සිට ස්මාට් ෆෝන් එක දක්වා ඔක්ක්කොම ග්‍රේඩ් පහ හය වෙලා න්‍යෂ්ටික බලය ග්‍රේඩ් වන් වේවි. න්‍යෂ්ටික බලය එතරම් සුවිසල් එකක්. එතරම් විශ්වයේ ඇතුළු ස්තරයට කාවදින්න මිනිසා සමත් වෙච්ච මොහොතක්. අපේ ඔක්කොම දේවල් සපයපු සූර්යයාගෙන් මිනිසා නිදහස් වුන එකම මොහොත.

මේ සා ලොකු එකක් දරන්න මිනිසා මානසිකව ගති පැවතුම් වලින් සුදුසු ද? අපි ග්‍රේඩ් වන් තාක්ෂණයක් දරන්න ග්‍රේඩ් වන් ජීව ප්‍රජාවක් වෙලාද? මේක පොඩි ළමයට ලැබුණු පිස්තෝලයක් ද? ජීව උණ්ඩ ලෝඩ කරගෙන ඉන්නේ

ඉරාකයේ තිබ්බ කියා බොරු කිව්ව, ඉරානේ හදන්න ඉඩ තියෙන උතුරු කොරියාවේ තියෙන එව්වා විතරක් නෙවි රුසියාවේ ඊශ්රායාලේ ඇමරිකාවේ තියෙන එව්වත් අපිට දරාගන්න හැකිද?

ඔහු: මුළු ලෝකයක් විනාශ කරන්න පුළුවන් න්‍යෂ්ඨික අවියක් දැනට අප සතුව නැති බව පැහැදිලියි. එවන්නක් නිර්මාණය විය හැකි ද ? දැන් තිබෙන තත්ත්වය යටතේ වුව න්‍යශ්ඨික අවි ගැටුමකට ලෝකය පෙරැලෙන්න ඉඩ තියෙනව ද ?

මම: මම බය වන් ෂොට් වන් ආයුදේ හදන එකට නෙවි. හදන්න පුළුවන් තාක්ෂණය තව පොඩ්ඩක් එහාට ගිහින්. හැබැයි මම බය ඒකට නෙවෙයි. අනිත් තාක්ෂණ වගේ මේකත් ටික ටික පහලට යන එකට.

තුවක්කු බෝම්බ ලොකු රටවල හමුදා වලට තිබ්බ කාලේ කඩු පොලු දරාපු මංකොල්ලකාරයෝ අද ඒවා අරගෙන. සමාජ විරෝධී කල්ලි ත්‍රස්තවාදීන් මැරයින් වගේ අයට කුඩා මට්ටමේ හෝ න්‍යෂ්ටික බලයක් ගන්න ලොකුවට අමාරු නෑ. මේක එව්රි ඩේ අවදානමක්.

කෙසේ වෙතත් දැනටමත් එකක් හදල නැතුවට තියෙන ටික පාවිච්චි කලොත් ලෝකය විනාශ කල හැකියි. අපිට නැත්තේ පත්තු කරන්න ගිනි පුලිඟුවක් විතරයි. ඒක පත්තු නොවෙන්නේ අපේ ආර්ථික සමාජ ජීවිතේ නිසා. ලෝකෙම ඒ තත්වය තියාගන්න ආසයි. ලෝක යුද්ද එන්නේ නැත්තේ ඒ සරල හේතුවට.

අපි ප්‍රාථමික ගති හැරලා ලොකු ළමයින් වෙනක මේ ආර්ථික සමාජ තත්වය විසින් අප ආරක්ෂා කරයිද? ඒක පැහැදිලි උත්තර නැති කතාවක්.

මම උතුරු කොරියාව ගැන වොරීඩ් නෑ. උන් එකක් දෙකක් ගහ ගත්තත් ප්‍රතිවාදීන් උන්ට දෙනවා ඉවර වෙන්න. එහෙම දවසක ඒ බූරු වැඩේට අතදාන්න තරම් මෝඩ නෑ චීන රුසියා වගේ එවුන්.

මම බය අන්ත දෙකට

1. පහල හෙවත් රටක් රාජ්‍යයකට වඩා පහල අවනීතික පිරිස් මේවා දරන්න පටන් ගැනීම ඒ කියනේ නියුක් එකක් සතියට පාරක් කොහේ හෝ.

2. අපි අද දකින ලෝක තත්ත්ව වෙනස් වුන දවසක ඇමරිකා රුසියා චීන වගේ මහා බලවතුන් හදාගෙන ඉන්න ඒවා භාවිතා කරන තැනට ලෝකේ ආවොත්

ඔහු: ඔව් සුජීව, අපි අන්තිමට නතර වෙන භයානක තැන ඔතන. හොලිවුඩ් චිත්‍රපටයෙන් අපට ගෙනෙන භීතිය ඇත්ත එකක්, සිදුවිය හැකි එකක්. ඒ වගේ ම දේශපාලනය කියන දෙයින් අප කොටස්කාරයන් නොවී ඉවත්වන්නට තීරණය කිරීමත් කල්පාවසාන සාදයට අනුව මෝඩ කමක්. මොකද අපිට ඉවත් වෙන්න ලෝකයක් නෑ. අපි දැනටමත් කොටස්කාරයො. බොහොම ස්තූතියි සුජීව, මේ සංවාදය මටත් කියවන අනෙක් අයටත් අළුත් අදහස් ඇති කල උද්‍යෝගීමත් කල එකක්. අපි වෙනත් සංවාදයකින් නැවත හමුවෙමු. ආයෙත් බොහොම ස්තූතියි

Sunday, April 29, 2018

පන්සල්/පල්ලි/කෝවිල් යන නිරාගමිකයෝ

එදිනෙදා ජීවිතයේදී නිරාගමිකයන්ට ආගමික ස්ථාන වලට යාමට හෝ අවස්ථා වලට සහබාගි වීමට සිදු වේ. එවැනි අවස්තාවක ආගමික ක්‍රියාකාරකම් වලට කිසිසේත් සහබාගි නොවීම සමාජීයව සැලකෙන්නේ අන්තවාදී නොහොබිනා ක්‍රියාවක් ලෙසිනි. ඇතැමෙක්  එසේ  කිසිසේත්  සහභාගී  නොවී  එතන  සිටියත්  බොහෝ  නිරාගමිකයන්  අතින් ටෝකන් සහබාගිත්වයේ සිට ක්‍රියාකාරකම් මග හැරීම දක්වා එක එක වැඩ කෙරෙනු ඇත.

මම නම් ටෝකන් සහබාගිත්වයක් පෙන්වන කෙනෙක් මි. එනම් බෞද්ධ සහබාගි වීමක වැඳගෙන සිටීම, භික්ෂුන්ට වැඳීම, ක්‍රිස්තියානි දේශනයක සබාව සමග හිටගෙන සහ ඉඳගෙන සිටීම [ක්‍රිස්තියානි දේශනයක් යනු ඉඳීන්-සිටීන් එක්සසයිස් එකකි] මගෙන් බලාපොරොත්තු විය හැකිය. වෙන එකෙක් වෙනස් ආකාරයක ක්‍රියාවක් කරනු ඇත.

එසේම මේවා මෙහෙමම කියා අපි හාඩ් ෆික්ස්ඩ් හදාගෙන ද නැත. සිඩ්නි පන්සලක පැවැත්වෙන එක්තරා උත්සවයකට කීප වරක් සහබාගි වී ඇති අතර ඒ අවස්ථා  වල බණ මඩුව පැත්තේ නොයා වෙනත් ක්ලීනින් සර්විස් එකකට සප් එකක් දී ඇත. ගෙදර ඉද්දි වැඩිහිටියෙකුගේ දානමය අවස්තාවක මා කලේ හාමුදුරුවන් ට්‍රාන්ස්පෝට් කරන රස්සාවයි. ඔව්ව ප්ලෑන් කර නැත. නිදහස් චින්තකයෙකු වීමේ නිදහස මෙතනටද යෙදේ. අපි කරන්නේ ඒ වෙලාවේ සුදුසු ලෙස හැඟෙන දෙය මිස රිචුවල් එකක් නොවේ.

එසේම නිරාගමික මා දවසක මළත් මම අහවල් ආකාරෙ අවමගුලක් කරන්න කියා උපදෙස් දී නැත. ඒ නිසා බොහෝ විට ආගමික මගුලක් කෙරෙන්න ඉඩ තිබේ. මට ඒ ගැන කිසිම අවුලක් හෝ ඉන්ටරස්ට් එකක් නැත. මොකද මා මියගොස් නිසාය. නිරාගමිකයෙක් නිසාම මරණින් එහා බක්කක් ඇතැයි කොහෙත්ම නොදන්නා නිසා තොපිලා අවමගුලේ ඕනේ මගුලක් කර ගත්තාට මට අවුලක් නැත. මිනිය එක්ක දාන සෙල්ලම් සීරියස් ඉෂුස් වන්නේ අදහන්නන්ට පමණි. ස්වර්ගය පුනර්භවය ආදී කාරණා වෙනුවෙන් මට වොරියක් නැත. [මලාට පස්සේ වත් තොපි බ්ලොග් ටික කියවා කොමෙන්ට් දැම්මා නම් "ඉන්න තැනක සිට" සතුටු වන්නට හැකිය - මෙහි කොටසක්  ඩබල්  කොමා  අස්සේ  දාන්නේ  ජෝක්   එකට  බව  මට  ලියන්නට  සිදුවීම  කියවන්නා මට  සැපයු  ජෝක්  එකකි]

මූලික කාරණා හතරක් සඳහන් කල යුතුය.

1. ආගමික අවස්තාවක නිරාගමික හැසිරීම් අප සමාජීයව නියෝජනය කරන පිරිස් වෙනුවෙන් කරන දේවල් හෙවත් සෝෂල් ආගමික හැසිරීම් [සෝෂල් ඩ්‍රින්කින් වගේ] වේ.

2. ආගම් සම්බන්ධයෙන් වෙනත් කිසිම නිරාගමිකයෙකු කළ කිසිම දෙයක් මගේ හැසිරීමට බල නොපාන බවත්, ඒවා ගැන මට වගකීමක් නැති බවත්ය. නිරාගමිකත්වය ආගමක් නොවේ. කැමති දෙයක් තම තමන්ට කල හැකිය.

3. මේ හැසිරීම් අපි කලින් ප්ලෑන් කර නැති නිසා අහවල් ආකාරය කියා කියන්න බැරි බවයි. ඒ වෙලාවේ මූඩ් එක සහ පරිසරය මත ඒවා වෙනස් වේ. සුදුසු දෙයක් කෙරෙනු ඇත.

4. නිරාගමික සමහරු ආගමික නොවන මළ ගෙදරක් අන්තිම කැමැත්ත ලෙස ලියන නමුත් මටනම් එය පවා කල්ට් වැඩකි. නිරාගමිකයෙකුට තම අවමගුලේ වතාවත් ගැන කිසිම ඉන්ටරස්ට් එකක් නැතිවීම පට්ට සාමාන්‍ය තත්වයකි.

දැන් ප්‍රස්තූත මාතෘකාවට ආවොත්; ජවිපෙ එක්තරා මන්ත්‍රීවරයෙක් සිය  මවගේ  අවමගුල උදෙසා  බෞද්ධ  වතාවත්  පැවැත්වීම  සමහරුන්  අතර  දැඩි  විවේචනයට  ලක්ව  ඇත.  නිරආගමිකයා  වුනත්  අන්තිමේදී  ආගමට  හේත්තු  වෙන  කතාවක්  අහන්නට  ලැබේ.

ඔහු නිරාගමිකයෙක් දැයි මා දන්නේ නැත. යම් හෙයකින් ඔහු නිරාගමිකයෙක් වුවත් ඔහුට ආගමික උත්සව වලට සහබාගි වීමට සිදු වනු ඇත. එතන ඔහු කරන දෙය මට කොහෙත්ම අදාළ නැති අතර ඒ ගැන මට ඇති වගකීමකුත් නැත. එහෙත් ඔහුත් ඔය මා පෙර කී ලෙස සමාජීයව ශේප් වීමක් කරනු ඇතැයි මට සිතේ. ඒම උත්සවය ඔහුගේ මෑණියන් ගේ අවමගුල නම්, කෝමත් එහි තීන්දු තීරණ ගැනෙන්නේ මෑණියන් අදහන ආගම අනුවය.

ඒ නිසා ඒ සිදුවීම අල්ලා ගෙන නිරාගමිකයන්ට ටෝක් ඉශු කරන සියලු පඩත්තරයින්ට [මෙහෙම පිරිසක් දකින්නට ලැබුණු නිසා ලියන ලද සටහනකි] කීමට ඇත්තේ තොපිට නොතේරෙන මගුලක් ගැන කතා නොකර අදහන දර්මයක් අදහා ගෙන පාඩුවේ ඉන්න ලෙසයි.

ප.ලි. නිරාගමික අන්තවාදය කියා එකක් සමග පැටලෙන වලි ඉග්නෝ කල මුත් මේ කතාව තරමක් එලිමෙන්ටරි තැනකට වදින නිසා කාටත් කාරණා පැහැදිලි කල යුතුවේ.

Tuesday, December 26, 2017

පරිභෝජනයේ සදාචාරය 2 - මිනිස් ශිෂ්ටාචාරයේ අර්බුදය සහ අභියෝගය

අපි යමු දහනවවන සියවසට. නෝවේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවර ප්‍රධාන ගංගාව අවට කාර්මිකරණය වෙලා. තරමක කාර්මික කලාපයක් බිහි වෙන්න පටන්ගෙන. මේ සමගම ග්‍රාමීය පෙදෙස් වලින් ගැමි ජනයා කම්කරු රැකියා අපේක්ෂාවෙන් ඔස්ලෝ නගරය කරා ඇවිත් මේ කම්හල් අවට පදිංචි වෙමින්. මේ වෙනකොට ඔස්ලෝ නගරය සපුරා දවා හළු වුන මහා ගින්නෙන් සියවස් දෙකක් පමණ ගෙවිලා. මේ ගින්න සමග සාම්ප්‍රදායික අඩු වියදම් ලී ගෙවල් භාවිතය තහනම් නීති ගෙනාවට මේ ගැමි කම්කරු ප්‍රජාව තවම ඉන්නේ ලී ගෙවල් වල. මේ කම්හල් වල දුම්රොටු සුළං මගින් පැතිරෙන්නේ නැගෙනහිරට.

මෙන්න මේ හේතු නිසා නගරයේ සාම්ප්‍රදායික ධනවත් ඉහළ පාන්තික ප්‍රජාව නගරයේ බටහිර දිහාවට ඒකරාශී වෙන්න පටන් ගන්නවා, බටහිර ඔස්ලෝ හි සම්මත නීති අනුව තැනෙන බදාම සහිත [ලී නොවන] නිවාස මිලෙන් වැඩියි. ඒ වෙද්දී මධ්යාම් පාන්තික සමාජය් ආසා එහෙම තැනක ඉන්න.

හැබැයි එන්න එන්නම කම්හල් අවට ප්‍රජාව වැඩි වෙනවා. දැන් මේ ජනයා ගඟේ බටහිර ඉවුරේ සිට කෙමෙන් අර බටහිර ධනවත් ප්‍රජාව දිහාට පැතිරෙමින් ඉන්නේ. මේක ඒ ධනවත් ප්‍රජාවට හිසරදයක්. මේ නිසා ඒ බටහිර ධනවත් ප්‍රජාව තම තමන් සල්ලි එකතු කරලා ඒ ගැමි කම්කරු ප්‍රජාව එන දිහාවේ ඉඩම් විශාල ප්‍රමාණයක් සල්ලි වලට අරගෙන එතන උද්‍යානයක් හදනවා. මේ උද්‍යානය විසින් ඒ දිළිඳු මිනිසුන් ධනවතුන් එක්ක මිශ්‍ර වීම වළකනවා.

දැන් අපි ආපහු එමු මහජන චීනයට. වසර 1977. වසර දොළහකට පසු විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය පවත්වන්නයි යන්නේ. සම්ප්‍රදායික ජීවන රටාවේ තිබ්බ එවකට දියුණු ජපනුන් අතේ විවිධ කරදර වින්ද ප්‍රාථමික චීනය මාවෝ සේතුං විසින් කොමියුනිස්ට් පක්ෂය යටතේ පාලනය කරන්න අරගෙන දශක තුනකට ආසන්නයි. මාවෝ යටතේ විවිධ අසාර්ථක සැලසුම් රාශියක් එක්ක ඇතිවන සාගත, සමාජ ප්‍රශ්න, මහා පරිමාන ජන ඝාතන වලින් සමාජය හෙම්බත් වෙලා. ඉනික්බිති කොමියුනිස්ට් පක්ෂයෙන් පාලනය තනිකර තමන් අතට අරගෙන උගතුන් ඝාතනය කර සිසුන් පාසල් වලින් අරගෙන මිලිශියාවක් සහ ශ්‍රම බලකායක් ලෙස යොදා ගනිමින් සංස්කෘතික විප්ලවය නමින් මාවෝ චීනයේ ඉන්ටලේක්චුවල් කොඳු නාරටිය කඩනවා. ඒ වහපු විශ්ව විද්‍යාල ඔහුගේ මරණින් පස්සේ ඩෙන් ක්ශාවෝ පින් විසින් නැවත අරඹන්න තමා මේ විභාගේ කෝල් කලේ.

1940 දශකයේ බෙන්ගාලයට යමු, දෙවෙනි ලෝක යුද්දය වෙනුවෙන් චර්චිල් සහල් ස්ටොක් කරනවා, මේ සහල් සැපයෙන්නේ ඉන්දියාවේ පෙදෙස් වලින් මේවා යෙදෙන්නේ නැගෙනහිර යුරෝපේ ජනයා හාමතින් මුදා ගන්න සහ අතිරික්ත ලෙස ඉන්දීය සාගරයේ නැව්වල රැස් කරන්න. හැබැයි මේ වෙද්දී බෙංගාලයේ විශාල පිරිසකට ආහාර ලෙස සපයා ගන්න සහල් නෑ. බුරුමය දෙසින් සහල් සපයාගන්න පුළුවන් වෙයි කියල හිතුවත් දුම්රිය මාර්ග ප්‍රහාර වලින් බිඳ වැටිලා නිසාත් ජපනුන් බුරුමයේ පෙදෙස් ආක්‍රමණය කරන නිසාත් ඒ උත්සාහය සාර්ථක වන්නේ නෑ. දිල්ලි බ්‍රිතාන්‍ය පාලකයා මේ ගැන චර්චිල් ට දන්වා සිටියත් උත්තර ලෙස ලැබෙන්නේ අවඥා සහගත කතා. ඉන්දියන් කාරයින් වැඩියෙන් ළමයි හදන එකට මට කරන්න දෙයක් නෑ කියා චර්චිල් කියනවා. ඒ වසරේ හාමතින් මළ පිරිස මිලියන තුන හතරක්. අද සම්මතයෙන් මෙය ජෙනොසයිඩ් එකක් ලෙස සලකන්න ඕනේ කියල විද්වත් සංවාදයක් පවා යනවා.

ඒ බෙංගාලයේ ම කල්කටාවේ අල්බේනියානු සම්භවයක් සහිත කතෝලික කන්‍යා සොයුරියක් වන තෙරේසා විසින් වසංගත සාගින්න සහ වෙනත් ආබාධ නිසා රෝහල් කීපයක් පවත්වාගෙන යන්නේ ඊට දශක කීපෙකට පස්සේ. තෙරේසා රෝහල් තියාගත්තට බෙහෙත් කරන්නේ නෑ. තෙරේසා මියයන මිනිසුන් වෙනුවෙන් යාඥා කරනවා. මිය යන්න පෙර ඔවුන් "මුදා ගන්න" බෞතිස්ම කරනවා. ඒත් ඒ මිනිසුන්ට මැරෙනකම් එහෙමවත් සලකන තැනකට තියෙන්නේ තෙරේසා ගේ රෝහල් පමණයි.

එකිනෙකට අසම්බන්ධ සිද්ධි මාලාවක්. කතන්දර කීපයක්. අවාසනාවට මේක අගමුල පැටලුනු මහා දිග පෝස්ට් එකක් වේවි. ඒවා ලිහන්න අදහසක් නෑ. පොයින්ට් කීපයක් ඉස්මතු කරන්න විනා.

දැන් වෙනස් කතන්දරයක්. මේක ඇහුවේ උදිත මීගහතැන්න.

"එකෝමත් එක කාලෙක ඇමරිකා එක්සත් ජනපදයේ මුල් තැන අරගත්තු සේවා යෝජකයා ජෙනරල් මෝටර්ස් සමාගම. උසස් අධ්‍යාපනයෙන් පස්සේ කවුරුහරි ඇමරිකානුවෙක් මේ සමාගමේ රස්සාවකට ගිහාම ඔහුට ගෙයක් දොරක් අරන් කසාදයක් බැඳලා ළමයි හදල යහපත් මධ්‍යම පාන්තික ජීවිතයක් ගතකරන්න හැකියාව ලැබෙන ක්‍රය ශක්තියක් මේ රැකියාවෙන් ලැබෙනවා.

අද ඇමරිකාවේ අංක එකේ සේවායෝජකයා වොල්මාර්ට් සමාගම. මේකේ රස්සාවකට යන ඇමරිකානුවෙක්ට ඒකෙන් ලැබෙන පඩියෙන් ජීවත් වෙන්න හිතන්නවත් බැහැ පඩියට අමතරව ආණ්ඩුවේ පින් පඩියකුත්අරගෙන තමයි ජීවත් වෙන්න වෙන්නෙ. ගෙයක් දොරක් අරන් මධ්‍යම පාන්තික දිවියක් ගත කරන එක හිතන්නවත් බැරි දෙයක්.

නූතන ධනවාදය මුහුණපාන අභීයෝග මේවා"


ඉස්සෙල්ලම කියන්න ඕනේ මේක වෝල්මාට් ජී එම් සමාගම් දෙකේ වෙනසක් නෙවි. ඇමරිකාවේ පමණක් ගැටලුවක් නොවේ. ඉස්සර ලෝකේ ඕනේ තැනක මිනිහෙක් සාමාන්‍යයෙන් අධ්‍යාපනයක් ලබල රස්සාවක් කරලා කරපුවා අද කරන්න බෑ. මේක ධනවාදය මුහුණපාන අභීයෝගයකුත් නෙවි.

ඉස්සර ලෝකේ ඕනේ තැනක මිනිහෙක් සාමාන්‍යයෙන් අධ්‍යාපනයක් ලබල රස්සාවක් කරලා කරපුවා අද කරන්න බෑ.

ඇයි මේ?

මේකට හේතු වලින් මුල්ම එක තමා ඉල්ලුම ඉහල යාම , ඔය "ඉස්සර" අහවල් ඒකයි දැන් අහවල් ඒකයි අතරේ වෙනස ඕක. ලංකාවෙත් ඔය කතාවම යනවනේ. ඉස්සර උපාධියක් අරගෙන කසාදයක් බැඳලා ආණ්ඩුවේ රැකියාවකින් ළමයි ලොකුවෙන්න කලින් ගෙයක් දොරක් හදාගන්න පුළුවන් දැන් බෑ කියල. ඊට මූලික හේතුව ඉඩම සහ නිවසට යන මිල. බාස් කුලිය ඇරෙන්න ඉතිරිය සම්පත් වල වියදම. සම්පත් වල වියදම වැඩි වෙන්නේ ඉල්ලුම නිසා.

ඇයි ඉල්ලුම වැඩි වෙන්නේ? පෙර කතාවේ චර්චිල් කියනවා එක හේතුවක්. ඒ ඔබ්වියස් අමන කම අතහැර අපිට ඕනේ හරිය ගම්මු. ඉන්දියාවේ මිනිස්සු වැඩියෙන් ළමයි හැදුවට මට කරන්න දෙයක් නෑ. අමන වගේ පෙනුනට මෙයා කියන්නේ මෙහෙම එකක්. පළමු ලෝකය සිය අවශ්‍යතා සකසා ගන්න වැඩි වැඩියෙන් සම්පත් භක්ෂණය කරන අතරේ ඒ අයගේ ජනගහන වර්ධනය පාලනය කර ගන්නවා. ශිෂ්ටාචාරේ මුල කාලේ ජනගහන පාලනය සංවර්ධිත සමාජවල ලක්ෂණයක් වෙනවා. හැබැයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයක් වුනාම, මේ පලවෙනි ලෝකේ සම්පත් රාමුවෙන් කොටසක් තෙවැනි ලෝකෙටත් දෙන්න වෙනවා. තෙවැනි ලෝකේ අර පලවෙනි ලෝකේ වගේ නෑ. උන් පිස්සෝ වගේ පැටවූ ගහනවා, ඉතින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ලොකුම ලොක්කට මේක මළ හිසරදයක් වීම තමා ඒ කතාවෙන් පෙන්නන්නේ.

චර්චිල් අමනයෙක් ද නැද්ද කියන එක නෙවි පොයින්ට් එක. පලවෙනි ලෝකේ සම්පත් අධි භාවිතය එක්ක ජනගහන වර්ධනය පාලනය කරද්දී තෙවැනි ලෝකේ පිස්සෝ වගේ පැටවූ ගහනවා. මේ පිස්සෝ වගේ පැටවූ ගහන එවුන්ට බඩගින්නේ මැරෙන්න දෙන්න බෑ ලෝක සම්මුතිය එක්ක. අද මවක් වැඩිම දරුවන් ගණනක් වදන්නේ දරුවන් හොඳින් හදන්න පුළුවන් පළමු ලෝකේ නෙවි කන්න නැතුව මැරෙන සහේල් කලාපයේ නයිජර් දේශයේ. ඒ ළමයින්ගෙන් කීපයක් ස්වාභාවිකව මැරෙන්න නියමිතයි. හැබැයි අර පලවෙනි ලෝකේ ආධාර වලින් දුවන ආයතන විසින් ඒවා අවම කරලා ඒ ළමයි කෝම හරි ලොකු මහත් කරනවා. එහෙම කරන්නේ නැතුව ඉන්න කියනවා නොවේ. අවසානේ ප්‍රතිපලය ලෙස බටහිර රටක ජනගහන පාලනයට සමගාමිව ඔවුන් අප්‍රිකාවේ ජනගහන බෝම්බයට සහය දෙනවා.

අප්‍රිකාව සහ මැද පෙරදිග තව වසර සීයකින් විතර ලෝක ජනගහනයේ විශාල ප්‍රතිශතයක් වෙන්න නියමිතයි. නයිජීරියාව පෙරටු කොටගත් ඒ කලාපේ රටවල් රාශියක් ලෝකේ වැඩිම ජනගහන ලිස්ට් එකේ දැන් ඉන්න අය නොකවුට් කරමින් ඒ ලිස්ට් එකට පිරෙන්න නියමිතයි. සමහර අනාවැකි අනුව නයිජීරියාව ඉන්දියා/චීන මට්ටම ආසන්නයට ම එන්න නියමිතයි. සමහරු මේකට මුස්ලිම් අන්තවාදය කියනවා, එය වැරදියි අප්‍රිකාවේ මුස්ලිම් නොවන රටවලුත් මේ වැඩේම කරනවා. මේ තෙවැනි ලෝකේ උන් පිස්සෝ වගේ ළමයි හදන එකත් මැරෙන්න නියමිත ඒ ළමයින් පලවෙනි ලෝකෙන් ආධාර දීල හදාගන්න එකත් විසින් ඇති කරන අතුරු පලයක්.

මේ කතාව වඩාත් පැහැදිලි වෙයි මෙන්න මේ වීඩියෝවෙන්.

කොහොමින් හරි ගැටලුවේ පළමු කොටස ලෝක ජනගහනයේ වර්ධනය.

හැබැයි ඉල්ලුම තනිකර වැඩි වුනේ ජනගහන වර්ධනය නිසාම නෙවි ඇත්තෙන්ම ඊට හේතුව ජනගහනයේ මුලුගැන්නීම අඩුවෙලා ලෝක ජනගහනයේ ලොකු කුට්ටියක් අර කියන මධ්‍යම පාන්තික ජීවිතයට ආපු එක. රට රටවල් ඇතුලේ ගත්තත් දැන් ඔය ඉස්සර ඇමරිකන් මධ්‍යම පන්තියට ගිය ප්‍රතිශතය ට වඩා දැන් එතනට යන ප්‍රතිශතය වැඩියි. ලංකාවේ නම් හැට හැත්තෑව දශක වල උපාධියක් තියෙන ප්‍රතිශතය ඉතා කුඩායි. ලෝක මට්ටමින් නම් ඉන්දියා චීන ජනගහන කුට්ටි දෙක පස්සට තල්ලු කරලා තලලා මරල මුළු ගන්නල තිබ්බ ඔය කාලේ.

මතකද චීනුන් ගැන මුලදී ලියු කතාව. 1977 විශ්ව විද්‍යාල නැවත අරින්න විභාගයක් තියපු එක. දැන් ඒ චීනය තමා ලෝකේ වැඩිම උපාධිධාරීන් බිහි කරන්නේ. චීනයේ ජනගහනයෙන් විශාල පිරිසක් අද පලවෙනි ලෝකේ මධ්‍යම පාන්තික ජීවිතේකට සමාන මට්ටමකට ඇවිත්. අර චර්චිල් ලා බඩගින්නේ මැරෙන්න ඇරපු තෙරේසා ලා මැරෙනකම් යාඥා කරපු ඉන්දියාව ඇතුලේ ඇමරිකානු ජීවන තත්වය ඉක්මවපු මිනිසුන් ඇමරිකානු ජනගහනයට වඩා දැන් ඉන්නවලු.

අර ඉස්සර ශෝක් කාලේ මධ්‍යම පන්තික ජීවිත කියන්නේ මේ තලලා මුලුගන්වලා තිබ්බ ජීවිත බිලියන කීපය අස්සෙන් උඩට නැග්ග සුළු මිලියන ගානක්. ඒත් දැන් අර තැලිලා උන්නු බිලියන ගානත් එතනටම ඇවිත්. උන්ටත් ඕනේ අර පළමු ලෝකේ උන්ට ඕනේ වෙච්ච දේවල් ම. උන්ටත් දැන් සපයන්න ඕනේ.

ඉතින් ඕක තමා අධ්‍යාපනයේ, සමාන අවස්ථාවේ, ප්‍රජාතන්ත්‍රවාදයේ, ඉහල ආයු අපේක්ෂාවේ, සෞඛ්‍ය සේවාවල, කොටින්ම ශිෂ්ටාචාරයේ සමස්ත දියුණුවේ අග්රපලය. මධ්‍යම පාන්තික ජීවිත ගෙව්ව තරම එක්ස්පොනේන්ෂලි වැඩිවීම. ලෝක බෝලෙන් පොඩි ස්ලයිස් එකක් කන්න නිදහස තියෙන මිනිස් කණ්ඩායමේ වැඩිවීම. එතකොට ඒ ස්ලයිස් එක ගන්න අමාරු වෙනවා. අන්න ඒ ගැටලුව තමා ඉහත උදිත හයිලයිට් කරන්නේ.

ඒ අනුව මේක "ධනවාදයේ අර්බුදය" හෝ "ධනවාදයේ අභියෝගය" නෙවි. මේක මිනිස් ශිෂ්ටාචාරයේ මිනිස් සංහතියේ අර්බුදය අභියෝගය සහ අනාගතය.

මේ සමග මිනිසාගේ ජීවන රටාව කැමති උනත් නැතත් වෙනස් වෙනවා. අර වෝල් මාට් එකෙන් හිඟන පඩියක් අරන් ආණ්ඩුවේ සහන එක්ක දුක සේ යැපෙන බහුතර ඇමරිකානුවෝ එහෙම කරන්නේ කැමැත්තෙන් නෙවි. උන්ට චොයිස් එකක් නෑ.

මතකද ඔස්ලෝ කතාව. අදටත් විවිධ ඩිමෝග්‍රැෆික බෙදුම් ඔස්සේ ඔස්ලොවේ බටහිර නැගෙනහිර බෙදුම තියෙනවා. බටහිර නැගෙනහිර අතර වාර්ගිකත්වය, අධ්‍යාපනය, ගෙවල් වල ස්වරූපය, ඉඩම් මිල, පවුලක ආදායම වගේ විවිධ පැරාමීටර් රාශියක පැහැදිලි වෙනසක් තියෙනවා. චන්දෙ දෙන පක්ෂය පවා අ වෙනස්ලු. හැබැයි ඔස්ලෝ වල සිද්ධිය සුවිශේෂී ලෙස නෝටිස් වෙන්නේ පාක් එක නිසා. ඔහොම ආර්ථික ශක්‍යතාවය මත නොබෙදුණු නගර ලෝකේ කොහෙද තියෙන්නේ. හැම නගරයකම සමාජය ආර්ථික හැකියාව මත ජනයා බෙදෙනවා, ඔස්ලෝ වල අවනීතික ලී ගෙවල් සහ බදාම ගෙවල් කියන ඉර, මගින් බෙදපු ආකාරෙටම එෆර්ඩබිලිටි මත සමාජය බෙදෙනවා. නගර වල පාක් වලින් මාක් වෙච්ච නැති නොපෙනෙන ඉරි ඇඳිලා තියෙන්නේ.

ඉස්සර සමාජයේ උසස් පහත බව බෙදුවේ හමේ පාටින්, ආගමින්, ජාතියෙන්. ඊට පස්සේ බෙදුම උනේ පාස්පෝට් එක. සමහර රටවල් වල පාස්පෝට් එක හරි වටිනවා. ඒ පාර පටන් ගත්ත ස්කිල්ඩ් මයිග්රේෂන්. ඒ පාස්පෝට් ගන්න එන තරගෙදි කඩුල්ලක් හදනවා අහවල් වර්ගයේ කොලිෆිකේෂන් එකක් තියෙන්න ඕනේ කියල. හැබැයි ඒ ලෝකය දැන් ආයිත් වෙනස් වෙලා. මේ යන රැල්ල එක්ක රට රටවල වෙනස්කම් අඩු වෙනවා. දැන් පාස්පෝට් එක මහා ලොකු බක්කක් නෙවි. තෙවැනි නම් වූ ලෝකය පළමු නම් වූ ලෝකය කරා ආසන්න වෙමින්.

දැන් ඒ නිසා අලුතෙන්ම මිනිසා සේග්‍රගේට් කරන්නේ නාගරික කලාප වලින්. පලවෙනි ලෝකේ වගේම තුන්වෙනි ලෝකෙත් නගර වල බිහි වෙනවා අතිධාවනකාරී ෆස්ට් ක්ලාස් රෙසිඩන්සීස් සිට හද්ද පිචන් තුනේ ක්ලාස් රෙසිඩන්සීස්. ඒ ඒ රටේ ඔය දෙකට ලැබෙන දේවල් වෙනස්, හැබැයි ආකෘතිය එකමයි.

දීර්ඝ කාලීනව ආයිත් වෙන්නේ ඔස්ලෝ සිද්ධිය ම තමා.

මෙන්න මේ වෙලාවට අපේ සමහරු කියනවා මාර අසාධාරණයි නේද කියල. ඔව් අසාධාරනයි. හැබැයි මේ අසාධාරණය ස්වාභාවිකයි. මේක නෛසර්ගික දෙයක්. මෙහෙම අසාධාරණයක් ඇතිවන ප්‍රධාන හේතුව අධික ජනගහනය. අධික ජනගහනයට ප්‍රධාන හේතුව ශිෂ්ටාචාරයේ දියුණුව ස්ථාවරත්වය සහ යහපත් ජීවන තත්වය. බිලියන හතටම යහපත් ජීවිතයක් දෙන්න බැහැ. ඊට අවශ්‍ය සම්පත් හෝ ශක්‍යතාවය නෑ.

සමහරු කියනවා කොමියුනිස්ට් සමාජයක් හදමු හැමෝටම සමාන තත්වයක් දෙමු කියල. ඔවුන් සිහින මවනවා එහෙම කරලා මේ බිලියන හතටම යහපත් ජීවිතයක් දෙන්න පුළුවන් කියල. ඔවුන් කියනවා පුද්ගල අයිතිය තමා මේ සියල්ලට හේතුව. දේවල් රජය සතුනම් මේ ගැටලුව එන්නේ නෑ කියල.

පුද්ගල අයිතිය කියන්නේ මොකද්ද? දැන් මේ ධනවාදී කියන ලෝකයත් ඔය පැරණි සම්මත පුද්ගල අයිතීයෙන් කොපමණ එහාට ගිහින් ද? දැන් තමන්ගේ නිවසක ඉඳගෙන තමන්ගේ වාහනයක් එලවන අය ඉන්නේ කීයද? බොහෝ දෙනෙක් ඉන්නේ කුලියට, තව සමහරු බැංකුවකට අයිති මොගේජ් ගෙදරක. බොහෝ වාහනත් හිමි ලීසිං ආයතනයකට. හෙට අනිද්දා එලවන්න ඕනේ නැති කාර් ආපුවම බොහෝ විට කාර් අයිතිය නැතිම වෙලා යාවි. කාර් අයිති සමාගමකට. ඔබට අවශ්‍ය නම් ලඟපාත වාහන තියෙනවා කිව්වම ඇවිත් ඔබ රැගෙන යනවා. ගන්න වෙන්නේ සමාගමේ සබ්ස්ක්රිප්ෂන් එකක් පමණයි. ලෝකය වේගයෙන් පුද්ගල අයිතිය හැර යනවා, හේතුව පැහැදිලියි. වැඩිවන ජනගහනය එක්ක මිනිසුන්ට සින්නක්කර ස්ලයිස් එකක් ලෝක බෝලෙන් දෙන්න බෑ. ඔබේ සම්පත් වෙන අය එක්ක ශෙයා කරන්න වෙනවා, ඔබට නොදැනෙන්න. හෝ ඔබට දැනෙන්න ම ඔබේම අනුමැතියෙන් ඌබර් ස්ටයිල් එකට.

කොමියුනිස්ට් වාදීන්ට අනුව මේක ධනවාදයේ අර්බුදය. එතන තමා වරදින්න පටන් ගන්නේ මේක ශිෂ්ටාචාරයේ අවුල. මේකට හේතුව ශිෂ්ටාචාරය. ශිෂ්ටාචාරයේ නරක අතුරුපලය වන ජනගහන වර්ධනය. බිලියන හතකට යහපත් ජීවිතයක් දෙන්න සම්පත් නොමැතිකම. මේක එයාලටත් පොදු ප්‍රශ්නයක්. මේ බිලියන හතටම යහපත් ජීවිතයක් දෙන්න එයාලටත් බෑ.

එතකොට ඒ අය කරන එකම දෙය වෙන්නේ "යහපත් ජීවිතය" යළි අර්ථ දැක්වීම. මිනිසුන් භුක්ති විඳින බොහෝ දේ ඔවුන්ට අහිමි කරලා උඹල ඉන්න ඕනේ මෙන්න මෙහෙම කියල ඉතාම ප්‍රාථමික ජීවිතේකට ගෙනියන එක. ඒ මොඩලයේ සමානාත්මතාවය හදන්න පුළුවන් එකම විදිහ යහපත් ජීවිතත් අයහපත් කිරීම පමණයි.

කොටින්ම බිලියන හතකුත් හොඳටම වැඩියි. සත්තු වැඩි වුනාම නිකම්ම විනාස කර දානවට කියන්නේ කල් කරනවා කියල. මේ ගැටලුව විසඳන්න හා සියල්ල යහපත් කරන්න නම් එහෙමවත් කරන්න වෙයි.

දෙවෙනි අන්ධ භක්තික ප්‍රජාව විද්‍යා ලෝලීන්. හරි බයවෙන්න එපා ඉදිරි දශක පහ හයේ අපි පොලොව වැනි ග්‍රහලෝකෙක ජනාවාස හදනවා. අඟහරු ම ගන්නකො අපි අඟහරු ටෙරා ෆෝම් කරනවා. නැත්නම් අපි ආසන්න තාරකා පද්ධතියක පොලොව වැනිම ලෝකෙකට ගිහින් ජනාවාස හදනවා. බලන්න ඉලෝන් මස්ක්. එයා කොච්චර වේගෙන් ලෝකේ දියුණු කරනවද එයාල වගේ වාණිජ අරමුණු තියෙන මිනිස්සු මානව සංහතියේ ප්‍රශ්න විසඳන කොට මොකට බයවෙන්නද?

මේ අවාසනාවන්ත ජනයා විද්‍යාව තාක්ෂණය ඉගෙන ගන්නේ හොලිවුඩ් වලින්. මූලික අවුල ඒකයි.

ටෙරා ෆෝම් කියන වචනයේ අර්ථය විද්යාත්මකව පහදන්න හෝ ඉංජිනේරු සැලසුමක් ලෙස සකසන්න දන්නා කෙනෙක් තවම නෑ. එහි වියදම ඇස්තමේන්තු කරගන්නවත් බෑ. තවම අපි පොලොව වටේ කක්ෂයක වත් ජනපදයක් හදලා නෑ. කක්ෂයට එක කිලෝ එකක් ගෙනියන්න යන වියදම දන්නවද? අපි කතා වෙන්නේ ආලෝක වර්ෂ ගණන් දුර තියෙන වෙනත් ලෝකවල ජනාවාස හදන්න. 

ඇයි ව්‍යාපාර වලින් මානව සංහතියේ ප්‍රශ්න විසඳන්නේ? මානව සංහතියේ ප්‍රශ්න විසඳන එක හැමවිටම ප්රෝෆිටබල් නෑ. ඉලෝන් මස්ක් ට ඕනේ අභ්‍යවකාශ සංචාරක ව්‍යාපෘති කරන්න. ඒක ප්රෝෆිටබල්. හැබැයි ආලෝක වර්ෂ දහයක් එහා ග්‍රහලෝකෙක ජනාවාස හදලා එව්වයේ රියල් එස්ටේට් බිස්නස් එකකට සල්ලි දැම්මොත් මස්ක් පරපුරේ විස්සක් විතර යනකම් ඉන්න වෙයි ප්‍රොෆිට් කරන්න. ලාභ ඉලක්ක කරන ව්‍යාපාර ඒ වගේ වැඩ සටහන් කරන්නේ කොහොමද? කැපිටලිස්ට් හොබිස්ම් වලින් මේ වගේ බැරෑරුම් ප්‍රශ්න විසඳන්න බැහැ.

කොටින්ම මේ දක්වා අභ්‍යවකාශය දිහාට අපි ගිය දුර ගියෙත් දුර්දාන්ත ඒකාධිපති දෙන්නෙක් අමන තාලෙට ඒ වැඩේ කල නිසා. එකෙක් හිට්ලර් අනිකා ස්ටාලින්. හිට්ලර් හදනවා රොකට් වැඩ සටහනක්. නාසා සහ රොස්කොස්මොස් කියන මානවයාගේ අභ්‍යවකාශ වික්‍රම වල අග්‍රපල ගත්ත ආයතන දෙක හදන්නේ දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ හොරෙන්ම උස්සන් ගිය හිට්ලර් ගේ විද්‍යාඥයින් ගෙන්. ස්ටාලින් තමා සෝවියට් වරුන් අභ්‍යවකාශයට යන තැනට දැක්කුවේ. ස්පුට්නික් හින්දයි ඇමරිකන් කාරයා හඳට ගියේ. මේ කිසිවක් ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාපාර හෝ ලාභය මත වෙච්ච දේවල් නෙවි.

දැන් මොකද්ද උත්තරේ. උත්තරයක් නෑ. ප්‍රශ්න සහ විකෘති සිහින හඳුනා ගන්න උත්සහ කලේ. මේ සියල්ලට උත්තර ස්වාභාවිකව ලැබෙයි, හැබැයි ඒවා අපි ආසා එව්වා නොවේ. ඒ වෙනකම් අනතුරු අවම කරගෙන, ඒ කිව්වේ කාබන් ෆුට් ප්‍රින්ට් එක, එතකොට ජනගහන වර්ධනය ආදිය අවම කරගෙන ශේප් එකේ ඉන්නවා මිසක, මේවාට උත්තර නෑ.

උත්තර අහන එකත් මේ විශ්වයේ කෝස් එකක් අරමුණක් දේව කාර්යයක් තියෙය කියා යටි හිතේ ප්‍රෝග්‍රෑම් වෙච්ච අයගේ අර්බුදයක්. උත්තරයක් තියෙන්නම ඕනෙද?