Sunday, May 6, 2012

කම්කරුවාද ශ්‍රමිකයාද? වම-දකුණ ඉතිහාසයට යවමු


මුහුණු පොත් සමූහයක ඉස්මතු වූ කතාවක්.

කම්කරුවාද ශ්‍රමිකයාද? ලංකාවේ වම වරද්දාගත් මාක්ස් විද්‍යාවේ බරපතල වචනයක් - ශ්‍යාමන් හේමකොඩි


මට හිතෙන්නේ මෙහෙමයි. මේ ප්‍රශ්නය ගැන 1800 ගණන් වල ලෝකෙන් හිතන්න. මොකද මේ වමේ ව්‍යාපාරය අද කතා කරන මූලික රාමුව අයිති වන්නේ ඒ කාලෙට. 

ධනපතියා, ව්‍යාපාර හිමියා අන් සියල්ලටම උඩින්, ඒ කියන්නේ, ධනයෙන් බලයෙන් රදල පවුල් පසුබිමින්, සමාජ පිළිගැනීමෙන් හැම අතින්ම පැහැදිලි ධනපති පන්තියක් උන්නු, අවශේෂ සියලු ශ්‍රමිකයින් කම්කරු  වහලුන්ගේ ගානට වැටුණු ඒ යුගය. ප්‍රවේනි දාසයන්ගේන් වැටුප ලබන වහලුන්ට ප්‍රමෝට් වෙච්ච නිර්ධන පන්තියක් උන්නු යුගය. ලෝකය පැහැදිලි පන්ති වලට බෙදන්න ඇහැකි, පන්ති අතර වෛරයක් ඇවිලුණු යුගය.

අවාසනාවකට විසි වන සියවසේ මේ දර්ශනය හරි විදිහට යාවත්කාලින කර ගත්තේ නැහැ. අන්ධ භක්තිය හා පුද්ගල වන්දනාව ඉදිරියේ යටපත් වුන නිසා.

අද ඉදිරි පෙලේ සමාගමක මාසෙට ලක්ස ගානක් පඩි ගන්න [ඩොලර් වෙන්නත් පුළුවන්] විධායක නිලධාරියා හෙවත් ශ්‍රමිකයා අයිති වන නිර්ධන පන්තිය හන්දියේ කොමියුනිකේෂන් එකක් දා ගත්තු සමන් පෙරේරාගේ ධනපති පන්තියට වෛර කරනවා කියා කියන්න පොඩ්ඩක් උගුර කහනවා වගේ. පන්ති දැක්ම එක්තරා සුවිශේෂී දේශපාලන ආගමිකයන් පිරිසකගේ අන්ධ භක්තියට පමණක් සීමිත හිතලුවක් වෙන්නේ ඒකයි.

ඇත්තටම මේ වමේ දර්ශනය යාවත් කාලින කර ගත්තු මිනිස්සු හිටියා. නොර්වේ රාජ්‍යය අදටත් පාලනය කරන්නේ වමේ බුවාලා. හැබැයි රැවුල වවාගෙන රතු ෂර්ට් ඇඳගෙන පන්ති වලට සමාජය බෙදා ගෙන ධනපති පන්තියේ කැවුත්ත කන්න කෑ ගහන ඩයිනොසරයින් නොවේ. අවාසනාවට උන් වම්මු ලෙස සලකන්නේ නැහැ මේ ලේබල් වම්මුන්.

වර්තමානයට ඔය පන්ති කියවීම හා නිර්ධන විමුක්තිය ඉන්වැලිඩ්. ඒ කියන්නේ ලෝකේ සූරා කෑම සමාජ අසාධාරණය ධන තන්හාව වෙළඳපොල විසින් මිනිසා වහලුන් කර ගැනීම වගේ දේවල් නැති වෙලා කියන එක නොවේ. ඒවා සිද්ධ වෙන්නේ වෙනස් සන්දර්භ වල. ඔය පරණ පන්ති කියවීම් රෙපයාර් කර කර හිටියට වැඩක් නැහැ දැන්.

අද ඉන්න ඇතැම් ශ්‍රමිකයින් වෙනත් ධනපතියන්ට වඩා ඉහත සඳහන් ක්‍රියාවලියට දායක වෙනවා. අද ඉන්න ලොකුම විනාසකාරියා ප්‍රාග්ධනය නොවේ, අද ප්‍රාග්ධනය කියන්නේ වමේ රටවලුත් ඉල්ලා හඬන බොහෝ වැදගත් එමෙන්ම සමාජ හිතකාරි දෙයක්. අද මිනිසුන්ට ඕනේ ඔය පරණ සීන් නොවේ.

අන්න ඒ ගැන කතාකරනවා නම් ඔය පොසිල දේශපාලනය මැයි පළවෙනිදාට තියා වර්තමානය ගැන වෙනම කතා කරන්න. මාක්ස් ලා ව ඉතිහාසය කියන අල්මාරියට මාරුකර දේශපාලන අල්මාරිය අලුතින් පුරවන්න.