Friday, July 11, 2014

ආගමේ සන්නද්ධ අංශය හා ආගමේ දේශපාලන අංශය

කාලයක් තිස්සේ මට ලියන්න ඕනේ කරලා තිබ්බ දෙයක් අසම්මතයා "නිදහසේ" ලියලා ටික කලකට පෙර. අදයි මම දැක්කේ. උපුටා ගන්නවා අහන්නේ නැතුවම. යාලු ෆිට් එකට කොපි රයිට් බලපායිද?

මෙන්න මුළු ලිපිය: අපි රැශනල් ආගම්කාරයෝ

මම උපුටා ගන්නවා මෙන්න මේ කොටස.

--------

"අපි ආගම් අදහන්නේ ඔය අනෙක් මිනිස්සු වගේ නෙමේ. උන් ආගම් කාරයෝ. අපි එහෙම නෑ. අපි ආගම් හදාරල, තර්ක කරල සොයාබලා තමා තීරණය කලේ අපේ ආගම (උපතින් ලැබුන එක) නිවැරදිම එක කියල. අපි රැශනල් ආගම් කාරයෝ !!

අපි තර්කානුකූලව හිතල තීරණය කලේ අපේ එක තමා හරිම එක කියල. අපි හැඟීම් වලට වහල් වෙන්නේ නෑ. අපි ආගම් ගැන හිතද්දි හරි තර්ක කරද්දි හරි අවංකව තමා ඒක කරන්නේ. අපිට ඒ ආගමෙන් ලැබෙන සැනසීම, ඒ ආගම වටා ගොඩ නැගී ඇති සමාජය, සමාජ ක්‍රියාකාරකම්, ආගමික වතාවත් වලට අපේ ඇති ඇල්ම, වාර්ශිකව සහ මාසිකව එන අපි ආසාවෙන් සමරන ආගමික උත්සව, අපි ගරුකරන ආදරය කරන අපේ ආගමේ නායකයින්, එකම ආගමේ සහෝදර සහෝදරියන් එක්වූ විට එන කණ්ඩායම් හැඟීම, අපි ඒ ආගම වෙනුවෙන් වැය කල ශ්‍රමය, කාලය, මුදල් .. වැනි දේවල් අමතක කරල තමා ආගම් ගැන හිතන්නේ. නැතුව ආගම ගැන තර්ක කරද්දි ආගම අසත්‍යය බව තේරුම් ගොස් එය අත හරින්නට වුනොත් නැතුව යන්නේ ආගමේ ඉගැන්වීම් විතරක් නෙමේ ඒ ඔක්කොම කියන එක අපේ සිතීමේ ක්‍රමයට කොහෙත්ම බලපාන්නේ නෑ. යටිහිතින්වත් එය එසේ වෙන්නේ නෑ.

අපි අපිට උපතින් ලැබුන නිවැරදිම ආගම හරිම එක කියල තෝරගනිද්දි වුනේ අපි ඒ ආගම වෙනුවෙන් පෙනී සිටින එක තමා. මේ ආගමේ තියෙන ඔක්කොම වගේ හරි නිසා අපි තිරණය කලා ඒ ආගම 100%ක් නිවැරදියි කියල. හරි ඉතින්, වෙන වෙන මිනිස්සු පස්සෙ එකතු කරපු ඒව ටිකකුත් නැත්තේ නෑ. නමුත් ඒක අපි තේරුම් ගන්න ඕනෙ. මොනවද පස්සේ එකතු කලේ, මොනවද මුල ඉඳන්ම තිබ්බේ කියන එක අපි තීරණය කරන්නේ අපිට ඕන විදිහටයි. අපි රැශනල් ආගම්කාරයෝ නිසා අපිට නිකන් දැනෙනවා මුල ඉඳන් තිබ්බේ මොනවද, පස්සේ එකතු වෙන්න ඇත්තේ මොනවද කියල. ඕක ආගම් කාරයන්ට තේරෙන්නේ නෑ. උන් හිතන්නේ අපේ ආගමේ තියෙන ඔක්කොම ඒව ඇත්ත කියල. රැශනල් නෑනෙ උන්. ඒවා ලියල තියෙන්නේ අපි වගේ රැශනල් නැති උන්ගේ ශ්‍රද්ධාව, විශ්වාසය වැඩිවෙන්න (..කියලා අපි කියන්නේ)

අපි තීරණය කලා අපේ ආගමේ නම (ටයිටල් එක) වෙනුවෙන් පෙනී ඉන්න. ඒ මොහොතේ ඉඳන් අපේ අදහස් ඒ නම යටතට වැටෙනවා. ලෝකයේ යථාර්තය ගැන, මනුස්ස සත්ව ජීවිත ගැන, හොඳ නරක ගැන සියලුම හරි අදහස් තියෙන්නේ ඒ එක ටයිටල් එක යටතේ. ටයිටල් එක ලැබුනේ උපතින් තමා. ඒවුනාට ඒක තමා හරි ටයිටල් එක.

දැන් අපි ටයිටල් එක තෝරගත්තනේ. අපිට ලෝකය ගැන, හොඳ නරක ගැන ප්‍රශ්නයක් ආපු ගමන් කරන්න තියෙන්නේ සුලු දෙයයි. ඉක්මනට දුවල ගිහින් අර අපේ ආගමේ ශුද්ධවූ පොත් අරන් පෙරලල උත්තරේ කියෝල ඒක ඇදබාන එකයි. ඔය ඉස්සෙල්ල කියපු ඔක්කොටම වගේ උත්තර තියෙනව ඒ පොත්වල. අකුරු කියවන්න විතරයි දැනගන්න ඕනෙ. ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ලැබෙනව.

අර ගොඩපණ්ඩිත හේතුවාදියො කියල සෙට් එකක් ඉන්නෙ. උන්ට පිස්සු. උන් කරන්නේ එක එක ප්‍රශ්නය ගැන වෙන වෙනම හිතල, ඉතිහාසයෙ ඉදන් වෙච්ච සිදුවීම්, නවීන විද්‍යාවෙන් කල හොයාගැනීම් වැනි දේ ගැන සලකල බලල ඒ ප්‍රශ්න වලට උත්තර හොයන එක. උන් සමහර විට උන් වැරදි බව පිලි අරන් ඒ අදහස් පවා වෙනස් කරනව. ඒත් අපිට එහෙම ඕනෙ නෑ. අපේ සිස්ටම් එක ලේසියි උන්ට සාපේක්ශව. කලින් කිව්ව වගේ අර පොත් සෙට් එක කියවන්න විතරයි තියෙන්නේ. ඒ පොත් ලියල තියෙන්නේ ඔක්කොම දන්න (මනුස්සයෙක්, මිනිස්සු, දෙවිකෙනෙක්, දෙවිකෙනෙක් කිව්ව දේ ලිව්ව ශුද්ධවූ මිනිහෙක් etc) නිසා. ඒ පොත් වල තියෙනවා ඒත් පොත් ලිව්වේ කවුද කියලා. ඒ පොත්වල තියෙනවා ඒ පොතේ තියෙන ඔක්කොම ඇත්ත කියලත්. එනිසා ඒව වරදින්න විදිහක් නෑ. අපේ ටයිටල් එක යටතේ තියෙන එක අදහසක්වත් වරදින්නත් බෑ. එතකොට මුලු කන්සෙප්ට් එකම බිඳවැටෙනවනෙ. ඉතින් අපි මුලු ධෛර්යම දාල හැම එකක්ම හරියි කියල ඔප්පු කරන්න ඕනෙ. නැත්නම් ඔක්කොම අවුල් යනවා. ඔක්කොම හරි අපේ උපතින් ලැබුන ආගමේ. අපි රැශනල්..!

හැබැයි ඊට පස්සේ තමා අමාරුම කොටස. රැශනල් ආගම්කාරයෝ වන අපි සහ නිකන් ආගම්කාරයෝ වෙන් වෙන්නේ ඔතනදි. දැන් ඒ පොත කියෙව්වනේ. දැන් ඒකෙ තියෙන ඒව හරියි කියල ඔප්පු කරන්න ඕනෙ කොහොම හරි. දන්න සාස්තර ඔක්කොම දාල. හැබැයි ඉතින් අපි කියන එක තේරුම් ගන්න පොඩි සාධක වගයක් තියෙන්න ඕනෙ.. (උදාහරණ- විශ්වාසය, ශ්‍රද්ධාව, සාක්ශි හෝ හේතු නැතුව තමාට කැමති දේවල් පිලිගැනීමේ හැකියාව etc ) ඒව නැතුව අපි කියන ඒව තේරුම් ගන්න බෑ. ඒ කතාව අර ශුද්ධවූ පොත් වලත් තියෙනව.

අර ගොඩපණ්ඩිත හේතුවාදියො කියන්නේ ලෝකයේ තියෙන ඔක්කොම ආගම් බොරුලු. හරි මම එකඟයි. යම් තරමකට විතරයි හැබැයි, මම රැශනල් නේ. ඔව් ඔක්කොම ආගම් බොරු.. හැබැයි මට උපතින් ලැබුන එක හැර හරිද ?? ඒක හරි !! මම කිව්වනේ ඒක හරියි කියල දැනගන්න සිස්ටම් එක.

හේතුවාදියෝ ටයිටල් තෝරගන්නේ තමාගේ අදහස් වලට අනුවලු. නැතුව ටයිටල් එක මුලින් තෝරගෙන ඒක යටතේ තියෙන අදහස් හරියි කියලා ඔප්පු කරන්න හදනවා නෙමේලු. ඒක මහ කරදර වැඩක්. උන්ගෙන් ඇහැව්වොත් 'උබ මොකෙක්ද කියල' මම මෙහෙමයි, මෙහෙමයි කියල නම් දහයක් විතර ඇදබානව. අපි නම් එක ටයිටල් එකයි, එක පොත් සෙට් එකයි (ශුද්ධවූ)..

හැබැයි වැදගත්ම දේ. අපි ජීවත් වෙද්දි නම් ඒ පොත්වල තියෙන විදිහට ඉන්න බෑ හොඳේ. අපිට අමාරුයි එහෙම ඉන්න. පොත් වල තියෙන ඒ අමුතු තත්ව වලට පත්වුන අය ඉන්නවා, නැත්තේ නෑ. ඒගොල්ලෝ එන්නේ නෑ සමාජය ඉදිරියට. ඇවිත් වැඩක් නෑනේ. අපි තමා සමාජය ඉදිරියේ ඔක්කොම ගේම් දෙන්නේ.

අපිට උපතින් ලැබුන ඒ හරි ආගම විවේචනය කලාට කමක් නෑ. අපි රැශනල් නිසා ඒකට චාන්ස් එක දෙනවා. හැබැයි පුතෝ ඒවට හිනා වෙන්න බෑ. උපහාසය, අපහාසය ඔට්ටු නෑ. අපි තමා තීරණය කරන්නේ මොකක්ද විවේචනය, මොකක්ද උපහාසය, මොකක්ද අපහාසය කියලා. කතා කරන එකා මුලින්ම අපිට ඒ අදහස දාලා අපේ ලයිසන් එක අරන් මේක ඕකේ කියලා අපි කිව්වම තමා ඌට ඒ දේ කියන්න අයිතිය තියෙන්නේ. ඒවා එහෙම තමා. අපි කොච්චර රැශනල් වුනත් අපේ සීයලගේ කාලේ ඉඳන් මේ ඒරියල් එකේ අපේ සෙට් එකේ උන් තමා කරක් ගහගෙන හිටියේ. අපේ ඒවට හිනා වෙන්න දෙන්නේ නෑ..අපේ සෙට් එකේ ඔලුගෙඩි ගාන තමා තාම වැඩි. ඒකෙනුත් අවශ්‍ය වෙලාවට වාසියක් ගන්න ඕනේ කොච්චර රැශනල් වුනත්.

අපිට අපේ විශ්වාස තියාගන්නත් ඕනේ.. අපිට අපේ විශ්වාස අනිත් උන්ගේ ඇඟවල්වල බලෙන් ගහන්නත් ඕනේ. අනිත් උන් ඒවා ගැන කතා කරන්න ඕනෙත් අපි දෙන ගයිඩ් ලයින්ස් වලට අනුව. කැකිල්ලේ රජ්ජුරුවන්ව තමා අපි අනුගමනය කරන්නේ. මෑනුත් අපි වගේම සිරා රැශනල් බුවෙක්..

හැබැයි ඉතින් මෙහෙම එකකුත් තියෙනවා. අපි සැබෑ ජීවිතයේ ඉද්දි මේ සිරා ආගමට පිටින් ඉතින් වැඩ කරන්නේ, කතා කරන්නේ. ආගමේ තියරි ආගම ගැන කතා කරද්දි විතරයි හොඳේ.. ඇත්ත ජීවිතේදී අපිත් අනිත් උන් වගේමයි.

ලෝකයේ එක් එක් කාලයන්හිදී තිබ්බ දහස් ගානක් ආගම් අතරින් මට උපතින් ලැබුන ආගම නිවැරදිම එක වීම නම් මාර අහබු සිද්දියක්.... අපි මාර ලකී ඕයි !"

- අසම්මතයා


[කියවන්න සම්පුර්ණ ලිපිය: අපි රැශනල් ආගම්කාරයෝ]
--------

මට එකතු කරන්න තියෙන්නේ බොහොම ටිකයි.

මේකට හේතුව හැම ආගමකම සැහෙන සාධාරණ තාර්කික හා නිවැරදි කාරනා පිරී තිබීමයි. ආගමික නායකයින් කියන්නේ [මිනිහෙක් ආගමික නායකයෙක් වෙන්නේ] ඔහු හෝ ඇය තත්කාලීන සමාජයට වඩා මට්ටමක් ඉදිරියෙන් උන්නු නිසා. ඒ නිසා මේ මිනිසුන්ට ලෝකය ගැන හොඳ නාඩි වැටීමක් තිබ්බා. ඒ නිසාම හැම ආගමකම බොහොම නිවැරදි දේවල් තියෙනවා. පහසුවට කියමු ආගමෙන් 50%ක් සත්‍ය හා නිවැරදි දේවල්.

එහෙත් ආගම් වල තියෙන ලොකුම දුර්වලකම තමා ඊළඟ පේලියේ හද්ද ගොන් ගොබ්බ බූරු වනචාරි, ප්‍රාථමික, ම්ලේච්ච දෙයක් ලියවී තිබෙන්නට ඇති ඉඩකඩ. ඒක පුද්ගල දර්ශන නේ. ඒ අයගේ කාලවල ඉගැන්වීම් වලින් සපුරා ස්වායත්ත නැහැ. ඉතින් එයාලගේ පූජනීය කරගත්තු ස්ථාවරයත් එක්ක මේ කතා ලියවෙන්නේ. එයාලගේ සුට්ටම් රටවල තිබ්බ චූටි චූටි ප්‍රශ්න තමා මහා නපුරු බියකරු විශ්වීය අර්බුද, අපාගත වන පාපී ක්‍රියා ආදී ලෙස එලියට එන්නේ.

ආගම තදින් අල්ලාගෙන ෆොලෝ කරන උන් තෝරාගන්නේ අර දෙවෙනි වර්ගේ ඒවා. මොකද ආගම තදින් බදාගෙන යන්න දෙවෙනි වර්ගය අවශ්‍යයි. ආගම් ලිහිල්ව අරගෙන රැෂනල් ලේබලයක් එක්ක ෆොලෝ කරන උන් [සහ ආගම් ඔක්කොම මාර සිරා කියා හිතන අන්යාගමිකයන්] කරන්නේ ඒ දෙවෙනි වර්ගය දිහා නැසූ කන්ව  වැසුනු දෑස්  සහිතව සිටිමින් පළමු බාගේ ප්‍රොමෝට් කරන එක.

හේතුවාදීන් ගැනත් යමක් කියන්න ඕනේ. හෙතුවාදීන්ගේ ලොකුම අර්බුදය තමා ආගම් ඇත්තෙන්ම 50% ඇත්ත වීම. බොහෝ හෙතුවාදින්ට තියෙන්න ඇරියස් එකක් පමණයි. ඒ නිසා උන් ඇත්තෙන්ම හේතුවාදීන් නොවේ. ඇන්ටි ආගමිකයන්. උන් කරන්නේ ආගමට ගහන්න ඕනේ නිසා ආගම ඇතුලේ තියෙන ඇත්ත 50% බොරු කරන්න දවල් රෑ නැතුව වෙහෙසෙන එක. හේතුවාදීන් හෝ නිරාගමිකයන් ඉන් ජෙනරාල්, කවදා හෝ සාර්ථක වන්නේ මේ ආගමේ කියාපු සත්‍ය 50% එසේ වන බව පිළිගන්න තරම් සාවධාන මනසක් හා අවංක සිතුවිල්ලක් ආපු දාට. ආගම විවේචනය කල යුත්තේ එහි සංයුක්ත ක්‍රියාකාරකම නිසා විනා එකින් එක බොරු කරමින් නොවේ. ඇත්ත කොටස ඇත්ත බව පිළිගනිමින් අවුල් කොටස පෙන්නා දීම විනා ඔක්කොම බොරු කරන්න යාම තේරුමක් නැති කතාවක්. හේතුවාදීන් එසේ වෙනතුරු හැසිරීමෙන් ඒ කට්ටියත් සමාන වන්නේ තවත් ආගමික කල්ලියකට.

කෙසේ වෙතත්  ඔය රෂනල් ආගමිකයන්ගේ සියවස් ගානක දීර්ඝ කාලින පැවැත්මට ආගම ආරක්ෂා කර දෙන්නේ අන්ධ භක්තික තදින් අල්ලා ගත් ආගමික අන්තවාදය. අන්තවාදීන් නැතිනම් ලෝකේ මේ එක ආගමක් වත් දීර්ඝ කාලයක් පවතින්නේ නැහැ. ඒ වගේම ඒ අන්තවාදයේ මොලේට කවදා හරි ආගමේ අවුල තේරීම වලකා ආගම මාර සිරා දෙයක් කියා මතවාදයක් සමාජගත කරන්නේ අර බොහොම නිවුණු රැෂනල් ආගමිකයන්. මේක හරියට සන්නද්ධ අංශය හා දේශපාලන අංශය වගේ අන්යෝන්ය සම්බන්ධයක්. ඔය මෑඩ්නස් දෙක මැද්දේ මේ නිල කොළ බෝලේ  පෙරළෙනවා ආසාදිත ප්‍රමුඛ ජෛව ප්‍රබෙදයක් එක්ක. තාමත් ඒ බෝලේ වැඩවලින් 90% තීන්දු ගන්නේ ඔය අංශ දෙක.

ස්තුතිය අසම්මතයට. හොඳ ලිපියක්.

Monday, April 28, 2014

බෝට්ටු හා පාස්පෝට්



ලෝකයේ හැම පැත්තකින්ම වගේ අනවසර ලෙස රටවලට ඇතුළු වන මිනිසුන්ගේ කඳුළු කතා අහන්නට වෙනවා. බොහෝ විට මුහුදු අනතුරු, ඇතැම් ඒවා ගොඩබිම පෙනී පෙනී. කුඩා දරුවන් පවා මියයන අවස්ථා.

ලෝකය හැමදාම බෙදිලා තිබ්බේ. කාලෙකට කලින් කුලය/වහල්කම. ඊට පස්සේ හමේ පාට. ඊට පස්සේ දැන් ක්‍රමයෙන් ඒක වෙනුවට දේශසීමා හා පාස්පෝට්.

ප්‍රාථමික බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට ආපු මිනිසුන් පිරිසක් පරයා ඊට ලොකු බෝට්ටුවෙන් ආපු මිනිසුන් ගොඩ නැගු ශිෂ්ටාචාරය, ට්‍රෝලර් බෝට්ටු වලින් එන මිනිසුන්ව බාර නොගන්නේ ඇයි?

සරල සත්‍යය නම් ලෝකය සර්ව සම තැනක් නම් හැමෝටම හූල්ලන්න වෙන බවයි. මේ සීමිත සම්පත් හැමෝම අතරේ සමසේ බෙදුවොත් කාටවත් මොකුත් නැහැ. ආර්ථිකය කියන ඉමර්ජන්ට් ඉෆෙක්ට් එක එතනම මිය යනවා. ලෝකයේ තියෙන වාහන හැමෝම අතරේ බෙදුවොත් 
කට්ටියකට රෝදයක් තව කට්ටියකට සීට් එකක් වගේ ලැබෙන්නේ. එකම වාහනයක්වත් ආයිත් දුවවන්න බැහැ. මේක හොඳ ද නරක ද කියනවට වඩා මේක ස්වාභාවික තත්වය කියන එක තමා කියන්න වෙන්නේ.

ලෝකයේ ජනගහනය බෙදුම් ඉරකින් හැමදාම බෙදන්න වෙන්නේ එකයි. බෙදනවා නොවේ බෙදෙනවා කිව්වොත් නිවැරදියි

පාස්පෝට් එක ක්‍රමයෙන් අභාවයට යාවි කියා හිතන අනාගතයේ ලෝකයේ මිනිසුන් සේග්‍රගේට් කර තබන්නේ ඉඩම් මිල හා ජීවන වියදම. එන්න එන්නම ලෝකයේ සමහර කලාප වල ඉඩම් මිල හා ජීවන වියදම ඉහල යනවා. ඒ කියන්නේ වීසා සීමාවලින් ස්වාධීන උනත් ඒ ප්‍රදේශයට ඇවිත් ඉන්න මේ නූතන අන්ටචබල් ප්‍රජාවට බැහැ.

මගේ මතය නම් කවදාවත් මේවා නවතින එකක් නැහැ කියලයි.

කෙසේ වෙතත් මේ ලඟදි වාර්තාවක් නිකුත් කල එක්සත් ජාතීන්ගේ කිසියම් ආයතනයක් කියා තිබ්බා, අනාගතයේ [පරිසර වෙනස්කම් මත] ස්වාභාවික විපත් තීව්ර වුවහොත් ජාත්‍යන්තර සංචාරණයේ සීමා ලිහිල් කරන්න බලපෑම් කලයුතු බව. ඉතාම ප්‍රාථමික රාමුවකින් මානවයා කියන්නේ ස්වාභාවික විපත් වලින් බේරෙන්න සංක්‍රමණය වෙච්ච එකෙක්. හරිනම් අද 
සහරාව වේගයෙන් පැතිරී ගෙන එන සහෙල් කලාපයේ ඉන්න මිනිසුන්ට වෙනත් පැති වලට සංචරණය කරන්න හැකියාව තියෙන්න ඕනේ මොකද වර්තමානයේ ඒ ප්‍රදේශ වාසයට නුසුදුසු තත්වයට පත්වෙන නිසා. ඒ වගේම සිය රට ඉහල යන සාගරයට යට වූ කිරිබති වැසියන්ට.

මානව ශිෂ්ටාචාරයේ සැකැස්ම, මානවයාගේ සාමුහික සංචරණ අයිතිය තවම දැකලා නැහැ.

විසඳුම කුමක්ද?