Monday, March 19, 2012

පිළිගැනීම හා ඇදහීම හෙවත් පෘතුවියේ අරය කීයද?

"අප බොහෝ දෙනකු බොහෝ දෑ විශ්වාස කරන්නේ අප ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියළු අධ්‍යයනයන් කිරීමෙන් පසුව නොවේ. එසේ කිරීමට ගියහොත් අපට කිසිවක් කරගත නොහැකි වනු ඇත. අප බොහෝ දෑ විශ්වාස කරන්නේ අපේ විශ්වාසය දිනා සිටින පුද්ගලයන් ඒ දේ කියන බැවිනි."— ආචාර්ය නලින් සිල්වා මහතා [මුහුණු පොතේ අයෙකුට  අනුව]

"
පෘථිවියේ සාමාන්‍ය අරය කිලෝමීටර් 6371 ක් බව සුජීව පිළිගන්නේ තමන්ම අධ්‍යයනය කරපු නිසාද?" --- එම 
තර්කය පදනම කරගෙන මුහුණු පොතේ අසන ප්‍රශ්නයක් [පුංචි කරෙක්ෂන් එකක් එක්ක උපුටා ගැනුනි]
මේ මෑතකදී සංවාදයක මුණ ගැහුණු ප්‍රශ්න දෙකක්. අපි උත්තර දෙන්න බලමු. 
හරියටම පෘතුවියේ අරය කිලෝමීටර් 6371 නොවේ. ඕක ආසන්න අගයක්. අනික පෘතුවියේ අරය කිලෝමීටර් 6371 කියා කියන්නේ කොදුවකින් මැනලා නොවේ. කිසියම් ක්‍රමවේදයකින් ගණනය කරලා. මේ සඳහා භාවිතා කරන ක්‍රම වේද හා සූත්‍ර මත මේකේ නිරවද්‍යතාවය තීන්දු වෙනවා. ඉතින් කවුරු හරි අදහනවා නම් පෘතුවියේ අරය ටක්කෙටම කිලෝමීටර් 6371 කියා ඔහු වැරදියි.
හැබැයි බොහෝ දෙනෙක් පිලි ගන්නවා පෘතුවියේ අරය කිලෝමීටර් 6371 වගේ ගානක් කියා. ඒ මොකද ඒ සඳහා භාවිතා කල ක්‍රමවේද පරීක්ෂණාත්මකව වෙනත් දේවලට යෙදිය හැකියි. උදාහරනෙකට ගොඩබිම දෙතැනක අතර දුර මනින සර්වේයින් මෙතඩ් එදිනේදා ටෙස්ට් වෙනවා. එයාකාරයෙන් පරිධිය මැන ගෙන අරය ගණනය කරන්න පුළුවන්. පොලොව ගෝලයක් කියා හිතුවොත් ඔබට ගෝලයක අරය මනින හැටි පර්යේෂණය කල හැකියි. 
ඒ වගේම මේක ඒක මිනිහෙක් තනියම මැනගෙන ලෝකෙට දේශනා කරන්නක නොවේ. විවිධ මිනිසුන් විවිධ වාරවල මනින ලද්දක්. ඒ හැම විටම මේ වගේ ඉලක්කමක් එනවා. 
ඒ නිසා පවතින තත්ත්ව තුල අපි පිලිගන්නවා ආසන්නව පෘතුවියේ අරය කිලෝමීටර් 6371 වගේ ගානක් කියා. ඇත්තටම ඕක 6400 ක් විතර කියා තමයි මම නම් ඔලුවේ තියාගෙන ඉන්නේ.
හැබැයි මේක විවිධ උපකල්පන මත කල එකක්. එතැනදී වැරදි වෙන්න පුළුවන් ක්‍රමවේදවල, පොලොව ගෝලයක් කියා හිතපු එකේ, එතකොට ලොකු ගෝලයක අරය හා පරිධිය අතර සම්බන්ධය පුංචි ගෝල වලට වඩා වෙනස් වෙන්න බැරි නැහැ.
පිලි ගන්නා ඒකයි විශ්වාස කරන ඒකයි අතර වෙනස තමා පිලි ගන්නේ වෙන හොඳ උත්තරයක්‌ ලැබෙන තුරු පමණයි. විශ්වාස කරන්නා වෙනත් උත්තර හොයන්නේ නැහැ, මේක ම අදහා ගෙන ඉන්නවා මිසක්.

එමෙන්ම පොලොව කියා දෙයක් ඇද්ද ගෝල කියා දෙයක් ඇද්ද මනිනවා කියා දෙයක් පවතියි ද මනින මිම්ම ඒ වෙලාවට පමණක් එහෙම වෙලා නොමනින කොට වෙනස් වේද යනාදී මිනිසාට ටැන්ජිබල් නැති ප්‍රශ්නත් ඕනතරං ඇහිය හැකිය. ඒවාට උත්තර නැහැ.
[ස්තුතිය: ප්‍රශ්නය මතුකළ පුද්ගලයාට]

ප්‍රශ්නය හා පිළිතුර

විශ්වය හා ජීවිතය යනු කවරේද යන ගැඹුරු ප්‍රශ්ණයට “අනේ මං නම් දන්නෙ නෑ” යන සරළ උත්තරය දෙන්නට හැකිනම් ඔබට ආගමක් ඇවැසි නොවන අතර විද්‍යාව ගැන විශ්වාසයක් ද අනවශ්‍යයි. Richard Feynman කියන හැටියට මිනිසුන්ට ආගම් ඇවැසි වන්නේ විශ්වය හා ජීවිතය යනු කවරේද යන “සරළ” ප්‍රශ්ණයට “අනේ මං නම් දන්නෙ නෑ” යන “ගැඹුරු” උත්තරය දෙන්නට උන්ට ඇති අපහසුව, ලැජ්ජාව, බිය, යනාදී හැඟීම් නිසාවෙනි. ඒ නිසා මේ කරුණු දැන ගෙන ඉන්නට ඔවුහු පෙළඹෙති. නමුත් මේවා තේරුම් ගන්න අමාරු නිසා විශ්වාසයකින් සැනසෙන්නට ඔවුන්ට සිදුවේ.

එතරම් සීරියස් නැතුව හිතුවොත්; Hitch Hiker's Guide To Galaxy පොත ලියූ Douglas Adams මීට පිළිතුර දනියි. එය 42 වේ. ප්‍රශ්නය මොකද්ද කියා ඇසු විට ඔහු  නොදැන  උන්නේ  ප්‍රශ්නයයි. ප්‍රශ්නය හොයන්න ඔහු ගත් සියලු වෑයම් අසාර්ථක විය.
Douglas Adams උපහාසාත්මක විද්‍යා ප්‍රබන්ධ කරුවෙකු නිසා ඔහුගේ කතාව හුදෙක් සිනහසෙන්නට ලියුවෙමි.

[ස්තුතිය: කලකට පෙර ලියු එකක් පරිස්සම් කර නැවත ලබාදුන් රිටිගල ජයසේන මහතාට]

Friday, March 2, 2012

මාක්ස් හා ලෙනින් ශ්‍රේෂ්ටයින් ද දුෂ්ටයින් ද?

මාක්ස් ලෙනින් වගේ මිනිසුන් ඒ අයගේ කාලවල තිබ්බ සමාජ පරිසරය තුල ඒ අයට කල හැකි දෙයක් කළා. ඒක ඒ මිනිසුන්ගේ සාමාජිය  මෙහෙවරක්. අනික මාක්ස් මාක්ස්වාදේ කියන කොට කවුරුත් උන්නේ රදල වාදී ක්‍රමයක. ඇමරිකාව විතරක් පන්තිවාදී රදල වාදයක. ලෝකයේ අද පවතින ධනවාදී රාමුව වත් හැදිලා තිබ්බේ නැහැ. ඒ යුගයේ උන්නේ ධනපති කර්මාන්ත ඉඩම් හිමියා සහ උගෙන් කස පාර කාපු නිර්ධන කම්කරුවා හෝ අඳ ගොවියා පමණයි. ඒ මිනිසුන් කලේ මෙන්න මේ පීඩිත පන්තිය වෙනුවෙන් පෙනී හිටීම.

අපි අද භුක්ති විඳින ඇතැම් නිදහසක් අපට ලැබුනේ මේ අය කල කතිකාවේ ප්‍රතිපලයක් ලෙස. මාක්ස්වාදීන් කල ලොකුම දේ විප්ලව කර මාක්ස්වාදී රටවල් හදන එක නොවේ. සමාජවාදී චින්තනය සමාජගත කර, ධනවාදියා පවා එයින් යමක් අර ගන්නා තැනට ගෙන ඒම. යැංකි ඩිකීටත් පාසල් පොත් ටික නිකම් දෙන්න හිතෙන්නේ මේ නිසා. එදා ඒ දේ නොවෙන්න ලෝකය තිබ්බේ දරදඬු රදලවාදයක. එමෙන්ම නරුම පන්තිවාදයක. සමාජවාදීන් ගෙනා අදහස් නිසා තමයි ක්‍රමයෙන් මේවා නියාමනය වෙමින් අද තියෙන සුමට රාමුව දක්වා එන්නේ.

අද ධනවාදයේ පිනකල් එක වන ඇමරිකාව හදන්නේ එළිපිටම සමාජවාදී අදහස් දැරූ රූස්වෙල්ට්. රූස්වෙල්ට් ට පෙර ඇමරිකාව අද අප්‍රිකාව වගේ. මිනිසුන් බඩ ගින්නේ මියගිය කාලකන්නි දේශයක්.

ඇත්තටම මාක්ස්වාදී අන්තවාදීන් මෙන්ම ධනවාදී අන්තවාදිනුත් අද මේ තියෙන ක්‍රමයට විරුද්ධයි. ඒ ධනවාදී අන්තවාදීන්ට එහෙම හිතෙන්නේ අපි නොදන්නවා වුනාට සැහෙන්න සමාජවාදී සංකල්ප සමාජගත වී ඇති නිසා.රැන්ඩියානු ධනවාදියෙක් එක්ක කතා කර බලන්න.

ඒ ක්‍රියාවලිය තුල මග හැරෙන එක දෙයක් විප්ලවය. අන්තවාදී මාක්ස්වාදිය හැමදාම හීන මැව්වට විප්ලවය වෙන්නේ නැහැ. විප්ලවය නොවෙන්න හේතුව අර වසුරිය වෙනුවට ගව වසුරිය වගේ මාක්ස්වාදය වෙනුවට සමාජවාදී සමාජ යාමනයක් නොතේරීම සමාජගත වීම. දැන් ඉන්නේ කසය ගත්තු ධනපතියයි තැලුම් කන නිර්ධනයයි විතරක් නොවේ. සමාජවාදී මත නිසා තව සුවිශාල සමාජ ස්තර ගානක් හැදිලා. ඒ තුල ඉහල පහල යාම තවදුරටත් සිහිනයක් නොවේ. විප්ලවයක් වෙන්නේ නැති මූලික හේතුව මේකයි.

අද මාක්ස් හා ලෙනින් බදා ගෙන ඉන්න මිනිසුන්ට පිස්සු, ඒ මිනිසුන් එදා සමාජය ගැන කල විවරණ අදට වලංගු නැහැ. මාක්ස් ලා ලෙනින් ලා සදාකාලික සත්‍ය දේශනා කල මුනි වරුන් නොවේ. ඔබ අප මෙන්ම හිතු සාමාන්‍ය මිනිසුන්. ඒ මිනිස්සු ඔව්වා කියන්න ඇත්තේ මේ විසි එක් වෙනි සියවසේ එවුන්ට අදහන්න නොවේ වෙන්න ඇති. අද හිටිය නම ඔවුන් වෙනස් කතාවක් කියයි.

අනික මේගොල්ලන්ටත් වැරදුනා. මාක්ස් කෙතරම් වරදා ගත්තද කිව්වොත් ඔහු රුසියාවට විප්ලවයක් කල හැකි බව පිලි ගත්තෙත් නැහැ. ඔහු හිතුවේ උගත් කම්කරුවන් ඉන්න බටහිර යුරෝපය මේක කරාවි කියා මිස මෝඩ ගොවින් ඉන්න රුසියාවට ඒ ශක්‍යතාවය ඇති බවක් ඔහු දුටුවේ නැහැ. එහෙත් මාක්ස්ට පස්සේ සියවසේ ලෝකයේ ඇතිවන තත්ව මත අර බටහිර යුරෝපේ කම්කරුවා වෙනුවට බිහි වන්නේ සම අවස්ථා තියෙන ධනවත් වෘත්තික පිරිසක්. මාක්ස් ගේ අනාවැකිය බිඳ වැටෙන්නේ එතන.

අනික මේ මතවාද තාක්ෂණික විප්ලවය දකින්නේ නැහැ. ඒක වෙන්නේ ඔවුන්ට පස්සේ, ඒ තුලින් ලෝක ආර්ථිකය වෙනස් වෙන හැටි දකින්නේ නැහැ.

මට මාක්ස් එක්කවත් ලෙනින් එක්කවත් අවුලක් නැහැ. ඔවුන්ගේ කාලවල කල හැකි දේ ඔවුන් කළා. මොකුත් නොකරන අපිට වඩා ඔවුන් ශ්‍රේෂ්ටයි. එමෙන්ම ඒ අයගේ ක්‍රියා වල ප්‍රතිපල අපි අද භුක්ති විඳිනවා.එහෙත් ඒ මිනිසුන්වත් නොන්ඩි කරමින් තවමත් ඒ අන්ධ භක්ති වල එල්ලී ගෙන ඉන්න අය නම අවුල්. අද ලෝකෙට අවශ්‍ය දේ අපි අලුතින් හිතන්න ඕනේ. පැරණ දේවලින් ආභාෂයක් ගත්තට කමක් නැහැ. එල්බ ගෙන ඉන්න නරකයි.