Wednesday, November 22, 2017

ජෙහාන් නම් බටහිර විද්‍යාර්ථියා සහ පියන්ත නම් පෙරදිග විද්‍යාර්ථියා

බටහිර විද්‍යාව ගැන කතාව සරළ උදාහරණයකින් පෙන්විය හැකිය. එය හරියටම මේ දිනවල ජනප්‍රිය කූඹියෝ ටෙලි නාට්‍යයේ ජෙහාන් සහ පියන්ත වැනි ය.

ජෙහාන් සහ පියන්ත දෙන්නම උපන්නේ ගමේය. දෙන්නම හැදුනේ ගමේ තාලෙටය. එහෙත් ජෙහාන් නගරයට පැමිණ නගරේ ජීවිතය අසීරුවෙන් එහෙත් තනියෙන් අල්ල ගත්තෙකි. ගැමි තරුණයෙක් ලෙස නගර ජීවිතයක් හදාගන්න ලෙහෙසි නොවීය. එහෙත් ජෙහාන් තනියම ඒ කට්ට කා නගරය ගැන තනිව තේරුම් ගත්තේය.

පියන්ත ජෙහාන් හමුවන්නේ පසුවයි. ඒ වෙද්දී ජෙහාන් නගර ජීවිතේ පාර කපාගෙන එස්ටබ්ලිෂ් වී සිටියි. පියන්ත කරන්නේ ජෙහාන්ගේ ස්පොට් එකට සෙට් වී ජෙහාන්ගෙන් යැපෙමින් ජෙහාන්ගේ දැනුම ඉගෙන ගැනීමයි. එයද සරළ කර කියා දෙන්නට ජෙහාන් සමත්ය.

බටහිර විද්‍යාව ජෙහාන් වගේ එකකි. මුලින් ආගමික සහ ප්‍රාථමික සමාජයක සිට තනියෙන් අමාරුවෙන් බිහිකරගත් එකකි. එහෙත් අද එය තනිව නැගී සිටියි. කාරණා මනාකොට අවබෝධ කරගනියි. එය පෙරදිග ජනයා කරා එන්නේ පසුවයි. එය සරළ ලෙස උන්ට උගන්වන ක්‍රමවේද පවා බටහිර විද්‍යාව සමග පැමිණේ. පෙරදිග විද්‍යාර්ථින් එහි පදිංචිව එය ටික ටික අසා දැනගන්න පියන්ත වැන්නෝ ය.

ජෙහාන් තමා ගහන ගේම දනී. එහි හොඳ මෙන්ම නරකත් දනියි. ඇත්තෙන්ම එය ගේමකි. කොන් ආට් එකකි. එහෙත් එදිනෙද ගැටළු රාශියකට එහි භාවිත විසඳුම් ඇත. ජෙහාන් ප්‍රශ්න විසඳයි. බටහිර විද්‍යාව ආක්රුතිකව මෙවැන්නකි.

පියන්ත ජෙහාන් ව ප්‍රශ්න කරයි. "අයියේ මේවා මහා තේරුමක් නැති වැඩ නේද?" කියයි. ජෙහාන් ගේ කොන් ආට් වලට අකමැති වෙයි පරමාදර්ශී වෙන්න දඟලයි. එහෙත් පියන්තයා විසඳන ප්‍රස්නයක් නැත. තනියම ඌට කළහැකි බක්කක් නැත. කරන්නේ යමක් කරන එකා විවේචනය කිරීම පමණි. එසේ කරමින් ඌම එයින් යැපේ. එහිම දේවල් වලට සහය වෙයි. වෙන ගමන් බර බරේ දමයි. නිතර පරමාදර්ශී ධර්ම ටෝක් ඉශු කරයි.

පියන්ත මවාගත් සිහිනයක් ඇත. එනම් නගරයට පැමිණ ඉංගීසි සමාජයකට වැටී ධනය උපයා ගම්මුන් ඉදිරියේ දැවැන්තයෙක් වෙන්නයි. ඌට කරන්න ඕනේ එයයි. ඕක කෙතරම් ප්‍රායෝගික ද කරන්නේ කෙසේද කියා ඌ දන්නේ නැත. ඌ ඒක නොවෙන එකට තැවෙයි. ජෙහාන් ට සෙට් කරගත් සිහින නැත. බෝලය පෙරලෙන අතට ගේම ගහයි. ඌ ලෝකය අවබෝධ කරගත් ලෙසින් මනෝරාජික සිහින වෙනුවට පවතින දෙය අවබෝධ කරගැනීම අගයයි.

පියන්ත ජෙහාන් ට වරදින හෝ වැරදුනු සෙයක් පෙනෙන සෑම විටම සිය අතීත ගමේ ජීවිතයේ සීන් එකක් කියා අපරාදේ මම ආවේ කියයි. ["අපේ ලොකු ආත ගමේ නඩු විසඳුවේ"]. ඒත් ඌ මළාට ආපසු නොයයි. ගිහින් ඌට පැවැත්මක් නැත. ගමේ මහා ලොකු එකක් නැතිබව ඌ දනියි. එහෙත් ජෙහාන්ගේ වැඩ විවේචනයට ගමේ නැති එහෙත් මවාගත් ලොකු ටෝක් ඉශු කරයි.

ජෙහාන් කරන දේ දනියි. එහි හොඳ මෙන්ම නරකත් දනියි. පියන්ත එවැනි අවබෝධයක නැත. කියන දේ කිරීම සහ කොපියෙන් එහා දෙයක් නැත. ඒ නිසා පියන්ත එක්කෝ දිගටම ජෙහාන් ගැන ස්කෙප්ටිකල් ය. නොවේනම් වන්දනීය ය.

බටහිර විද්‍යාව ගැන බොහෝ පෙරදිග විද්‍යාර්ථින් දරන්නේ ද ඔය ස්ටාන්ස් දෙකෙන් එකක් පමණි.

Thursday, July 6, 2017

වාස්තවික යතාර්ථය 2: නොපැවැත්ම මත පැවැත්ම සලසා ගැනීම

කලකට පෙර පටන් ගත්ත කොටස් වශයෙන් පලවෙන කතන්දරයක්. පෙර කොටස මෙතනින්

දැන් අපි මෙතනත් කරන්නේ කලින් කළා වගේම අසම්පුර්ණ අපැහැදිලි සමහර තැනක් පරස්පර සහිත වීමට ඉඩ තියෙන කතන්දර කෑල්ලක් ලියන එක. එය නොහොබිනා නොකලමනා දෙයක් කියා ඔබ කියයි. හැබැයි එය තමා ලෝක ස්වභාවය. පරිපුර්ණ වූ සර්ව සම්පුර්ණ වූ දෙයක් බොහෝ විට මනොරාජිකයි. වාස්තවිකත්වය ගැන කතා කරන මේ සටහන් අසම්පුර්ණවීම තුල නැවතත් කරන්නේ වාස්තවිකත්වය නම් පැවැත්මේ පරිපූර්ණභාවය ගැන ඔබේ මනෝරාජික කියවීමට චැලේන්ජ් එකක්. රයිට් අපි මාතෘකාවට එමු. අද කතාව දිගයි

කලින් සටහනේ අපි කියන්න ගියේ පවතිනවා කියන එක හුදෙක් මායාව මිනිසා විසින් ග්‍රහණය කරන උපරිම දුර බවයි. ඒ කිව්වේ ඔබේ මේසය පවතින්නක්. එතකොට ඔබේ මානව සංජානනයෙන් ඔබ්බට මෙතන ඔහොම මේසයක් ම පවතීද වෙන අමුතු මේසයක මූල ස්වරූපයක් [එම්මානුවෙල් කාන්ට්] පවතීද, නොවේනම් මෙලෝ බක්කක් නොපවතීද ආදිය අපට ග්‍රහණය වන්නේ නැහැ. අපි ජීවිත කාලෙම තර්ක කලත් අපේ මානසික සීමාවෙන් එහා. ඉතින් අපිට අනුව මේසය "පවතිනවා", ඒක කීවෙනි ඩිග්රි එකක යථා භාවයක්ද, එතනින් එහාට මවාපෑමක් ද කියන පරිබාහිර කතාව අදාළ නැහැ.

දැන් මේ ග්‍රහණය කරන උපරිම දුර වුනත් පුද්ගලානුබද්ධයි. වහලේ දුවන මී හාමි ඔබේ ග්‍රහණය කරන උපරිම දුරටම පවතින්නක්. හැබැයි ටීවී එකේ ඉන්න මිකී මවුස් ඔබ  ග්‍රහණය කරන උපරිම දුර අනුව මායාවක් මිස පවතින්නක් නොවේ. හැබැයි පුංචි ළමයෙක් සමහර විට ඔය දෙන්නම පවතින්නක් ලෙස ගනීවි, මොකද එයාගේ ග්‍රහණය කරන උපරිම දුර එපමණක් නිසා.

ඒ අනුව "පැවතීම" කීවෙනි ඩිග්රි එකක යථා භාවයක්ද, එතනින් එහාට මවාපෑමක් ද කියන එක මත ලේයර් ගානක පැවතීම් තියෙන්න පුළුවන්. කම්පියුටර් ගේම් එකක චරිතයක පැවැත්ම ඔබේ පැවැත්මට වඩා ඇතුලේ ලේයර් එකක්. මේවා ඒ ඒ පුද්ගලයා ග්‍රහණය කරන උපරිම දුර මත රඳා පවතින්නක්.


ඒ අනුව යතාර්ථය කියන්නේ ලේයර් ගානක එකක්. ඒ ඒ මට්ටමින් ඒවා පවතින තත්වයන්.

පදාර්ථයේ මූලය හොයාගෙන ගලවන් යන මිනිස්සුත් මුහුණ දෙන්නේ ඔය ගැටලුවට මයි. ඉස්සරම හිතුවේ පරමාණුව තමා පොඩිම කියල. ඒ වචෙනේ දැම්මේ ඒකයි. පස්සේ එයාල නිරීක්ෂණය කලා ඒ පරමාණුක පැවැත්මේ පවා උප පැවතීම් ඇති බවක්. ඔහොම පටන් ගත්ත සිද්ධිය අද මීටර  වලින් දහයේ බල තිස් ගානක් එක යටට දාන සයිස් පොඩි කරගෙන ස්ට්‍රින් තියරි දක්වා ගිහින්. දාර්ශනික ප්‍රශ්නය ඒත් මැරිලා නැහැ. ස්ට්‍රින් හැදිලා තියෙන්නේ මොකකින්ද? ඉවර වෙන්නේ නැහැ.

ඔය කියන ලේයර් සහිත යතාර්ථය සහ එහි ග්‍රහණය කරන උපරිම දුර ගැන කතාව මගේ ජෙනුයින් කතාවක් හෝ බටහිර විද්‍යා දැනුමේ කතාවක් ම නෙවි. ඕකේ පෙරදිග ඉන්දියානු විද්‍යා දැනුම් පද්ධතියේ ලොකු සම්බන්ධයක් තියෙනවා. මා දන්නා තරමින් මුලින්ම ඕක කිව්ව [හෝ කිව්ව බවට අපි ඉගෙනගත්] කෙනා බුදුන් වහන්සේ. උන් වහන්සේ කියනවා සත්‍ය වර්ග දෙකක් තියෙනවා කියල. එකක් සම්මුති සත්‍යය අනික පරමත්ත සත්‍යය. ආගමික උගැන්වීමක් පාඩමින් හලනවා විනා මා කිසිත් නොදන්නා පරමත්ත සත්‍යය පසෙක තබමු. සම්මුති සත්‍යය තමා මට මෙතන වැදගත්

සම්මුති සත්‍යය කියන්නේ අප විසින් නිර්මාණය කරගන්න සත්‍යයට ඒ සත්‍යය අපේ සම්මුතියක්. කිසියම් ආකාරයකට දහවෙනි මානයේ පවතින ජීවයක් වේ නම් උන්ට එය එලෙසින් දැනෙන්නේ නැහැ වෙන්න පුළුවන්. අනික අපිට උනත් එය විවාදාත්මකයි. මේසය කියන්නේ සම්මුතිය. එහි අඬු ලෑල්ල කවරය ආදිය වෙන වෙනම පවතිනවා. ඒවා හැදුනු ලීය වෙනම පවතිනවා. මේ වෙන වෙන පැවතුම් ටික කිසියම් ඕඩර් එකකට පූට්ටු කලාම මේසය නම් සම්මුතිය අපි  හදා  ගන්නවා. අපේම  වෙනස්  ප්‍රජාවක් මේසයක් දන්නේ නැතිනම්  උන්  ඕකට ලී  ගොඩක් කියයි.

එනයින් මේසය මායාවක් වෙන්න ඇති, එක්තරා මට්ටමක. එහෙත් එය සත්‍යයක් තව මට්ටමක, මම මේ කතාව කියවන්නේ පැවැත්ම ලේයර් වශයෙන් කියලා බුදුන් ගේ දර්ශනයත් දැක්ක කියලයි.

එතකොට පැවැත්ම කියන්නේ ඔහොම එකක් නම් වාස්තවික වූ යමක් පවතීද? එනම් කිසිම ලේයර් සම්බන්ධයක් නැති පරම වූ පැවැත්මක් වේද? මිනිස‍ට ද ගවයා ට ද කුරුල්ලා ට ද යුරෝපා චන්ද්‍රයාගේ සාගර වල වෙසෙන ජීවියාට ද දහවෙනි මානේ වෙසෙන ජීවියාට ද එකසේ එකට හිඳ නැරඹිය හැකි එක සේ දැනෙන පරම වූ වාස්තවික දෙයක් පවතී ද?

අපි දන්නේ නෑ. පළමුවෙන්ම අපිට තනියම දැනගන්න බෑ. අපි ඉන්නේ ලේයර් කරපු පැවැත්මක ග්‍රහණය කරන උපරිම දුරක් දක්වා දැනෙන යම පැවැත්මක් කියා සිතාගෙන. අපි  දවසක  ඉන් එහාට ග්‍රහණය කලොත් එය මායාවක් කියා හිතෙයි, අර පොඩි ළමයට මිකී මවුස් වගේ. හැබැයි මීට එහා අපි දැනට ග්‍රහණය කර  නැහැ.

ඉතින් දැන් ගැටලුවක් නෑනේ. වාස්තවික වූ යතාර්ථය අපිමනේ මවාගෙන ඉන්නේ. අපි ඕක ගැන අහලවත් නැතිනම් මේ පවතින ලේයර් ගත පැවැත්ම අපිට මෙහෙම දරාගෙන ඉන්න පුළුවන් නේ. අපිට කිසිම දෙයකින් අඩුවක් වන්නේ නැහැ. ඉතින් ඇයි අපි වාස්තවික වූ යතාර්ථයක් ගැන මෙතරම් දඟලන්නේ.

හේතුව පවතින්නේ එබ්‍රහමික රාමුවේ සහ ඉන් ව්‍යුත්පන්න වන බටහිර දර්ශන වාදයේ. මම මගේ පෙර කතාන්ගයේ කිව්වා වාස්තවික යතාර්ථය කියන එක විද්‍යාව විසින් කරදර නොවන එයට මැනිය නොහැකි දෙයක් කියලා. ඒ නිසා වාස්තවික යතාර්තයට විද්‍යාව දරන්නේ හූ කෙයාස් සම්බන්ධයක් කියල. හැබැයි ඒ විද්‍යාව කියන්නේ එබ්‍රහමික චින්තන ධාරාවේ හිතුවක්කාර මද්දුමයා. ඌ මුලින්ම කලේ ගෙදරින් පැනල යන එක. ඌ ජීවත් වන්නේ 
එබ්‍රහමික ගෙදරින් පිට. 

එහෙත් එබ්‍රහමික චින්තනයේ සුවච කීකරු ලොකු පුතා තමා බටහිර දර්ශන වාදය. රෙනේ දෙකාට් වගේ මනුස්සයෙක් කොච්චර හිතුවත් ඔහුට බැරි වුනා ආත්මය කියන එබ්‍රහමික ඒකකය අතහරින්න. එම්මානුවෙල් කාන්ට් කොච්චර දඟලුවත් අප දකින දෙය මායාව කියා හිතුවත් ඔහුට අවශ්‍ය වුනා අප දකින යම නොවන මූලික යමක් වත් අඩුම ගානේ තියේය කියා හිත සනස්ස ගන්න.

ඔය වගේම ගැටලුවකට මුහුණ දෙන කට්ටියක් තමා අදේවවාදීන් [නිරාගමික සියල්ල නොවේ අදේවවාදීන් පමණි]. අදේවවාදීන් තරම් සර්වබලධාරී දෙවියන් මත රඳා පවතින්නේ නැහැ පාප් තුමාවත්. අදෙවවාදියාගේ මුළු තාර්කික පැවැත්ම ම පවතින්නේ සර්ව බලධාරියා නැත කියන්න හෙවත් සර්ව බලධාරියා මත. 
සර්ව බලධාරියා ඔතරම් බොළඳ පුරාන කාලේ මිත්‍යාවක් නම් අපරාදේ නැද්ද ඒක නොපවතී කියන්න කාබාසිනියා කරන කාලය?

දැන් අපි සංස්කෘති රාශියක ගැටිලා [බොරුවට හරි - රියලිටියේ අමාරුයි]  කියනවනේ හැම ආගමකටම සම සේ සලකන්න. එසේ නොකරන්නා අන්තවාදියෙක් ආගම්වාදියෙක් සුප්රිමසි වාදියෙක් කියලා. මේ ලෝකේ ඉන්න අන්තිම අන්තවාදී ආගම්වාදි සුප්රිමසි වාදි පිරිස තමා අදේවවාදීන්. ඇයි ඔවුන් තමන්ගේ මුළු කාලෙම "සලකන්නේ" හුදෙක් එක ආගමකට. දිගටම කතාකරන්නේ සර්වබලධාරියා ගැන.

ඔන්න ඔහොමයි නොපවතී කියනන් දඟලන සර්ව බලධාරියා මත ම එයාලගේ පැවැත්ම රඳා පවතින්නේ.

ඔහොමම දෙයක් වෙනවා වාස්තවික යතාර්ථ කතිකාවෙත්. දැන් මම පැහැදිලි කලානේ පරම වූ වාස්තවිකත්වය කියන්නේ අපි මවා ගත්ත එබ්‍රහමික ආගමෙන් අපේ ඔළුවට බස්සපු එකක් කියල. එවැන්නක් නැතිව මේ ලෝකේ අගේට ඉන්න පුළුවන් කියල. එතකොට කට්ටියක් අපිට කියනවා "ඔය කිව්වට වාස්තවික යතාර්ථයක් නෑ". අපි කියනවා "ඔව් වාස්තවික යතාර්ථයක් නෑ යතාර්ථය කියන්නේ මේ අපිට ග්‍රහණය වන උපරිම දුර". එයාලා ආයිත්  කියනවා " ඔයා වැරදියි වාස්තවික යතාර්ථයක් නෑ". කොච්චර නෑ කිව්වත් එයාලා ආයිත් ඒකෙම එල්ලෙනවා.

මීට හේතුව අර එබ්‍රහමික ආගමෙන් ඔළුවට බස්සපු වාස්තවික යතාර්ථය එයාලට වේදනා දෙන එක. එයාලා දන්නවා ඒක නෑ කියල. ඒ නිසා මනසින් ඒක ගලවාගෙන ඉන්නේ. හැබැයි ගලෝපු තැන තුවාලේ සනීප නෑ. ඉතින් දිගටම කියන්නේ "ඔය කිව්වට වාස්තවික යතාර්ථයක් නෑ" කියල.

එපමණකුත් නොවේ. දැන් නලින් ද සිල්වා මහතා ගේ දර්ශනයේ ඔය අපිට ග්‍රහණය වන උපරිම දුර ගැන කියවෙන්නේ "බොරුව" සහ "පට්ටපල් බොරුව" කියන වචන දෙකෙන්. බුදුන් වහන්සේ සම්මුති "සත්‍යය" කිව්ව එකට එයාල කියන්නේ කිසියම් වර්ගයක "බොරුවක්" කියල. එතකොට ඒක බොරුව නම් "ඇත්ත" මොකද්ද? එයාලගේ යටිහිතේ අර එබ්‍රහමික ආගමෙන් ඔළුවට බස්සපු වාස්තවික වූ පරම යතාර්ථයක් ගැන ආස්ථානය එයාල "ඇත්ත" ලෙස යටිහිතෙන් තාම දකිනවද? එයාලගේ දර්ශනයේ එයාල එවැන්නක් නෑ කියා කියනවා. හැබැයි එවැන්නක් නැතිනම් ඇයි සම්මුති සත්‍යය ට බොරුව කියා කියන්නේ. යමක් බොරුනම් ඇත්ත කියා වෙනකක් තියෙන්න ඕනේ නේද? අවිඥානිකව තවමත් ඇත්ත  කියන්නේ  වාස්තවික  යතාර්ථය ලෙස දැනෙන්වද?

ඔතනදි බුදුන් වහන්සේ මේ ලේයර් බරගානක "සත්‍යය" හෙවත් "යතාර්ථය" එලෙසින්ම හඳුනාගෙන එය නිසි ලෙස නම් කිරීම නිසා මේ කතාවේ මගේ ගෞරවය උන් වහන්සේට හිමිවෙනවා [ආගමික හේතු මත නොවේ තාර්කික හේතු මත, මම ආගම හැර ගොස් බොහෝකල්]

දැනට ලිහා ගත්ත තරමට, පවතිනවා සත්‍යය හෝ යතාර්ථය කියන්නේ ලේයර් බරගානක දෙයක්. එය පුද්ගලානුබද්ධයි. එය තීන්දු කරන්නේ අපිට ග්‍රහණය වන උපරිම දුර විසින්. වාස්තවික යතාර්ථය මනෝරාජික කතාවක් පමණයි.

මතු සම්බන්ධයි




Monday, January 16, 2017

ප්‍රසාරණය වන විශ්වයේ කෙළවර සොයා යමු. එන්න අප සමග.


සාමාන්‍ය දැනුම සමූහයක කුස් ප්‍රනාන්දු අහන ප්‍රශ්නයක්.

"විශ්වය ප්‍රසාරනය වෙනවා කියනවානේ... එහෙම ප්‍රසාරනයවන්නේ කොහේටද?"


බලමු උත්තරයක් දෙන්න.

විශ්වය කියන වචනේ පසෙක තියමු. මේක බොහොම සංකීර්ණ පැටලිලි සහගත වචනයක්. විශ්වය නිකම් පරමාණුව වගේ වචනයක් . පරමාණුව කියන්නේ කියන්නේ කඩන්න බැරි පොඩිම ඒකකය ට දාපු නමක්. සීන් එකනම් පස්සේ හොයාගන්නවා පරමාණුව තව පොඩියට කැඩෙනවා කියල. විශ්වය කියන්නේ සියල්ල යන අර්ථයෙන් දාගෙන ඉන්න නමක්. එහෙත් සියල්ල ලෙස අප සලකන දෙයට පිටින් යමක් නැහැ කියල අපිට ඔප්පු කරන්න බැහැ.

මේ කාරනාව වර්තමානයේ දැනුම හෝ කල්පිත [මේ වගේ දෙයකදී මැදින් ඉරක් ගහන්න බැහැ] ලෙස අපට තියෙන කාරනා මෙහෙමයි. ඇත්තෙන්ම කියන්න ඕනේ මං මේක ගැන දන්නා තරම ටිකයි. මොකද අභ්‍යවකාශ විද්‍යාව තාරක විද්‍යාව වගේ එව්වා හදාරලා නැහැ. ඉස්සරින්ම කෝකටත් එක්ක දන්නා ටික ලිහාගම්මු. වැරදුනොත් ඒක මම සභාවට යොමු කරනවා හදල දෙන්න.

විශ්වය කියන වචනේ එල්බ නොසිට අපි පදාර්ථය සහ රික්තය සලකමු. මේක ප්‍රසාරණය වෙනවා කියන්නේ දෘඩ ලෙස විද්‍යුත් හා ගුරුත්ව බල වලින් බැඳුනු ඒකක අතර දුර වැඩිවෙන නිසා. ඕනෙමනම් තර්ක කල හැකි විශ්වය ඒ සයිස්මයි පදාර්ථය හැකිලෙනවා වෙන්න ඇති කියලත් - හැබැයි එහෙම වුනත් පදාර්තමය මිනිසාට සාපේක්ෂව විශ්වය ප්‍රසාරණය වෙනවා . එතකොට අපි දන්නා ගණිතය [නිර්මාණය වන්නේ අපේ පදාර්ථ අවකාශයේ අවශ්‍යතා තුල] අනුව අපිට පැහැදිලි වන්නේ මේ විශ්වය කියා අපි සලකන දෘඩ දේවල් පිරුණු අවකාශය ප්‍රසාරණය වෙනවා කියල. මේක නිරීක්ෂණයක්. ඉතින් ඕක හරිද මේ හරිය ප්‍රසාරණය වෙද්දී තාම නොදන්නා තැනක් සංකෝචනය වෙනවද මේක දෘෂ්ටි මායාවක්ද ආදී තර්ක ඕනේ තරම්.

කොටින්ම මේ අපි දන්නා ගණිත හා විද්‍යා සංකල්ප වලින් ප්‍රසාරණය පැහැදිලි කරන්න බැරි නිසා අර රාහු කේතු වගේ මිතිකල් දේවල් දෙකකුත් අපි හදාගෙන ඉන්නවා. ඩාක් මැටර් ඩාක් එනර්ජි කියල. ඩාක් කිව්වේ පෙනෙන්න තියෙන අඳුරු කමට නෙවි නොපෙනෙන නොදැනෙන එවැන්නක් තියේදැයි නොදන්නා එහෙත් ඒ දෙක නැතුව සමීකරණ ටික තෘප්ත නොවන දේවල් නිසා.

දැන් ඕක "ප්‍රසාරණය වෙනවා නම් කොහෙද යන්නේ" කියන එක ලොජිකල් ප්‍රශ්නයක්. කොහෙද යන්නේ කිව්වා ගමන් මැවෙන්නේ බෝඩර් එකක්. එනම් විශ්වයේ කෙළවරක්. එතකොට ඊ ගාව ප්‍රශ්න විශ්වය විශ්වයක් නම් කෙලවරින් එහා ටික මොනවාද කියන එක. ඔය කාරනා ඔක්කොම විශ්වය කියන නොනිසි වචනය සහ කෙළවර කියන නොදන්නා මිතිකල් ස්වරූපය මත රඳා පවතිනවා. ඒ වගේම ඒ විශ්වය කුඩා අංශුවක් ලෙස පැවති මහා පිපිරුමකින් හැදිලා මෙහෙම ප්‍රසාරණය වුනා කියන මතයත් එක්ක ඉහත ප්‍රශ්න තවත් වැලිඩ් වෙනවා. විශ්වය පරිමිත කාලයක පරිමිත සීමාවකින් ප්‍රසාරණය වී නම් ඉන් පිටත අවකාශය සහ කාලය කියන්නේ මොකද්ද?

ඕක නිකම් පිටින් බලලා හූ හූ ඔන්න තොපේ විද්‍යාව කියලත් කිව්ව හැකි. හැබැයි ආගම ගැන ආගමේ මතයෙන් අපි කතා කළා වගේ සාධාරණව විද්‍යාවේ මේ කතා විද්‍යා මතවලින් බැලුවොත්; මහා පිපිරුම පරිමිත අතීත කාලෙක වුනානම් කියන කතාවට එන උත්තරේ තමා අතීතය සහ කාලය කියන දේවල් ඔහොම විශ්වයෙන් පිටස්තර එව්වා නෙවි. එව්වා විශ්වයේ අභ්‍යන්තරික දේවල්. ඒ විතරක් නෙවි මෙන්න විශ්වයේ ආරම්භ මොහොතේ කාලයේ සමීකරණය. අන්න ඒ සමීකරණය [අහන්න නම් එපා පුතෝ ඇහුවත් කියන්නේ නැහැ :) ] අනුව ඒ පිපිරුම ආසන්න වත්ම කාලය ගෙවෙන්නේ මීට වෙනස් විදිහකට එනම් විශ්වයම අංශුවක්නම් එය එසේ වූ මොහොත තියෙන්නේ ඒ අංශුව තුල කාලයෙන් අනන්තයක් අපිට පස්සෙන්. කාලය පරිබාහිර නැහැ කියන එක ඇරෙන්න ඉතිරිය මට තේරෙන විදිහට ලිව්ව අර්ධ සත්‍යයක්. ඔන්න ඔහොම සීන්ස් එකක් තියෙනවා කියමු.

දැන් වැඩේ එහෙම සීන්ස් එකක් ආවාම අපේ සම්මත චින්තනය කැඩෙනවා. අපිත් ඉන්නේ විශ්වයේ කාලයත් දුවන්නේ විශ්වයේ, ඉතින් අපිට මේක පෙට්ටියෙන් එලියට ගන්න බැහැ. සොරි අන්ශුවෙන්.

ඒ වගේමයි විශ්වයේ කෙළවර ගැන කතාවත්. කෙළවර ආසන්න වත්ම අවකාශයේ ස්වරූපයන් මෙහෙම රේඛිය නැහැ. ඒ නිසාම කෙලවරට ගිහින් එහා පැත්තට යන්න බැහැ. දුරින් ගත්තොත් කෙළවරක් වන යමක් එතනට ගියොත් එහෙම නැහැ. මේකත් මට තේරෙන විදිහට ලිව්ව අර්ධ සත්‍යයක්.

දැනට පිළිගන්නා භෞතික විද්‍යාව අනුව අවකාශය කාලය වගේ දේවල් එකිනෙක හා බද්ධ වූ විශ්වය නමැති ව්‍යුහය බැඳී කම්බි දැලේ කොටස්. එක කම්බියක් ඇඹරුව ගමන් අනිකත් ඇඹරෙනවා.

ඔය ඔක්කොම තුල විද්‍යාව කිසියම් ගණිතමය ලෙස ස්ටේබල් මතයක් දෙනවා. මේ ජාමේ බේරගන්න කියපු අමු කෙප්ප නෙවි. එහෙත් මෙව්වා හුදෙක් ගණිතමය මාවතකින්  බිහි වූ සංකල්ප විනා  බීකරයක කුඩා විශ්වයක් හදලා මැනලා බලාපු එව්වා නෙවි. මෙව්වට දාර පත ඇඟට  දැනෙන  සාධක නැහැ. තියෙන්නේ බොහොම සුළු සාධක ප්‍රමාණයක්. තවම දැකල නැති වුනාට තල්මසා සහ යෝධ බූවල්ලා දෙන්න මූදු පතුලේ ගහගන්න බවට සාධක තියෙනවා. මේ විශ්ව කතාවට තියෙන්නේ ඒ සාධක අහලකට වත් නොවෙන මවා ගත්තු සාධක. හැබැයි මවා ගත්තු සාධක සහ සංකීර්ණ ගනිතයක අවසන ස්ටේබල් වූ මතයක් හැදෙනවා. ඒක අපි අවංකව පිළිගන්න ඕනේ.

දැන් ඔය දෙබරේ සෙටල් වෙලා තිබ්බට ඕකට ගලක් වදින්නේ මොකක් හරි අඥ්ඥකොරොස් වැඩකින් මේ සාධක කියා මවා ගත්තු එකක් අල්ලලා පොළොවේ ගහපු දවසක. ඉස්සර නිව්ටන් පප්පා ඔහොම ස්ටේබල් කතා ලියල තිබ්බ කාලේ මයිකල්සන් සහ මෝලි කියන දෙන්න කලේ එහෙම අඥ්ඥකොරොස් වැඩකින් සාධක කියා මවා ගත්තු එකක් අල්ලලා පොළොවේ ගහපු එක. එනම් අර ඒ ලෙවල් වලට කල සාපේක්ෂ ප්‍රවේගය ගණන හදන ආකාරයට ආලෝකයේ ගමනට සාපේක්ෂ ප්‍රවේගයක් දාන්න බැහැ කොහොම කරකුවත් එහි ප්‍රවේගය [රික්තයේ] නොවෙනස් කියල. ඔතනින් වෙච්ච පලුද්ද වහන්න ගිහින් අයින්ස්ටයින් පප්පා මුළු විශ්වයම ඇදලා හකුලලා අඹරලා කලවම් කරලා අලුත්ම එකක් හැදුවා. අපි හිතාන ඉන්නේ දැන් ඕක තමා සීන් එක කියල. ඒ ඊ ගාව එපිසෝඩ් එක එනකම්.

දැන් මම මහන්සි වෙලා කිව්ව එකේ ආයිත් කියන්න ඕනේ නැහැනේ මෙව්වත් කතන්දර තමා. වෙනත් ඕනෑම කතන්දරයක් වගේ. හැබැයි මෙව්වා බොහොම මහන්සියෙන් කෑලි හැලෙන්නේ නැතිවෙන්න ස්ටේබල් ලෙස නිර්මානය කරලා තියෙනවා. අවුලක් අහුවුනොත් අපේ බ්ලොග් එකක් වගේ ඇවිත් මකලා හදනවා. කොලේ ලියපු නවකතා නෙවි.

හොඳයි දැන් මොකද්ද අපිට කල හැකි. අපිට දැනට ස්ථිර ලෙස කියන්න පුළුවන් අපේ මිනුම් උපකරණ අනුව අප වටා පවතින ගුරුත්වයෙන් හෝ විද්‍යුත් චුම්බක ආදී බලයකින් දෘඩ ලෙස බැඳුනු පද්ධතිවල සයිස් එකට සාපේක්ෂව ඒවා අතර දුර වැඩිවන බව නිරීක්ෂණය කර ඇති බව පමණයි. එච්චරයි.

ප.ලි.

විශ්වය  අනන්ත  නම්  එයට  ප්‍රසාරණය  වෙන්න  බැරිද?  ප්‍රසාරණය  කියන්නේ  බන්ධනගත  වෙච්ච  දේවල්  අතර  දුර  වැඩිවීම.  එතකොට  අනන්ත  ප්‍රමාන  දෙයක්  ප්‍රසාරණය  වුනාට  ලොකු  වන්නේ  නැහැ.  අනන්ත  ප්‍රමාන  කියන්නේ  වෙනත්  වදනකින්  කෙළවරක්  නැහැ  කියන  එක. ඉතින්  දේවල්  ඈත් වුනාට  එලියට  යන්න  බැහැ  කෙළවරක්  නැහැනේ. ඔය  එක  කතාවක්.

ඇත්තෙන්ම  විශ්වය  අනන්ත  ප්‍රමාන  ද?  මෙය  මිනිස්  හැකියාව  තුල  මිනිය  නොහැක්කක්. වාස්තවික  යතාර්ථය  වගේ.  මේ  ප්‍රසාරණය  වෙන  මොකක්  හරි  එකේ  කෙළවරක්  හමුවුනොත්  එදාට  එය  නොවේ  විශ්වය,  වචනාර්ථයෙන්  විශ්වය  කියන්නේ  සියල්ල. හැබැයි  සමහරවිට  වචනාර්ථය  පසෙක  දමා  එයට  විශ්වය කිව්වොත් (පරමාණුව  වගේ) එදාට  විශ්වයන්  රාශියක්  දරන  සුපිරි  විශ්වයක්  හෝ  වෙන  මෙව්වෙකක්  ගැන  කතා  වෙයි. හැබැයි අල්ටිමට්  කෙළවරක් හොයන්න  මිනිසාට  බැහැ.   ඒ  තවත්    කතාවක්.

ද්විමාන  ජීවියෙක්  බෝලයක  මතුපිටේ  ඇවිද්දොත්  ඌට  ගමනේ  නිමක්  නැහැ.  ඌ  කෙළවර  කියා  දකින  තැනට  ආවම   ආයිත්  මැද්දක්. හැබැයි  ත්‍රිමාන  ලෙස  වක්‍ර  වූ  ඒ ගෝලමතුපිටේ  වර්ගපලය  පරිමිතයි. විශ්වය  හතරවැනි  මානයකින්  එහෙම  එකක්නම්,  ත්‍රිමාන  ලෙස  දකින  අප එහි  කෙළවරක්  කියා  කොතරම්  හිතුවත්  එතනට  ගියාම  ඒ  කෙළවරක්  නෙවි  අපට  එය  අනන්ත  වූ  අවකාශයක්  වේවි [කාලය  තවත්  මානයක්  ද  මාන  කීයක්  තියේද,  මාන  කියන  අර්ථදැක්වීම  අර්ථයක්  ඇති  එකක්ද  ආදී අතුරු  ප්‍රශ්න  ඉග්නෝ  කරනවා,  මේ  උදාහරණයක්  දුන්නේ ].  ඕකත්  තව  කතාවක්  [බැලූනින්  යුනිවර්ස්]


ඔක්කොම  ඔහොම  විවිධ  කතා  තමයි.  අපි  දකින  එකම  දේනම්  අපි  තාරකා  වල  දීර්ඝ  කාල  ගමන්  කල  ආලෝක  කිරණ  වර්ණාවලි  වලට  දැම්මම  ඒ තාරකා  එලි  වර්තමානයට අසන්න  වෙද්දී  වඩාත්  ප්‍රසාරණය  වෙන ඉඩක  ගිය  බවක්  නිරීක්ෂණය  කරනවා.  ඒ  මත  විශ්වය  ප්‍රසාරණය  වන  බව  අපි  හිතනවා.  ඔය  නිර්ක්ෂණය  විතරයි  කතාවක්  නොවන්නේ.