Friday, November 23, 2012

චාල්ස් ඩාවින්ගේ පරිනාම වාදය ඔබ පිළිගන්නවාද?

[මුහුණු පොතේ සංවාදයක් ඇසුරින්]

 "චාල්ස් ඩාවින්ගේ පරිනාම වාදය" පිළිගන්න එපා. මිනිහට වැරදුනු තැනුත් ඇති. ඒක ආගමක් නොවේ. ඒක වර්තමාන දැනුමට සාපේක්ෂව බොහොම අසම්පුර්ණ කතාවක්.

එහෙත් ඔහු මතුකළ සංකල්පය ඔස්සේ කල පර්යේෂණ හරහා අද විද්‍යා දැනුම හොයාගෙන තියෙනවා පහත කරුණු;

- ප්‍රවේනි ලක්ෂණ පරපුරෙන් පරපුරට යන බව.
- ඒවායෙන් පරිසරයට ගැලපෙන ඒවා ස්ථාවර වෙන බව
- එහෙම ප්‍රවේනි ලක්ෂණ අරගෙන යන ඩීඑන්ඒ කියන බ්ලුප්‍රින්ට් එකක් තියෙනබව.

යනාදී ලෙස සැහෙන කරුණු ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. ඒ නිසා ඩාවින් මතුකළ මතය ප්‍රායෝගිකව සිද්ධ වෙන හැටි දක්වා කාරනා පැහැදිලි වෙනවා.

මෙන්න මේවා තමා වැදගත්. ඒවා මිනිහෙකුට ගොතන්න හෝ මවන්න බැහැ. ඩාවින්ගේ පරිනාමවාදය නොවේ මේ කාරනා තුලින් ඔබට තේරුම ගන්න පුළුවන් ජීවය පරිනාමය වන බව. ආයේ ඒක ඩාවින් ගේ අදහසක් ද, ජේසු ගේ අදහසක් ද, බුදුන්ගේ අදහසක් ද නලින් ගේ අදහසක් ද කියා බලන්න ඕනේ නැහැ.

එමෙන්ම පරිනාමවාදය කියන කාරණය ගැන අප දන්නා දේවල් තවත් ෆයින් ටියුන් වේවි. විද්‍යා දැනුම වර්ධනය වෙද්දී, විද්‍යාව ලෝකයව දිහා බලන ප්රෙසිෂන් ඒක වැඩි වෙද්දී සමහරු කියනවා, විද්‍යාව වෙනස් වෙනවා ඒ නිසා ඕක බොරු කියලා. නැහැ විද්‍යාව වෙනස් වෙනවා කියන්නේ මේ සංකල්ප කුට්ටිය තවත් පුංචි පුංචි මට්ටමට නිරවුල් කර ගැනීමක්.

කෙසේ වෙතත් විද්‍යාව කොහොමත් කරන්නේ ලෝකය මොඩල කිරීමක් පමණයි. එතනින් එහාට මොකුත් විද්‍යාවට අදාළ නැහැ. මේ මොඩල් එකේ ප්රෙසිෂන් වැඩි වෙන ඒක තමා වෙන්නේ. එනයින් හෙටත් මිනිසුන් පරිනාම සංකල්පය තවත් ෆයින් ටියුන් කරාවි.

පරිනාමවාදය මා දන්නා තරමින් පවතින හැම ආගමක් එක්කම ගැටෙනවා. කිසිම ආගමක් මේ සරල කාරනාව කෙලින්ම දේශනා කර නැහැ. ආගම් මේ දේවල් ගැන කතාකල තරමට මේ කාරණය නොදැන සිටීම ආගමික ශාස්තෘවරුන්ට සිදු වූ ලොකු වරදීමක්.

Friday, November 16, 2012

මාක් සකර්බර්ග් ලාංකිකයෙකු නොවන්නේ ඇයි?


අපේ රටේ බහුතරයක් ජනයා දර්ශන දෙකකින් නොමග යවා තිබේ.

පළමු වන්න බෞද්ධ කියා අප හිතන දර්ශනයයි. ඒ තුල ධනය නොහොබිනා දෙයකි. දානය උතුම් වේ. මුදලට වහල වීම වරදකි. වැඩිය හම්බු කරන්න නොහොබී. ලද දෙයින් සතුටු විය යුතු වේ. තව ටිකක් මහන්සි වුනොත් ලැබෙන දෙය වැඩි කර ගන්න පුළුවන් කියා හිතන්නේ නැත. ඊරිසියාව මෙහි එක බල කණුවකි. මට නැති නිසා තෝත් ලද පමණින් සැනසිය.

දෙවැන්න මාක්ස්වාදය කියා අප හිතන දර්ශනයයි. ඒ තුල ධනපතියා දුෂ්ටයෙකි. ව්‍යාපාරයක් යනු සේවක පිරිස පන්ති වෛරයෙන් හිමිකරු දවන තැනකි. විප්ලවය හා සටන ඕනෑම මොහොතක කල හැකි දේවල් වේ. ලාභ ලැබීම වරදකි. ධනපතියා පමණක් නොව ෆැක්ටරියේ යන්ත්‍ර පවා පුළුස්සා දැමිය යුතුය.ඊරිසියාව මෙහිද බල කණුවකි. මට නැති නිසා තොටත් නොලැබේවා.

1948 ලංකාවේ මහ මැතිවරණයේ සැලකිය යුතු ආසන ගණනක දිනා ගත්තෝ වම්මුය. මෙය සමහරවිට ආසියානු දේශයක වම්මු පිරිසක් වැඩිම ආසන ගණනක් දිනු අවස්තාව විය හැක.ලංකාව තුල මේ මතවාද පෝෂණය කරන 5% පමණ පිරිසක් හැමදාමත් උන්හ. 56 බන්ඩා පැමිණ ඉහත දර්ශන දෙකේ මිශ්‍රණයක් කියා කියමින් ජනයා රවටා නොගන්නට මෙය 25% පමණ විය හැක.

මේවායේ ප්‍රතිපල අපි අද භුක්ති විඳිමු. අපේ රටේ ප්‍රාග්ධනය කියා දෙයක් වෙනුවට ඇත්තේ විදේශ නය ඉල්ලා හිඟා කෑමයි. ආයෝජන කියන්නේ කළු සල්ලිය. දේශීය ව්‍යවසායකයා කියන්නේ කසිප්පු මුදලාලිටයි. ඊටත් එහා නම් ඊටත් ලොකු ජාවාරම් කරන එකෙකි. ආණ්ඩුව කලක ජනසතුකරණය කියා නිෂ්පාදන රාජ්‍ය ඒකාධිකාරයකට ලක් කළේය [ඇතැම් සේවා රජයට ගැනීම තරමක නිවැරදි දෙයකි] ඊට පසු ජනතාකරණය කියා ඒවා තම හිතවතුන්ට බෙදා දුන්හ. කවුරුත් ජනතාව නිසා එටිමොලොජි වල අවුලක් නොපෙනේ. එහෙත් රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත අවුලක් පෙනේ.

මේ දර්ශන දෙකේ අනුසාරයෙන් අපි අද සුවිසාල අකාර්යක්ෂම රාජ්‍ය අංශයක් හා ගජමිතුරු දූෂිත පුද්ගලික ප්‍රාග්ධනයක් සමග ඔට්ටු වන්නෙමු. ලංකා දේශපාලනයේ සියලු අර්බුධ වල මූලික හේතුව මෙන්න මේ දෙපාර්ශ්වයයි. අපට ටාටා කෙනෙක් හුන්ඩායි හෝ සෝනි කෙනෙක් නැත්තේ එබැවිනි. අපේ තරුණයින් අතරින් බිල් ගේට්ස් ලා ස්ටීව් ජොබ්ස් ලා, ලැරීපේජ්, සර්ජි බ්රින් සකර්බර්ග් වැන්නන් ඇති වන්නේ නැත. තවම එලියට එන්නේ චේ ලා පමණි.

ඒ සියල්ලේ මූලය ඉහත සඳහන් කල දර්ශන දෙකයි.

සාදුකින් පෙළෙන උන් තෙරුවන් සරණින් දැන් ඉතින් වත් නැගිටියවූ

Tuesday, October 23, 2012

ජනතාදාසගේ කරත්තය

ජනතාදාසට කරත්තයක් තිබේ. කරත්තය ඔහුගේ එදිනෙදා ජීවනෝපාය සකසා දෙයි. මෙය බෙහෙවින්ම පැරණි කරත්තයකි. බෝන් ලීය යටින් තැන තැන බොල් ගැහී රෝද පට්ටම් කඩතොළු වී, ලෑලි දිරා ගොස් ඇති මේ කරත්තය මහමග යන්නේ බොහොම අමාරුවෙනි. 

කොහොමත් සුද්දා මහත්තයා මේක ජනතාදාසට දෙන කොටත් මේක යන්තමින් අබලන්ය. නිසි පාවිච්චියක් නැතිකමත් හම්බෙන තුට්ටු දෙක එදිනෙදා වියදම් වීමත්, වැඩි දියුණු කරන්නට  ප්‍රාග්ධනය  සපයන්නෙකු  නැති වීමත් නිසා දැන්නම් කරත්තයේ ගන්න දෙයක් නැත.

ජනතාදාසට දූ පුත්තු හිතවත්තු සිටිති.

ලොකු පුතා ගේ නම බඩ ගොස්තරයා. ඒකාට මේ කරත්තේ අබලන් වීම ගැන කිසිම වේදනාවක් නැත. ඇත්තෙන්ම අබලන් වන තරමට ඌට වාසි වැඩිය. රෙපයාර් වලට ගෙනියන්නේ ඌට ඕනා තැන්වලටයි. ඒවායින් ඒ ඒ තැන් වලිනුත් අමුද්‍රව්‍ය වලිනුත් ඌට ගාන කැපේ. මේ නිසා කරත්තය හදා ගැනීම අධික වියදම් කටයුත්තකි. එපමණක් නොවේ ලඟදි ඉඳං ඌ කරත්තයට අනවශ්‍ය මගුල් ඒක පිට දමා තවත් කොමිස් සල්ලි හොයයි.

"තාත්තේ මට දෙන්න අර බෝන් ලීයේ ඇදේ ඇරගෙන එන්න" දවසක් බඩ ගොස්තරයා කීය.

එදා ගිය ගමන ආපහු අරගෙන ආවේ වෙන මොකුත් නැතුවට කරත්තයට ඒ සී එකක් හයි කරගෙනය. වැඩකුත් නැති කබල් ඒ සී එකට සල්ලි දුන්නෙත් ජනතාදාසයි. බඩ ගොස්තරයාගේ කොමිස් එකත් එක්ක එකතු වන ඒ ගානෙන් අලුත් ඒ සී එකක් ගන්නට තිබුණි. බෝන් ලීය තවම ඇදය.

ඒත් පවුලේ හයිකාරයා නිසාත් ලොකු ඒකා නිසාත් ජනතාදාස මේ වැඩ ටික කර ගන්න ඌවම පත් කර ගනී.

අනික් එකා ජාතිකයා වේ. ඒකා බණට දහමට ඉතිහාසයට ලැදී එකෙකි.

"තාත්තේ මේ කරත්තේ හොඳයි තාත්තේ. සුද්දා තමා මේකට කෙලියේ" ඌ නිතර දෙවේලේ සුද්දට බනියි.

"තාත්තලා හීල්ලුවට කරත්තේ තමා අපි එදා පටන් ගමන් බිමන් ගිය විදිහ. මේක තමා ලෝකේ හොඳම වාහනේ" අල්ලපු ගමේ සිරිපාල ලොරියක් ගත්තු දවසේ ඌ කීය.

"මෙතන අවුල මේ සුද්දගේ. ඕකා මේ කරත්තේ හැදුවේම අපි හැමදාම අමාරුවේ දාන්න" උගේ කතා අසන විට ජනතාදාසට මාර කෙන්තියක් එන්නේ සුද්දා එක්කයි.

"අපේම ක්‍රමයක් තිබ්බ හතරැස් රෝද වලින් දුවන. මේ සුද්දට තියෙන ගැතිකම නිසා අපි බලෙන්ම රවුම් රෝදෙට වහල් වෙනවා"

"රවුම කියන්නේ විෂම චක්‍රය. ඒකෙන් ගැලවෙන්න බැහැ. ඕන ප්‍රශ්නෙකට උත්තර හතරක් තියෙනවා. අන්න ඒ හතරැස් රෝදේ අපි හොයා ගන්න ඕනේ"
 
ජාතිකයා බෙහෙවින් දාර්ශනිකය. ඒත් ඇති වගේ වගක් නැත. ඌ කියන එව්වා මේ ලෝකයේ නොපවතින බැවිනි. කොච්චර බැන්නත් කරත්තය හැදුවේ සුද්දා මහත්තයා ය. ජාතිකයා තවම සෙල්ලම් කරත්තයක් වත් හදලා නැත.

ඊළඟ එකා ක්‍රම විරෝධියා වේ. කැම්පස් ගියාට මූ ගොඩ වැදුනේ රාත්තිරි ලෙච්චර් වලටයි.

"මේ කරත්තය පවතින තුරු මීට වඩා දෙයක් ලැබෙන්නේ නැහැ" ඌ කියයි.

"මේක අපි වෙනස් කරන්නෝන"

"මේ කරත්තය අපි කඩලා බිඳලා වනසලා දාලා අපේම අපේම අපේම වාහනයක්  හදමු තාත්තේ" හැගීම්බර ගැඹුරු හඬින් ඌ කියයි.

"කොහොමද බං ඒක කරන්නේ?' ජනතාදාස අහයි.

"අපි එකමුතුව වෙහෙසී ඒක හදන්න ඕනේ. ඒ සඳහා මුලින්ම අපි එකතුවෙලා මේක කඩන්න ඕනේ. මේ කරත්තේ තියෙනකම් ඒ වාහනේ හැදෙන්නේ නැහැ."

"මේ කරත්තේ වගේ නෙවෙයි ඒ වාහනේ. ඇක්සලේ රත්තරන්. තට්ටුව රිදී. රෝද පට්ටම වෙනුවට අලුත්ම අලුත් ටයර්. එව්වයේ පැච් එකක්වත් යන්නේ නැහැ."

ජනතාදාසගේ පුංචි මොලේට ඒක දෙයක් තේරේ. යකඩ පට්ටම කැඩුවට රබර් ටයර් නොවේ. ඇක්සලය රත්තරන් නොවේ. මහන්සි වෙලා කඩලා හැදුවත් මේවා කවදාවත් නොවෙන දේවල්ය. කිසිම සංඛ්‍යාත්මක පදනමක් නැති ක්‍රම විරෝධියාගේ සුරංගනා කතාව හැමදාමත් ඔහොමමය. ඌට පොඩි කාලේ ඉඳං සුරංගනා කතා පොත් කියවන්නට දීපු මෝඩකම.

ජනතාදාස මූට කරත්තේ අහලට එන්න දෙන්නේ නැත්තේ ආවොත් මූ ඒක කඩන නිසාය. ඒ නිසා දැනට ඌ කරන්නේ ලොකු අයියා හෙවත් බඩ ගොස්තරයාට නියවමින් ඉන්න එකයි.

"කරත්තේ ඔහේ යන්න දෙන්න ජනතාදාස" ධනලි බරල මහත්තයා උපදෙස් දෙයි.

"ඔහේ කිව්වේ මහත්තයෝ"

"ගොනා බඳිනවා පාරට දානවා. තමුන් බුදිය ගන්නවා. එච්චරයි"

"එතකොට කොහේ නම් යයිද?"

"එහෙම අවුලක් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. තමුන් ඇඟිලි නොගහන තරමට හොඳයි"

"හපොයි අහින්සකයෙකුගේ කර උඩින් ගියොත්?"

"ඔව්වා ඔක්කොම බලන්න බැහැ ජනතාදාස. කරත්තේ යන පාරේ ඔහේ යන්න දෙන්න."

ධනලි බරල මහත්තයාට පුංචි හිනාවක් දැම්මට ජනතාදාස කවදාවත් ඒක කරන්නේ නැත. ලෝකේ අනිත් පැත්තට නොගියට ඔහු කරත්ත පදවා දන්නා තරමින් මෙහි ඇති අවුල දකී. පාලනය නොවන කරත්තය කොහේ යා දැයි කිව නොහැක.

ජනතාදාස මේ ඔක්කොම ඉවසාගෙන දරාගෙන හිදී. මේ එකෙකුගෙන් වත් ගොඩ යන්න බැරි බව ඔහු දනී. එහෙත් හැමදාම ඔහු මෙය පදවයි. රාජාලියා මුදලාලිගෙන් ටැම්පරියක් හෝ කොන්තරාත් එකක් අදියි. මකරා මුදලාලිගෙන් ගිනි පොලියට ණයක් අරගනියි. ඔය මොකෙන් හෝ මේ ලදරම පදිමින් ඉන්නට ඔහුට සිදුවේ.

අනික් හැමෝටම ඇති අවුල නම් ඒක රැයකින් මේ ඔක්කොම ප්‍රශ්න විසඳන්නේ කෙසේද යන්නයි. එහෙත් ජනතාදාසට වැටහෙන පරිදි මේවා එහෙම විසඳන්නට බැරිය. අදට වඩා වැඩියෙන් කීයක්‌ හරි හොයා ගන්නට හෙට වෙහෙසෙනු විනා කරත්තය විජයොත් රථය වී ජනතාදාස මාතලී කරවන්න නොහැකි බව ඔහු දනියි. ප්‍රශ්නත් එක්ක හිඳිමින් ඒවා විසඳ ගන්නවා විනා ප්‍රශ්න නැති හෙටක් ගැන සිහින මවමින් ඒ ෆැන්ටසි වලට කාලය කා දැමීමෙන් පලක් නැති බැවිනි.

Sunday, May 6, 2012

කම්කරුවාද ශ්‍රමිකයාද? වම-දකුණ ඉතිහාසයට යවමු


මුහුණු පොත් සමූහයක ඉස්මතු වූ කතාවක්.

කම්කරුවාද ශ්‍රමිකයාද? ලංකාවේ වම වරද්දාගත් මාක්ස් විද්‍යාවේ බරපතල වචනයක් - ශ්‍යාමන් හේමකොඩි


මට හිතෙන්නේ මෙහෙමයි. මේ ප්‍රශ්නය ගැන 1800 ගණන් වල ලෝකෙන් හිතන්න. මොකද මේ වමේ ව්‍යාපාරය අද කතා කරන මූලික රාමුව අයිති වන්නේ ඒ කාලෙට. 

ධනපතියා, ව්‍යාපාර හිමියා අන් සියල්ලටම උඩින්, ඒ කියන්නේ, ධනයෙන් බලයෙන් රදල පවුල් පසුබිමින්, සමාජ පිළිගැනීමෙන් හැම අතින්ම පැහැදිලි ධනපති පන්තියක් උන්නු, අවශේෂ සියලු ශ්‍රමිකයින් කම්කරු  වහලුන්ගේ ගානට වැටුණු ඒ යුගය. ප්‍රවේනි දාසයන්ගේන් වැටුප ලබන වහලුන්ට ප්‍රමෝට් වෙච්ච නිර්ධන පන්තියක් උන්නු යුගය. ලෝකය පැහැදිලි පන්ති වලට බෙදන්න ඇහැකි, පන්ති අතර වෛරයක් ඇවිලුණු යුගය.

අවාසනාවකට විසි වන සියවසේ මේ දර්ශනය හරි විදිහට යාවත්කාලින කර ගත්තේ නැහැ. අන්ධ භක්තිය හා පුද්ගල වන්දනාව ඉදිරියේ යටපත් වුන නිසා.

අද ඉදිරි පෙලේ සමාගමක මාසෙට ලක්ස ගානක් පඩි ගන්න [ඩොලර් වෙන්නත් පුළුවන්] විධායක නිලධාරියා හෙවත් ශ්‍රමිකයා අයිති වන නිර්ධන පන්තිය හන්දියේ කොමියුනිකේෂන් එකක් දා ගත්තු සමන් පෙරේරාගේ ධනපති පන්තියට වෛර කරනවා කියා කියන්න පොඩ්ඩක් උගුර කහනවා වගේ. පන්ති දැක්ම එක්තරා සුවිශේෂී දේශපාලන ආගමිකයන් පිරිසකගේ අන්ධ භක්තියට පමණක් සීමිත හිතලුවක් වෙන්නේ ඒකයි.

ඇත්තටම මේ වමේ දර්ශනය යාවත් කාලින කර ගත්තු මිනිස්සු හිටියා. නොර්වේ රාජ්‍යය අදටත් පාලනය කරන්නේ වමේ බුවාලා. හැබැයි රැවුල වවාගෙන රතු ෂර්ට් ඇඳගෙන පන්ති වලට සමාජය බෙදා ගෙන ධනපති පන්තියේ කැවුත්ත කන්න කෑ ගහන ඩයිනොසරයින් නොවේ. අවාසනාවට උන් වම්මු ලෙස සලකන්නේ නැහැ මේ ලේබල් වම්මුන්.

වර්තමානයට ඔය පන්ති කියවීම හා නිර්ධන විමුක්තිය ඉන්වැලිඩ්. ඒ කියන්නේ ලෝකේ සූරා කෑම සමාජ අසාධාරණය ධන තන්හාව වෙළඳපොල විසින් මිනිසා වහලුන් කර ගැනීම වගේ දේවල් නැති වෙලා කියන එක නොවේ. ඒවා සිද්ධ වෙන්නේ වෙනස් සන්දර්භ වල. ඔය පරණ පන්ති කියවීම් රෙපයාර් කර කර හිටියට වැඩක් නැහැ දැන්.

අද ඉන්න ඇතැම් ශ්‍රමිකයින් වෙනත් ධනපතියන්ට වඩා ඉහත සඳහන් ක්‍රියාවලියට දායක වෙනවා. අද ඉන්න ලොකුම විනාසකාරියා ප්‍රාග්ධනය නොවේ, අද ප්‍රාග්ධනය කියන්නේ වමේ රටවලුත් ඉල්ලා හඬන බොහෝ වැදගත් එමෙන්ම සමාජ හිතකාරි දෙයක්. අද මිනිසුන්ට ඕනේ ඔය පරණ සීන් නොවේ.

අන්න ඒ ගැන කතාකරනවා නම් ඔය පොසිල දේශපාලනය මැයි පළවෙනිදාට තියා වර්තමානය ගැන වෙනම කතා කරන්න. මාක්ස් ලා ව ඉතිහාසය කියන අල්මාරියට මාරුකර දේශපාලන අල්මාරිය අලුතින් පුරවන්න.

Monday, March 19, 2012

පිළිගැනීම හා ඇදහීම හෙවත් පෘතුවියේ අරය කීයද?

"අප බොහෝ දෙනකු බොහෝ දෑ විශ්වාස කරන්නේ අප ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියළු අධ්‍යයනයන් කිරීමෙන් පසුව නොවේ. එසේ කිරීමට ගියහොත් අපට කිසිවක් කරගත නොහැකි වනු ඇත. අප බොහෝ දෑ විශ්වාස කරන්නේ අපේ විශ්වාසය දිනා සිටින පුද්ගලයන් ඒ දේ කියන බැවිනි."— ආචාර්ය නලින් සිල්වා මහතා [මුහුණු පොතේ අයෙකුට  අනුව]

"
පෘථිවියේ සාමාන්‍ය අරය කිලෝමීටර් 6371 ක් බව සුජීව පිළිගන්නේ තමන්ම අධ්‍යයනය කරපු නිසාද?" --- එම 
තර්කය පදනම කරගෙන මුහුණු පොතේ අසන ප්‍රශ්නයක් [පුංචි කරෙක්ෂන් එකක් එක්ක උපුටා ගැනුනි]
මේ මෑතකදී සංවාදයක මුණ ගැහුණු ප්‍රශ්න දෙකක්. අපි උත්තර දෙන්න බලමු. 
හරියටම පෘතුවියේ අරය කිලෝමීටර් 6371 නොවේ. ඕක ආසන්න අගයක්. අනික පෘතුවියේ අරය කිලෝමීටර් 6371 කියා කියන්නේ කොදුවකින් මැනලා නොවේ. කිසියම් ක්‍රමවේදයකින් ගණනය කරලා. මේ සඳහා භාවිතා කරන ක්‍රම වේද හා සූත්‍ර මත මේකේ නිරවද්‍යතාවය තීන්දු වෙනවා. ඉතින් කවුරු හරි අදහනවා නම් පෘතුවියේ අරය ටක්කෙටම කිලෝමීටර් 6371 කියා ඔහු වැරදියි.
හැබැයි බොහෝ දෙනෙක් පිලි ගන්නවා පෘතුවියේ අරය කිලෝමීටර් 6371 වගේ ගානක් කියා. ඒ මොකද ඒ සඳහා භාවිතා කල ක්‍රමවේද පරීක්ෂණාත්මකව වෙනත් දේවලට යෙදිය හැකියි. උදාහරනෙකට ගොඩබිම දෙතැනක අතර දුර මනින සර්වේයින් මෙතඩ් එදිනේදා ටෙස්ට් වෙනවා. එයාකාරයෙන් පරිධිය මැන ගෙන අරය ගණනය කරන්න පුළුවන්. පොලොව ගෝලයක් කියා හිතුවොත් ඔබට ගෝලයක අරය මනින හැටි පර්යේෂණය කල හැකියි. 
ඒ වගේම මේක ඒක මිනිහෙක් තනියම මැනගෙන ලෝකෙට දේශනා කරන්නක නොවේ. විවිධ මිනිසුන් විවිධ වාරවල මනින ලද්දක්. ඒ හැම විටම මේ වගේ ඉලක්කමක් එනවා. 
ඒ නිසා පවතින තත්ත්ව තුල අපි පිලිගන්නවා ආසන්නව පෘතුවියේ අරය කිලෝමීටර් 6371 වගේ ගානක් කියා. ඇත්තටම ඕක 6400 ක් විතර කියා තමයි මම නම් ඔලුවේ තියාගෙන ඉන්නේ.
හැබැයි මේක විවිධ උපකල්පන මත කල එකක්. එතැනදී වැරදි වෙන්න පුළුවන් ක්‍රමවේදවල, පොලොව ගෝලයක් කියා හිතපු එකේ, එතකොට ලොකු ගෝලයක අරය හා පරිධිය අතර සම්බන්ධය පුංචි ගෝල වලට වඩා වෙනස් වෙන්න බැරි නැහැ.
පිලි ගන්නා ඒකයි විශ්වාස කරන ඒකයි අතර වෙනස තමා පිලි ගන්නේ වෙන හොඳ උත්තරයක්‌ ලැබෙන තුරු පමණයි. විශ්වාස කරන්නා වෙනත් උත්තර හොයන්නේ නැහැ, මේක ම අදහා ගෙන ඉන්නවා මිසක්.

එමෙන්ම පොලොව කියා දෙයක් ඇද්ද ගෝල කියා දෙයක් ඇද්ද මනිනවා කියා දෙයක් පවතියි ද මනින මිම්ම ඒ වෙලාවට පමණක් එහෙම වෙලා නොමනින කොට වෙනස් වේද යනාදී මිනිසාට ටැන්ජිබල් නැති ප්‍රශ්නත් ඕනතරං ඇහිය හැකිය. ඒවාට උත්තර නැහැ.
[ස්තුතිය: ප්‍රශ්නය මතුකළ පුද්ගලයාට]

ප්‍රශ්නය හා පිළිතුර

විශ්වය හා ජීවිතය යනු කවරේද යන ගැඹුරු ප්‍රශ්ණයට “අනේ මං නම් දන්නෙ නෑ” යන සරළ උත්තරය දෙන්නට හැකිනම් ඔබට ආගමක් ඇවැසි නොවන අතර විද්‍යාව ගැන විශ්වාසයක් ද අනවශ්‍යයි. Richard Feynman කියන හැටියට මිනිසුන්ට ආගම් ඇවැසි වන්නේ විශ්වය හා ජීවිතය යනු කවරේද යන “සරළ” ප්‍රශ්ණයට “අනේ මං නම් දන්නෙ නෑ” යන “ගැඹුරු” උත්තරය දෙන්නට උන්ට ඇති අපහසුව, ලැජ්ජාව, බිය, යනාදී හැඟීම් නිසාවෙනි. ඒ නිසා මේ කරුණු දැන ගෙන ඉන්නට ඔවුහු පෙළඹෙති. නමුත් මේවා තේරුම් ගන්න අමාරු නිසා විශ්වාසයකින් සැනසෙන්නට ඔවුන්ට සිදුවේ.

එතරම් සීරියස් නැතුව හිතුවොත්; Hitch Hiker's Guide To Galaxy පොත ලියූ Douglas Adams මීට පිළිතුර දනියි. එය 42 වේ. ප්‍රශ්නය මොකද්ද කියා ඇසු විට ඔහු  නොදැන  උන්නේ  ප්‍රශ්නයයි. ප්‍රශ්නය හොයන්න ඔහු ගත් සියලු වෑයම් අසාර්ථක විය.
Douglas Adams උපහාසාත්මක විද්‍යා ප්‍රබන්ධ කරුවෙකු නිසා ඔහුගේ කතාව හුදෙක් සිනහසෙන්නට ලියුවෙමි.

[ස්තුතිය: කලකට පෙර ලියු එකක් පරිස්සම් කර නැවත ලබාදුන් රිටිගල ජයසේන මහතාට]

Friday, March 2, 2012

මාක්ස් හා ලෙනින් ශ්‍රේෂ්ටයින් ද දුෂ්ටයින් ද?

මාක්ස් ලෙනින් වගේ මිනිසුන් ඒ අයගේ කාලවල තිබ්බ සමාජ පරිසරය තුල ඒ අයට කල හැකි දෙයක් කළා. ඒක ඒ මිනිසුන්ගේ සාමාජිය  මෙහෙවරක්. අනික මාක්ස් මාක්ස්වාදේ කියන කොට කවුරුත් උන්නේ රදල වාදී ක්‍රමයක. ඇමරිකාව විතරක් පන්තිවාදී රදල වාදයක. ලෝකයේ අද පවතින ධනවාදී රාමුව වත් හැදිලා තිබ්බේ නැහැ. ඒ යුගයේ උන්නේ ධනපති කර්මාන්ත ඉඩම් හිමියා සහ උගෙන් කස පාර කාපු නිර්ධන කම්කරුවා හෝ අඳ ගොවියා පමණයි. ඒ මිනිසුන් කලේ මෙන්න මේ පීඩිත පන්තිය වෙනුවෙන් පෙනී හිටීම.

අපි අද භුක්ති විඳින ඇතැම් නිදහසක් අපට ලැබුනේ මේ අය කල කතිකාවේ ප්‍රතිපලයක් ලෙස. මාක්ස්වාදීන් කල ලොකුම දේ විප්ලව කර මාක්ස්වාදී රටවල් හදන එක නොවේ. සමාජවාදී චින්තනය සමාජගත කර, ධනවාදියා පවා එයින් යමක් අර ගන්නා තැනට ගෙන ඒම. යැංකි ඩිකීටත් පාසල් පොත් ටික නිකම් දෙන්න හිතෙන්නේ මේ නිසා. එදා ඒ දේ නොවෙන්න ලෝකය තිබ්බේ දරදඬු රදලවාදයක. එමෙන්ම නරුම පන්තිවාදයක. සමාජවාදීන් ගෙනා අදහස් නිසා තමයි ක්‍රමයෙන් මේවා නියාමනය වෙමින් අද තියෙන සුමට රාමුව දක්වා එන්නේ.

අද ධනවාදයේ පිනකල් එක වන ඇමරිකාව හදන්නේ එළිපිටම සමාජවාදී අදහස් දැරූ රූස්වෙල්ට්. රූස්වෙල්ට් ට පෙර ඇමරිකාව අද අප්‍රිකාව වගේ. මිනිසුන් බඩ ගින්නේ මියගිය කාලකන්නි දේශයක්.

ඇත්තටම මාක්ස්වාදී අන්තවාදීන් මෙන්ම ධනවාදී අන්තවාදිනුත් අද මේ තියෙන ක්‍රමයට විරුද්ධයි. ඒ ධනවාදී අන්තවාදීන්ට එහෙම හිතෙන්නේ අපි නොදන්නවා වුනාට සැහෙන්න සමාජවාදී සංකල්ප සමාජගත වී ඇති නිසා.රැන්ඩියානු ධනවාදියෙක් එක්ක කතා කර බලන්න.

ඒ ක්‍රියාවලිය තුල මග හැරෙන එක දෙයක් විප්ලවය. අන්තවාදී මාක්ස්වාදිය හැමදාම හීන මැව්වට විප්ලවය වෙන්නේ නැහැ. විප්ලවය නොවෙන්න හේතුව අර වසුරිය වෙනුවට ගව වසුරිය වගේ මාක්ස්වාදය වෙනුවට සමාජවාදී සමාජ යාමනයක් නොතේරීම සමාජගත වීම. දැන් ඉන්නේ කසය ගත්තු ධනපතියයි තැලුම් කන නිර්ධනයයි විතරක් නොවේ. සමාජවාදී මත නිසා තව සුවිශාල සමාජ ස්තර ගානක් හැදිලා. ඒ තුල ඉහල පහල යාම තවදුරටත් සිහිනයක් නොවේ. විප්ලවයක් වෙන්නේ නැති මූලික හේතුව මේකයි.

අද මාක්ස් හා ලෙනින් බදා ගෙන ඉන්න මිනිසුන්ට පිස්සු, ඒ මිනිසුන් එදා සමාජය ගැන කල විවරණ අදට වලංගු නැහැ. මාක්ස් ලා ලෙනින් ලා සදාකාලික සත්‍ය දේශනා කල මුනි වරුන් නොවේ. ඔබ අප මෙන්ම හිතු සාමාන්‍ය මිනිසුන්. ඒ මිනිස්සු ඔව්වා කියන්න ඇත්තේ මේ විසි එක් වෙනි සියවසේ එවුන්ට අදහන්න නොවේ වෙන්න ඇති. අද හිටිය නම ඔවුන් වෙනස් කතාවක් කියයි.

අනික මේගොල්ලන්ටත් වැරදුනා. මාක්ස් කෙතරම් වරදා ගත්තද කිව්වොත් ඔහු රුසියාවට විප්ලවයක් කල හැකි බව පිලි ගත්තෙත් නැහැ. ඔහු හිතුවේ උගත් කම්කරුවන් ඉන්න බටහිර යුරෝපය මේක කරාවි කියා මිස මෝඩ ගොවින් ඉන්න රුසියාවට ඒ ශක්‍යතාවය ඇති බවක් ඔහු දුටුවේ නැහැ. එහෙත් මාක්ස්ට පස්සේ සියවසේ ලෝකයේ ඇතිවන තත්ව මත අර බටහිර යුරෝපේ කම්කරුවා වෙනුවට බිහි වන්නේ සම අවස්ථා තියෙන ධනවත් වෘත්තික පිරිසක්. මාක්ස් ගේ අනාවැකිය බිඳ වැටෙන්නේ එතන.

අනික මේ මතවාද තාක්ෂණික විප්ලවය දකින්නේ නැහැ. ඒක වෙන්නේ ඔවුන්ට පස්සේ, ඒ තුලින් ලෝක ආර්ථිකය වෙනස් වෙන හැටි දකින්නේ නැහැ.

මට මාක්ස් එක්කවත් ලෙනින් එක්කවත් අවුලක් නැහැ. ඔවුන්ගේ කාලවල කල හැකි දේ ඔවුන් කළා. මොකුත් නොකරන අපිට වඩා ඔවුන් ශ්‍රේෂ්ටයි. එමෙන්ම ඒ අයගේ ක්‍රියා වල ප්‍රතිපල අපි අද භුක්ති විඳිනවා.එහෙත් ඒ මිනිසුන්වත් නොන්ඩි කරමින් තවමත් ඒ අන්ධ භක්ති වල එල්ලී ගෙන ඉන්න අය නම අවුල්. අද ලෝකෙට අවශ්‍ය දේ අපි අලුතින් හිතන්න ඕනේ. පැරණ දේවලින් ආභාෂයක් ගත්තට කමක් නැහැ. එල්බ ගෙන ඉන්න නරකයි.

Tuesday, February 21, 2012

කූඩු

" රජයේ අඩුපාඩුවක් දැකලා කතා කරොත් UNP කාරයා කියාලා බණිනවා. රජයේ පැත්තට කතා කලොත් මහා රජාගේ එකෙක් කියලා බණිනවා. මෙහෙම වෙන්නේ ඇයි..?"

ඉහත දැක්වෙන්නේ සමන් වික්‍රමනායක කියා මහත්තයෙක් මුහුණු පොතේ අහපු ප්‍රශ්නයක්. ඇත්තටම මේක දැක්කම මට හිතුනේ ප්‍රශ්නේ මුල මීට වඩා ගැඹුරුයි කියා.

මිනිසුන්, විශේෂයෙන් අපේ රටේ මිනිසුන් ජීවත් වෙන්න ආසා කූඩු ඇතුලේ. කුඩා කාල වල ඉඳල ම විවිධ හැගීම වලට වහල් වෙලා අපි "අයිති වෙන තැන" තීරනය කරගෙන ඉන්නේ. ආගම ජනවර්ගය උපන් පළාත උප සංස්කෘතිය ආදී ලෙස තමන් විසින් තමන්ගේ කූඩු තීන්දු කරගන්නවා.

මේක තව ලෙවල් එකකට යන්නේ දේශපාලනය හා විද්‍යාව වගේ දේවල් ඔලුවට යන කොට. මාක්ස්වාදියා, ධනවාදියා, ලිබරල්වාදියා, දේශීය වාදියා, යනාදී දේශපාලන කූඩුත් ඉදි වෙනවා.

වෙන විදිහකට කිව්වොත් තමන්ගේ කූඩුවට වෙලා ඉන්න අපේ රටේ අය වැඩිපුර ආසයි. උදාහරණයකට මම ඉගෙන ගත්ත ඉස්කෝලෙන් එකට උසස් පෙළ කල සිසුන් අතරින් කටටියක්‌ එක විශ්ව විද්‍යාලයකටත් අනික් අය තවත් එකකටත් ගියා. ගිහින් වසරකට පසු නැවත හමු වුනාම පළමු විවී ගිය අය ප්‍රෝ රැගාලා. අනික් ඒකට ගිය අය ඇන්ටි රැගාල. මේ විවි දෙකේම රැගින් තිබ්බා. ඉතින් මේ ගැන හොයා බැලුවම, පළමු විවියේ අපේ පැත්තෙන් එන උන්ගේ ගැට්ට ප්‍රෝ රැග්. අනිකේ අපේ පැත්තේ උන් ඇන්ටි රැග්.

මීට අමතරව කැපුවත් කොළ/නිල්, රතු තොප්පි වගේ ඒවා සමහර විට පවුල් පරිසරයෙනුත් කාන්දු වෙනවා.

මම "අපේ රටේ" කියා කිව්වේ අපේ මිනිසුන්ගේ මේ ගති වැඩි නිසා. මට හමු වුන පිටරැටියන් ගත්තොත් උන් මෙච්චර කූඩු වලට දාන්න බැහැ. එක දෙයකදී එක කූඩුවක ඉන්න එකා තව එකකට තවත් එකක.

මෙහෙම කූඩුවක ඉඳගෙන හිතන කොට හරි ලෙහෙසියි. ආරක්ෂාව ලැබෙනවා. අනතුරක් වුනොත් කූඩුවේ අනිකුත් වැසියන් ඉන්නවා බේර ගන්න. ඒ නිසා මේක ලෙහෙසි වැඩක්.

එහෙත් මේක 100% අවංක වැඩක් නොවේ. තම හර්ද සාක්ෂියට එකඟ නොවෙන දේට පවා සහබාගි වෙන්න වෙනවා තමන්ට කූඩුව වෙනුවෙන්. මේ කූඩුවේ ඉන්න අනිකුත් අය රකින්න වෙනවා. හරි දේ වෙනුවට වෙන්නේ කූඩුවක් දිනීම. තමන් වැරදි දෙයක් දැක්කත් පෙන්නන්නේ නැතුව ඉන්නවා මොකද ඕක පෙන්නොවොත් අරුන් දිනලා අපේ කරෙත් නගින නිසා. දෙයක් කිව්වම කරුණු හොයන්නේ ඔප්පු කල යුත්ත සාක්කුවේ තියාගෙනයි. සංවාද වලට වඩා විවාද බහුල වන්නේ මේ හේතුව නිසාවෙන්.

දේශපාලන ලෝකයත් එහෙමයි. එක්කෝ ධනවාදය, නැතිනම් සමාජවාදය, නැතිනම් ජාතිකවාදය හෝ ලිබරල්වාදය දිනන තුරු රටකට යහපතක් වෙන්නේ නැහැ.
සැලසුම්  හැදෙන්න ඕනේ මේ ඔක්කොම එකතු කර සුදුසු තැනට සුදුසු සංකල්පය යොදාගනිමින්. අන්න එහෙම යන එක සැලසුමක්, එවැනි තවත් සැලසුමක් එක්ක කූඩු-වාදී නොවන පරිදි සංසන්දනය කර දෙන චන්ද වලින් රටේ අනාගතය තීන්දු වෙනවා නම් රටකට ලෙහෙසියෙන් දියුණු වෙන්න පුළුවන්.

ඒත් අපි කරන්නේ මෙන්න මේ කූඩුවට වෙලා, උගුරට හොරා බෙහෙත් කමින්, වරද පෙනී පෙනීත් නොපෙන්නා කූඩුවේ මායිම බේර ගන්න එක. කවුරුහරි මෙහෙම කූඩුවකට කොටු වෙලා නැතිනම් ඔහුව බලෙන්ම එකකට ගාල් කරන එක. තියෙන එකකට බැරිම නම් ඔහුට වෙනම කූඩුවක් හදලා දෙන එක.

යටින්ම බැලුවොත් මේක මතවාදී වහල් කමක ශේෂයක්.

Friday, January 27, 2012

අදහස් දෙකක්

සසර මහ දුකක් යැයි
ඉපදුම නවතවා
සසරින් පලා යාමට වඩා

නිවිය නොහැකි ඒ මහ දුක
ටිකක් හෝ අඩු කරන්නට
වඩා යහපත් හෙටක්
තනන්නට වෙහෙසීම අගනේ

කිසිවෙකුත් දුකෙන් නොමිදුනද
සැමට දුක අඩු වනු ඇත

-----------

පවත්නා ක්‍රමයෙහි
ඇතේ යැයි දාහක් වැරදි
එය කඩා බිඳ දමනවාට වඩා

අසාධාරණ වූ එම ක්‍රමය තුල
මිනිසුන් දැනුමින් පුරවා
තරමක හෝ සාධාරණයක්
තනන්නට වෙහෙසීම අගනේ

සර්ව සාධාරණ නොවුනද
අසාධාරණය අඩු වනු ඇත


[පිටස්තරයාගේ ලෝකයට දුන් කොමෙන්ටුවකි]

ආගමෙන් නිදහස් වී දේශපාලනය ඇදහීම

නිදහස අවශ්‍ය ආගම/දර්ශනය/විද්‍යාව ඇදහීමෙන්ම පමණක් නොවේ. දේශපාලන මතවාදයනුත් මිනිසාගේ නිදහස් සිතීමට බාධා ගෙනෙනවා. සමහරු ධනවාදය, මාක්ස්වාදය, පරිසර වාදය, ලිබරල්, ජාතික චින්තනය වගේ විවිධ දේශපාලන මත අදහාගෙන ඉන්නේ. මේ සේරම ලෝකය කියන දැවැන්ත සංසිද්ධියේ එක එක පැතිකඩවල්. ලෝකය දිහා බලන විවිධ perceptions.

මේ හැම දර්ශනයකම යහපතක් තියෙනවා ඒ වගේම ගත යුත්තකුත් තියෙනවා. එහෙත් මේ එකක් තනිකර අල්ලාගෙන ඒ රාමුවේ සිරවූ විට තමන් මානසික සිරකරුවෙක්.

එතකොට නිදහස් මනසක් ඇති අය චන්දෙ දාන්නේ නැද්ද? නැහැ කාටත් දේශපාලන අදහස් තියෙනවා. ඒවා එකම මතයක සිර කර ගන්න එකයි ගැටලුව. එහෙම එකක සිර නොවන්නා නිල්, කොළ, රතු, කහ, හරිත [කිව්වේ පරිසර වාදයේ පාට] ඕන පාටකට සුදුසු පරිදි චන්දය දෙන්නෙක්. ඒ තීන්දුව චන්දෙ දවසේ ගන්නෙක්. ඔවුන්ට සරලව පාවෙන චන්දදායකයන් කියා කියනවා. රටක අනාගතය යහපත් වන්නේ මේ පාවෙන චන්ද දායකයින් වැඩි වෙන තරමට කියා මට හිතෙන්නේ.

නිදහස් මතවාදියෙකුට රටක් ජාතියක් ජම්මයක් නැද්ද? ඇයි නැත්තේ. කෙනෙකුගේ ජාතිය නීර්ණය කරන්නේ ඒ කෙනා නොවේ. කෙනෙකුගේ රටත් මහන්සි වී වෙනස් නොකලොත් උපන් රටම තමා. එහෙම වෙනස් කලත් ආයිත් තව එක රටක්. මේ රටක නීති, ප්‍රතිපත්ති, ක්‍රියාකාරකම්, සංසිද්ධි, යුද්ධ, කෝලාහල කොයි කාටත් බලපානවා. එ නිසා කෙනෙක් මතවාදීව නිදහස් වීම සමාජය තුල ඔහු හෝ ඇය දරන වගකීම් වලින් නිදහසක් ලැබීමක් නොවේ. ඔවුන්ටත් තමන් ඉන්න රට හෝ පළාත හෝ ගම හෝ පවුල යනාදී දේ නියෝජනය කරන්න වෙනවා.

මේක ගෝත්‍රවාදයක් ද?

ඔව්. හැබැයි අහවල් චින්තනයද ගෝත්‍ර වාදයක් නොවන්නේ?

අනේ අපි නම් නියෝජනය කරන්නේ මානව ප්‍රජාවම...


එතකොට ඒකත් එක්තරා විදිහක ගෝත්‍රවාදයක් නොවේද? ඇයි සත්තු? එයාලා අයිති වන්නේ නැහැ.

මට හිතෙන්නේ ගෝත්‍රවාදය කියන මූලික ගතිය ඕනෑම නියෝජනයක අනිවාර්ය අංගයක්. ආයිත් ඒකෙන් ස්වායත්ත වී ඉන්න බැහැ.

හැබැයි කරුණු දුටු විට ඒවා අනුව ගලපා විවිධ මතවාද වලට හිර නොවී සුදුසු තීන්දු ගැනීම දේශපාලන නිදහස් චින්තනයයි.  පෙර කතා කළා වගේම විවිධ නිදහස් චින්තකයින් ගන්නා තීන්දු වෙනස් වෙන්න පුළුවන්. ඒ නිදහස නිසා.

නිදහස් සිත මොකක් හරි අදහනවාද?

නිදහස් සිත මොකක් හරි අදහනවාද? ඊටත් වඩා සුලබ චෝදනාව වනුයේ ඔය නිදහස් සිත කියන්නේ හුදෙක් විද්‍යාව අදහාගෙන ඉන්න පිරිසක් කියන එක.

ඊටත් කලින් තවත් ප්‍රශ්නයක්. මොකද්ද විද්‍යාවෙන් ඇති වැඩේ? ආගම නම් අදහනවා කියමු. අඩු ගානේ ඒ මනුස්සයා හිතනවා විශ්වය ගැන පරම සත්‍යයක් තමන් දන්නා බව. එහෙත් විද්‍යාවේ ඇති පලය මොකද්ද?

විද්‍යාව ඔබට දිනෙන් දින වඩාත් නිරවද්‍ය වන දෙයක් පැහැදිලි කරනවා. එතුලින් ඔබ පෙරට වඩා ලෝකය තේරුම ගන්නවා. එය වෙනස් කිරීමේ අයිතිය හා හැකියාව ඔබටත් හිමියි. කිසියම් පුද්ගලයෙකු දේශනා කල දෙයක් පරම සත්‍යයක් වන නොවන අවදානම, එහෙමත් නැතිනම් ජීවිතේට දැක නැති අස්වයෙක් රේස් එකෙන් දිනයි කියා හිතාගෙන ඔට්ටු දාන ගතිය එහි නැහැ. හැබැයි එය තුල ඔබ සත්‍ය දන්නෙක් නොවේ. බොහෝවිට සත්‍ය හොයන්නෙක් වත් නොවේ. පවතින මොඩලය තවත් යහපත් කරන්නට වෙහෙසෙන්නෙක්.

කිසිවක්‌ නොදැන ජීවත් වෙන්නේ කොහොමද? නොදන්නා කම ලජ්ජාවට කරුණක් නොවේ. ලෝකය විශ්වය කියන සරල ප්‍රශ්නෙට සංකීර්ණ උත්තරයක් දන්නා බව හිතා ඉන්නවට වඩා ලෝකය විශ්වය කියන සංකීර්ණ ප්‍රශ්නෙට උත්තරයක්‌ සරල ලෙස නොදන්නා බව සිතා සිටීම වඩාත් ප්‍රායෝගිකයි.

ඒ නිදහස් සිතක්.

නිදහස් සිතට ඔක්කොම එකයිද? එ කියන්නේ ඔබ සංසාරය නිර්වාණය කියන දේවල් ගැන හිතන නිරවද්‍යතාවය, සර්ව බලධාරී දෙවියන් ගැන හිතන නිරවද්‍යතාවය, ගුරුත්වාකර්ෂණ බලය ගැන හිතන නිරවද්යතාවය් මේ ඔක්කොම එකයිද? නැහැ. සිත මෙතෙක් එකතු කල දැනුමින් එය මේ ගැන යම්කිසි නිගමනයක් ගන්නවා. එය 0% ක ප්‍රතික්ෂේප කිරීමක් හෝ 100% සත්‍යයක් වීම නොවුනට, වැටහෙන විදිහට එහි සම්භාවිතාවය මැන ගන්නවා.  සංසාරෙට නිර්වානෙට ගුරුත්වාකර්ශනයට දෙවියන් වහන්සේට නිදහස් මනසක උරුම සම්භාවිතාවයක්  තියෙනවා.

හැබැයි මෙතැනදී මේ සම්භාවිතාවය තීන්දු කරන්නේ කවුද? ආයිත් අපේ intuition එක. එයාට අවශ්‍ය දත්ත සපයන්නේ අපේ ජීවන අත්දැකීම්. එ කියන්නේ මේ සත්‍යාසත්‍ය සම්භාවිතා පුද්ගලයා මත රඳා පවතිනවා. එනම් නිරපේක්ෂ නැහැ. ලෝක සම්මත නොවේ. මෙතනින් එහාට සිතුවිලි චැනලය බ්ලෑන්ක් යනවා. නිදහසේ හිතන්න බහ මින් එහාට. ඕනෙනම් මෙතනින් නවතින්න පුළුවන්.-  නැතිනම් කාගේ හෝ කතාවක් අදහා ගෙන මෙතනින් එහාට යන්න පුළුවන්.

නිදහස් සිතත් වෙන මොකක් හරි අදහනවා කියා හිතන අය ඉන්නවා. මේකේ සාධාරණයක් තියෙන්නේ ඇතැම් නිදහස් මතධාරීන් කියන අය ඇතැම් දේවල් අදහන නිසා. ප්‍රකට විද්‍යාඥ රිචඩ් ඩෝකින්ස් අදේවවාදියෙක්, එනම් දෙවියන් වහන්සේ නැති බව අදහන්නෙක්. ඔහු නිදහස් මතධාරියෙක් කියා හිතුවොත් එතන අවුලක් තියෙනවා. දෙවියන් මෙන්ම දෙවියන් නැති බවත් ඇදහීමක්.

හැබැයි දෙවියන් නොඅදහන ඔක්කොම දෙවියන් නැති බව අදහන්නේ නැහැ. දෙවියන් සිටීද නැද්ද කියා මා නොදන්නා බවත් එක මතයක්. මා නොදන්නා දෙයක් මා නොඅදහන බව නිදහස් සිතක ලකුණක්.
 
නැහැ නැහැ එහෙමත් නොවේ, ඔය නිදහස් සිත නිදහස් බව අදහන්නෙක් කියා කියන අයත් ඉන්නවා. එතන නම් වැරදියි. නිදහස් බවක ඇදහිල්ලක් නැහැ. අදහලා අදහලා පුරුදු වෙලා මේක තේරෙන්නේ නැහැ. ඔබට ගුවන් යානයක් අයිති නැති වෙලාවේ, ඔබට ගුවන් යානා බින්දුවක් තිබේ එබැවින් ඔබ ගුවන් යානා හිමියෙක් වන්නේ නැහැ.

මේ උදාහරණය බලන්න. මිනිසා ලෝකය දැන හුන්නේ පදාර්ථයෙන්. ඝන ද්‍රව වායු. පස්සේ ප්ලාස්මාත් එකතු වුනා. ඉතින් අභ්‍යවකාශයට ගියාම ඒකෙ මොනවාද තියෙන්නේ?


ඒකෙ මොකුත් නැහැ.

වෙන්න බැහැ, මොකුත් නැහැ කියන එකෙත් මොනවා හරි තියෙන්න ඕනේ.

මේ ඉස්සර කාලේ විවාදයක්. අන්තිමේදී මේ විද්වතුන්ට “මොකුත් නැහැ” කියන එක දිරවා ගන්න බැරුව “ඊතර” කියා ද්‍රව්‍යයකින් අභ්‍යවකාශය පිරෙව්වා. ඇත්තටම කිව්වොත් මනස තුල මැවෙන මොඩලය පිරෙව්වා. පස්සේ තමා තේරුනේ “මොකුත් නැහැ” කියන තත්වය ගැන.

පූර්ණ වශයෙන් නිදහස් සිතක් මොනවා හරි අදහනවා ඇති කියන එකත් මෙන්න මේ වගේ දෙයක්.

ආගම, දර්ශනය හා විද්‍යාව

ආගම කියන්නේ මධ්‍යගත දැනුම් පද්ධතියක්. එතන දේශකයා බොහෝ විට පරම සත්‍ය කියා දෙයක් දේශනා කරන්නෙක්. ඒ නිසාම ආගමක් සාර්ථක වෙන්න එහි ආරම්භක දේශකයා අතිශයින් සාධාරණ වූත් විචාරයන් වලට සාර්තකව මුහුණ හැකිවූත් දෙයක් දේශනා කල යුතුයි. එසේ නොකලොත් ඔහුගේ ම අනුප්‍රාප්තිකයෙක් ඔහු ඉක්මවා යන වඩාත් සාධාරණ දෙයක් දේශනා කරන්න ගන්නවා. දෙවියන් කියුවා කියා වහල් සමාජයක චින්තනයෙන් මොසෙස්‌ ලිව්ව ටෝරාව ක්‍රිස්තුන් අතින් බයිබලයක් හැටියට එලියට එන්නේ මෙහෙමයි.

ආගමක දේශකයා මෙහෙම උසස් දෙයක් දේශනා කලාම එයා අනෙකුත් මිනිසුන් අතර පූජනීය වෙනවා. මේ පූජනීයත්වය නිසාත් එය පරම සත්‍යයක් කියා සමාජ ගත වන මතය නිසාත් ආගමකට නිවැරදි කිරීම් කරන්න, යාවත්කාලින කරන්න බැහැ. ප්රෝතෙස්තන්තකරණය වැනි ආගමක සංස්ථා පද්ධතිය වෙනස් කිරීමක් වගේ කලාට එහි මූලික හරය වෙනස් නොවන්නේ ඒකයි. අනික ආගම හිතට ඇතුළු වන්නේ විචාර හැකියාව අඩු ලාබාල වියේදී. බොහෝ දෙනෙක් ආගම තම අම්මා තාත්තා වගේ සලකනවා. "ඔබේ පියා ඔය උදේ හවා වඳින මිනිහා නොවේ" කියන අවලං කතාවට ප්‍රතිචාර දක්වන ආකාරයට තමයි ආගමට එරෙහි විවේචන දිහා බලන්නේ. මෙය අතිශයින් ම සාමාන්‍ය මිනිස් ගතියක් වුනාට ඒ හිත් නිදහස් නැහැ.

දර්ශනයත් මේ ආකාරයටම කේන්ද්‍රීය දැනුමක්. කොටින්ම ආගම හා දර්ශනය එකට හා වුනු ගංගා දෙකක් වගේ. හරි පැහැදිලි වෙන් වීමක් නැහැ. හැබැයි දර්ශනය ආගමට වඩා තරමක් නිදහස්. ඒ වගේම දර්ශනයක් දේශනා කරන්නා එය පරම සත්‍යයක් කියා කියන්නේ නැහැ. තමන් කිසිවක් නොදන්නා බව කී සොක්‍රටීස් අද ලොව පිළිගත් මහා දාර්ශනිකයෙක්. දර්ශනය පරම සත්‍යයක් නොවන නිසා දාර්ශනිකයින් පෙරහුන් දාර්ශනිකයින්ගේ මත වලට කොටස් එකතු කරනවා. ඒ නිසා යම්කිසි ලෙසකින් වැඩි දියුණු වී යාමක් දර්ශනය තුල තියෙනවා. හැබැයි ගැටලුව වන්නේ කොයි කොටස හරි කියා බාර ගන්නද කොයි කොටස වැරදියි කියා ප්‍රතික්ෂේප කරන්න ද කියන එක. මෙතැනදී දාර්ශනිකයන් කරන්නේ ඔක්කොටම ඉඩ දෙන එක.

දර්ශනයක මේ වැඩි දියුණු වෙන ගතිය පවත්වා ගන්නා නමුත් එහි සියල්ල බාර ගැනීමට ඇති අසම සම නිදහස වෙනුවට යමක් පිලි ගන්නට යම්කිසි ක්‍රමවේදයක් යොදා ගන්නා දැනුම් පද්ධතියක් විද්‍යාව. මේ නිසා විද්‍යාව අවස්තානොචිතව මතයක සත්‍යාසත්යතාවය මනින්න විවිධ ක්‍රමවේදයන් භාවිතා කරනවා.

මේ වෙනුවෙන් විවිධ මිනුම් ගන්නවා. අන්න ඒවා නම් ලෝකය ගැන කරන මනු කියවුම්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ මනු කියවුම් වලින් කොහොමද කිසියම් අර්ථයක් ගන්නේ කියලා, ආයිත් පනින්නේ අපේ intuition එක. නැවත අපි මවා ගත් චිත්‍රයකින් එනම් ගෙස් එකකින් මනු කියවුම තේරුම් ගන්නවා. සෑම නිරීක්ෂණයක් ම සිත යට තියෙන අරමුණකින් පෙරිලා එන බව කාල් පොපර් මතු කල අදහසක්. කිසිම අරමුණක් නැතිව නිකම්ම “නිරීක්ෂණය කරන්න” කීවාම පොපර් ගේ සිසුවන් දැන හිටියේ නැහැ මොනවා නිරීක්ෂණය කරන්නද කියා. විශ්වය ගැන මනු කියවුම් තිබ්බට ඒවා තේරුම් ගන්න බැහැ. තේරුම් කරන්නේ මනසින්. විද්‍යාවත් ගෙස් එකක් වන්නේ මෙහෙමයි.

විවිධ අයට සර්ව බලධාරී දෙවියන්ගේ දැනුම [ඒ කියන්නේ පරම සත්‍ය], ලෝකය ගැන අනන්ත වූ සත්‍යාවබෝධය ලැබුනා කියා කියනවා. තවත් අය ඉන්නවා මෙතෙක් දන්නා සෑම පරීක්ෂණයකින් ම තම මතය සමත් කරගත් බැවින් එය සත්‍ය කියා හිතන. කියුමෙන් මේ අය විශ්වයේ මනු කියවන්නන් කියා පෙනුනත් එය වැරදියි. මේ ඔක්කොම පෙර කී ලෙසම intuition එකකින් ක්‍රියාත්මක වන්නන්. ඒ කියන්නේ ලෝකය විශ්වය ගැන මිනිස් මොලයක ඇතිවන මවා ගැනීමක් හෙවත් ගෙස් එකක්.

වෙනත් විදිහකින් කීවොත් මේ සියල්ල විශ්වය කියන කළු පෙට්ටිය විස්තර කරන මොඩලයක් වෙනවා. විද්‍යාව කියන්නේ ඉතාම අඩු නිරවද්‍යතාවයකින් ලොකු ලොකු කුට්ටිවලින් පැහැදිලි කිරීම පටන් ගෙන ක්‍රම ක්‍රමයෙන් ඉතාම කුඩා ඒකක  දක්වා නිරවද්‍යතාවය වැඩිවන විදිහට යන ගමනක්. සමහරු හිතනවා කවදා හෝ එය පූර්ණ සත්‍යයක් කරා යාවි කියා. ඒත් තව අය හිතන්නේ අනන්ත වූ විශ්වයක කොයි තරම් කුඩාවට පැහැදිලි කලත් තවත් කුඩා ඒකක තියෙන්න පුළුවන් බවයි. ඒ කියන්නේ විද්‍යාවත් සදාකාලික මොඩලයක් ම බවයි. මෙන්න මෙහෙම විද්‍යාවේ ආකෘතිය ගැන කරන ප්‍රශ්න කිරීම විද්‍යාවේ දර්ශනය ලෙස හඳුන්වන්න පුළුවන්. කැටගරිකලි එය අයිති වනුයේ දර්ශනය කියන ජෙන්රියට විනා විද්‍යාව කියන ජෙන්රියට නොවේ.

කෙසේ වෙතත් මේ කිසිවක් පරම සත්‍ය ලෙස අදහන්නෙක් නිදහස් චින්තකයෙක් නොවේ.

නිදහස් චින්තනය යනු...

නිදහස් චින්තනය එහෙමත් නැතිනම් සිතීමේ නිදහස කියන්නේ බොහොම පුළුල් ක්ෂේත්‍රයක්. නිදහස් නිසාම එය විවිධ අයට රිසි සේ අර්ථ දක්වා ගන්න පුළුවන්. එහෙත් නිදහස් චින්තනය කියන එකෙන්  මූලිකවම අදහස් කරන්නේ කිසියම් රාමුවක හෝ මතවාද පද්ධතියක හිරවූ සිතුවිලි සහමුලින්ම ඉන් නිදහස් කර ගන්න එක.

ජීව විද්‍යාත්මකව ගත්තොත් එහෙමත් නැතිනම් මනෝ විද්‍යාත්මකව ගත්තොත් මිනිසා තුල පරිපූර්ණ නිදහස් චින්තනයක් හට ගන්න පුළුවන් ද කියන එක විවාදාත්මකයි. මොකද මිනිස් මනස හැදිලා තියෙන්නේ මොකක් හෝ මතවාද රාමුවක හිඳ සිතන්න. ලෝකය ගැන අපේ අදහසක් පහල වන්නේ මොලයේ ඇති වන intuition එකක් නිසා. විශ්වය කියන දැවැන්ත යන්ත්‍රයේ මීටරයක්‌ කියවන එකක් නොවේ intuition එක. එය ලෝකය මෙහෙමයි කියා සිතා ගැනීමක්. උෂ්ණත්වමානයක් නැතුව කාමර උෂ්ණත්වය හිතලා කිව්වා වගේ. ඉතින් මිනිසා හැම විටම ඉන්නේ ඒ මවාගත් පරිකල්පනයක. මොකක් හෝ රාමුවක.

මිනිසාගේ සිතුවිලි කියන්නේ හොරාට පෙර කෙහෙල් කැන වැට පැනීමක්. ලෝකය ගැන අපි මවා ගත්තු එහෙමත් නැතිනම් හිතා ගත්තු දෙයකින් ලෝකය විස්තර කරනවා. මේ විස්තරය සැහෙන්න හරි යන්න ඉඩ තියෙනවා. මොකද අපි මේ විස්තරය දෙස බොහොම විචාරශීලීව බලන නිසා. හැබැයි කොයි තරම් හැඩ කලත් ඒක ගෙස් එකක් විතරයි. ඒ ගෙස් එකට අපි ආගම, දර්ශනය, විද්‍යාව කියා කියනවා.

මනෝ විද්‍යා සීමා ඉක්මවා සිත නිදහස් කර ගත හැක්කේ මේ ගෙස් එක ගෙස් එකක් හැටියට සළකා කටයුතු  කිරීමෙන්. එහෙමත් නැතිනම් මේ  intuition එකකින් බිහිවන සංකල්ප පරම සත්‍ය ලෙස නොඅදහීමෙන් පමණයි. එතැනදී අපි කරන්නේ intuition එකේ එල්බ ගෙන නොහිඳ අලුත් අදහස් වලට සූදානම් වී සිටීම.

මිනිස් සිතක් නිදහස් වන්නේ එහෙමයි. නැතිව කිසියම් ඉගැන්නුම් පද්ධතියක එල්බ ගැනීමෙන් නොවේ.