Tuesday, October 23, 2012

ජනතාදාසගේ කරත්තය

ජනතාදාසට කරත්තයක් තිබේ. කරත්තය ඔහුගේ එදිනෙදා ජීවනෝපාය සකසා දෙයි. මෙය බෙහෙවින්ම පැරණි කරත්තයකි. බෝන් ලීය යටින් තැන තැන බොල් ගැහී රෝද පට්ටම් කඩතොළු වී, ලෑලි දිරා ගොස් ඇති මේ කරත්තය මහමග යන්නේ බොහොම අමාරුවෙනි. 

කොහොමත් සුද්දා මහත්තයා මේක ජනතාදාසට දෙන කොටත් මේක යන්තමින් අබලන්ය. නිසි පාවිච්චියක් නැතිකමත් හම්බෙන තුට්ටු දෙක එදිනෙදා වියදම් වීමත්, වැඩි දියුණු කරන්නට  ප්‍රාග්ධනය  සපයන්නෙකු  නැති වීමත් නිසා දැන්නම් කරත්තයේ ගන්න දෙයක් නැත.

ජනතාදාසට දූ පුත්තු හිතවත්තු සිටිති.

ලොකු පුතා ගේ නම බඩ ගොස්තරයා. ඒකාට මේ කරත්තේ අබලන් වීම ගැන කිසිම වේදනාවක් නැත. ඇත්තෙන්ම අබලන් වන තරමට ඌට වාසි වැඩිය. රෙපයාර් වලට ගෙනියන්නේ ඌට ඕනා තැන්වලටයි. ඒවායින් ඒ ඒ තැන් වලිනුත් අමුද්‍රව්‍ය වලිනුත් ඌට ගාන කැපේ. මේ නිසා කරත්තය හදා ගැනීම අධික වියදම් කටයුත්තකි. එපමණක් නොවේ ලඟදි ඉඳං ඌ කරත්තයට අනවශ්‍ය මගුල් ඒක පිට දමා තවත් කොමිස් සල්ලි හොයයි.

"තාත්තේ මට දෙන්න අර බෝන් ලීයේ ඇදේ ඇරගෙන එන්න" දවසක් බඩ ගොස්තරයා කීය.

එදා ගිය ගමන ආපහු අරගෙන ආවේ වෙන මොකුත් නැතුවට කරත්තයට ඒ සී එකක් හයි කරගෙනය. වැඩකුත් නැති කබල් ඒ සී එකට සල්ලි දුන්නෙත් ජනතාදාසයි. බඩ ගොස්තරයාගේ කොමිස් එකත් එක්ක එකතු වන ඒ ගානෙන් අලුත් ඒ සී එකක් ගන්නට තිබුණි. බෝන් ලීය තවම ඇදය.

ඒත් පවුලේ හයිකාරයා නිසාත් ලොකු ඒකා නිසාත් ජනතාදාස මේ වැඩ ටික කර ගන්න ඌවම පත් කර ගනී.

අනික් එකා ජාතිකයා වේ. ඒකා බණට දහමට ඉතිහාසයට ලැදී එකෙකි.

"තාත්තේ මේ කරත්තේ හොඳයි තාත්තේ. සුද්දා තමා මේකට කෙලියේ" ඌ නිතර දෙවේලේ සුද්දට බනියි.

"තාත්තලා හීල්ලුවට කරත්තේ තමා අපි එදා පටන් ගමන් බිමන් ගිය විදිහ. මේක තමා ලෝකේ හොඳම වාහනේ" අල්ලපු ගමේ සිරිපාල ලොරියක් ගත්තු දවසේ ඌ කීය.

"මෙතන අවුල මේ සුද්දගේ. ඕකා මේ කරත්තේ හැදුවේම අපි හැමදාම අමාරුවේ දාන්න" උගේ කතා අසන විට ජනතාදාසට මාර කෙන්තියක් එන්නේ සුද්දා එක්කයි.

"අපේම ක්‍රමයක් තිබ්බ හතරැස් රෝද වලින් දුවන. මේ සුද්දට තියෙන ගැතිකම නිසා අපි බලෙන්ම රවුම් රෝදෙට වහල් වෙනවා"

"රවුම කියන්නේ විෂම චක්‍රය. ඒකෙන් ගැලවෙන්න බැහැ. ඕන ප්‍රශ්නෙකට උත්තර හතරක් තියෙනවා. අන්න ඒ හතරැස් රෝදේ අපි හොයා ගන්න ඕනේ"
 
ජාතිකයා බෙහෙවින් දාර්ශනිකය. ඒත් ඇති වගේ වගක් නැත. ඌ කියන එව්වා මේ ලෝකයේ නොපවතින බැවිනි. කොච්චර බැන්නත් කරත්තය හැදුවේ සුද්දා මහත්තයා ය. ජාතිකයා තවම සෙල්ලම් කරත්තයක් වත් හදලා නැත.

ඊළඟ එකා ක්‍රම විරෝධියා වේ. කැම්පස් ගියාට මූ ගොඩ වැදුනේ රාත්තිරි ලෙච්චර් වලටයි.

"මේ කරත්තය පවතින තුරු මීට වඩා දෙයක් ලැබෙන්නේ නැහැ" ඌ කියයි.

"මේක අපි වෙනස් කරන්නෝන"

"මේ කරත්තය අපි කඩලා බිඳලා වනසලා දාලා අපේම අපේම අපේම වාහනයක්  හදමු තාත්තේ" හැගීම්බර ගැඹුරු හඬින් ඌ කියයි.

"කොහොමද බං ඒක කරන්නේ?' ජනතාදාස අහයි.

"අපි එකමුතුව වෙහෙසී ඒක හදන්න ඕනේ. ඒ සඳහා මුලින්ම අපි එකතුවෙලා මේක කඩන්න ඕනේ. මේ කරත්තේ තියෙනකම් ඒ වාහනේ හැදෙන්නේ නැහැ."

"මේ කරත්තේ වගේ නෙවෙයි ඒ වාහනේ. ඇක්සලේ රත්තරන්. තට්ටුව රිදී. රෝද පට්ටම වෙනුවට අලුත්ම අලුත් ටයර්. එව්වයේ පැච් එකක්වත් යන්නේ නැහැ."

ජනතාදාසගේ පුංචි මොලේට ඒක දෙයක් තේරේ. යකඩ පට්ටම කැඩුවට රබර් ටයර් නොවේ. ඇක්සලය රත්තරන් නොවේ. මහන්සි වෙලා කඩලා හැදුවත් මේවා කවදාවත් නොවෙන දේවල්ය. කිසිම සංඛ්‍යාත්මක පදනමක් නැති ක්‍රම විරෝධියාගේ සුරංගනා කතාව හැමදාමත් ඔහොමමය. ඌට පොඩි කාලේ ඉඳං සුරංගනා කතා පොත් කියවන්නට දීපු මෝඩකම.

ජනතාදාස මූට කරත්තේ අහලට එන්න දෙන්නේ නැත්තේ ආවොත් මූ ඒක කඩන නිසාය. ඒ නිසා දැනට ඌ කරන්නේ ලොකු අයියා හෙවත් බඩ ගොස්තරයාට නියවමින් ඉන්න එකයි.


[ප. ලි. 2018] බඩ ගොස්තරයා ට නිවුන් සොයුරෙක් සිටී. කලින් කලට විවිධ අන්වර්ථ නම් ගන්නා මුත් ඌ ද බඩ ගොස්තරයෙකි. උගේ වෙනස නම් බඩ ගොස්තරයා කරන තරම්වත් දෙයක් මූ නොකිරීමයි. කාලයක් ගමෙන් පැන බෝට්ටුවේ ඉතාලි ගිහින් හිට මූ ආපහු ආවේ යමපාලුවා කියා අලුත් අන්වර්ථ නමක් ද සමගය. දැන් යමපාලුවා අඳින්නේ ෆුල් සූට් ය. පිළිකන්නට බැස්සත් සනීස් දාලා ය. කට ඇරියොත් ජාත්‍යන්තර ටෝක් ය. ඒත් ජනතාදාසට මීටර් වන පරිදි මූ ආවට පස්සේ ගෙදර සල්ලි ලාච්චුවේ සල්ලි මිසින්ය. අනික මූ කලින් කලට කරත්තේ කෑලි විකුණයි. මූ කියන හැටියට කරත්තේ කෑලි ටික විකුණා ජනතාදාසගේ සල්ලි ලාච්චුව සුද්ද කළ පසු ගෙදර ආර්ථිකය දියුණු වේ. රට ෂෝ එක දාමින් ගෙදරට කෙළවන මේකාට කණට එකක් ගසා එළවන්නට වැඩි දවසක් නැති බව කේන්ති ගිය ජනතාදාස ප්‍රාදේශීය සබාවේ මන්තිරි කෙල්ලට කිව්වේ ඒකි කරත්තෙන් ඒ ලෙවල් ටියුෂන් පන්තියට එක්ක යන දවසකය[/ප. ලි. 2018]

"කරත්තේ ඔහේ යන්න දෙන්න ජනතාදාස" ධනලි බරල මහත්තයා උපදෙස් දෙයි.

"ඔහේ කිව්වේ මහත්තයෝ"

"ගොනා බඳිනවා පාරට දානවා. තමුන් බුදිය ගන්නවා. එච්චරයි"

"එතකොට කොහේ නම් යයිද?"

"එහෙම අවුලක් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. තමුන් ඇඟිලි නොගහන තරමට හොඳයි"

"හපොයි අහින්සකයෙකුගේ කර උඩින් ගියොත්?"

"ඔව්වා ඔක්කොම බලන්න බැහැ ජනතාදාස. කරත්තේ යන පාරේ ඔහේ යන්න දෙන්න."

ධනලි බරල මහත්තයාට පුංචි හිනාවක් දැම්මට ජනතාදාස කවදාවත් ඒක කරන්නේ නැත. ලෝකේ අනිත් පැත්තට නොගියට ඔහු කරත්ත පදවා දන්නා තරමින් මෙහි ඇති අවුල දකී. පාලනය නොවන කරත්තය කොහේ යා දැයි කිව නොහැක.

ජනතාදාස මේ ඔක්කොම ඉවසාගෙන දරාගෙන හිදී. මේ එකෙකුගෙන් වත් ගොඩ යන්න බැරි බව ඔහු දනී. එහෙත් හැමදාම ඔහු මෙය පදවයි. රාජාලියා මුදලාලිගෙන් ටැම්පරියක් හෝ කොන්තරාත් එකක් අදියි. මකරා මුදලාලිගෙන් ගිනි පොලියට ණයක් අරගනියි. ඔය මොකෙන් හෝ මේ ලදරම පදිමින් ඉන්නට ඔහුට සිදුවේ.

අනික් හැමෝටම ඇති අවුල නම් ඒක රැයකින් මේ ඔක්කොම ප්‍රශ්න විසඳන්නේ කෙසේද යන්නයි. එහෙත් ජනතාදාසට වැටහෙන පරිදි මේවා එහෙම විසඳන්නට බැරිය. අදට වඩා වැඩියෙන් කීයක්‌ හරි හොයා ගන්නට හෙට වෙහෙසෙනු විනා කරත්තය විජයොත් රථය වී ජනතාදාස මාතලී කරවන්න නොහැකි බව ඔහු දනියි. ප්‍රශ්නත් එක්ක හිඳිමින් ඒවා විසඳ ගන්නවා විනා ප්‍රශ්න නැති හෙටක් ගැන සිහින මවමින් ඒ ෆැන්ටසි වලට කාලය කා දැමීමෙන් පලක් නැති බැවිනි.