Saturday, May 30, 2015

පරිභෝජනයේ සදාචාරය 1: නතාෂා ගේ සාරිය සහ පින්වත් අප ස්වාමීන්ගේ පලතුරු පූජාව

නතාෂා ගේ සාරිය ගැන හනේ හපොයි ඕකෙන් කන්න බොන්න නැති එවුන්ට කී වේලක් දෙන්න තිබ්බද කියන එවුන් පින්වත් අප ස්වාමීන්ගේ පලතුරු පූජාවට සාදු සාදු කියති. නතාෂාගේ සල්ලි කොහොම කලාම තොපිට මොකද කියන එවුන් අර සෝමාවතියේ නාස්තිවෙන පලතුරු කන්න නැති කෙනෙකුට දුන්නේ නැති හැටි කියා විස්සෝප වෙති. නතාෂා සහ පින්වත් අප ස්වාමීන් මෙන්ම මේ දෙපිට කාට්ටු මත දක්වන්නන් සියල්ලන්ගෙන්ම ස්වායත්ත සරල සත්‍යයක් පවතියි.

සීමිත සම්පත් ඇති තැනෙක ද්‍රව්‍යයක වටිනාකම එහි මිළ ගෙවීමෙන් සපුරා හිමි නොවේ. සීමිත සම්පතක් කෙනෙකු අපහරණය කරන්නේනම් වෙනත් කෙනෙකුට සමාන දෙයක් අහිමි වේ. සෝමාවතියේ පලතුරු ලෙස හෝ නතාෂාගේ සාරිය ලෙස මිනිසුන්ට ඇති සම්පත් "නිරපරාදේ" නාස්ති වන්නේ නම් එහි මිළ ඔවුන් ගෙව්වද සාමාජිය ලෙස ඇති වගකීමක් ඔවුන් පැහැර හරිති. අවාසනාවකට අප ජීවත්වන ආර්ථික මොඩලය මේ "සම්පත් වලට මිළ ගෙවා කරන අවභාවිතාව" ගැන ලොකු කතිකාවක් කරන්නේ නැත.

අධිභාවිතයට නහුතෙට බිල ගහද්දීත් "විදුලිය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන්න" කියා කීමට සිදුව ඇත්තේ එබැවිනි.

පරිභෝජනයේ සදාචාරය මම මේ දැන් හැදු වචනයකි. එහෙම එකක් ඉස්සර පටන් තිබ්බා නම් ඊට වඩා වටියි.

ප.ලි.

මාධ්‍යවල  ඉන්ටරැක්ටිව් ගතිය  නිසා  බ්ලොග්  සටහන්  වෙනස්  කරන්න  වෙනවා.  මේ  සම්බන්ධයෙන්  මුහුණු  පොතේ  වූ  සංවාදයේ  සාතන්ගේ  අඩවිය  නගපු  ප්‍රශ්න  මගේ අදහස තවත්  ඉස්මතු  කරන්න  දායක  වුන  නිසා,  මෙතන  පටන්  දාන්නේ  ඒ  ටික.

  •  මේකත්  ධනපති   පන්තිය  හා නිර්ධන  පන්තිය  ගැන  තියෙන  ප්‍රකට  සංවාදයේ  දිගුවක්ද?

නැහැ. සම්පත් අවභාවිතාව පන්තිභේදයකින් තොරව සිදුවන්නක්.

පන්ති  භේදය  ගැන  කිව්වොත් මම ඔය රිජිඩ් ධනපති හා නිර්ධන පන්ති දෙකක පැවැත්ම සලකන්නේ මීට සියවසකට පමණ පෙර ලෝක තත්වයක් ලෙස. හැබැයි ලෝකයේ ඇති නැති පරතරය කියන එක එන්න එන්නම වැඩිවෙනවා. ඒ වගේම විශාල ධනස්කන්ධයක් පුංචි තැන් කීපෙකට සංකේන්ද්‍ර වෙනවා. එපමණක් දක්වා නිරීක්ෂණය කල හැකියි. පැහැදිලිවම  ඒ  අසීමිත  ධන  සංචිත  ඇතැම්  නාස්තිවලට  හේතුවක්

  •  මේ  සංකල්පය  ප්‍රයෝගික  ද?

ප්‍රායෝගික වෙන්න ඉස්සෙල්ලා අපට දැනිලා තියෙන්න ඕනේ නේද අවශ්‍යතාවය. අවශ්‍යතාවය දැනෙන්නපටන් ගෙන තියෙන්නේ කොහොමත්.

උදාහරණයක් දෙන්නම්, අඟහරු මත මිනිස්සු ජනාවාසයක් හදනවා. එහි සීමිත ඔක්සිජන් ප්‍රමාණයක් තියෙන්නේ. එහෙ ඉන්න මිනිසුන්ට කෑම්ප් ෆයර් එකක් දාන්න නිදහස ලැබේවිද? කොච්චර සල්ලි තිබ්බත්. මහා පොලොව අසීමිතව දැනුනේ අපි "පුංචි පවුලක්" කාලේ. දැන් අපි ලොකු පවුලක්

එතනදිත් නූගත්කම දිළිඳුකම හා දේශපාලනික වාරණ තුලින් අපේ ලොකුම ජනගහන මධ්‍යස්ථාන දෙක වන ඉන්දියාව හා චීනය [ලෝකයෙන් 2/5 ක්] අඩු පරිභෝජන රටවල් කරලා තිබ්බ. එකපාරට උන් ඕපන් වුණා. පහුගිය දිගටම ලෝක වෙළඳපොලේ ලෝහ හා ඉන්ධන මිල තීන්දු කලේ චීනයෙන් ආපු ඉල්ලුම අනුව. මහා ලොකු ආර්ථික විද්‍යාවක් නොවේ, අපි ගෙයක් හදන්න පටන් ගද්දි එක්තරා ගානට තිබ්බ කොන්ක්‍රීට් කම්බියක් මාසෙකින් එකහමාරකින් ගණන් ගියා චීනේ ලොකු කන්ස්ට්‍රක්ෂන් එකක් නිසා. බයිසිකල් පැද්ද චීන්නු ටික කාර් පදින එකම හිතන්නකෝ. දැන් මහපොළොවේ සීමා දැනෙන ගානට ඇවිත්. එතැනදී මේ සංකල්පය අවශ්‍යයි.

  •  අනිකාට  වඩා  ඉස්සරහින්  ඉන්න  ඇති  වුවමනාව  මිනිසා  ගල් යුගයෙන් මෙතෙන්ට  ගෙනාපු  දෙයක්.  මේ  කතාව  ඒ  මානවීය  හැසිරීම  එක්ක  ගැටෙනවද?

ජීව විද්‍යාත්මක මිනිස් ස්වභාවය කොහොමත් සිද්ධ වෙනවා. ඒකට ඉඩ දෙන්න ඕනේ. ඔය "හැමෝම සමාන කිරීම" අසාර්ථක වුනේ මේ මිනිස් ස්වභාවය නිසා. හැබැයි මේ  කතා  කරන්නේ  ආන්තික  හැසිරීම්  ගැන.

අනික ආන්තික හැසිරීම් වලට සීමා දැමීම ගැනම නොවේ මම කියන්නේ. ඒවා සාමජිය කතිකාවකින් බ්ලැක් මාක් කිරීම වරදක් නැහැ. ඊ ගාව නතාෂා මේ නතාෂාගේ සාරියටත් වඩා ලොකු එකක් හදන්න හෝ, ඊ ගාව "පින්වත් අප ස්වාමින්" මෙයා "ඩම්ප් කර  වදාළ" පලතුරු ලෝඩ් එකත් ඉක්මවා යන්න හිතද්දි සාමාජිය මතයකින් එයාලගේ හිතට ආවොත් "ශිහ් මේක මහා නාස්තියක්. අපි මේක නොකර ඉම්මු" කියලා නීති ඕනෙම නැහැ නේද?

ඒ සංවාදය නතර කරන්නේ "එයාගේ සල්ලිනේ ඕන දෙයක්" කියන මතය නිසා. මම ඉලක්ක කරන්නේ ඒ මතය. සල්ලි එයාගේ වුනාට නාස්තිය අඩු කරන සමාජ වගකීමත් එයාට හිමියි

සාතන්  ඔබට බෙහෙවින්ම  ස්තූතියි  දෙයක්  මේකට  එකතු  කළාට 

Friday, May 29, 2015

වාස්තවික යතාර්ථය 1

වාස්තවික යතාර්ථයක් පවතීද කියන මාතෘකාව යටතේ විවිධ ස්ථාන වල සංවාද රාශියක් කෙරුණා. මේ ගැන "පරිපූර්ණ"  බ්ලොග් සටහනක් ලියන්න උන්නත් ඒකත් වාස්තවිකත්වය වගේම අභව්‍ය දෙයක්, හෙවත් මේ කපේ ලියවෙන්නේ නැහැ. ඒ නිසා මගේ අදහස් ලියවෙන තැන්වලින් කොපි කර ලිපි සීරිස් එකක් ලෙස ලියන්න හිතුවා. මෙව්වයේ එකම දේ නැවත ලියවේවි, එහෙන් මෙහෙන් පටන් ගනීවි, ඉවරයක් වෙන එකකුත් නැහැ. ඔන්න ඔහේ ගියදෙන්. මේ පලවෙනි කථාංගය.

සංවාදයට හේතුවන ප්‍රකාශය: වාස්තවික මමක් නෑ කියන එක බටහිර චින්තනයේ පිළිගත්ත තත්වයක් කියල [] කියන කතාව වැරදියි.

මගේ ප්‍රශ්නය: "වාස්තවිකත්වය" භෞතික දෙයක් වෙන්න ඕනෙද? එසේනම් භෞතික කියන්නේමොකද්ද? මිකීමවුස් වාස්තවික නැද්ද?

පිළිතුර: මිකී මවුස් තියා ගෙදර ඉන්න මීයෙක් වත් වාස්තවික නෑ නේද?

--------

දැන් අපි එතනින් කතාවට අවතීර්ණ වුනොත්...

කිසිම දෙයක් වාස්තවික නොවේ නම් වාස්තවික කියා වචනයක් තියෙන්නේ ඇයි? වාස්තවික බව  ගැන කෙරෙන  වාදය  පවා  වාස්තවික නැහැ නේද? හෙවත් වාස්තවික කියන  අර්ථයත්සත්‍ය පැවැත්මක් නොවේ නේද? එයත්මවා ගැනීමක්. කුඩා ළමයෙකුට මිකී මවුස්. බොහෝ මිනිසුන්ට ගෙදර මවුස්. වෙන වෙනස් ඩිග්රි එකක මවා ගැනීම්

මෙතැනදී "බටහිර විද්‍යාව" කියන දැනුම් පද්ධතිය කරන්නේකිසිම තේරුමක් නැති ඒ වචනය භාවිතාවට ගන්නේ නැති එක. කොහෙත්ම අනවශ්‍ය දෙයක් ගැන කතාකරන්
නෙ මොකටද? පවතිනවා කියන හැමතැනම ඩිස්ක්ලේමර් එකක් දාල "මෙහි පවතින බව වාස්තවිකත්වයක් ලෙස නොසලකන්න" කියන්න ඕනේ නැහැනේ. ඒක නිකම් හරියට තාත්තා කියා ලියන තැන ඩිස්ක්ලේමර් එකක් [යු නෝ වට්] දානවා වගේ. විද්‍යාව එහෙමදාන්නේ නැතිනිසා සමහරු කියනවා විද්‍යාව වාස්තවිකත්වය වැළඳ ගන්නවා කියලා.

විද්‍යාව "පවතිනවා" කියන්නේ ඔය වාස්තවික පැවැත්මට නොවේ. හුදෙක් ඔබ මම ගස් වැල් ගෙවල් ආදිය "පවතින" එකට. ඒක කීවෙනි ඩිග්රි එකක යථා භාවයක්ද, එතනින් එහාට මවාපෑමක් ද කියන විද්‍යාවේ මීටරේට පරිබාහිර කතාව උන් හුදෙක් අල්ලලා දානවා.

උදාහරණයකට වාස්තවිකත්වය වගේම ටූත් ෆෙයාරි ගැනත් බටහිර විද්‍යාවේ කිසිම පැහැදිලිකිරීමක් නැහැ. එයින් කියවෙන්නේ නැහැ ටූත් ෆෙයාරිව බටහිරවිද්‍යාව විසින් පිළිගන්න බවක් හෝ ප්‍රතික්ෂේප කරන බවක්. ඒකෙන් කියන්නේ ටූත් ෆෙයාරිට බටහිර විද්‍යාව දක්වන්නේ හූ කෙයාස් සම්බන්ධයක් බව.

වාස්තවිකත්වය අවශ්‍ය වන්නේ බටහිර දර්ශනවාදයට, එයත් "පැවැත්ම" "ඔබ්ජෙක්ට්" වගේ එව්වා හාරගෙන හාරාගෙන යද්දී. එහෙම හාරන්න අවශ්‍ය වෙන්නෙත් ඊට පෙර ආගමිකව ආත්මයක දරදඬු පැවැත්මක් උන්ගේ ඔලුවලට බැස්සු නිසා. ඩේකාට් වගේ මිනිසුන්ට ගැලවෙන්න බැරි ඒකෙන්. කාන්ට් එහෙම පොඩ්ඩක් වෙනස් විවරණයක ඉන්නවා. හැබැයි බටහිර දර්ශනය ළූණු ගෙඩියේ ලෙලි ඔක්කොම ගැලෙව්වා කියලා මමහිතන්නේනැහැ. දේව ධර්මයෙන් ගැලවිලා සියවස් කීපයකින් එච්චර දුරක් යන්න බැහැ. කෙසේ වෙතත් Objective reality මාතෘකාවට එන්නේ එතනින් විනා බටහිර විද්‍යාවෙන් නොවේ.

Objective reality ගැන බටහිර විද්‍යාව දක්වන්නේ හූ කෙයාස් සම්බන්ධයක්. බොහෝ දුරට බටහිර දර්ශනවාදය ගැනත් විද්‍යාව දක්වන්නේ ඒ සම්බන්ධයම තමා.

මරිමෝඩ හන්දියක සැඟවුණු යතාර්ථය

No traffic lights no accidents යන මාතෘකාව යටතේ අන්තර්ජාලයේ වයිරල් වන වීඩියෝවක් තියෙනවා. ඒ වීඩියෝව අලළා අදහස් පළකරන ඇතැමුන්, මෙහි ට්‍රැෆික් ලයිට් හෝ පොලිස් නිලධාරින් උන්නා නම් ඔය තරම් හොඳට වාහන ගමන් නොකරනු ඇතැයි කියා කියනවා . එනයින් රටේ පාලකයින්, නීතිය, නීති ක්‍රියාත්මක කරන රාමුව නැතුව මිනිසුන්ට ඔහේ අරාජික ලෙස පවතින්න දෙන්නේ නම් ලෝකය සුන්දර වන බවට මතයක් සමහරුන්ගෙන් එලියට එනවා.

අරාජිකත්වය කියන දිග මාතෘකාව එකවර ග්‍රහනය කරන්නට බ්ලොග් පෝස්ට් එකකින් අමාරුයි. එහෙත් ට්‍රැෆික් ලයිට් නැති හන්දියේ සත්‍ය කතාවත් ඒකෙන් අප දකින අරාජිකත්වයේ උදාහරණයේ නරුම රියලිටියක් පමණක් කතාවට ගන්න ඉඩක් මෙතනින් විවර වෙනවා

මේක විහිළුවට ශෙයා කරන අය ගැන නොවේ මම ඉලක්ක කරන්නේ මේ වගේ එව්වයෙන් සීරියස් දේශපාලන මතයක් දෙන්න හදන අයව. ඇත්තෙන්ම ආරම්භයේදී මෙය එතරම් සීරියස් කතාවක් ලෙස නොසිතන්නට පෙළඹුණේ මෙවැනි මරිමෝඩ හන්දියක් දිහා බලලා හුරේ අරාජිකත්වයට ජයවේවා කියන මිනිස්සු හරියටම උතුරු කොරියාව දිහා බලලා මාක්ස්වාදයට ජයවේවා කියන එකාලා වගේම නිසා. ඒත් මේක ටිකක් සීරියස් යන බවක් පෙනෙනවා.

අපි හන්දියට බහිමු.





මේ අඩිස් අබාබා නගරයේ මෙස්කල් හෙවත් කුරුස චතුරශ්‍රයයි. වසර එක්දාස්හයසීයක් පරණ ඉතිහාසයක් තියෙන බව කියවෙනවා. චතුරශ්‍රය ආශ්‍රිත හන්දියේ විශේෂත්වය නම් කිසිම ගයිඩන්ස් එකක් නැති එක. ඒ බව මේ වීඩියෝවේ පෙන්වනවා.

වීඩියෝවේ නොපෙන්වන්නේ මේක කෙතරම් මාරක හන්දියක් ද කියන එක. ඔය රෙකෝඩ් කල විනාඩි කීපෙට වාහන හැප්පි නොහැප්පි බේරිලා ගියාට වසරකට මාරක අනතුරු අතිවිශාල ප්‍රමාණයක් වෙන හන්දියක්. 2004-2006 සමයේ අනතුරු 237ක්. මිලියන ගානක් ඉන්න අඩිස් අබාබා නගරයෙ මුළු අනතුරු වලින් 8% කට මේ තනි හන්දිය වග කියනවා. මෙතනින් පාර පනින්න ගිහින් වාහන වලට යටවෙන ප්‍රමාණය විශාල ගානක්. මෙන්න මෙතනින් බලාගන්න හන්දියේ කැරට්ටුව

ඔන්න ඕක තමා අරාජිකත්වයේ සත්‍ය මුහුණුවරත්. න්‍යාය අනුව අරාජිකත්වය මාරයි. They all lived happily ever after කියලා උපකල්පනය කලොත්. එහෙත් ඒ සියලු කතන්දර උදාහරණ මේ වීඩියෝව වගේ සත්‍යයේ තෝරාගත් වාසිසහගත මොහොතක් පමණයි. සත්‍යය මුළුමනින් ගත්තොත් බිහිවන්නේ මාරාන්තික අනීතික ලෝකයක්.

ඔය යුතොපීය දර්ශන රාශියක පොදු දුර්වලකමක්. ඒ මත දරන මිනිස්සු සමස්තයන් බැහැර කරලා තැනක දෙකක පාලිත තත්ත්ව යටතේ කෙරෙන පරීක්ෂණයක් පෙන්නලා ලෝකෙට කියනවා මෙහෙම කරනන ඔක්කොම හරියාවි කියලා. එහෙත්  ඒ  භුමියේ  සත්‍යය  ගැන  නිසි  අධ්‍යනයකින්  නොවේ.  සිහිනෙන්  ඇවිදීමක්  පමණයි.

මෙස්කල් හන්දියට ට්‍රැෆික් කොන්ට්‍රෝල් එකක් අවශ්‍යයි කියන මූලික සත්‍යයට පිටුපාලා ඕනෑතරම් සෙල්ලම් කරන්න තමන් රවටා ගන්න ඔබට නිදහස තියෙනවා. එහෙත් හන්දියට "බැහැලා බැලුවම" තේරෙයි මේ වගේ ස්ථාන වලට නීතියක්, පාලනයක්, යාමනයක්, යාමනය කළහැකි යාන්ත්‍රණයක් අවශ්‍ය බව.