Tuesday, February 21, 2012

කූඩු

" රජයේ අඩුපාඩුවක් දැකලා කතා කරොත් UNP කාරයා කියාලා බණිනවා. රජයේ පැත්තට කතා කලොත් මහා රජාගේ එකෙක් කියලා බණිනවා. මෙහෙම වෙන්නේ ඇයි..?"

ඉහත දැක්වෙන්නේ සමන් වික්‍රමනායක කියා මහත්තයෙක් මුහුණු පොතේ අහපු ප්‍රශ්නයක්. ඇත්තටම මේක දැක්කම මට හිතුනේ ප්‍රශ්නේ මුල මීට වඩා ගැඹුරුයි කියා.

මිනිසුන්, විශේෂයෙන් අපේ රටේ මිනිසුන් ජීවත් වෙන්න ආසා කූඩු ඇතුලේ. කුඩා කාල වල ඉඳල ම විවිධ හැගීම වලට වහල් වෙලා අපි "අයිති වෙන තැන" තීරනය කරගෙන ඉන්නේ. ආගම ජනවර්ගය උපන් පළාත උප සංස්කෘතිය ආදී ලෙස තමන් විසින් තමන්ගේ කූඩු තීන්දු කරගන්නවා.

මේක තව ලෙවල් එකකට යන්නේ දේශපාලනය හා විද්‍යාව වගේ දේවල් ඔලුවට යන කොට. මාක්ස්වාදියා, ධනවාදියා, ලිබරල්වාදියා, දේශීය වාදියා, යනාදී දේශපාලන කූඩුත් ඉදි වෙනවා.

වෙන විදිහකට කිව්වොත් තමන්ගේ කූඩුවට වෙලා ඉන්න අපේ රටේ අය වැඩිපුර ආසයි. උදාහරණයකට මම ඉගෙන ගත්ත ඉස්කෝලෙන් එකට උසස් පෙළ කල සිසුන් අතරින් කටටියක්‌ එක විශ්ව විද්‍යාලයකටත් අනික් අය තවත් එකකටත් ගියා. ගිහින් වසරකට පසු නැවත හමු වුනාම පළමු විවී ගිය අය ප්‍රෝ රැගාලා. අනික් ඒකට ගිය අය ඇන්ටි රැගාල. මේ විවි දෙකේම රැගින් තිබ්බා. ඉතින් මේ ගැන හොයා බැලුවම, පළමු විවියේ අපේ පැත්තෙන් එන උන්ගේ ගැට්ට ප්‍රෝ රැග්. අනිකේ අපේ පැත්තේ උන් ඇන්ටි රැග්.

මීට අමතරව කැපුවත් කොළ/නිල්, රතු තොප්පි වගේ ඒවා සමහර විට පවුල් පරිසරයෙනුත් කාන්දු වෙනවා.

මම "අපේ රටේ" කියා කිව්වේ අපේ මිනිසුන්ගේ මේ ගති වැඩි නිසා. මට හමු වුන පිටරැටියන් ගත්තොත් උන් මෙච්චර කූඩු වලට දාන්න බැහැ. එක දෙයකදී එක කූඩුවක ඉන්න එකා තව එකකට තවත් එකක.

මෙහෙම කූඩුවක ඉඳගෙන හිතන කොට හරි ලෙහෙසියි. ආරක්ෂාව ලැබෙනවා. අනතුරක් වුනොත් කූඩුවේ අනිකුත් වැසියන් ඉන්නවා බේර ගන්න. ඒ නිසා මේක ලෙහෙසි වැඩක්.

එහෙත් මේක 100% අවංක වැඩක් නොවේ. තම හර්ද සාක්ෂියට එකඟ නොවෙන දේට පවා සහබාගි වෙන්න වෙනවා තමන්ට කූඩුව වෙනුවෙන්. මේ කූඩුවේ ඉන්න අනිකුත් අය රකින්න වෙනවා. හරි දේ වෙනුවට වෙන්නේ කූඩුවක් දිනීම. තමන් වැරදි දෙයක් දැක්කත් පෙන්නන්නේ නැතුව ඉන්නවා මොකද ඕක පෙන්නොවොත් අරුන් දිනලා අපේ කරෙත් නගින නිසා. දෙයක් කිව්වම කරුණු හොයන්නේ ඔප්පු කල යුත්ත සාක්කුවේ තියාගෙනයි. සංවාද වලට වඩා විවාද බහුල වන්නේ මේ හේතුව නිසාවෙන්.

දේශපාලන ලෝකයත් එහෙමයි. එක්කෝ ධනවාදය, නැතිනම් සමාජවාදය, නැතිනම් ජාතිකවාදය හෝ ලිබරල්වාදය දිනන තුරු රටකට යහපතක් වෙන්නේ නැහැ.
සැලසුම්  හැදෙන්න ඕනේ මේ ඔක්කොම එකතු කර සුදුසු තැනට සුදුසු සංකල්පය යොදාගනිමින්. අන්න එහෙම යන එක සැලසුමක්, එවැනි තවත් සැලසුමක් එක්ක කූඩු-වාදී නොවන පරිදි සංසන්දනය කර දෙන චන්ද වලින් රටේ අනාගතය තීන්දු වෙනවා නම් රටකට ලෙහෙසියෙන් දියුණු වෙන්න පුළුවන්.

ඒත් අපි කරන්නේ මෙන්න මේ කූඩුවට වෙලා, උගුරට හොරා බෙහෙත් කමින්, වරද පෙනී පෙනීත් නොපෙන්නා කූඩුවේ මායිම බේර ගන්න එක. කවුරුහරි මෙහෙම කූඩුවකට කොටු වෙලා නැතිනම් ඔහුව බලෙන්ම එකකට ගාල් කරන එක. තියෙන එකකට බැරිම නම් ඔහුට වෙනම කූඩුවක් හදලා දෙන එක.

යටින්ම බැලුවොත් මේක මතවාදී වහල් කමක ශේෂයක්.

9 comments:

  1. ඇයි ආගම්වාදය! අන්තර්ජාලේ හැම අස්සක් මුල්ලකම පැතිරිලා!

    ReplyDelete
  2. ඔව් ආගම අනිවාර්ය කේස් එකක්. අපේ ආගම උසස් කියන්න ආගමේම මූලධර්මත් කඩෙන තරම් අවලං විදිහට පෙනී ඉන්න එක.

    ReplyDelete
  3. හොඳ පෝස්ටුවක් සුජීව... අවාසනාවකට මාත් කූඩු කිහිපයකම ඉන්න එකෙක්.වැඩේ තියෙන්නේ අපි කූඩුවකින් එළීයට ගිහින් ඉන්න හැදුවත් අනිත් උන් බලන්නේ අපිව උන්ගේ කූඩුවකට දාගන්නනේ. එහෙමත නැතිව හිටියොත් හැම කූඩුවකම ඉන්න උන් අපිව පොදු සතුරෙක් හැටියට ගන්නවා.. ඉතිං වැඩි දුරට කෙරෙන්නේ හිතට තේරෙන තරමට අවම හානි තියෙන කූඩුවක් තෝරං ඒක ඇතුලට ගාල් වෙන එකයි... කොහොම කලත් වැඩේ වැරදියි..ඒත්..???

    ReplyDelete
  4. නියමයි සුජීව අයිය... මම හිතන්නෙ කූඩුවක් ඇතුලෙ ඉන්න ආසාව ඇතිවෙලා තියෙන්නෙ ඒ ඇතුලෙ ලැබෙන ආරක්ෂාව කියන දේ නිසයි කියල... ඒ වගේම තමන්ගෙ ප්‍රශ්නවලට විසඳුම් හොයන එකත් මේ කූඩු ඇතුලෙම කරගන්න මිනිස්සු කැමතී...

    ReplyDelete
  5. කූඩුවෙන් එලියට ආපුහාම අපි කූඩුවෙන් එලියට ආවා කියලා පිලිගන්න කැමතිත් නෑ... හොඳම උදාහරණයක් මම දෙන්නද?

    http://tikakhinawenna.blogspot.com/2012/02/blog-post_17.html
    මේ පෝස්ට් එකේ දුකා සහ ඉන්දික දාපු කමෙන්ට් එක බලන්නකො.... අපි හැමකාලෙකම එකම තැනක ඉන්න එක එච්චර හොඳ දෙයක් නෙවෙයි...

    ReplyDelete
  6. මට නම් හිතෙන්නේ කූඩු වෙලා ඉන්න එකේ නෙමෙයි අවුල තියෙන්නේ කුඩුව වෙනුවෙන් හැම දේටම කඩේ යන එක... කුඩුවේ වැරැද්ද දකින්න පුළුවන් නම් වැරැද්ද හදාගෙන ඉදිරියට යන්න පුළුවන් නම් කුඩුවත් ගොඩ.

    ReplyDelete
  7. අපි ඉන්න ගොඩක් කූඩු ගැන අපි දන්නෙත් නෑ. සමහර විට අපි කූඩුවක නෑ කියල හිතුණට ඇත්තටම ඒවයින් ගැලවෙන්නම බෑ. එකක් නැත්තං වෙන එකක්. ගුණේත් කිව්ව වගෙ කූඩුව වෙනුවෙන් වෙනත් සාමාජික වගකීම් සහ වඩා යහපත් දේවල් වලට පයින් ගහන එක තමයි අවුල.

    සමහර කූඩු නං මදර් බෝඩ් එකේ අලවපු පර්පථ වගේ... ගැලෙව්වොත් නවතින්නෙ මානසික රෝහලක!

    ReplyDelete
  8. ගහපු කූඩු වලින් පට්ටම කූඩුව තමයි කළගුණ සලකන කූඩුව. හැබැයි පොළියත් එක්ක රිටර්න් වෙනව දැන්.

    ReplyDelete
  9. අපි එකෙනිකා විසින් රටක්, සමාජයක්,ආගමක්, ජාතියක්,දේශපාලන දැක්මක් ආදී ලෙස සීමා පැනවීම් කර ගැනීමක් කර ගෙන තිබෙනවා.මේක ලෝකේ බොහෝ රට වල දකින්න තියෙනවා. සුජීව කියන විදියට අපි කූඩු තුල ජීවත් වෙන්න ගොයොත් සිතුම් පැතුම්, අරමුනු, ලෝක දැක්ම,ආදී සියල්ලක්ම ඒ සීමාවන් තුල හිර වෙනවා ඒ මත රදා පවතිනවා.නමුත් සීමා වලින් මිදී කූඩු වලින් එලියට ඇවිත් ලෝකය "විවුර්ත මනසනකින්" දැකිමට උත්සහ කල යුතුයි. ඇත්තටම ලංකාවේ විවුර්ත මනසකින් යුත් පිරිස ඉතා සුලු පිරිසක් වෙන්ට ඇති.

    ReplyDelete