සාමාන්‍ය දැනුම සමූහයක කුස් ප්‍රනාන්දු අහන ප්‍රශ්නයක්.
"විශ්වය ප්‍රසාරනය වෙනවා කියනවානේ... එහෙම ප්‍රසාරනයවන්නේ කොහේටද?"
බලමු උත්තරයක් දෙන්න.
විශ්වය කියන වචනේ පසෙක තියමු. මේක බොහොම සංකීර්ණ පැටලිලි සහගත වචනයක්. විශ්වය නිකම් පරමාණුව වගේ වචනයක් . පරමාණුව කියන්නේ කියන්නේ කඩන්න බැරි පොඩිම ඒකකය ට දාපු නමක්. සීන් එකනම් පස්සේ හොයාගන්නවා පරමාණුව තව පොඩියට කැඩෙනවා කියල. විශ්වය කියන්නේ සියල්ල යන අර්ථයෙන් දාගෙන ඉන්න නමක්. එහෙත් සියල්ල ලෙස අප සලකන දෙයට පිටින් යමක් නැහැ කියල අපිට ඔප්පු කරන්න බැහැ.
මේ කාරනාව වර්තමානයේ දැනුම හෝ කල්පිත [මේ වගේ දෙයකදී මැදින් ඉරක් ගහන්න බැහැ] ලෙස අපට තියෙන කාරනා මෙහෙමයි. ඇත්තෙන්ම කියන්න ඕනේ මං මේක ගැන දන්නා තරම ටිකයි. මොකද අභ්‍යවකාශ විද්‍යාව තාරක විද්‍යාව වගේ එව්වා හදාරලා නැහැ. ඉස්සරින්ම කෝකටත් එක්ක දන්නා ටික ලිහාගම්මු. වැරදුනොත් ඒක මම සභාවට යොමු කරනවා හදල දෙන්න.
විශ්වය කියන වචනේ එල්බ නොසිට අපි පදාර්ථය සහ රික්තය සලකමු. මේක ප්‍රසාරණය වෙනවා කියන්නේ දෘඩ ලෙස විද්‍යුත් හා ගුරුත්ව බල වලින් බැඳුනු ඒකක අතර දුර වැඩිවෙන නිසා. ඕනෙමනම් තර්ක කල හැකි විශ්වය ඒ සයිස්මයි පදාර්ථය හැකිලෙනවා වෙන්න ඇති කියලත් - හැබැයි එහෙම වුනත් පදාර්තමය මිනිසාට සාපේක්ෂව විශ්වය ප්‍රසාරණය වෙනවා . එතකොට අපි දන්නා ගණිතය [නිර්මාණය වන්නේ අපේ පදාර්ථ අවකාශයේ අවශ්‍යතා තුල] අනුව අපිට පැහැදිලි වන්නේ මේ විශ්වය කියා අපි සලකන දෘඩ දේවල් පිරුණු අවකාශය ප්‍රසාරණය වෙනවා කියල. මේක නිරීක්ෂණයක්. ඉතින් ඕක හරිද මේ හරිය ප්‍රසාරණය වෙද්දී තාම නොදන්නා තැනක් සංකෝචනය වෙනවද මේක දෘෂ්ටි මායාවක්ද ආදී තර්ක ඕනේ තරම්.
කොටින්ම මේ අපි දන්නා ගණිත හා විද්‍යා සංකල්ප වලින් ප්‍රසාරණය පැහැදිලි කරන්න බැරි නිසා අර රාහු කේතු වගේ මිතිකල් දේවල් දෙකකුත් අපි හදාගෙන ඉන්නවා. ඩාක් මැටර් ඩාක් එනර්ජි කියල. ඩාක් කිව්වේ පෙනෙන්න තියෙන අඳුරු කමට නෙවි නොපෙනෙන නොදැනෙන එවැන්නක් තියේදැයි නොදන්නා එහෙත් ඒ දෙක නැතුව සමීකරණ ටික තෘප්ත නොවන දේවල් නිසා.
දැන් ඕක "ප්‍රසාරණය වෙනවා නම් කොහෙද යන්නේ" කියන එක ලොජිකල් ප්‍රශ්නයක්. කොහෙද යන්නේ කිව්වා ගමන් මැවෙන්නේ බෝඩර් එකක්. එනම් විශ්වයේ කෙළවරක්. එතකොට ඊ ගාව ප්‍රශ්න විශ්වය විශ්වයක් නම් කෙලවරින් එහා ටික මොනවාද කියන එක. ඔය කාරනා ඔක්කොම විශ්වය කියන නොනිසි වචනය සහ කෙළවර කියන නොදන්නා මිතිකල් ස්වරූපය මත රඳා පවතිනවා. ඒ වගේම ඒ විශ්වය කුඩා අංශුවක් ලෙස පැවති මහා පිපිරුමකින් හැදිලා මෙහෙම ප්‍රසාරණය වුනා කියන මතයත් එක්ක ඉහත ප්‍රශ්න තවත් වැලිඩ් වෙනවා. විශ්වය පරිමිත කාලයක පරිමිත සීමාවකින් ප්‍රසාරණය වී නම් ඉන් පිටත අවකාශය සහ කාලය කියන්නේ මොකද්ද?
ඕක නිකම් පිටින් බලලා හූ හූ ඔන්න තොපේ විද්‍යාව කියලත් කිව්ව හැකි. හැබැයි ආගම ගැන ආගමේ මතයෙන් අපි කතා කළා වගේ සාධාරණව විද්‍යාවේ මේ කතා විද්‍යා මතවලින් බැලුවොත්; මහා පිපිරුම පරිමිත අතීත කාලෙක වුනානම් කියන කතාවට එන උත්තරේ තමා අතීතය සහ කාලය කියන දේවල් ඔහොම විශ්වයෙන් පිටස්තර එව්වා නෙවි. එව්වා විශ්වයේ අභ්‍යන්තරික දේවල්. ඒ විතරක් නෙවි මෙන්න විශ්වයේ ආරම්භ මොහොතේ කාලයේ සමීකරණය. අන්න ඒ සමීකරණය [අහන්න නම් එපා පුතෝ ඇහුවත් කියන්නේ නැහැ :) ] අනුව ඒ පිපිරුම ආසන්න වත්ම කාලය ගෙවෙන්නේ මීට වෙනස් විදිහකට එනම් විශ්වයම අංශුවක්නම් එය එසේ වූ මොහොත තියෙන්නේ ඒ අංශුව තුල කාලයෙන් අනන්තයක් අපිට පස්සෙන්. කාලය පරිබාහිර නැහැ කියන එක ඇරෙන්න ඉතිරිය මට තේරෙන විදිහට ලිව්ව අර්ධ සත්‍යයක්. ඔන්න ඔහොම සීන්ස් එකක් තියෙනවා කියමු.
දැන් වැඩේ එහෙම සීන්ස් එකක් ආවාම අපේ සම්මත චින්තනය කැඩෙනවා. අපිත් ඉන්නේ විශ්වයේ කාලයත් දුවන්නේ විශ්වයේ, ඉතින් අපිට මේක පෙට්ටියෙන් එලියට ගන්න බැහැ. සොරි අන්ශුවෙන්.
ඒ වගේමයි විශ්වයේ කෙළවර ගැන කතාවත්. කෙළවර ආසන්න වත්ම අවකාශයේ ස්වරූපයන් මෙහෙම රේඛිය නැහැ. ඒ නිසාම කෙලවරට ගිහින් එහා පැත්තට යන්න බැහැ. දුරින් ගත්තොත් කෙළවරක් වන යමක් එතනට ගියොත් එහෙම නැහැ. මේකත් මට තේරෙන විදිහට ලිව්ව අර්ධ සත්‍යයක්.
දැනට පිළිගන්නා භෞතික විද්‍යාව අනුව අවකාශය කාලය වගේ දේවල් එකිනෙක හා බද්ධ වූ විශ්වය නමැති ව්‍යුහය බැඳී කම්බි දැලේ කොටස්. එක කම්බියක් ඇඹරුව ගමන් අනිකත් ඇඹරෙනවා.
ඔය ඔක්කොම තුල විද්‍යාව කිසියම් ගණිතමය ලෙස ස්ටේබල් මතයක් දෙනවා. මේ ජාමේ බේරගන්න කියපු අමු කෙප්ප නෙවි. එහෙත් මෙව්වා හුදෙක් ගණිතමය මාවතකින් බිහි වූ සංකල්ප විනා බීකරයක කුඩා විශ්වයක් හදලා මැනලා බලාපු එව්වා නෙවි. මෙව්වට දාර පත ඇඟට දැනෙන සාධක නැහැ. තියෙන්නේ බොහොම සුළු සාධක ප්‍රමාණයක්. තවම දැකල නැති වුනාට තල්මසා සහ යෝධ බූවල්ලා දෙන්න මූදු පතුලේ ගහගන්න බවට සාධක තියෙනවා. මේ විශ්ව කතාවට තියෙන්නේ ඒ සාධක අහලකට වත් නොවෙන මවා ගත්තු සාධක. හැබැයි මවා ගත්තු සාධක සහ සංකීර්ණ ගනිතයක අවසන ස්ටේබල් වූ මතයක් හැදෙනවා. ඒක අපි අවංකව පිළිගන්න ඕනේ.
දැන් ඔය දෙබරේ සෙටල් වෙලා තිබ්බට ඕකට ගලක් වදින්නේ මොකක් හරි අඥ්ඥකොරොස් වැඩකින් මේ සාධක කියා මවා ගත්තු එකක් අල්ලලා පොළොවේ ගහපු දවසක. ඉස්සර නිව්ටන් පප්පා ඔහොම ස්ටේබල් කතා ලියල තිබ්බ කාලේ මයිකල්සන් සහ මෝලි කියන දෙන්න කලේ එහෙම අඥ්ඥකොරොස් වැඩකින් සාධක කියා මවා ගත්තු එකක් අල්ලලා පොළොවේ ගහපු එක. එනම් අර ඒ ලෙවල් වලට කල සාපේක්ෂ ප්‍රවේගය ගණන හදන ආකාරයට ආලෝකයේ ගමනට සාපේක්ෂ ප්‍රවේගයක් දාන්න බැහැ කොහොම කරකුවත් එහි ප්‍රවේගය [රික්තයේ] නොවෙනස් කියල. ඔතනින් වෙච්ච පලුද්ද වහන්න ගිහින් අයින්ස්ටයින් පප්පා මුළු විශ්වයම ඇදලා හකුලලා අඹරලා කලවම් කරලා අලුත්ම එකක් හැදුවා. අපි හිතාන ඉන්නේ දැන් ඕක තමා සීන් එක කියල. ඒ ඊ ගාව එපිසෝඩ් එක එනකම්.
දැන් මම මහන්සි වෙලා කිව්ව එකේ ආයිත් කියන්න ඕනේ නැහැනේ මෙව්වත් කතන්දර තමා. වෙනත් ඕනෑම කතන්දරයක් වගේ. හැබැයි මෙව්වා බොහොම මහන්සියෙන් කෑලි හැලෙන්නේ නැතිවෙන්න ස්ටේබල් ලෙස නිර්මානය කරලා තියෙනවා. අවුලක් අහුවුනොත් අපේ බ්ලොග් එකක් වගේ ඇවිත් මකලා හදනවා. කොලේ ලියපු නවකතා නෙවි.
හොඳයි දැන් මොකද්ද අපිට කල හැකි. අපිට දැනට ස්ථිර ලෙස කියන්න පුළුවන් අපේ මිනුම් උපකරණ අනුව අප වටා පවතින ගුරුත්වයෙන් හෝ විද්‍යුත් චුම්බක ආදී බලයකින් දෘඩ ලෙස බැඳුනු පද්ධතිවල සයිස් එකට සාපේක්ෂව ඒවා අතර දුර වැඩිවන බව නිරීක්ෂණය කර ඇති බව පමණයි. එච්චරයි.
ප.ලි.
විශ්වය අනන්ත නම් එයට ප්‍රසාරණය වෙන්න බැරිද? ප්‍රසාරණය කියන්නේ බන්ධනගත වෙච්ච දේවල් අතර දුර වැඩිවීම. එතකොට අනන්ත ප්‍රමාන දෙයක් ප්‍රසාරණය වුනාට ලොකු වන්නේ නැහැ. අනන්ත ප්‍රමාන කියන්නේ වෙනත් වදනකින් කෙළවරක් නැහැ කියන එක. ඉතින් දේවල් ඈත් වුනාට එලියට යන්න බැහැ කෙළවරක් නැහැනේ. ඔය එක කතාවක්.
ඇත්තෙන්ම විශ්වය අනන්ත ප්‍රමාන ද? මෙය මිනිස් හැකියාව තුල මිනිය නොහැක්කක්. වාස්තවික යතාර්ථය වගේ. මේ ප්‍රසාරණය වෙන මොකක් හරි එකේ කෙළවරක් හමුවුනොත් එදාට එය නොවේ විශ්වය, වචනාර්ථයෙන් විශ්වය කියන්නේ සියල්ල. හැබැයි සමහරවිට වචනාර්ථය පසෙක දමා එයට විශ්වය කිව්වොත් (පරමාණුව වගේ) එදාට විශ්වයන් රාශියක් දරන සුපිරි විශ්වයක් හෝ වෙන මෙව්වෙකක් ගැන කතා වෙයි. හැබැයි අල්ටිමට් කෙළවරක් හොයන්න මිනිසාට බැහැ. ඒ තවත් කතාවක්.
ද්විමාන ජීවියෙක් බෝලයක මතුපිටේ ඇවිද්දොත් ඌට ගමනේ නිමක් නැහැ. ඌ කෙළවර කියා දකින තැනට ආවම ආයිත් මැද්දක්. හැබැයි ත්‍රිමාන ලෙස වක්‍ර වූ ඒ ගෝලමතුපිටේ වර්ගපලය පරිමිතයි. විශ්වය හතරවැනි මානයකින් එහෙම එකක්නම්, ත්‍රිමාන ලෙස දකින අප එහි කෙළවරක් කියා කොතරම් හිතුවත් එතනට ගියාම ඒ කෙළවරක් නෙවි අපට එය අනන්ත වූ අවකාශයක් වේවි [කාලය තවත් මානයක් ද මාන කීයක් තියේද, මාන කියන අර්ථදැක්වීම අර්ථයක් ඇති එකක්ද ආදී අතුරු ප්‍රශ්න ඉග්නෝ කරනවා, මේ උදාහරණයක් දුන්නේ ]. ඕකත් තව කතාවක් [බැලූනින් යුනිවර්ස්]
ඔක්කොම ඔහොම විවිධ කතා තමයි. අපි දකින එකම දේනම් අපි තාරකා වල දීර්ඝ කාල ගමන් කල ආලෝක කිරණ වර්ණාවලි වලට දැම්මම ඒ තාරකා එලි වර්තමානයට අසන්න වෙද්දී වඩාත් ප්‍රසාරණය වෙන ඉඩක ගිය බවක් නිරීක්ෂණය කරනවා. ඒ මත විශ්වය ප්‍රසාරණය වන බව අපි හිතනවා. ඔය නිර්ක්ෂණය විතරයි කතාවක් නොවන්නේ.