Tuesday, December 26, 2017

මිනිස් ශිෂ්ටාචාරයේ අර්බුදය සහ අභියෝගය

අපි යමු දහනවවන සියවසට. නෝවේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවර ප්‍රධාන ගංගාව අවට කාර්මිකරණය වෙලා. තරමක කාර්මික කලාපයක් බිහි වෙන්න පටන්ගෙන. මේ සමගම ග්‍රාමීය පෙදෙස් වලින් ගැමි ජනයා කම්කරු රැකියා අපේක්ෂාවෙන් ඔස්ලෝ නගරය කරා ඇවිත් මේ කම්හල් අවට පදිංචි වෙමින්. මේ වෙනකොට ඔස්ලෝ නගරය සපුරා දවා හළු වුන මහා ගින්නෙන් සියවස් දෙකක් පමණ ගෙවිලා. මේ ගින්න සමග සාම්ප්‍රදායික අඩු වියදම් ලී ගෙවල් භාවිතය තහනම් නීති ගෙනාවට මේ ගැමි කම්කරු ප්‍රජාව තවම ඉන්නේ ලී ගෙවල් වල. මේ කම්හල් වල දුම්රොටු සුළං මගින් පැතිරෙන්නේ නැගෙනහිරට.

මෙන්න මේ හේතු නිසා නගරයේ සාම්ප්‍රදායික ධනවත් ඉහළ පාන්තික ප්‍රජාව නගරයේ බටහිර දිහාවට ඒකරාශී වෙන්න පටන් ගන්නවා, බටහිර ඔස්ලෝ හි සම්මත නීති අනුව තැනෙන බදාම සහිත [ලී නොවන] නිවාස මිලෙන් වැඩියි. ඒ වෙද්දී මධ්යාම් පාන්තික සමාජය් ආසා එහෙම තැනක ඉන්න.

හැබැයි එන්න එන්නම කම්හල් අවට ප්‍රජාව වැඩි වෙනවා. දැන් මේ ජනයා ගඟේ බටහිර ඉවුරේ සිට කෙමෙන් අර බටහිර ධනවත් ප්‍රජාව දිහාට පැතිරෙමින් ඉන්නේ. මේක ඒ ධනවත් ප්‍රජාවට හිසරදයක්. මේ නිසා ඒ බටහිර ධනවත් ප්‍රජාව තම තමන් සල්ලි එකතු කරලා ඒ ගැමි කම්කරු ප්‍රජාව එන දිහාවේ ඉඩම් විශාල ප්‍රමාණයක් සල්ලි වලට අරගෙන එතන උද්‍යානයක් හදනවා. මේ උද්‍යානය විසින් ඒ දිළිඳු මිනිසුන් ධනවතුන් එක්ක මිශ්‍ර වීම වළකනවා.

දැන් අපි ආපහු එමු මහජන චීනයට. වසර 1977. වසර දොළහකට පසු විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය පවත්වන්නයි යන්නේ. සම්ප්‍රදායික ජීවන රටාවේ තිබ්බ එවකට දියුණු ජපනුන් අතේ විවිධ කරදර වින්ද ප්‍රාථමික චීනය මාවෝ සේතුං විසින් කොමියුනිස්ට් පක්ෂය යටතේ පාලනය කරන්න අරගෙන දශක තුනකට ආසන්නයි. මාවෝ යටතේ විවිධ අසාර්ථක සැලසුම් රාශියක් එක්ක ඇතිවන සාගත, සමාජ ප්‍රශ්න, මහා පරිමාන ජන ඝාතන වලින් සමාජය හෙම්බත් වෙලා. ඉනික්බිති කොමියුනිස්ට් පක්ෂයෙන් පාලනය තනිකර තමන් අතට අරගෙන උගතුන් ඝාතනය කර සිසුන් පාසල් වලින් අරගෙන මිලිශියාවක් සහ ශ්‍රම බලකායක් ලෙස යොදා ගනිමින් සංස්කෘතික විප්ලවය නමින් මාවෝ චීනයේ ඉන්ටලේක්චුවල් කොඳු නාරටිය කඩනවා. ඒ වහපු විශ්ව විද්‍යාල ඔහුගේ මරණින් පස්සේ ඩෙන් ක්ශාවෝ පින් විසින් නැවත අරඹන්න තමා මේ විභාගේ කෝල් කලේ.

1940 දශකයේ බෙන්ගාලයට යමු, දෙවෙනි ලෝක යුද්දය වෙනුවෙන් චර්චිල් සහල් ස්ටොක් කරනවා, මේ සහල් සැපයෙන්නේ ඉන්දියාවේ පෙදෙස් වලින් මේවා යෙදෙන්නේ නැගෙනහිර යුරෝපේ ජනයා හාමතින් මුදා ගන්න සහ අතිරික්ත ලෙස ඉන්දීය සාගරයේ නැව්වල රැස් කරන්න. හැබැයි මේ වෙද්දී බෙංගාලයේ විශාල පිරිසකට ආහාර ලෙස සපයා ගන්න සහල් නෑ. බුරුමය දෙසින් සහල් සපයාගන්න පුළුවන් වෙයි කියල හිතුවත් දුම්රිය මාර්ග ප්‍රහාර වලින් බිඳ වැටිලා නිසාත් ජපනුන් බුරුමයේ පෙදෙස් ආක්‍රමණය කරන නිසාත් ඒ උත්සාහය සාර්ථක වන්නේ නෑ. දිල්ලි බ්‍රිතාන්‍ය පාලකයා මේ ගැන චර්චිල් ට දන්වා සිටියත් උත්තර ලෙස ලැබෙන්නේ අවඥා සහගත කතා. ඉන්දියන් කාරයින් වැඩියෙන් ළමයි හදන එකට මට කරන්න දෙයක් නෑ කියා චර්චිල් කියනවා. ඒ වසරේ හාමතින් මළ පිරිස මිලියන තුන හතරක්. අද සම්මතයෙන් මෙය ජෙනොසයිඩ් එකක් ලෙස සලකන්න ඕනේ කියල විද්වත් සංවාදයක් පවා යනවා.

ඒ බෙංගාලයේ ම කල්කටාවේ අල්බේනියානු සම්භවයක් සහිත කතෝලික කන්‍යා සොයුරියක් වන තෙරේසා විසින් වසංගත සාගින්න සහ වෙනත් ආබාධ නිසා රෝහල් කීපයක් පවත්වාගෙන යන්නේ ඊට දශක කීපෙකට පස්සේ. තෙරේසා රෝහල් තියාගත්තට බෙහෙත් කරන්නේ නෑ. තෙරේසා මියයන මිනිසුන් වෙනුවෙන් යාඥා කරනවා. මිය යන්න පෙර ඔවුන් "මුදා ගන්න" බෞතිස්ම කරනවා. ඒත් ඒ මිනිසුන්ට මැරෙනකම් එහෙමවත් සලකන තැනකට තියෙන්නේ තෙරේසා ගේ රෝහල් පමණයි.

එකිනෙකට අසම්බන්ධ සිද්ධි මාලාවක්. කතන්දර කීපයක්. අවාසනාවට මේක අගමුල පැටලුනු මහා දිග පෝස්ට් එකක් වේවි. ඒවා ලිහන්න අදහසක් නෑ. පොයින්ට් කීපයක් ඉස්මතු කරන්න විනා.

දැන් වෙනස් කතන්දරයක්. මේක ඇහුවේ උදිත මීගහතැන්න.

"එකෝමත් එක කාලෙක ඇමරිකා එක්සත් ජනපදයේ මුල් තැන අරගත්තු සේවා යෝජකයා ජෙනරල් මෝටර්ස් සමාගම. උසස් අධ්‍යාපනයෙන් පස්සේ කවුරුහරි ඇමරිකානුවෙක් මේ සමාගමේ රස්සාවකට ගිහාම ඔහුට ගෙයක් දොරක් අරන් කසාදයක් බැඳලා ළමයි හදල යහපත් මධ්‍යම පාන්තික ජීවිතයක් ගතකරන්න හැකියාව ලැබෙන ක්‍රය ශක්තියක් මේ රැකියාවෙන් ලැබෙනවා.

අද ඇමරිකාවේ අංක එකේ සේවායෝජකයා වොල්මාර්ට් සමාගම. මේකේ රස්සාවකට යන ඇමරිකානුවෙක්ට ඒකෙන් ලැබෙන පඩියෙන් ජීවත් වෙන්න හිතන්නවත් බැහැ පඩියට අමතරව ආණ්ඩුවේ පින් පඩියකුත්අරගෙන තමයි ජීවත් වෙන්න වෙන්නෙ. ගෙයක් දොරක් අරන් මධ්‍යම පාන්තික දිවියක් ගත කරන එක හිතන්නවත් බැරි දෙයක්.

නූතන ධනවාදය මුහුණපාන අභීයෝග මේවා"


ඉස්සෙල්ලම කියන්න ඕනේ මේක වෝල්මාට් ජී එම් සමාගම් දෙකේ වෙනසක් නෙවි. ඇමරිකාවේ පමණක් ගැටලුවක් නොවේ. ඉස්සර ලෝකේ ඕනේ තැනක මිනිහෙක් සාමාන්‍යයෙන් අධ්‍යාපනයක් ලබල රස්සාවක් කරලා කරපුවා අද කරන්න බෑ. මේක ධනවාදය මුහුණපාන අභීයෝගයකුත් නෙවි.

ඕකම කතාවට ගන්නවා ගොඩේ බයියා කියන සුඩෝනිම්කරු මේ පින්තුරේ එක්ක.

"මෙන්න මේක නියම කාටූන් එක. මේක ලංකාවේ කාටූන් එකක් නෙවෙයි. නමුත් ඔය ටික දැන් මුළු ලංකාවටම අදාළ වෙමින් යන්නේ...වාමන්ශිකයෝ කියන එයයි දක්ෂිනාන්ශිකයෝ කියන අයයි දෙගොල්ලොම මිනිස්සුන්ගේ ජීවිතය ඔය උපරිමයට ගේන්න තමයි මේ දඟලන්නේ....ඔකේ හොඳම එක තමයි education debt එකත් එක්කම medical debt එකක් තිබීම...ලෙඩවීම ස්වභාවිකයි කියලා තමයි හැම හැමෝම හිතන්නේ."
Image may contain: text

දැන් ඔය කතාවේ බයියා කියන්න හදන අතුරු කතා අතහැර අපි ප්‍රධාන මාතෘකාවට ගියොත්, ආයිත් එන්නේ උදිත ඉන්න තැනට.

ඉස්සර ලෝකේ ඕනේ තැනක මිනිහෙක් සාමාන්‍යයෙන් අධ්‍යාපනයක් ලබල රස්සාවක් කරලා කරපුවා අද කරන්න බෑ.

ඇයි මේ?

මේකට හේතු වලින් මුල්ම එක තමා ඉල්ලුම ඉහල යාම , ඔය "ඉස්සර" අහවල් ඒකයි දැන් අහවල් ඒකයි අතරේ වෙනස ඕක. ලංකාවෙත් ඔය කතාවම යනවනේ. ඉස්සර උපාධියක් අරගෙන කසාදයක් බැඳලා ආණ්ඩුවේ රැකියාවකින් ළමයි ලොකුවෙන්න කලින් ගෙයක් දොරක් හදාගන්න පුළුවන් දැන් බෑ කියල. ඊට මූලික හේතුව ඉඩම සහ නිවසට යන මිල. බාස් කුලිය ඇරෙන්න ඉතිරිය සම්පත් වල වියදම. සම්පත් වල වියදම වැඩි වෙන්නේ ඉල්ලුම නිසා.

ඇයි ඉල්ලුම වැඩි වෙන්නේ? පෙර කතාවේ චර්චිල් කියනවා එක හේතුවක්. ඒ ඔබ්වියස් අමන කම අතහැර අපිට ඕනේ හරිය ගම්මු. ඉන්දියාවේ මිනිස්සු වැඩියෙන් ළමයි හැදුවට මට කරන්න දෙයක් නෑ. අමන වගේ පෙනුනට මෙයා කියන්නේ මෙහෙම එකක්. පළමු ලෝකය සිය අවශ්‍යතා සකසා ගන්න වැඩි වැඩියෙන් සම්පත් භක්ෂණය කරන අතරේ ඒ අයගේ ජනගහන වර්ධනය පාලනය කර ගන්නවා. ශිෂ්ටාචාරේ මුල කාලේ ජනගහන පාලනය සංවර්ධිත සමාජවල ලක්ෂණයක් වෙනවා. හැබැයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයක් වුනාම, මේ පලවෙනි ලෝකේ සම්පත් රාමුවෙන් කොටසක් තෙවැනි ලෝකෙටත් දෙන්න වෙනවා. තෙවැනි ලෝකේ අර පලවෙනි ලෝකේ වගේ නෑ. උන් පිස්සෝ වගේ පැටවූ ගහනවා, ඉතින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ලොකුම ලොක්කට මේක මළ හිසරදයක් වීම තමා ඒ කතාවෙන් පෙන්නන්නේ.

චර්චිල් අමනයෙක් ද නැද්ද කියන එක නෙවි පොයින්ට් එක. පලවෙනි ලෝකේ සම්පත් අධි භාවිතය එක්ක ජනගහන වර්ධනය පාලනය කරද්දී තෙවැනි ලෝකේ පිස්සෝ වගේ පැටවූ ගහනවා. මේ පිස්සෝ වගේ පැටවූ ගහන එවුන්ට බඩගින්නේ මැරෙන්න දෙන්න බෑ ලෝක සම්මුතිය එක්ක. අද මවක් වැඩිම දරුවන් ගණනක් වදන්නේ දරුවන් හොඳින් හදන්න පුළුවන් පළමු ලෝකේ නෙවි කන්න නැතුව මැරෙන සහේල් කලාපයේ නයිජර් දේශයේ. ඒ ළමයින්ගෙන් කීපයක් ස්වාභාවිකව මැරෙන්න නියමිතයි. හැබැයි අර පලවෙනි ලෝකේ ආධාර වලින් දුවන ආයතන විසින් ඒවා අවම කරලා ඒ ළමයි කෝම හරි ලොකු මහත් කරනවා. එහෙම කරන්නේ නැතුව ඉන්න කියනවා නොවේ. අවසානේ ප්‍රතිපලය ලෙස බටහිර රටක ජනගහන පාලනයට සමගාමිව ඔවුන් අප්‍රිකාවේ ජනගහන බෝම්බයට සහය දෙනවා.

අප්‍රිකාව සහ මැද පෙරදිග තව වසර සීයකින් විතර ලෝක ජනගහනයේ විශාල ප්‍රතිශතයක් වෙන්න නියමිතයි. නයිජීරියාව පෙරටු කොටගත් ඒ කලාපේ රටවල් රාශියක් ලෝකේ වැඩිම ජනගහන ලිස්ට් එකේ දැන් ඉන්න අය නොකවුට් කරමින් ඒ ලිස්ට් එකට පිරෙන්න නියමිතයි. සමහර අනාවැකි අනුව නයිජීරියාව ඉන්දියා/චීන මට්ටම ආසන්නයට ම එන්න නියමිතයි. සමහරු මේකට මුස්ලිම් අන්තවාදය කියනවා, එය වැරදියි අප්‍රිකාවේ මුස්ලිම් නොවන රටවලුත් මේ වැඩේම කරනවා. මේ තෙවැනි ලෝකේ උන් පිස්සෝ වගේ ළමයි හදන එකත් මැරෙන්න නියමිත ඒ ළමයින් පලවෙනි ලෝකෙන් ආධාර දීල හදාගන්න එකත් විසින් ඇති කරන අතුරු පලයක්.

මේ කතාව වඩාත් පැහැදිලි වෙයි මෙන්න මේ වීඩියෝවෙන්.

කොහොමින් හරි ගැටලුවේ පළමු කොටස ලෝක ජනගහනයේ වර්ධනය.

හැබැයි ඉල්ලුම තනිකර වැඩි වුනේ ජනගහන වර්ධනය නිසාම නෙවි ඇත්තෙන්ම ඊට හේතුව ජනගහනයේ මුලුගැන්නීම අඩුවෙලා ලෝක ජනගහනයේ ලොකු කුට්ටියක් අර කියන මධ්‍යම පාන්තික ජීවිතයට ආපු එක. රට රටවල් ඇතුලේ ගත්තත් දැන් ඔය ඉස්සර ඇමරිකන් මධ්‍යම පන්තියට ගිය ප්‍රතිශතය ට වඩා දැන් එතනට යන ප්‍රතිශතය වැඩියි. ලංකාවේ නම් හැට හැත්තෑව දශක වල උපාධියක් තියෙන ප්‍රතිශතය ඉතා කුඩායි. ලෝක මට්ටමින් නම් ඉන්දියා චීන ජනගහන කුට්ටි දෙක පස්සට තල්ලු කරලා තලලා මරල මුළු ගන්නල තිබ්බ ඔය කාලේ.

මතකද චීනුන් ගැන මුලදී ලියු කතාව. 1977 විශ්ව විද්‍යාල නැවත අරින්න විභාගයක් තියපු එක. දැන් ඒ චීනය තමා ලෝකේ වැඩිම උපාධිධාරීන් බිහි කරන්නේ. චීනයේ ජනගහනයෙන් විශාල පිරිසක් අද පලවෙනි ලෝකේ මධ්‍යම පාන්තික ජීවිතේකට සමාන මට්ටමකට ඇවිත්. අර චර්චිල් ලා බඩගින්නේ මැරෙන්න ඇරපු තෙරේසා ලා මැරෙනකම් යාඥා කරපු ඉන්දියාව ඇතුලේ ඇමරිකානු ජීවන තත්වය ඉක්මවපු මිනිසුන් ඇමරිකානු ජනගහනයට වඩා දැන් ඉන්නවලු.

අර ඉස්සර ශෝක් කාලේ මධ්‍යම පන්තික ජීවිත කියන්නේ මේ තලලා මුලුගන්වලා තිබ්බ ජීවිත බිලියන කීපය අස්සෙන් උඩට නැග්ග සුළු මිලියන ගානක්. ඒත් දැන් අර තැලිලා උන්නු බිලියන ගානත් එතනටම ඇවිත්. උන්ටත් ඕනේ අර පළමු ලෝකේ උන්ට ඕනේ වෙච්ච දේවල් ම. උන්ටත් දැන් සපයන්න ඕනේ.

ඉතින් ඕක තමා අධ්‍යාපනයේ, සමාන අවස්ථාවේ, ප්‍රජාතන්ත්‍රවාදයේ, ඉහල ආයු අපේක්ෂාවේ, සෞඛ්‍ය සේවාවල, කොටින්ම ශිෂ්ටාචාරයේ සමස්ත දියුණුවේ අග්රපලය. මධ්‍යම පාන්තික ජීවිත ගෙව්ව තරම එක්ස්පොනේන්ෂලි වැඩිවීම. ලෝක බෝලෙන් පොඩි ස්ලයිස් එකක් කන්න නිදහස තියෙන මිනිස් කණ්ඩායමේ වැඩිවීම. එතකොට ඒ ස්ලයිස් එක ගන්න අමාරු වෙනවා. අන්න ඒ ගැටලුව තමා ඉහත අපේ හිතවතුන් දෙන්නම හයිලයිට් කරන්නේ.

ඒ අනුව මේක "ධනවාදයේ අර්බුදය" හෝ "ධනවාදයේ අභියෝගය" නෙවි. මේක මිනිස් ශිෂ්ටාචාරයේ මිනිස් සංහතියේ අර්බුදය අභියෝගය සහ අනාගතය.

මේ සමග මිනිසාගේ ජීවන රටාව කැමති උනත් නැතත් වෙනස් වෙනවා. අර වෝල් මාට් එකෙන් හිඟන පඩියක් අරන් ආණ්ඩුවේ සහන එක්ක දුක සේ යැපෙන බහුතර ඇමරිකානුවෝ එහෙම කරන්නේ කැමැත්තෙන් නෙවි. උන්ට චොයිස් එකක් නෑ.

මතකද ඔස්ලෝ කතාව. අදටත් විවිධ ඩිමෝග්‍රැෆික බෙදුම් ඔස්සේ ඔස්ලොවේ බටහිර නැගෙනහිර බෙදුම තියෙනවා. බටහිර නැගෙනහිර අතර වාර්ගිකත්වය, අධ්‍යාපනය, ගෙවල් වල ස්වරූපය, ඉඩම් මිල, පවුලක ආදායම වගේ විවිධ පැරාමීටර් රාශියක පැහැදිලි වෙනසක් තියෙනවා. චන්දෙ දෙන පක්ෂය පවා අ වෙනස්ලු. හැබැයි ඔස්ලෝ වල සිද්ධිය සුවිශේෂී ලෙස නෝටිස් වෙන්නේ පාක් එක නිසා. ඔහොම ආර්ථික ශක්‍යතාවය මත නොබෙදුණු නගර ලෝකේ කොහෙද තියෙන්නේ. හැම නගරයකම සමාජය ආර්ථික හැකියාව මත ජනයා බෙදෙනවා, ඔස්ලෝ වල අවනීතික ලී ගෙවල් සහ බදාම ගෙවල් කියන ඉර, මගින් බෙදපු ආකාරෙටම එෆර්ඩබිලිටි මත සමාජය බෙදෙනවා. නගර වල පාක් වලින් මාක් වෙච්ච නැති නොපෙනෙන ඉරි ඇඳිලා තියෙන්නේ.

ඉස්සර සමාජයේ උසස් පහත බව බෙදුවේ හමේ පාටින්, ආගමින්, ජාතියෙන්. ඊට පස්සේ බෙදුම උනේ පාස්පෝට් එක. සමහර රටවල් වල පාස්පෝට් එක හරි වටිනවා. ඒ පාර පටන් ගත්ත ස්කිල්ඩ් මයිග්රේෂන්. ඒ පාස්පෝට් ගන්න එන තරගෙදි කඩුල්ලක් හදනවා අහවල් වර්ගයේ කොලිෆිකේෂන් එකක් තියෙන්න ඕනේ කියල. හැබැයි ඒ ලෝකය දැන් ආයිත් වෙනස් වෙලා. මේ යන රැල්ල එක්ක රට රටවල වෙනස්කම් අඩු වෙනවා. දැන් පාස්පෝට් එක මහා ලොකු බක්කක් නෙවි. තෙවැනි නම් වූ ලෝකය පළමු නම් වූ ලෝකය කරා ආසන්න වෙමින්.

දැන් ඒ නිසා අලුතෙන්ම මිනිසා සේග්‍රගේට් කරන්නේ නාගරික කලාප වලින්. පලවෙනි ලෝකේ වගේම තුන්වෙනි ලෝකෙත් නගර වල බිහි වෙනවා අතිධාවනකාරී ෆස්ට් ක්ලාස් රෙසිඩන්සීස් සිට හද්ද පිචන් තුනේ ක්ලාස් රෙසිඩන්සීස්. ඒ ඒ රටේ ඔය දෙකට ලැබෙන දේවල් වෙනස්, හැබැයි ආකෘතිය එකමයි.

දීර්ඝ කාලීනව ආයිත් වෙන්නේ ඔස්ලෝ සිද්ධිය ම තමා.

මෙන්න මේ වෙලාවට අපේ සමහරු කියනවා මාර අසාධාරණයි නේද කියල. ඔව් අසාධාරනයි. හැබැයි මේ අසාධාරණය ස්වාභාවිකයි. මේක නෛසර්ගික දෙයක්. මෙහෙම අසාධාරණයක් ඇතිවන ප්‍රධාන හේතුව අධික ජනගහනය. අධික ජනගහනයට ප්‍රධාන හේතුව ශිෂ්ටාචාරයේ දියුණුව ස්ථාවරත්වය සහ යහපත් ජීවන තත්වය. බිලියන හතටම යහපත් ජීවිතයක් දෙන්න බැහැ. ඊට අවශ්‍ය සම්පත් හෝ ශක්‍යතාවය නෑ.

සමහරු කියනවා කොමියුනිස්ට් සමාජයක් හදමු හැමෝටම සමාන තත්වයක් දෙමු කියල. ඔවුන් සිහින මවනවා එහෙම කරලා මේ බිලියන හතටම යහපත් ජීවිතයක් දෙන්න පුළුවන් කියල. ඔවුන් කියනවා පුද්ගල අයිතිය තමා මේ සියල්ලට හේතුව. දේවල් රජය සතුනම් මේ ගැටලුව එන්නේ නෑ කියල.

පුද්ගල අයිතිය කියන්නේ මොකද්ද? දැන් මේ ධනවාදී කියන ලෝකයත් ඔය පැරණි සම්මත පුද්ගල අයිතීයෙන් කොපමණ එහාට ගිහින් ද? දැන් තමන්ගේ නිවසක ඉඳගෙන තමන්ගේ වාහනයක් එලවන අය ඉන්නේ කීයද? බොහෝ දෙනෙක් ඉන්නේ කුලියට, තව සමහරු බැංකුවකට අයිති මොගේජ් ගෙදරක. බොහෝ වාහනත් හිමි ලීසිං ආයතනයකට. හෙට අනිද්දා එලවන්න ඕනේ නැති කාර් ආපුවම බොහෝ විට කාර් අයිතිය නැතිම වෙලා යාවි. කාර් අයිති සමාගමකට. ඔබට අවශ්‍ය නම් ලඟපාත වාහන තියෙනවා කිව්වම ඇවිත් ඔබ රැගෙන යනවා. ගන්න වෙන්නේ සමාගමේ සබ්ස්ක්රිප්ෂන් එකක් පමණයි. ලෝකය වේගයෙන් පුද්ගල අයිතිය හැර යනවා, හේතුව පැහැදිලියි. වැඩිවන ජනගහනය එක්ක මිනිසුන්ට සින්නක්කර ස්ලයිස් එකක් ලෝක බෝලෙන් දෙන්න බෑ. ඔබේ සම්පත් වෙන අය එක්ක ශෙයා කරන්න වෙනවා, ඔබට නොදැනෙන්න. හෝ ඔබට දැනෙන්න ම ඔබේම අනුමැතියෙන් ඌබර් ස්ටයිල් එකට.

කොමියුනිස්ට් වාදීන්ට අනුව මේක ධනවාදයේ අර්බුදය. එතන තමා වරදින්න පටන් ගන්නේ මේක ශිෂ්ටාචාරයේ අවුල. මේකට හේතුව ශිෂ්ටාචාරය. ශිෂ්ටාචාරයේ නරක අතුරුපලය වන ජනගහන වර්ධනය. බිලියන හතකට යහපත් ජීවිතයක් දෙන්න සම්පත් නොමැතිකම. මේක එයාලටත් පොදු ප්‍රශ්නයක්. මේ බිලියන හතටම යහපත් ජීවිතයක් දෙන්න එයාලටත් බෑ.

එතකොට ඒ අය කරන එකම දෙය වෙන්නේ "යහපත් ජීවිතය" යළි අර්ථ දැක්වීම. මිනිසුන් භුක්ති විඳින බොහෝ දේ ඔවුන්ට අහිමි කරලා උඹල ඉන්න ඕනේ මෙන්න මෙහෙම කියල ඉතාම ප්‍රාථමික ජීවිතේකට ගෙනියන එක. ඒ මොඩලයේ සමානාත්මතාවය හදන්න පුළුවන් එකම විදිහ යහපත් ජීවිතත් අයහපත් කිරීම පමණයි.

කොටින්ම බිලියන හතකුත් හොඳටම වැඩියි. සත්තු වැඩි වුනාම නිකම්ම විනාස කර දානවට කියන්නේ කල් කරනවා කියල. මේ ගැටලුව විසඳන්න හා සියල්ල යහපත් කරන්න නම් එහෙමවත් කරන්න වෙයි.

දෙවෙනි අන්ධ භක්තික ප්‍රජාව විද්‍යා ලෝලීන්. හරි බයවෙන්න එපා ඉදිරි දශක පහ හයේ අපි පොලොව වැනි ග්‍රහලෝකෙක ජනාවාස හදනවා. අඟහරු ම ගන්නකො අපි අඟහරු ටෙරා ෆෝම් කරනවා. නැත්නම් අපි ආසන්න තාරකා පද්ධතියක පොලොව වැනිම ලෝකෙකට ගිහින් ජනාවාස හදනවා. බලන්න ඉලෝන් මස්ක්. එයා කොච්චර වේගෙන් ලෝකේ දියුණු කරනවද එයාල වගේ වාණිජ අරමුණු තියෙන මිනිස්සු මානව සංහතියේ ප්‍රශ්න විසඳන කොට මොකට බයවෙන්නද?

මේ අවාසනාවන්ත ජනයා විද්‍යාව තාක්ෂණය ඉගෙන ගන්නේ හොලිවුඩ් වලින්. මූලික අවුල ඒකයි.

ටෙරා ෆෝම් කියන වචනයේ අර්ථය විද්යාත්මකව පහදන්න හෝ ඉංජිනේරු සැලසුමක් ලෙස සකසන්න දන්නා කෙනෙක් තවම නෑ. එහි වියදම ඇස්තමේන්තු කරගන්නවත් බෑ. තවම අපි පොලොව වටේ කක්ෂයක වත් ජනපදයක් හදලා නෑ. කක්ෂයට එක කිලෝ එකක් ගෙනියන්න යන වියදම දන්නවද? අපි කතා වෙන්නේ ආලෝක වර්ෂ ගණන් දුර තියෙන වෙනත් ලෝකවල ජනාවාස හදන්න. 

ඇයි ව්‍යාපාර වලින් මානව සංහතියේ ප්‍රශ්න විසඳන්නේ? මානව සංහතියේ ප්‍රශ්න විසඳන එක හැමවිටම ප්රෝෆිටබල් නෑ. ඉලෝන් මස්ක් ට ඕනේ අභ්‍යවකාශ සංචාරක ව්‍යාපෘති කරන්න. ඒක ප්රෝෆිටබල්. හැබැයි ආලෝක වර්ෂ දහයක් එහා ග්‍රහලෝකෙක ජනාවාස හදලා එව්වයේ රියල් එස්ටේට් බිස්නස් එකකට සල්ලි දැම්මොත් මස්ක් පරපුරේ විස්සක් විතර යනකම් ඉන්න වෙයි ප්‍රොෆිට් කරන්න. ලාභ ඉලක්ක කරන ව්‍යාපාර ඒ වගේ වැඩ සටහන් කරන්නේ කොහොමද? කැපිටලිස්ට් හොබිස්ම් වලින් මේ වගේ බැරෑරුම් ප්‍රශ්න විසඳන්න බැහැ.

කොටින්ම මේ දක්වා අභ්‍යවකාශය දිහාට අපි ගිය දුර ගියෙත් දුර්දාන්ත ඒකාධිපති දෙන්නෙක් අමන තාලෙට ඒ වැඩේ කල නිසා. එකෙක් හිට්ලර් අනිකා ස්ටාලින්. හිට්ලර් හදනවා රොකට් වැඩ සටහනක්. නාසා සහ රොස්කොස්මොස් කියන මානවයාගේ අභ්‍යවකාශ වික්‍රම වල අග්‍රපල ගත්ත ආයතන දෙක හදන්නේ දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ හොරෙන්ම උස්සන් ගිය හිට්ලර් ගේ විද්‍යාඥයින් ගෙන්. ස්ටාලින් තමා සෝවියට් වරුන් අභ්‍යවකාශයට යන තැනට දැක්කුවේ. ස්පුට්නික් හින්දයි ඇමරිකන් කාරයා හඳට ගියේ. මේ කිසිවක් ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාපාර හෝ ලාභය මත වෙච්ච දේවල් නෙවි.

දැන් මොකද්ද උත්තරේ. උත්තරයක් නෑ. ප්‍රශ්න සහ විකෘති සිහින හඳුනා ගන්න උත්සහ කලේ. මේ සියල්ලට උත්තර ස්වාභාවිකව ලැබෙයි, හැබැයි ඒවා අපි ආසා එව්වා නොවේ. ඒ වෙනකම් අනතුරු අවම කරගෙන, ඒ කිව්වේ කාබන් ෆුට් ප්‍රින්ට් එක, එතකොට ජනගහන වර්ධනය ආදිය අවම කරගෙන ශේප් එකේ ඉන්නවා මිසක, මේවාට උත්තර නෑ.

උත්තර අහන එකත් මේ විශ්වයේ කෝස් එකක් අරමුණක් දේව කාර්යයක් තියෙය කියා යටි හිතේ ප්‍රෝග්‍රෑම් වෙච්ච අයගේ අර්බුදයක්. උත්තරයක් තියෙන්නම ඕනෙද?

8 comments:

  1. මම මේ කල්පනා කළේ සුජීවට කොහෙන්ද මෙච්චර වෙලාව කියල! මේක කියවා ගන්න වත් මට වෙලාවක් නැහැ. වැඩ පැත්තක තියල කියෙවුව. ආයෙත් පාරක් අර අදහස් අතිපිහිත වීම පොල්ලෙන් ගැහුවා වගේ

    ReplyDelete
  2. මගේ දැක්මේ හැටියට නම් මානවයා වැඩි දුර යන සතෙක් නෙවෙයි. එහෙම යනවා කියල හිතන එකත් හීනයක් වෙන්නේ ලෝකය තුල රජකරගෙන ඉඳල වන්දවෙලා ගිය ඩයිනෝසිරස් ලා මේකේ හිටි කාලය එක්ක අපි ඉඳල තියන කාලය සංසන්දනය කළාම.

    ReplyDelete
  3. අයිශෙ කොහෙද තියෙන්නෙ කොමියුනිස්ට් සමාජයක් කියන්නෙ පුද්ගල අයිතිය නැතිකිරීම කියල. මං නං අයිශෙ කියවල තියෙන්නෙ කොමියුනිස්ට් සමාජයක් කියන්නෙ පුද්ගල අයිතිය නැතිකිරීම නෙවෙයි නිශ්පාධන අයිතිය පොදු කිරීම කියල. නිශ්පාධනය කියන්නෙ අයිශෙ පොදු දෙයක්. පුද්ගල අයිතියයි නිශ්පාදනයෙ අයිතියයි කියන්නෙ අයිශෙ දෙකක්. "දේවල් රජය සතුනම් මේ ගැටලුව එන්නේ නෑ කියල" එහෙම වෙන්නෙ කොහොමද අයිශෙ කොමියුනිස්ට් යුටෝපියාවෙ කියවෙන්නෙ අවසානෙ රජය දියවෙලා නියම කොමියුනිස්ට් රාජ්ජය බිහිවෙනව කියල අයිශෙ. අනික අයිශෙ ධනවාදයේ අර්බුදය නෙවෙයි ශිෂ්ටාචාරයේ අර්බුධය කියන එක. නිශ්පාදනය වර්ධනය වෙද්දි ශිෂ්ටාචාරය තමයි අයිතිහාසිකව ධනවාදය නිර්මානය කරන්නෙ අයිශෙ පෞගලික දේ පල හා ජාතික රාජ්ජ්‍ය කියන පදනම මත. එහෙම නැතුව ධනවාදය ශිෂ්ටාචාරය පුරා තිබ්බ ලබ්බක් නෙවෙයි. ශිෂ්ටාචාරයෙ එක්තරා අවදියක ධනවාදය හෙන ප්‍රහතිශීලී කාර්‍යයක් කර්නව අයිශෙ. ඒත් අයිශෙ දැන් නිශ්පාදනයේ වර්ධනය විසින් ධනවාදයේ පදනම උන පෞද්ගලික දේ පල හා ජාතික රාජ්ජ්‍ය සීමා කුඩු කරල ඉවරයි. ඒ කියන්නෙ ධනවාදයේ පදනම් කුඩු උනාම ඒක ගරා වැටෙන්න පටන් ගන්නව අයිශෙ.මේ වගේ අවථාවල වෙන්නෙ අයිශෙ නිශ්පාදනයෙ අර්බුදය විසින් මානව ශිෂ්ටාචාරය මෙතෙක් අත්පත් කරගත් මානව ජයග්‍රහන කුඩුපට්ටං කරල නැවත රික්තකයක් හදනව. ඒකට තමයි අයිශෙ යුද්ධ කියන්නෙ. අයිශෙ ගෙ ප්‍රශ්නෙ වෙච්ච ජනග්‍රහනයෙන් කොටසකුත් විනාශවෙන්නෙ ඒකෙන් තමයි අයිශෙ. ඉතිහාසෙ ලෝක යුද්ධ වලින් කරේ ඒක තමයි.

    ReplyDelete
    Replies
    1. කොමියුනිස් යුටෝපියාව කියන්නෙ මොකක්ද කියල ඒ ගැන ලියපු අයවත් දැනන් හිටියෙ නෑ. ඒ ගැන ලියපු අය හිතුවෙ මිනිසා කියන්නෙ සුරංගනාවක් වගෙ කියල. කොමියුනුස්ට් ක්‍රමය ආවම රාජ්‍යය අහෝසිවෙලා වැඩකිරීම අයිතියක් බවට පත්වෙනව. හැමෙඔම වැඩකරල වැඩෙහි ඵල බෙදා ගන්නවා. කිසිම අවුලක් නැති අමුතු ලෝකයක්. යුටෝපියාවක් කීමෙන්ම මේක මනහ්කල්පිතයක් කියල හැමෝම පිලිගන්නවානෙ.

      ධනවාදය අර්බුදයට යනව කියන කතාව අර වහන්සෙගෙ දෙවෙනි ගමන වගෙ එකක්නෙ. මීට අවුරුදු 2000 කටපෙරත් ආගමික ප්‍රචාරකයො ගෙවල් ගානෙ ගියෙ අදහෙටම වහන්සෙ එයි කියල. ඇත්තටම ධනවාදය අර්බුදයට යන්නෙ නෑ. වෙන්නෙ ධනවාදය අභාවයට යන එක. ඉන් පසු යම් ආකාරයක සමාජවාදී ව්‍යුහයක් බිහිවෙනවා. ඒක අවබෝධය තුලින් වෙන එකක්.

      යුද්ධ ඇතිවුනේ ධනවාදයෙ අර්බුදයක් නිසා නෙමෙයි . සංස්කෘති අතර ගැටුම් නිසා. මාක්ස් කියපු විදියට මධ්‍යම පන්තිය ක්ෂය වෙලා ධනපතියන් එකිනෙකා ගිලගෙන නිර්ධන පන්තිය ප්‍රසාරනය වෙලා විප්ලවයට මග පෑදෙන්නෙ නෑ. මාක්ස් කල ලොකුම වරද ස්වාභාවික සමාජ ගමනට ප්‍රචන්ඩ විප්ලවය ආදේශ කිරීම.

      ධනවාදයෙ පදනමක් කුඩුවෙන්නෙ නෑ. කුඩුවෙන්නෙ අන්න ධනවාදයෙ අර්බුදය ආවෝ මෙන්න ධනවාදයෙ අර්බුදය ආවෝ කියල කෑගහන අයගෙ ෆැන්ටසිය

      Delete
    2. අර අයිශේ කියන ඇනෝ ට කෙටියෙන්.

      - කොමියුනිස්ට් සමාජයක පුද්ගල අයිතිය පරයා පොදු අයිතිය ඉස්මතු වෙනවා. ඔය කියන පුද්ගල අයිතිය මවාගත් එකක්. ධනය රැස් කිරීම දේවල් අයිති කරගැනීම ව්‍යවසායකත්වය වගේ අයිතීන් අහිමියි. මම පොයින්ට් කලේ ඒක. ඒ දේවල් තනි පුද්ගලයාගෙන් ඉවත් කරලා හුස්ම ගන්න කන්න බොන්න මලපහ කරන්න පුද්ගල අයිතිය දීම ගැන නෙවි අයිශේ මේ ලිව්වේ.

      - කොමියුනිස්ට් යුටෝපියා සිහිනේ කෙලවරේ රාජ්‍යය නැති බව හරි එහෙත් ඒ වෙද්දී රාජ්‍යය වෙනුවට සමාජීය පොදු බව ක්‍රියාත්මකයි, තනි පුද්ගල අයිතිය සුරකින සමාජය හුදෙක් තනි පුද්ගලයින් ලෙස දින කොමියුනිස්ට් සිස්ටම් එකක් නෑ, තියෙන්නේ පොදු මතවාදය සහ සමාජීය සංකල්ප. ඉතින් "දේවල් රජය සතුනම් මේ ගැටලුව එන්නේ නෑ කියල" කියන එක ඇලජික් නම් "දේවල් පොදු අයිතිය සතුනම් මේ ගැටලුව එන්නේ නෑ කියල" දාගන්න. මොකද මට අදාළ න අ කොමියුනිස්ට් මනිෆෙස්ටෝ එක මෙතනට. රජය හෝ වෙනත් ඕනෙම පොදු අයිතියක් පුද්ගල අයිතිය ඉක්මවා යනවානම් එය පමණයි සංවාදයට අදාළ.

      - ධනවාදය විසින් කොමියුනිස්ට් ලෝකය හදන අයිශේ ගේ සිහිනය ඔහොමම වෙන්න ඕනෙද? නොස්ටද්රාමස් වගේ වෙන්නම ඕනෙද?

      - අනිවාර්යයෙන්ම ධනවාදය කියල අයිශේ කියන එක වෙනස් වෙනවා. අයිශේ කරන්න හදන්නේ ඒ වෙන ඕනෙම වෙනසකට කොමියුනිස්ට් කියල ලේබලයක් ගහල ආතල් එකේ ඉන්න එක. උදාහරණෙට බලනවා අයිශේ ඔය ඉහල මා ලියපු කාර් අයිතිය වෙනුවට ශෙයාඩ් කාර් සමාගමක සබ්ස්ක්රිප්ෂන් කතාව. මේක ධනවාදයේ පුද්ගල අයිතියේ හෙට දවස වෙන්න පුළුවන්. එය වෙනස්. එපමණකින් එය කොමියුනිස්ට් නම් නෑ.

      - අයිශේ හිතාන ඉන්නේ යුද්ධ ඇවිත් එව්වයෙන් පස්සේ කොමියුනිස්ට් එක හැදෙයි කියලනම් යුද්ධ වලින් මැරිලා නම් ජනගහන අඩු වෙන්නේ නෑ එහෙමට. හැබැයි ස්වාභාවික පිළිතුරු මීට වඩා භයානක ලෙස ජනගහන අඩු කර දෙයි. දීර්ඝකාලීනව.

      - ඇයි මම මේක ධනවාදයේ අර්බුදය ලෙස නොදකින්නේ? සිම්ප්ලි මේක ඉලක්කමක අර්බුදයක් නිසා. බිලියන හතක ජනගහනයක් හදා ගත්තනම් මොන වාදේ තිබ්බත් ශිෂ්ටාචාරය ඔය අර්බුදයට යනවා අයිශේ

      Delete
  4. https://youtu.be/uWSxzjyMNpU

    ReplyDelete
    Replies
    1. What do you think of this?

      Delete
    2. Can you pls explain why this is so? Population growth?

      https://youtu.be/aOJ93tAbPP0

      Delete