Sunday, September 29, 2013

වාස්තවික යතාර්ථය 0 : වාස්තවික යතාර්ථය කියන්නෙම වාස්තවික දෙයක් නොවේ

වාස්තවික  යතාර්ථය  ගැන  සටහන්  පේලියක්  පටන්  ගත්තනේ.  බැලින්නම්  ඒ  එකකවත්  මම  ලියල  නෑ  වාස්තවික  යතාර්ථය  යනු   කුමක්ද  කියල.  මම හිතා  උන්නේ  ලිව්වා  කියල.  ඒත්  ලියල  නෑ.  එතකොට  මට  සිද්ද  වුනා  අතීතයට  ගිහින්  වාස්තවික  යතාර්ථය 0 සටහන  ලියන්න.  වැඩිය  කතා  නෑ. බේසික්  අර්ථ  දැක්වීම  තමා  ෆෝකස්  එක.

වාස්තවික  යතාර්ථය  කියල දාර්ශනිකයන්  කියන්නේ මිනිසාට   දැනෙන  දෙයින්  ඔබ්බට   යන  මිනිසාගෙන්  ස්වායත්ත  යතාර්ථයක්  පවතියි  කියල  ඒ කියන්නේ  ඔබ  අප  විඳින  ලෝකය  අපේ  මනස  තුල  නිර්මාණය  වන  දෙයක්  නොවේ.  එය  ඔයාකාරයෙන්  ම  පවතින්නක්.  අප  තනි   තනිව  හෝ  සමාජයක්  වශයෙන්  මේ  ගැන  නිර්මාණය  කරන  දැනුම  තමා  ඇත්තටම  තියෙන්නේ.  

අපි  මේක ප්‍රති උදාහරණයකින්  පැහැදිලි  කලොත්;  කම්පියුටර්  ගේම්  එකක  කැරැක්ටර්  එකක්  ගන්න  දැන්  මිනිහ  පොඩි වනාන්තරයක්  මැදින්  යනවා   ආයුධ  අරගෙන  මිනිහට  සතුරෝ   වෙඩි  තියනවා.  මිනිහගේ  විශ්වය  [එහෙම එක  ගතහොත්] තුල  මේ  සතුරෝ  වනාන්තරය  ආදිය  පවතිනවනේ.  හැබැයි  අපි  දන්නවා  ඒවා කම්පියුටර්  ග්‍රැෆික්  හෝ  ප්‍රෝග්‍රෑම්  එකකින්  ලියාපුවා.  අපේ  කතා  නායකයත්  එහෙමයි.  ඉතින්  ඒ  ගේම්  එකට  පරිබාහිරව   ඔවුන්ට  පැවැත්මක්  නෑ.  ඒ  ගේම්  එක  ඇතුලේ  විඳින  දේවල්  එයින්  පිටට  දැනෙන්නේ  නෑ.  දැන් ඔය  ගේම්  එකේ  කැරැක්ටර්  එක  අත්  විඳින [එයාට  අත්  විඳින්න  හැකි යයි  හිතුවොත්]  ඒ  ලෝකය  වාස්තවික යතාර්ථයක්  නොවේ.  එය  එයා  මවාගත්ත  එකක්.  හැබැයි   අපි  මේ  අත්  විඳින  ලෝකය  අපෙන්  ස්වායත්තව  එහෙම නොපවතින්නක්   නොවේ  මේ  ලෙසටම  පවතිනවා  කියල   තම  වාස්තවික  යතාර්ථ  සංකල්පයෙන්  කියවෙන්නේ.

ඕකෙන්  තරමක්  දුරට  යන  එම්මානුවෙල්  කාන්ට්   මේ  මතය   මොඩිෆයි   කරනවා  යථාර්ථයේ   කිසියම්  මූල  ස්වබාවයක්  වාස්තවිකව   පවතියි.  හැබැයි  අප  විඳින  ආකාරය  අපේ  පුද්ගලික  දැක්මකි  කියල. කෙසේ  හෝ  මේ  හැම  දෙයින්ම   කියන්නේ  අප  අත්  විඳින  ලෝකයේ  කිසියම්  වූ  ස්වරූපයක් අපෙන්  ස්වායත්තව පවතිනවා කියන  එක.

ඒක   එහෙම  නෙවිද?

ඒක  එහෙමද?

ඔය  ප්‍රශ්න  දෙකටම  උත්තර  දීගන්න  අමාරු  වෙන  ප්‍රධාන  ගැටලුව  වෙන්නේ තෙවෙනි ප්‍රශ්නයක්.

අපි  දන්නේ  කොහොමද?

ඔතනදි  මිනිසා මුහුණ   දෙන  සංකීර්ණ  ප්‍රශ්නය  නම්   මිනිස්  අත්දැකීමක්  නොවන  වෙනත්  ආකාරයක්  ගැන  මිනිසාට  කවදාවත්  ග්‍රහණය  කල  නොහැකි  වීම.  අපට  තාක්ෂණය  තිබ්බත්  ඒ  බොහෝ තාක්ෂණ  ක්‍රමවේද  අප  විසින්  විඳිනා  ලෝක  තත්වයන්  ගෙන් සැදුම්ලත්  ඒවා. තාක්ෂණය  අපට  අත්   විඳිය  හැකි  සීමා  ඉක්මවා  යනවා.  අන්වීක්ෂ   ලෝකය  ඈත දුර   ලෝකය  අපට  ග්‍රහණය  නොවෙන  නියුට්‍රිනෝ වගේ  දේවල්  මේ  දේවලින්  අපට  තාක්ෂණික   නිරීක්ෂණ  ගන්න  පුළුවන්  හැබැයි  ඒ  නිරීක්ෂණ  ගන්න  ක්‍රමවේද  අපේ   වින්දන  ක්‍රමවේද  වලම  දිගුවක්  පමණයි. ඒවායින්  කෙරෙන  නිරීක්ෂණ  වලින්  අප  විඳින  ලෝකය අපෙන්  ස්වායත්ත ලෙස   එලෙසින්  පවතියි  හෝ  නෑ  කියන්න  පදනමක්  එන්නේ  නෑ.  අපිට  අවශ්‍ය  එතැනදී  අපෙන් පිටස්තර  බුද්ධිමය  සංවේදනයක්.  එහෙම  එකක්  වෙලා  නෑ. 

සමහරවිට යතාර්ථය  අපෙන්  ස්වාය්ත්තවත්  මෙහෙමම  ඇති.  හැබැයි අනෙක්  අතට  අපිත්  වෙන  කවුරු  හරි  ලියපු  කම්පියුටර්  ගේම්  එකක  කැරැක්ටර්   වෙන්නත්  බැරි  නැහැ.  

මිනිසාට  මිනිසා  ඉක්මවා  යන  යතාර්ථය  ගැන  අවබෝධයක් නෑ. එහෙම  එකක්  තියෙනවා  හෝ  නෑ  කියල  නෙවි  කියන්නේ  එහෙම එකක්  තිබ්බත්  නැතත්  අපි  දන්නේ  නෑ.

ඔන්න  ඔය  හේතුව  නිසා   වාස්තවික  යතාර්ථය කියන  මාතෘකාවම  වාස්තවික  එකක්  නොවේ.  නිකම්  මවාගෙන  ඉන්න  දාර්ශනික  කතාවක්.  ඕක ගැන  විවිධ  මත  ලියන දාර්ශනිකයන්  කරන්නේ  තමන් මනුෂ්‍යයෙක්  ලෙස විඳින  දේ  ඊට  එහා  මවා   ගැනීමක්  කරා  දිගු  කිරීමක්  පමණයි.  

ඒ  උනාට  අපි  කොච්චර   දැකල  තියේද  වාස්තවිකව  යතාර්ථය පවතිනවා  කියල  හිතාගෙන  කරන කියන  දේවල්?  කොටිම්ම  විද්‍යාව  පවා  එහෙම කියනවා  නේද?  විද්‍යා නිබන්ධන  වල  යතාර්ථය  වාස්තවිකව  පවතියි  කියල  ඕනේ  තරම්  කියන්නේ.

ඇත්තම  කිව්වොත්,  යතාර්ථය වාස්තවිකව  පවතීද   නැතිනම්  අපිට  දැනෙන  කම්පියුටර්  ගේම්  එකක්  වගේ  දෙයක්ද  කියන  එක  අපිට  අදාලම  නෑ.  එය  අප  විශ්වය  ග්‍රහණය  කරන සියලු  ආකාරයන්  වලට  එහා  දෙයක්  නිසා  එය  කෙසේ  වුවත්  අපට  කිසිම  බලපෑමක්  වෙන්නේ  නෑ.  ඉතින්  මිනිස්සු  වාස්තවික  යතාර්ථය  කියල ඇත්තට  කියන්නේ  මෙන්න  මේ  අපිට  දැනෙන  යතාර්තයට.  ව්ද්‍යාව  සිය  මුළු  සංවාදයම  පවත්වා  ගන්නේ  අපිට  දැනෙන  මේ  රාමුව  තුල.  ඊට  එහායින්  අමුතු  බක්කක්  තියේද  නැද්ද  කියන  ප්‍රශ්නයට  විද්‍යාව  දෙන්නේ  හූ  කෙයාස්  කියන  පිළිතුර. ඕක  ගනිමු  ඊ  ගාව  කතාන්ගයට.

ඉතින්  ඔය  වාස්තවික  යතාර්ථය  කියන්නෙම  වාස්තවික  දෙයක්  නොවේ.  අපි  පවතිනවා   කියන්නේ  අපිට  දැනෙන  මානවීය  සීමා  තුල  ඇති  පැවතීමක්  පමණයි.





No comments:

Post a Comment