Saturday, May 5, 2018

ශිෂ්ටාචාරයේ අවසානය ගැන කල්පාවසාන සාදය තුල කෙරුණු සංවාදය

ඩග්ලස් ඇඩම්ස් ලියු හිච් හයිකර්ස් ගයිඩ් ටු ගැලැක්සි කියන සයිෆයි පොතේ මෙහෙම කොටසක් තියෙනවා.

On the planet Earth, man had always assumed that he was more intelligent than dolphins because he had achieved so much—the wheel, New York, wars and so on—whilst all the dolphins had ever done was muck about in the water having a good time. But conversely, the dolphins had always believed that they were far more intelligent than man—for precisely the same reasons.

මිනිස්සු ශිෂ්ටාචාරයක් හදාපු එක මී මැස්සා මී වදය හදන එකෙන් ආක්රුතිකව වෙනස් වෙන්නේ නෑ. හැබැයි ඒ දෙන්න යන දුර නම් වෙනස් වෙනවා. ඒත් මිනිස් ශිෂ්ටාචාරය ඒ දුර යන්න යන්න එය බිහිකළ යුගයේ සාමාන්‍ය තත්වය මත රඳා පවතින්න ගන්නවා. ඒ වගේම එහි ප්‍රජාවට එය නැතුව පැවැත්මක් නැති වෙනවා. මේ නිසාම මට හිතෙන්නේ ශිෂ්ටාචාරය වගේම මිනිසාත් අඩුම කාලයක් පැවතුනු ප්‍රජාවක් වේවි. ලෝකයේ වසර මිලියන ගණන් කාල වල සිද්ධ වෙන වෙනස් වීම එක්ක අනුගත වෙන්න මේ ෆරජයිල් ශිෂ්ටාචාරයට ලෙහෙසි වන්නේ නෑ.

ඔය ඩග්ලස් ඇඩම්ස් කියන කතාව ප්‍රබන්ධයේ උපහාසාත්මක ප්‍රහසනයක් වුනාට අපිට ඒ කෝණයෙන් සීරියස් බලන්න පුළුවන්. අපි හදාගත්ත සිස්ටම් එක අපිව ස්වභාවයෙන් වෙන් කර සිස්ටම් එකේම යැපෙන්නෙක් කරලා. ඒත් ඒ සමගම ඒ සිස්ටම් එක ලෝක තත්වයේ වෙනස් වීම එක්ක කොහෙත්ම පවතින්න බැරි ගානට සංකීර්ණ වෙලා.

එන්ඩ් රිසල්ට් එක සරළයි. මිනිස්සු ඉන්නේ නෑ ඔය ඩයිනොසර හෝ වෙනත් සත්ව ප්‍රජා තරම් කල්. මේ සිස්ටම් එක කැඩුණු දාට මිනිසුන්ගේ පැවැත්ම එකවරම ප්‍රශ්නයට නැගෙන නිසා.

මේ කතාව ඇදිලා එන්නේ තාරක එරන්ද කල්දේරා ලියු කල්පාවසාන සාදය කියන සයිෆයි/ෆැන්ටසි පොත ට සමගාමිව ඔහු මා එක්ක කල සංවාදයක් නිසා. ඉස්සරින්ම මම මෙතන දානවා පොඩි දැන්වීමක්.

ඒ තමා තාරකගේ ඊ ගාව සයිෆයි/ෆැන්ටසි පොත මේ වෙද්දී ඔහු ලියන බව. එහි නම ඉයුලෝසියා: අර්ධ දේව සංග්‍රාමය. මේ එයින්  තෝරාගත්  කිසිම  ඕඩර්  එකක්  නැති  රැන්ඩම් වගන්ති කීපයක්.

කිසිදු ශාකයක් නොවැඩෙන පස් බිඳකුදු නැති කඳු මුදුනේ දේවාලය තුල පමණක් කුඩා කුඩා ශාක වර්ධනය වේ. වසර පුරා ම තෙතබර සුළඟ වැදී බිත්ති පුරා වෑස්සෙන දිය සීරා දිගේ ඇල්ගී ද සුදු පැහැ කුඩා බිම්මල් ද නැග ගියෝ ය. මිය ගිය පසු තමන් තමන්ට ම පස් වෙමින් සියවස් ගණනාවක් තිස්සේ ඉතා සූක්ෂම කුඩා ජෛවගෝලයක් එහි පවත්වා ගත්තේ ය. අධික සුළඟ නොසලකා දේවාලයේ පාෂාණ උළු අතර මුල් අල්වාගත් උඩවැඩියා විශේෂයක් වැවේ. වසන්ත සෘතුව ඇරඹෙත් ම ඒවා තද රතු පාට සිහින් දිගු සුළඟේ නටන පෙති සහිත මලින් පූදින අතර පහල නිම්න බිමට දේවාලය ගිනි ගෙන දැවෙන සේ පෙනේ. විග්‍රාණ්ඩ සිතුවේ එය හුදු අහම්බයක් වන්නට ඇති බවය. පක්ෂියෙකුගේ වසුරු හෙලීමකින් සියල්ල ඇරඹුණාවන්නට පිළිවන. එහෙත් සියල්ල සැලසුම්කර තිබුණා වන්නට ද හැකි ය.

දෙදෙනා අබිලි කන්දක් නැග මුදුනේ නතර වූහ. චන්ද්‍රයාගේ අඩක් පිරී ඇත. ඔරායන්ගේ උරහිසේ වල්ගාතරුව ය. බැකී දිගෑ දී සිය ටයරයක කැපුමක සිරවූ ඇණයක් ගලවමින් සිටියා ය. මකුළුවා කල්පනා කලේ ය. සෑහෙන්න කල්පනා කලේ ය. අනාගතය අනපේක්ෂිත ය. ඔහු බිය වූයේ ය. එසේ ම සතුටු වූයේ ය. යමක් සිදුවෙමින් පවතියි.

'රතු තරුව අදත් පායලා. ගොඩක් ලොකුයි. කෑලි කෑලි කැඩිල විසි වෙනව' යක්ෂ ගෝත්‍රිකාව ඇගේ ගෝත්‍රික ඒකාග්‍රතාවයක නතර වී සිටිනවා විය හැකි ය. 'ලේ ඉහෙනව හැම තැන ම. හැම තැන ම. ඇත්තම ලේ. රතු වයින් නෙවෙයි' මේඝා පරිස්සමෙන් අත ගෙන අධිරාජ්‍යයාගේ ඇඟිලි පහරින් රතු වී ඉදිමුණු දේවිගේ ගෙල දක්වා පොරෝණාව ඇද රතී වෙත ගියා ය. 'මෙහෙ දීපන් කකුල' ඈ රතීගේ මනෝ විකාර කියවීමට බාධා කලා ය. තෙල් බිංදු කිහිපයක් කකුල දිගේ හැලූ ඈ රතීගේ කකුල රෙදි පටකින් වෙලුවා ය. පාන්දර ජාමයයි. තරු වියැකෙන්නට පටන්ගෙන ඇත. එහෙත් මේඝා දුටුවා ය, රතු වල්ගාතරුව ඔරායන්ගේ උරහිස වසාගන්නට තරම් දීප්තියෙන් පුපුරු ගසමින් තිබුණු බව, ලෝකය වෙනස් වෙමින් පවතියි, කිසිදිනෙක නොවූ විරූ අන්දමට.


කෙසේ වෙතත් මෙතනින් පහල කතාව තාරක මා එක්ක කල සංවාදයක්. මේක ඔහුගේ පළමු පොතේ ප්‍රචාරණ වැඩසටහනේ කොටසක්.

අපේ අරමුණ පූර්විකාවේ කතාකළ ශිෂ්ටාචාරයේ දුබලකම ගැන කතා කරන්නට.

ඔහු: මුල්ම ප්‍රශ්නෙ ඇත්තට ම ප්‍රශ්නෙ පැහැදිලි කර ගැනීමක්. අපි හැමදාම කතා කරනවා ලෝක විනාශයක්, ශිෂ්ටාචාරයේ අවසානයක් ගැන. ඇත්තට ම මේ අවසානය නිර්වචනය කරන්නෙ කොහොමද ?

මම: අවසානය ගැන දෙන්න තියෙන නිර්වචනය අනුව තමා එක තීන්දුවෙන්නේ. ඇත්තෙම්ම අවසානයක් කියල එකක් අපට ග්‍රහණය වන විශ්වයේ නෑ. හැබැයි සමහර දේවල් කෙතරම් ලොකු බලපෑමක් කරනවද කිව්වොත් ඒවා "අවසානයක්" තමා

ඔහු: සිත් ඇදගන්නාසුළු උත්තරයක්. අවසානය යනු මූලික නිර්වචනයක් දෙන්න බැරි සංකීර්ණ සංකල්පයක් බව වෙන්න ඕන ඔබ අදහස් කරන්නෙ. අපි මේ ගැන කතා කරනවනම් එම සංකීර්ණ සංකල්පය අපි කැටගරිගත කර ගන්නේ කොහොම ද? උදාහරණයක් විදියට විද්‍යාත්මක, ආගමික ආදී පැති විශාල සංඛ්‍යාවකින් මේ දිහා බලන්න පුළුවන්.

මම: මෙහෙමයි, ශිෂ්ටාචාරයේ අවසානය ගැන නිර්වචනය කරගන්න ශිෂ්ටාචාරය කියන්නේ මොකද්ද කියලවත් නිර්වචනය කරගන්න බෑනේ. ශිෂ්ටාචාරේ හැදෙන්නේ තට්ටු ගානකින්, ගල් යුගයේත් ශිෂ්ටාචාරගතවෙන ලක්ෂණ මොනවා හෝ පෙන්නලා තියෙනවා. ඉතින් විනාශයකදී අපි තට්ටු කීපයක් පහලට වැටෙයි. එතකොට ඒක අවසානයක් කියල හිතෙන තරම්ම වැටීමක් වුනත් වෙන්න පුළුවන්.

සෑම අවසානයක්ම අලුත් දෙයකට ආරම්බයක් වෙයි. ඒක මේකට වඩා ඇඩ්වාන්ස් ද නැද්ද කියන්න බෑ.

අවු 12000 ක් අපි මාර විදිහට ලක් එකෙන් දුවල තියෙනවා. විශ්වයේ වෙනත් ශිෂ්ටාචාර තිබ්බනම් මෙච්චර ලකී නැතුව වෙන්න පුළුවන්

ආගම් කියන්නේ මේ කතිකාවේ කතන්දර වර්ගයක්. ඒ කතන්දර වෙන කතන්දර වලට වඩා බොහෝ දුරක් කාලය දිගේ ගිහින් නොවෙනස් ලෙස. ඉතින් අද වෙද්දී ඒවා අස්සේ තියෙන විස්තර ඒ හැටි අදාළ නෑ. හැබැයි ආගම් වල එන ලෝක විනාශ කතා ඒ යුගවල තිබ්බ "ශිෂ්ටාචාර" වලට ඇත්තෙම්ම මුහුණ දෙන්න වුන එව්වා වෙන්න ඇති [උදාහරණ දෙන්න පුළුවන්]. ඒවා ඉතිහාසේ අබ ගම්මිරිස් එක්ක අපි ට ලැබෙනවා. ඒ කතා කියවල මුන්ට පිස්සු කියල හිතෙන්න පුළුවන් හැබැයි ඒ තමා මේ මාතෘකාවට ආසන්නම මිනිස් අත්දැකීම්

අපි විද්‍යාව ට පස්සේ එමු

ඔහු: ඉතිහාසය සහ ආගම් තුළ තුල මෙම විනාශය සංකල්පගත වීම ඒ කියන්නෙ ඒ යුගයන්ගේ සමාජ දේශපාලනය ඔස්සේ ම නිර්මාණයන්. හොඳයි. ඒක වෙනම සංකීර්ණ මාතෘකාවක් නිසා අපි ඒක වෙනත් සංවාදයක් විවර වුණු මාර්ගයක් ලෙස සලකල අනාගතය දෙසට හැරෙමු. අද ජීවත් වෙන අපට ශිෂ්ටාචාරයේ අවසානය ගැන ඇති මතිමතාන්තර මොනවා ද?

මම: ආයිමත් මේක තට්ටු ගානක බිල්ඩිමක් නිසා තට්ටු අනුව සලකන්න වෙනවා.ඉස්සරින්ම වෙන පැත්තක් ගන්නම් ඒ තමා ආර්ථික.

අද අපි ජීවත් වෙන ස්පෙකියුලේටිව් ආර්ථික මොඩලය හරිම දුර්වලයි. ආයෝජන කියන්නේ හොඳටම ලජ්ජාශීලී කෙල්ලෙක්ගෙන් කැමැත්ත ගන්නවා වගේ අමාරු දෙයක්. පොඩි දෙයක් එහෙමෙහෙ උනොත් එයා බෑ කියන්න පුළුවන්. එහෙම ආර්ථිකයක ඉන්න අපිට පොඩි දෙයක් එහෙ මෙහෙ වෙලා අපේ ආර්ථික මොඩලය කඩා වැටෙන්න පුළුවන්.

පුංචි මට්ටමක උදාහරණයක් ලෙස සුළි සුළං තත්වයක්. වසර කීපෙකට පෙර පිලිපීනය හරහා ගිය සුළි සුළඟ නිසා උන්ගේ සැපයුම් තත්වය වැටුණා. නැවත බාහිරයෙන් ඇවිත් හදනකම් සති කීපයක් උන් ජීවත් වුනේ ප්‍රාථමික ලෙස.

මේ වගේ දෙයක් ලෝකෙටම උනොත් ලෝකේ ආයිත් කොහොම කවදා නැගිටියිද? පුංචිම එකක්. විශාල සූර්ය සුළඟක්  [ආරෝපිත අංශු විශාල ප්‍රමාණයක් පොලොව වගේ කීප ගුණයක්, සූර්යයා ගෙන් එලියට විසිවෙනවා නිකම් තෙල් තාච්චියට වතුර වැටුණා වගේ] - එහෙම එව්වා නිතර වෙනවා - එකක් අපිට කෙලින්ම වැදුනොත් වැදිලා අපේ සිස්ටම් එහෙම පිටින් වැටුනොත් ආයේ මේ ආර්ථික ශිෂ්ටාචාර තට්ටුව පන ගන්න ලෙහෙසි නෑ

ඒක ඉක්මවා යන එකක්. ඇමරිකාවේ යෙලෝස්ටෝන් සුපිරි යමහල විදාරණය උනොත් [වසර ලක්ෂ හතක පමණ සයිකල් එකක්, අන්තිම එක වෙලා තියෙන්නේ ලක්ෂ හතකට පෙර]

ඔහු: 1989 සිදු වූ මෙවන් සූර්යය කුණාටු තත්ත්වයක් පෘථිවියට බලපෑ බවට සඳහන් වෙනවා. මේ උදාහරණය මත සිට ප්‍රශ්න දෙකක් ඇසුවහොත්, මෙවැන්නකින් සිදුවිය හැකි විශාලතම පරිමාණයේ විනාශය කුමක් විය හැකි ද ? අනෙක් අතට මිනිස් ක්‍රියාකාරකම් පරිසර දූෂණය වැනි දේ මේ උදාහරණයට බලපාන්නේ කෙසේ ද ?

මම: මීට කලින් මෑත කාලේ වෙච්ච එව්වා නිසා මාකට් එහෙම වැටුනට පවර් සිස්ටම් ෆේල් උනාට රනින් රෙපෙයා කරලා ගොඩ දාගන්න පුළුවන් ඒවා. හැබැයි අපි මෑත කාලේ හොඳ එකකට මුහුණ දී නැහැ. 1859 ආපු එකක් තියෙනවා. දැන් ආවොත් බොහෝ විට අපේ පණිවුඩ හුවමාරු සහ බලශක්ති [විදුලි] පද්ධති ඔක්කොම වගේ වැටෙන්න ප්‍රමාණවත් කියල හිතනවා. ඒ වගේ උනොත්, ලෝකෙන් 90% කට විදුලිය නෑ ලෝකෙන් 90% ක් පණිවුඩ හුවමාරු ක්‍රම නෑ . මොකක් වෙයිද? මතක තියාගන්න අපේ සල්ලි පවා තියෙන්නේ සිස්ටම් එකේ. භෞතික ලෙස පවතින දේවල් පමණක් ඉතුරු වුනොත්, නීතිය සාමය පවා රකින්න ලෙහෙසි නෑ.සූර්ය සුළං කියන්නේ නිතර වෙන එකක්. ඔය ගානේ එකක් ඕනෙම මොහොතක වෙන්න පුළුවන්. මම පුංචිම එක දුන්නේ ලොකුම එව්වා ගොඩක් ඉතුරු කරලා

"මෙවැන්නකින්" කියල ඔබ කිව්වම සූර්ය සුළං නම් තියෙන සුලබ සහ කුඩාම දෙයක්, මිනිසුන් විසින් කරගන්නා වෙනස්කම් කියන්නේ තවත් එක මාතෘකාවක් මොකද වටේට කැරකෙන දාහක් මරුන් අතරේ අපි මේක තවත් ජීවත් වෙන්න බැරි කරගන්නවා. ඒ නිසා ස්වාභාවික උපද්‍රව [කොහොමත් වෙන එව්වා] සහ මානව ක්‍රියා වලින් වෙන ගැටළු [සස්ටෙනබිලිටි කියමු] වෙන වෙනම කතා කරන්න ඕනේ

ඔහු: අපි මානව ක්‍රියාවලින් සිදුවන මෙවන් හානියක් ගැන සඳහන් කලොත් ?

මම: මානව ක්‍රියාවලින් ලෝකය විනාශ වෙනවා කියන එක පොඩ්ඩක් විතර වැරදි කතාවක්. පළමුව මානවයා කියන්නේ ලෝකේ කෑල්ලක්, දෙවනුව අපි විනාශය කියන්නේ වෙනස්වීමට. එහෙත් දේවල් දෙකක් ෂුවර්, මානවයා විසින් නිර්මාණය කරගන්න තත්ත්ව තුල මානවයාට මේ ආකාරයට පවතින්න අමාරු මානව ශිෂ්ටාචාරය කඩා වැටෙන වෙනසක් කරගන්න පුළුවන්. සැහෙන චාන්ස් එකක් තියෙනවා. දෙවැන්න මානව ක්‍රියා නිසා ඇතිවන වෙනස්කම් වලින් අනෙකුත් ජීව විශේෂ වඳවී යන වේගය ඉස්සර කාලේ ක්ෂණික හිම යුග, අස්ටරෝයිඩ පොළොවේ වැදීම ගැමා කිරණ පිපිරුම් වගේ සිද්ධි වල වෙච්ච ජීව විනාශය වගේමයි. ඊටත් වඩා වේගවත්, මහා ජීව විනාශ කියන එව්වා සිද්ද වෙන් අවු දස දහස් ගානක් ගිහින් තියෙනවා. ඒත් මානවයා පහුගිය සියවස් ගානේ කල වෙනස ඊට වඩා වේගවත් ජීව විනාශයක්.

ඒ නිසා මානව ශිෂ්ටාචාරය තමන්ගේ අවසානයක් වගේම මහා ජීව විනාශයක් කරගන්න තියෙන ඉඩ වැඩියි. මානවයා හෝ ජීවය අහවර වෙන්නේ නෑ. වසර මිලියන ගානකින් වෙනස් ස්වරූපයකින් ආයේ එයි. සමහර විට මානවයා හඳුනා ගන්න බැරිවෙයි.

අපිට දැනෙන ලෙස ඒ සිදුවීම "ලෝක විනාශයක්"

ඔහු: ඔබ මේ කියන්නෙ Holocene extinction හෙවත් 6 වන මහා ජෛව විනාශය Sixth Extinction ගැන. ඒ වගේ ම මෙතැන ඉතාම අපූරු අදහසක් තිබුණා, ඒ තමා මානවයාගේ ජීවය අවසන් වෙන්නෙ නෑ සමහර විට සම්පූර්ණයෙන් ම වෙනස් ස්වරූපයෙන් ආපසු එයි, එයත් ලෝක විනාශයක් බව. හොලිවුඩයේ අප දකින AI එකක් හෝ රොබෝවරු ලෝකය පාලනය කරන යුගය පිළිබඳ අපේ ෆැන්ටසියට මේක අපූර්ව ආලෝකයක්. ඒ කියන්නේ ඒ ලෝකයේ ඇත්තේ ස්වරූපය වෙනස් කල මනුෂ්‍ය ස්වභාවයක් පමණක් බව. දැන් අපිට පුළුවන් වේවි ද ස්වභාවික විපත්, පොළවේ මධ්‍යයේ සිට අභ්‍යවකාශය දක්වා, කෙටි ලැයිස්තුවකට ගන්න ?


මම: මම මේ ගැන විෂය විද්වතෙක් නොවේ කියල කියන්නම ඕනේ. මගේ මතකයෙන් වෙච්ච හෝ වෙන්න පුලුවන් ස්වාභාවික දේවල් [මිනිසා ගේ බලපෑම නැති] ලිව්වොත්;

ආයිත් කඩනවා අහඹු [සුඩෝ රන්ඩම් කියමු] සහ නියත ලෙස.

මේ අහඹු

1. සුපිරි යමහල් විදාරණ - සයිබීරියා තැන්න ඩෙකාන් සානුව වගේ එව්වා හැදිලා තියෙන්නේ වසර දහස් ගානක් දිගට වෙච්ච දැවැන්ත යමහල් විදාරණ වලින්, ඒවා චක්‍රීය දේවල්. එයින් එකක් වුනොත්

2. ඇස්ටරොයිඩ. සූර්ය ග්‍රහ මණ්ඩලේ කියන්නේ ගල් කන්දක් නම් අපි ඉන්නේ ගල් කඩා වැටෙන බෑවුමේ. නිතර ගල් වැටෙනවා අපේ ලඟින් යනවා ඉස්සර වැටිලා අපේ විශ්ව ගමානේ චප්ප වෙලා තියෙනවා [මානවයා කියන්නේ එහෙම වැනසුණු වෙනත් ජීවීන්ගේ තැනක කෙටි කාලෙක බලය ගත්ත එකෙක්] ඉතින් ඉ=කියන්න ඕනේ නෑනේ මේ පොසිබිලිටිය. ඇස්ටරොයිඩ සයිස් එක අනුව ඕනේ දෙයක් වෙන්න පුළුවන්.

3. ගැමා කියන පිපිරුම් : මේවා අධික විකිරණ ප්‍රමාණයක් ඉතා පටු කදම්බ ලෙස මුදා හැරෙන අවස්තා. වාසනාව නම් පොලොවට ආසන්නයේ දැනට දන්නා දැනුමෙන් මේවා වෙන් තියෙන ඉඩ අඩුයි. හැබැයි ඉස්සර වෙච්ච අවස්ථා ගැන සාධක හමුවෙනවා. අපි මේ ගැන දන්නා තරම ඉතා අඩුයි.

මේ නියත.

4 . පොළොවේ ඇතිවුණු භූගෝලීය වෙනසක් නිසා පහුගිය වසර මිලියන 3-4 අතරේ ලෝකය පවතින්නේ "හිම යුගයක" [අර්ථ දැක්වීම - කොහේ හෝ ග්ලැසියර පවතිනවා අඩු වැඩියෙන් ] දැන් ග්ලැසියර හැදෙන එක සයිකල් එකක්. සාමාන්‍යයෙන් දීර්ඝ කාලෙකට [අවු 20000+] විශාල ලෙස ග්ලැසියර් සහ කෙටි කාලෙකට අඩු ග්ලැසියර්.[අවු 10000 වගේ]. මානවය මේ ශිෂ්ටාචාරේ හදන්නේ අන්න ඒ කෙටි උණුසුම් කාලයක් වන අවු 10000 ක විතර. පැටර්න් එක අනුව නම් ආයිත් අර වගේ අධික ග්ලැසියර් තත්වයක් එන්න ඕනේ. පොදු සමාජය හිම යුග කියන්නේ එව්වට.

5. සුර්යයා ගේ වෙනස්කම්. මම කියන්නේ තනිකර වසර බිලයන ගානකදී වෙන එව්වා නොවේ කෙටි කාලවල පවා සූර්යයා ගේ චක්‍ර අනුව වෙනස්කම් වෙන්න පුළුවන්. සූර්යයා ශක්තියෙන් 10% ක් අඩු කලොත් ජීවය අසරණ වෙනවා.

තව තියෙන්න පුළුවන්

ඔහු: භයානක බෝවන රෝග වගේ දේවල් අපට අහඹු විනාශයන් ලෙස ගත හැකියි නේ ද ? ඊට අමතරව අප දැන් සිටම දන්නා ඉතා ඈත අනාගතය පිළිබඳ නියත සිදුවීම් කිහිපයකුත් තියෙනවා නේ ද ? පෘථිවියේ ඔක්සිජන් අවසන් වීම, වසර බිලියන ගණනකින් පසු සිදුවන සූර්යයාගේ විනාශය වගේ දේවල් අපිට ගන්න පුළුවන් නේ ද ? ඊළඟට අපි ගමු ද මේ වගේ ම මානව ක්‍රියාකාරකම් මගින් සිදුවිය හැකි විනාශයන්ගේ ලිස්ට් එකකුත් ?

මම: [[භයානක බෝවන රෝග වගේ දේවල් අපට අහඹු විනාශයන් ලෙස ගත හැකියි නේ ද ?]]

ඔව් මේක මට මිස් වෙච්ච එකක්, මේක ජීව විනාශයක් ම නොවේ මානව ශිෂ්ටාචාරය විනාශ වීමක්.

[[පෘථිවියේ ඔක්සිජන් අවසන් වීම, වසර බිලියන ගණනකින් පසු සිදුවන සූර්යයාගේ විනාශය වගේ දේවල් අපිට ගන්න පුළුවන් නේ ද ?]]

මේවා අපි කතාකරන ස්කෝප් එකට එන්නේ නෑ කියා හිතෙනවා. ඒ කිව්වේ මානවයා හෝ ජීවයේ මේ අවධියට මේ දේවල් හෙණම දුරයි. සදාකාලික ලොකු පොර වගේ උන්නට මානවයා කවදාවත් සූර්යයාගේ ෆෙයාවෙල් හැන්දෑව දකින එකක් නෑ. මානවයා ඒ වෙද්දී කොහොම ඉන්නවද කියන එක අනාගතේ නෙවි එදා ඉන්න අතීතේ විශ්ලේෂණය කරන එකෙකුටවත් තේරෙන එකක් නෑ.

මිනිස් ක්‍රියාකාරකම් පටන් ගම්මු මෙහෙම. මේ ශිෂ්ටාචාරය මෙහෙම අහිංසකව ඉස්සරහට ගියත් එයම විනාශයක්. එනම් අපි මේ ඉන්න ආකාරෙටම සස්ටෙනබල් නෑ. අපේ ජනගහනය දිගටම වැඩි වෙද්දී අපේ සම්පත් සීමිතයි. එතනම අපිට සදාකාලික හෝ දීර්ඝ කාලින පැවැත්මක් නෑ.


ඒ මදිවට අපි කල විද්‍යා තාක්ෂණ කාර්මික ආර්ථික සහ යුදමය කටයුතු වලින් අපි අප ජීවත්වන ඊකෝ සිස්ටම් එකට බලපෑම් කරනවා. ඕකේ බලපෑම් ගැන ඇතිවෙන්න කතාවෙන නිසා මම ලියන්නේ නෑ. හැබැයි ඒ කතිකාව [අස්සේ විවිධ අතිශයෝක්ති තිබ්බට] අනුව අපි අනිවාර්යයෙන් මේ සිස්ටම් එක පවත්වාගන්න අමාරු තැනට ගේනවා. ග්‍රීන් හවුස් ඉෆෙක්ට්, ග්ලෝබල්  වෝමින්, ක්ලයිමට් චේන්ජ්, පරිසර දූෂණය, ආදිය එහි අතුරු කතා.

අපි අපේ ජනගහන වර්ධනය නැති කරලා [මැරෙන ගානට උපද්ද ගෙන] අපේ ක්‍රියාවලින් වෙන වෙනස [බලපෑම නෙවි එහි කල්පවතින ශේෂය] බින්දුව නොකලොත් තව සහශ්‍රයක් යද්දී අපිට විසඳුම් නැති වෙනවා.

එක්කෝ අපේ තාක්ෂණය ඊට උත්තර දෙන්න ඕනේ නොවේනම් අපි බිඳ වැටිලා කාකොටා ගෙන ස්වාභාවිකව ගහන පාලනය කරගන්නවා

ඔබ කැමැත්තෙන් කතාකළ ලෝක යුද්ද කියන්නේ ඒ ගහන පාලනයේ එක විදියක්. ලෝක යුද්ද නොවන දීර්ඝ කාලින මරාගනීම් වෙන්නත් බැරි නෑ. ත්‍රස්තවාදී අර්බුදේ උනත් පුංචියට එහෙම එකක්

ඔහු: අපි මුලින් ම ශිෂ්ටාචාරය මේ විදියට අහිංසකව ඉදිරියට යන සිනාරියෝව ගමු. ජනගහණ ප්‍රශ්නයට විසඳුමක් නැත්නම් සිදුවිය හැකි දේශපාලන සහ සමාජයීය පලවිපාක මොනවා ද ? ජනගහණය පාලනය කිරීම පමණක් ද මීට ඇති විසඳුම? නව නගර සංකල්ප, මුහුද ජනාවාස සඳහා යොදාගැනීම, පොළවෙන් පරිබාහිරට යෑම ආදී විසදුම් ගැන කිවහැක්කේ කුමක් ද ?

මම: විසඳුම් ගොඩයි. අපිට පුළුවන් ඉහලට යන්න [බිල්ඩින්] පහලටයන්න [පොලොව යට මුහුදු පතුල ], එතකොට කම්පැක්ට් වෙන්න.

තව ටිකක් එහාට ගිහින් කක්ෂගත ජනපද හදන්න හෝ වෙනත් ග්‍රහලෝක ටෙරා ෆෝම් කරන්න.

මේ දේවල් වලට වැදගත් කාරණා කීපයක් එනවා.

1. තාක්ෂණ ශක්‍යතාවය
2. ආර්ථික ශක්‍යතාවය [හැදුවත් එෆර්ඩ් කරන්න බැරිනම් පලක් නෑ]
3. සමාජීය සංස්කෘතික හා මනෝවිද්‍යාත්මක පැත්ත. ඒ කිව්වේ මිනිස්සු ඔව්ව වේගයෙන් හැදුවට මිනිස් මනස ඒ ප්‍රෙෂර් එක දරාගන්න ලෑස්තිද?

හැබැයි ඔය කාරණා විඳ ගත්ත කියමුකෝ. දැන් මේ දේවල් කරන්න ලොකු කාල ගතවෙනවා. ඒ කාලෙට වඩා ජනගහනය ඩබල් වෙන්න යන කාලේ අඩුයි.

මේක නිකම් ලංකාවේ පාරවල් පළල කරන සිද්ධිය වගේ. අපි දැන් තියෙන ට්‍රැෆික් එක දරාගන්න පාර පළල කරන්න ගල් දාල මාක් කරනවා. ප්‍රතිපාදන හදාගෙන පාර හදල ඉවර වෙද්දී ට්‍රැෆික් එක ඩබල් ට්‍රිපල්.

ඒ නිසා මම ඔය තාක්ෂණික උත්තර ගැන ස්කෙප්ටිකල්

ඔහු: ඉතා පැහැදිලියි. අහිංසක නැති ශිෂ්ටාචාරය ගැන දැන් කතා කරමු. න්‍යෂ්ඨික ව්‍යසන, ලෝක යුද්ධ ගැන අපිට බයක් තියෙනවා. මෙහි තාක්ෂණික සහ දේශපාලනික පැතිකඩ කතා කලොත් ?

මම: සිම්පල් එව්වා ගම්මුකො. කාබන් විමෝචන, ග්‍රීන් හවුස් ඉෆෙක්ට්, ක්ලයිමට් චේන්ජ් එතකොට පරිසර දූෂණ ආදිය. එව්වා අපේ සමාජේ ඉන්න නරක හෝ ධනේශ්වර හෝ මුදල් ලෝභී කාලකන්නි කීපයක් බලෙන්ම කරපු නොහොබිනා වැඩ කියල කට්ටිය අත හොදා ගත්තට අපි මේ කොටන කොම්පියුටරේ ඉඳල ඒ සිස්ටම් එකේ කොටස්. මේ විනාශය කලේ අපි. අපි ඔක්කොම. අපිට චොයිස් එකක් තිබ්බෙත් නෑ තමා. හැබැයි අපිම තමා කලේ.

ඒ නිසා අපිට නැතුව බැරි තාක්ෂණික, ආර්ථික සමාජීය ප්‍රසාරණය ම එක විනාශකාරී සිද්දියක්.

යුද්ද හා මිනිසා කරන සමූලඝාතන නම් සාමාන්‍ය දෙයක්. මිනිස්සුන්ගේ හැටි. මිනිස්සුන්ගේ ශිෂ්ටාචාරේ තියෙන අවංකම දෙයක්. මොකද ඉතිරි හොඳ මූණ බොරුවට නේ දාන්නේ.

වැඩේ තියෙන්නේ මේ වගේ එකෙකුට න්‍යෂ්ටික වගේ බලයක් යාම.

මට හිතෙන්නේ මිනිසාගේ තාක්ෂණික දියුණුව පිටස්තර ජීවියෙක් ග්‍රේඩ් කලොත්, කාර් එකේ සිට ස්මාට් ෆෝන් එක දක්වා ඔක්ක්කොම ග්‍රේඩ් පහ හය වෙලා න්‍යෂ්ටික බලය ග්‍රේඩ් වන් වේවි. න්‍යෂ්ටික බලය එතරම් සුවිසල් එකක්. එතරම් විශ්වයේ ඇතුළු ස්තරයට කාවදින්න මිනිසා සමත් වෙච්ච මොහොතක්. අපේ ඔක්කොම දේවල් සපයපු සූර්යයාගෙන් මිනිසා නිදහස් වුන එකම මොහොත.

මේ සා ලොකු එකක් දරන්න මිනිසා මානසිකව ගති පැවතුම් වලින් සුදුසු ද? අපි ග්‍රේඩ් වන් තාක්ෂණයක් දරන්න ග්‍රේඩ් වන් ජීව ප්‍රජාවක් වෙලාද? මේක පොඩි ළමයට ලැබුණු පිස්තෝලයක් ද? ජීව උණ්ඩ ලෝඩ කරගෙන ඉන්නේ

ඉරාකයේ තිබ්බ කියා බොරු කිව්ව, ඉරානේ හදන්න ඉඩ තියෙන උතුරු කොරියාවේ තියෙන එව්වා විතරක් නෙවි රුසියාවේ ඊශ්රායාලේ ඇමරිකාවේ තියෙන එව්වත් අපිට දරාගන්න හැකිද?

ඔහු: මුළු ලෝකයක් විනාශ කරන්න පුළුවන් න්‍යෂ්ඨික අවියක් දැනට අප සතුව නැති බව පැහැදිලියි. එවන්නක් නිර්මාණය විය හැකි ද ? දැන් තිබෙන තත්ත්වය යටතේ වුව න්‍යශ්ඨික අවි ගැටුමකට ලෝකය පෙරැලෙන්න ඉඩ තියෙනව ද ?

මම: මම බය වන් ෂොට් වන් ආයුදේ හදන එකට නෙවි. හදන්න පුළුවන් තාක්ෂණය තව පොඩ්ඩක් එහාට ගිහින්. හැබැයි මම බය ඒකට නෙවෙයි. අනිත් තාක්ෂණ වගේ මේකත් ටික ටික පහලට යන එකට.

තුවක්කු බෝම්බ ලොකු රටවල හමුදා වලට තිබ්බ කාලේ කඩු පොලු දරාපු මංකොල්ලකාරයෝ අද ඒවා අරගෙන. සමාජ විරෝධී කල්ලි ත්‍රස්තවාදීන් මැරයින් වගේ අයට කුඩා මට්ටමේ හෝ න්‍යෂ්ටික බලයක් ගන්න ලොකුවට අමාරු නෑ. මේක එව්රි ඩේ අවදානමක්.

කෙසේ වෙතත් දැනටමත් එකක් හදල නැතුවට තියෙන ටික පාවිච්චි කලොත් ලෝකය විනාශ කල හැකියි. අපිට නැත්තේ පත්තු කරන්න ගිනි පුලිඟුවක් විතරයි. ඒක පත්තු නොවෙන්නේ අපේ ආර්ථික සමාජ ජීවිතේ නිසා. ලෝකෙම ඒ තත්වය තියාගන්න ආසයි. ලෝක යුද්ද එන්නේ නැත්තේ ඒ සරල හේතුවට.

අපි ප්‍රාථමික ගති හැරලා ලොකු ළමයින් වෙනක මේ ආර්ථික සමාජ තත්වය විසින් අප ආරක්ෂා කරයිද? ඒක පැහැදිලි උත්තර නැති කතාවක්.

මම උතුරු කොරියාව ගැන වොරීඩ් නෑ. උන් එකක් දෙකක් ගහ ගත්තත් ප්‍රතිවාදීන් උන්ට දෙනවා ඉවර වෙන්න. එහෙම දවසක ඒ බූරු වැඩේට අතදාන්න තරම් මෝඩ නෑ චීන රුසියා වගේ එවුන්.

මම බය අන්ත දෙකට

1. පහල හෙවත් රටක් රාජ්‍යයකට වඩා පහල අවනීතික පිරිස් මේවා දරන්න පටන් ගැනීම ඒ කියනේ නියුක් එකක් සතියට පාරක් කොහේ හෝ.

2. අපි අද දකින ලෝක තත්ත්ව වෙනස් වුන දවසක ඇමරිකා රුසියා චීන වගේ මහා බලවතුන් හදාගෙන ඉන්න ඒවා භාවිතා කරන තැනට ලෝකේ ආවොත්

ඔහු: ඔව් සුජීව, අපි අන්තිමට නතර වෙන භයානක තැන ඔතන. හොලිවුඩ් චිත්‍රපටයෙන් අපට ගෙනෙන භීතිය ඇත්ත එකක්, සිදුවිය හැකි එකක්. ඒ වගේ ම දේශපාලනය කියන දෙයින් අප කොටස්කාරයන් නොවී ඉවත්වන්නට තීරණය කිරීමත් කල්පාවසාන සාදයට අනුව මෝඩ කමක්. මොකද අපිට ඉවත් වෙන්න ලෝකයක් නෑ. අපි දැනටමත් කොටස්කාරයො. බොහොම ස්තූතියි සුජීව, මේ සංවාදය මටත් කියවන අනෙක් අයටත් අළුත් අදහස් ඇති කල උද්‍යෝගීමත් කල එකක්. අපි වෙනත් සංවාදයකින් නැවත හමුවෙමු. ආයෙත් බොහොම ස්තූතියි

1 comment: