Thursday, October 8, 2015

බුද්ධිය කෙළවර නොදැනුවත්කම - The Perimeter of Ignorance

"බුද්ධිය  කෙළවර  නොදැනුවත්කම"  කියලා  මම  සිංහලට නැගුවේ  The Perimeter of Ignorance කියන  එක.  හරිම  හරි  පර්වර්තනයක්  නොවේ. එහෙත්  අවශ්‍යතාවය  ඉෂ්ට  වෙනවා.

මෙහි  අරමුණ  මූලික  වශයෙන්  දේශනයක්  හඳුන්වා  දෙන්න.  ඒ  නිසා   මේ  අදහස  මගේම  අදහසක්  නොවේ.  එක්තරා  දේශනයක අන්තර්ගතයෙන්  මට  වැදගත්  කියා  හිතෙන  කොටස  උපුටා  ගන්න  එක  කරන්නේ.  මෙය  මිනිසා  විශ්වය  පැහැදිලි  කිරීමේදී  හැසිරෙන  එක්තරා  මනෝ  විද්‍යාත්මක  ස්වරූපයක්  ගැන හෙවත්  විද්‍යාර්ථින් ගේ  ඇදහිලි  ගැන  කතාවක්.

ලෝකය  විශ්වය  ගැන  සංකීර්ණ  ක්‍රියාදාමයක්  පැහැදිලි  කරන මනුස්සයෙක් තම බුද්ධියෙන්  ගණිතමය  හැකියාවෙන්  ඔප්පු  කල  හැකි  දේ  බොහොම  විද්‍යාත්මකව  ඔප්පු  කරනවා. එතැනදී  ඔහු/ඇය  මැවුම්කරුවෙකු,  අද්භූත  බලවේගයක්  නැතුව සරළ  ගණිතමය  විද්‍යාත්මක  පැහැදිලි  කිරීමක්  කරන්නේ.  ඒ  මොකද  අර  වගේ  සුපිරියර්  දෙයක්  අමුතුවෙන්   ඕනේ නැහැ,  තම  බුද්ධි  හැකියාව ප්‍රමාණවත් 


හැබැයි  ඒ  විද්‍යාඥයාගේ  හැකියාවේ  සීමාවට,  බුද්ධියේ  උපරිමයට  ආවාම  විශ්වයේ  ක්‍රියාවලින්  ඒ  මට්ටමත්  ඉක්මවා  යද්දී  මෙයාට  හිතෙනවා, "මේක  වෙන  හැටි මට  වැටහෙන්නේ  නැහැ.  හැබැයි  මම මාර  ලොකු  පොරක්. ඒත්  මටත්  ගණිතයෙන්  විද්‍යාවෙන්  පැහැදිලි  කරන්න  බැහැ.  එහෙනම්  මේක  එකත් එකටම  මැවුම්කරුවෙකුගේ  මැවුමක්,  අද්භූත  බලවේගයක  පලයක්  වෙන්නම  ඕනේ". ඒ   නිසා  තම නොහැකියාව  ඉස්මතු  කරවන  තරම්  සංකීර්ණ  දේවල්  දෙවියන්ට  පවරනවා. ඔන්න  ඔහොම  තමයි  බුද්ධියේ  කෙලවරේ  ඇති  නොදැනුවත්කම  තුලින්  දෙවියෙක්  බූතයෙක්  ඉස්මතු  වන්නේ.

මෙය බොහෝ  දෙනෙකුට  පොදු  අවුලක්. සාමාන්‍ය මිනිසුන්ට  වගේ  ම  මහා විද්‍යාඥයින්ට  පවා.  දේශක  නීල්  ටයිසන්  කියනවා,  ඇමරිකාවේ  සාමාන්‍ය  මිනිසුන්ගෙන්  90% ක් දෙවියන්  වහන්සේ  අදහනවලු.  හැබැයි  මේ  ප්‍රතිශතය  උසස් විද්‍යාර්ථින් අතර  15% වගේ අඩු ලු .  හැබැයි  අර  90%  නොවේ  ඔහුගේ  ගැටලුව.  ඔහුගේ  ගැටලුව  නම් උසස් විද්‍යාර්ථින් අතර  15% ක් තවමත්  ඇයි  දෙවියන්  අදහන්නේ  කියන  එක.  ටයිසන්  කියන්නේ  ඊට  හේතුව  මේ  බුද්ධියේ  කෙළවර  ඇති  මෝඩකම  තුලින් දෙවියන්  දැකීම කියන  එකයි.


අයිසැක්  නිව්ටන් ස්කන්ධ  දෙකක්  අතර  ගුරුත්වාකර්ෂණය ගැන කියලා,  ඊට  පස්සේ  ඒ  වගේ  ස්කන්ධ  රාශියක  හැසිරීම  එවකට දුබල  ගණිතය තුලින්  පැහැදිලි  කරන්න බැරි  වුණාම,  සොර  ග්‍රහ  මණ්ඩලය  වගේ  දෙයක්  නම්  මවන්න  ඇත්තේ  දෙවියෙක්  කියා  කිව්වා ලු.  තවත්  කෙනෙක්  පස්සේ  එය  පැහැදිලි  කලත්  ඔහුටත්  තමන්ට  නොහැකි  තත්වයට  ආවාම  දෙවියන්  ගෙන්  ඒ  අඩුව  පුරවන්න  හිතෙනවා. අදටත්  සමහරු  ජීවයේ  සම්භවයේ  පවතින  විවාදාත්මක  කරුණු  කීපයක්  එතරම්  නිරවද්‍ය  නොවන  උපකල්පන   එක්ක  එකතු  කරලා  හදනවා  මතයක්  ජීව  සම්භවය  සුපිරි  බුද්ධියක  නිර්මානාත්මක  වැඩක්  බව - බුද්ධිමත්  නිර්මාණවාදය  හෙවත්  Intelligent Design. මේක  දැනුම  නිර්මාණයක්  නොවේ.  නොහැකියාව, නොදැනුවත්කම  වසා  ගන්න දෙවියෙක්  
නිර්මාණය  කිරීමක්.

බලන්න  මුළු  කතාවම: The Perimeter of Ignorance

මේකටම අපි  කියනවා  දැනුමේ  හිඩැස  දෙවියන්ගෙන්  පිරවීමක්  ලෙස.  විශ්වය  තුල පවතින  ගතියක්  තමයි  දකින  හැම  මානයකින්ම  අනන්ත අපරිමිත  ස්වභාවයක්  පෙන්වීම.  දිගට  දිගට  යන්න  ගියත්,  පොඩියට පොඩියට  කඩාගෙන  ගියත්,  ලොකුවට  ලොකුවට  එකතු  කරගෙන  ගියත්  අපි  ඒ  අනන්ත  ස්වභාවය  දකිනවා.  අවාසනාවකට  මනුෂ්‍ය  අපි  පරිමිතයි. අපේ  මොලයේ  හැකියාව,  බුද්ධියේ  හැකියාව,  සිතීම  යන  සියල්ල පරිමිත  සීමාවක  හිර  වෙලා තියෙන්නේ.  මේ  පරිමිත  මිනිහා  අපරිමිත  විශ්වය  පැහැදිලි  කරද්දී  කෙරෙන්නේ  ඒ  ගැන  මොඩලයක්  හදන  එක. එනම්  පින්තුරයක්  පික්සල්  ගොඩකින්  නිර්මානය  කරනවා  වගේ  සන්තතික (continuous)  විශ්වය විභින්න (discrete) කැබලි  ගොඩකින්  තමා  පැහැදිලි  කරන්නේ.

නොදනුමේ  කුඩා  පෙට්ටි  ගොඩකින්  දැනුම  හදනවා.  මුලදී  බොහොම  ලොකු  කන්ටේනර්  සයිස්  නොදනුමේ  පෙට්ටි  කීපයක්.  විද්‍යාවේ  ප්‍රගමනය  කියන්නේ මේ  විශ්වය  පැහැදිලි  කරන  නොදනුමේ  පෙට්ටි  වල  සයිස්  එක  පුංචි  කරන  එක.  ඒ  සමග  මොඩලය  වඩාත්  තාත්විකව  සහ විද්‍යාත්මකව  නිර්මානය  වෙනවා.

හැබැයි  හැමදාමත්  අර  නොදනුමේ  පෙට්ටිය  ඉතුරුයි.  ඒ  පෙට්ටිය  තුලට  දෙවියන්  බස්සන්නට  ඇතැමුන්  පෙළඹෙනවා. ඒ  තමයි දැනුමේ  හිඩැස.  මේ පදනමින්  සමහරු  කියනවා  ඩාවින්ගේ  පරිනාම සංකල්පය  හා  පසුව  සොයාගත්  ඩී එන්  ඒ   ඔක්කොම  ඇත්ත  හැබැයි  ජාන  මියුටේෂන් කරන්නේ  කවුද?  අන්න  එතනයි  දෙවියන්  ඉන්නේ  කියලා.  ඔහොමම ජීවය  කියන  භෞතික  සිරුර  මත  වන ඉමර්ජන්ස්  එකත්   ආත්මය  නම්  මවාගත්  සංකල්පයක්  දාගෙන  පැහැදිලි  කරනවා. බු
ද්ධියේ  කෙළවර  ඇති  මෝඩකම තමා හොඳම  මනෝ  විද්‍යාත්මක  පැහැදිලි  කිරීම  මේ  ගැන  දෙන්න තියෙන.

මෙම  සටහන  නීල්  ටයිසන්  ගේ  දේශනාවේ  රාමුව  තුල තියන්න  මම උත්සහ  කළා.  එහි  කියවෙන  සංකල්ප  බටහිර  බුද්ධි  පද්ධතිය  තුල  වන  පැහැදිලි  කිරීමක්. ඒ  වගේම  දේවවාදය  සහ  අදේවවාදය  අතර  ගැටුමේ  දිගුවක්. එහෙත්  ලෝකයේ  සෙසු  දැනුම්  පද්ධති  ගත්තොත්  මේ  මුළු  ගැටුමම  පටු  තැනක  හිර  වෙනවා.  දේවවාදය  සහ  අදේවවාදය  අතර  ගැටුම බෞද්ධ  හෝ  හින්දු  සංකල්ප  එක්ක  ගලපන්නේ  කෙසේද?  ආදී  ලෙස  විශාල ප්‍රශ්න ගණනක්  ඇසිය  හැකියි. බටහිර  බුද්ධි  පද්ධතිය දේවවාදය  සහ  අදේවවාදය  අතර  ගැටුම කියන පටු  කතාවේ  හිරවීම මහා  අවාසනාවක්.  හරිනම්  විද්‍යාව  දෙවියන්ට  බම්බු  ගහගන්න  කියලා  ඉස්සරහට  යන්නයි ඕනේ.  එහෙත්  දෙවියන්  හා  විද්‍යාව  එකට  පැටලෙන  එකත්  දෙවියන්ට පක්ෂ  හෝ විපක්ෂ  කියා  දේව/අදේව  වාදයකම  දිගටම  හිරවෙන  එකත්  අවාසනාවන්ත  තත්වයක්. බටහිර  දර්ශන  වාදය  පවා එහෙමයි.   ටයිසන්ගේ  කතාවට  පරිබාහිර  වූ  ඒ  මාතෘකා  මම මේ  පෝස්ට් එකේ  ග්‍රහණය  කරන්නේ  නැහැ. ඒක  වෙනත්  දවසකට.

සැහෙන  පරණ  සංවාදයක්  නැවත ඉස්මතු  කළ  ලක්ෂාන්  වික්‍රමට  ස්තුතිය. ඒ  වගේම  වචන  පරිවර්තනය  නිවැරදි කරන්නට  දුන්නු  දායකත්වයටත්