Friday, January 27, 2012

අදහස් දෙකක්

සසර මහ දුකක් යැයි
ඉපදුම නවතවා
සසරින් පලා යාමට වඩා

නිවිය නොහැකි ඒ මහ දුක
ටිකක් හෝ අඩු කරන්නට
වඩා යහපත් හෙටක්
තනන්නට වෙහෙසීම අගනේ

කිසිවෙකුත් දුකෙන් නොමිදුනද
සැමට දුක අඩු වනු ඇත

-----------

පවත්නා ක්‍රමයෙහි
ඇතේ යැයි දාහක් වැරදි
එය කඩා බිඳ දමනවාට වඩා

අසාධාරණ වූ එම ක්‍රමය තුල
මිනිසුන් දැනුමින් පුරවා
තරමක හෝ සාධාරණයක්
තනන්නට වෙහෙසීම අගනේ

සර්ව සාධාරණ නොවුනද
අසාධාරණය අඩු වනු ඇත


[පිටස්තරයාගේ ලෝකයට දුන් කොමෙන්ටුවකි]

ආගමෙන් නිදහස් වී දේශපාලනය ඇදහීම

නිදහස අවශ්‍ය ආගම/දර්ශනය/විද්‍යාව ඇදහීමෙන්ම පමණක් නොවේ. දේශපාලන මතවාදයනුත් මිනිසාගේ නිදහස් සිතීමට බාධා ගෙනෙනවා. සමහරු ධනවාදය, මාක්ස්වාදය, පරිසර වාදය, ලිබරල්, ජාතික චින්තනය වගේ විවිධ දේශපාලන මත අදහාගෙන ඉන්නේ. මේ සේරම ලෝකය කියන දැවැන්ත සංසිද්ධියේ එක එක පැතිකඩවල්. ලෝකය දිහා බලන විවිධ perceptions.

මේ හැම දර්ශනයකම යහපතක් තියෙනවා ඒ වගේම ගත යුත්තකුත් තියෙනවා. එහෙත් මේ එකක් තනිකර අල්ලාගෙන ඒ රාමුවේ සිරවූ විට තමන් මානසික සිරකරුවෙක්.

එතකොට නිදහස් මනසක් ඇති අය චන්දෙ දාන්නේ නැද්ද? නැහැ කාටත් දේශපාලන අදහස් තියෙනවා. ඒවා එකම මතයක සිර කර ගන්න එකයි ගැටලුව. එහෙම එකක සිර නොවන්නා නිල්, කොළ, රතු, කහ, හරිත [කිව්වේ පරිසර වාදයේ පාට] ඕන පාටකට සුදුසු පරිදි චන්දය දෙන්නෙක්. ඒ තීන්දුව චන්දෙ දවසේ ගන්නෙක්. ඔවුන්ට සරලව පාවෙන චන්දදායකයන් කියා කියනවා. රටක අනාගතය යහපත් වන්නේ මේ පාවෙන චන්ද දායකයින් වැඩි වෙන තරමට කියා මට හිතෙන්නේ.

නිදහස් මතවාදියෙකුට රටක් ජාතියක් ජම්මයක් නැද්ද? ඇයි නැත්තේ. කෙනෙකුගේ ජාතිය නීර්ණය කරන්නේ ඒ කෙනා නොවේ. කෙනෙකුගේ රටත් මහන්සි වී වෙනස් නොකලොත් උපන් රටම තමා. එහෙම වෙනස් කලත් ආයිත් තව එක රටක්. මේ රටක නීති, ප්‍රතිපත්ති, ක්‍රියාකාරකම්, සංසිද්ධි, යුද්ධ, කෝලාහල කොයි කාටත් බලපානවා. එ නිසා කෙනෙක් මතවාදීව නිදහස් වීම සමාජය තුල ඔහු හෝ ඇය දරන වගකීම් වලින් නිදහසක් ලැබීමක් නොවේ. ඔවුන්ටත් තමන් ඉන්න රට හෝ පළාත හෝ ගම හෝ පවුල යනාදී දේ නියෝජනය කරන්න වෙනවා.

මේක ගෝත්‍රවාදයක් ද?

ඔව්. හැබැයි අහවල් චින්තනයද ගෝත්‍ර වාදයක් නොවන්නේ?

අනේ අපි නම් නියෝජනය කරන්නේ මානව ප්‍රජාවම...


එතකොට ඒකත් එක්තරා විදිහක ගෝත්‍රවාදයක් නොවේද? ඇයි සත්තු? එයාලා අයිති වන්නේ නැහැ.

මට හිතෙන්නේ ගෝත්‍රවාදය කියන මූලික ගතිය ඕනෑම නියෝජනයක අනිවාර්ය අංගයක්. ආයිත් ඒකෙන් ස්වායත්ත වී ඉන්න බැහැ.

හැබැයි කරුණු දුටු විට ඒවා අනුව ගලපා විවිධ මතවාද වලට හිර නොවී සුදුසු තීන්දු ගැනීම දේශපාලන නිදහස් චින්තනයයි.  පෙර කතා කළා වගේම විවිධ නිදහස් චින්තකයින් ගන්නා තීන්දු වෙනස් වෙන්න පුළුවන්. ඒ නිදහස නිසා.

නිදහස් සිත මොකක් හරි අදහනවාද?

නිදහස් සිත මොකක් හරි අදහනවාද? ඊටත් වඩා සුලබ චෝදනාව වනුයේ ඔය නිදහස් සිත කියන්නේ හුදෙක් විද්‍යාව අදහාගෙන ඉන්න පිරිසක් කියන එක.

ඊටත් කලින් තවත් ප්‍රශ්නයක්. මොකද්ද විද්‍යාවෙන් ඇති වැඩේ? ආගම නම් අදහනවා කියමු. අඩු ගානේ ඒ මනුස්සයා හිතනවා විශ්වය ගැන පරම සත්‍යයක් තමන් දන්නා බව. එහෙත් විද්‍යාවේ ඇති පලය මොකද්ද?

විද්‍යාව ඔබට දිනෙන් දින වඩාත් නිරවද්‍ය වන දෙයක් පැහැදිලි කරනවා. එතුලින් ඔබ පෙරට වඩා ලෝකය තේරුම ගන්නවා. එය වෙනස් කිරීමේ අයිතිය හා හැකියාව ඔබටත් හිමියි. කිසියම් පුද්ගලයෙකු දේශනා කල දෙයක් පරම සත්‍යයක් වන නොවන අවදානම, එහෙමත් නැතිනම් ජීවිතේට දැක නැති අස්වයෙක් රේස් එකෙන් දිනයි කියා හිතාගෙන ඔට්ටු දාන ගතිය එහි නැහැ. හැබැයි එය තුල ඔබ සත්‍ය දන්නෙක් නොවේ. බොහෝවිට සත්‍ය හොයන්නෙක් වත් නොවේ. පවතින මොඩලය තවත් යහපත් කරන්නට වෙහෙසෙන්නෙක්.

කිසිවක්‌ නොදැන ජීවත් වෙන්නේ කොහොමද? නොදන්නා කම ලජ්ජාවට කරුණක් නොවේ. ලෝකය විශ්වය කියන සරල ප්‍රශ්නෙට සංකීර්ණ උත්තරයක් දන්නා බව හිතා ඉන්නවට වඩා ලෝකය විශ්වය කියන සංකීර්ණ ප්‍රශ්නෙට උත්තරයක්‌ සරල ලෙස නොදන්නා බව සිතා සිටීම වඩාත් ප්‍රායෝගිකයි.

ඒ නිදහස් සිතක්.

නිදහස් සිතට ඔක්කොම එකයිද? එ කියන්නේ ඔබ සංසාරය නිර්වාණය කියන දේවල් ගැන හිතන නිරවද්‍යතාවය, සර්ව බලධාරී දෙවියන් ගැන හිතන නිරවද්‍යතාවය, ගුරුත්වාකර්ෂණ බලය ගැන හිතන නිරවද්යතාවය් මේ ඔක්කොම එකයිද? නැහැ. සිත මෙතෙක් එකතු කල දැනුමින් එය මේ ගැන යම්කිසි නිගමනයක් ගන්නවා. එය 0% ක ප්‍රතික්ෂේප කිරීමක් හෝ 100% සත්‍යයක් වීම නොවුනට, වැටහෙන විදිහට එහි සම්භාවිතාවය මැන ගන්නවා.  සංසාරෙට නිර්වානෙට ගුරුත්වාකර්ශනයට දෙවියන් වහන්සේට නිදහස් මනසක උරුම සම්භාවිතාවයක්  තියෙනවා.

හැබැයි මෙතැනදී මේ සම්භාවිතාවය තීන්දු කරන්නේ කවුද? ආයිත් අපේ intuition එක. එයාට අවශ්‍ය දත්ත සපයන්නේ අපේ ජීවන අත්දැකීම්. එ කියන්නේ මේ සත්‍යාසත්‍ය සම්භාවිතා පුද්ගලයා මත රඳා පවතිනවා. එනම් නිරපේක්ෂ නැහැ. ලෝක සම්මත නොවේ. මෙතනින් එහාට සිතුවිලි චැනලය බ්ලෑන්ක් යනවා. නිදහසේ හිතන්න බහ මින් එහාට. ඕනෙනම් මෙතනින් නවතින්න පුළුවන්.-  නැතිනම් කාගේ හෝ කතාවක් අදහා ගෙන මෙතනින් එහාට යන්න පුළුවන්.

නිදහස් සිතත් වෙන මොකක් හරි අදහනවා කියා හිතන අය ඉන්නවා. මේකේ සාධාරණයක් තියෙන්නේ ඇතැම් නිදහස් මතධාරීන් කියන අය ඇතැම් දේවල් අදහන නිසා. ප්‍රකට විද්‍යාඥ රිචඩ් ඩෝකින්ස් අදේවවාදියෙක්, එනම් දෙවියන් වහන්සේ නැති බව අදහන්නෙක්. ඔහු නිදහස් මතධාරියෙක් කියා හිතුවොත් එතන අවුලක් තියෙනවා. දෙවියන් මෙන්ම දෙවියන් නැති බවත් ඇදහීමක්.

හැබැයි දෙවියන් නොඅදහන ඔක්කොම දෙවියන් නැති බව අදහන්නේ නැහැ. දෙවියන් සිටීද නැද්ද කියා මා නොදන්නා බවත් එක මතයක්. මා නොදන්නා දෙයක් මා නොඅදහන බව නිදහස් සිතක ලකුණක්.
 
නැහැ නැහැ එහෙමත් නොවේ, ඔය නිදහස් සිත නිදහස් බව අදහන්නෙක් කියා කියන අයත් ඉන්නවා. එතන නම් වැරදියි. නිදහස් බවක ඇදහිල්ලක් නැහැ. අදහලා අදහලා පුරුදු වෙලා මේක තේරෙන්නේ නැහැ. ඔබට ගුවන් යානයක් අයිති නැති වෙලාවේ, ඔබට ගුවන් යානා බින්දුවක් තිබේ එබැවින් ඔබ ගුවන් යානා හිමියෙක් වන්නේ නැහැ.

මේ උදාහරණය බලන්න. මිනිසා ලෝකය දැන හුන්නේ පදාර්ථයෙන්. ඝන ද්‍රව වායු. පස්සේ ප්ලාස්මාත් එකතු වුනා. ඉතින් අභ්‍යවකාශයට ගියාම ඒකෙ මොනවාද තියෙන්නේ?


ඒකෙ මොකුත් නැහැ.

වෙන්න බැහැ, මොකුත් නැහැ කියන එකෙත් මොනවා හරි තියෙන්න ඕනේ.

මේ ඉස්සර කාලේ විවාදයක්. අන්තිමේදී මේ විද්වතුන්ට “මොකුත් නැහැ” කියන එක දිරවා ගන්න බැරුව “ඊතර” කියා ද්‍රව්‍යයකින් අභ්‍යවකාශය පිරෙව්වා. ඇත්තටම කිව්වොත් මනස තුල මැවෙන මොඩලය පිරෙව්වා. පස්සේ තමා තේරුනේ “මොකුත් නැහැ” කියන තත්වය ගැන.

පූර්ණ වශයෙන් නිදහස් සිතක් මොනවා හරි අදහනවා ඇති කියන එකත් මෙන්න මේ වගේ දෙයක්.

ආගම, දර්ශනය හා විද්‍යාව

ආගම කියන්නේ මධ්‍යගත දැනුම් පද්ධතියක්. එතන දේශකයා බොහෝ විට පරම සත්‍ය කියා දෙයක් දේශනා කරන්නෙක්. ඒ නිසාම ආගමක් සාර්ථක වෙන්න එහි ආරම්භක දේශකයා අතිශයින් සාධාරණ වූත් විචාරයන් වලට සාර්තකව මුහුණ හැකිවූත් දෙයක් දේශනා කල යුතුයි. එසේ නොකලොත් ඔහුගේ ම අනුප්‍රාප්තිකයෙක් ඔහු ඉක්මවා යන වඩාත් සාධාරණ දෙයක් දේශනා කරන්න ගන්නවා. දෙවියන් කියුවා කියා වහල් සමාජයක චින්තනයෙන් මොසෙස්‌ ලිව්ව ටෝරාව ක්‍රිස්තුන් අතින් බයිබලයක් හැටියට එලියට එන්නේ මෙහෙමයි.

ආගමක දේශකයා මෙහෙම උසස් දෙයක් දේශනා කලාම එයා අනෙකුත් මිනිසුන් අතර පූජනීය වෙනවා. මේ පූජනීයත්වය නිසාත් එය පරම සත්‍යයක් කියා සමාජ ගත වන මතය නිසාත් ආගමකට නිවැරදි කිරීම් කරන්න, යාවත්කාලින කරන්න බැහැ. ප්රෝතෙස්තන්තකරණය වැනි ආගමක සංස්ථා පද්ධතිය වෙනස් කිරීමක් වගේ කලාට එහි මූලික හරය වෙනස් නොවන්නේ ඒකයි. අනික ආගම හිතට ඇතුළු වන්නේ විචාර හැකියාව අඩු ලාබාල වියේදී. බොහෝ දෙනෙක් ආගම තම අම්මා තාත්තා වගේ සලකනවා. "ඔබේ පියා ඔය උදේ හවා වඳින මිනිහා නොවේ" කියන අවලං කතාවට ප්‍රතිචාර දක්වන ආකාරයට තමයි ආගමට එරෙහි විවේචන දිහා බලන්නේ. මෙය අතිශයින් ම සාමාන්‍ය මිනිස් ගතියක් වුනාට ඒ හිත් නිදහස් නැහැ.

දර්ශනයත් මේ ආකාරයටම කේන්ද්‍රීය දැනුමක්. කොටින්ම ආගම හා දර්ශනය එකට හා වුනු ගංගා දෙකක් වගේ. හරි පැහැදිලි වෙන් වීමක් නැහැ. හැබැයි දර්ශනය ආගමට වඩා තරමක් නිදහස්. ඒ වගේම දර්ශනයක් දේශනා කරන්නා එය පරම සත්‍යයක් කියා කියන්නේ නැහැ. තමන් කිසිවක් නොදන්නා බව කී සොක්‍රටීස් අද ලොව පිළිගත් මහා දාර්ශනිකයෙක්. දර්ශනය පරම සත්‍යයක් නොවන නිසා දාර්ශනිකයින් පෙරහුන් දාර්ශනිකයින්ගේ මත වලට කොටස් එකතු කරනවා. ඒ නිසා යම්කිසි ලෙසකින් වැඩි දියුණු වී යාමක් දර්ශනය තුල තියෙනවා. හැබැයි ගැටලුව වන්නේ කොයි කොටස හරි කියා බාර ගන්නද කොයි කොටස වැරදියි කියා ප්‍රතික්ෂේප කරන්න ද කියන එක. මෙතැනදී දාර්ශනිකයන් කරන්නේ ඔක්කොටම ඉඩ දෙන එක.

දර්ශනයක මේ වැඩි දියුණු වෙන ගතිය පවත්වා ගන්නා නමුත් එහි සියල්ල බාර ගැනීමට ඇති අසම සම නිදහස වෙනුවට යමක් පිලි ගන්නට යම්කිසි ක්‍රමවේදයක් යොදා ගන්නා දැනුම් පද්ධතියක් විද්‍යාව. මේ නිසා විද්‍යාව අවස්තානොචිතව මතයක සත්‍යාසත්යතාවය මනින්න විවිධ ක්‍රමවේදයන් භාවිතා කරනවා.

මේ වෙනුවෙන් විවිධ මිනුම් ගන්නවා. අන්න ඒවා නම් ලෝකය ගැන කරන මනු කියවුම්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ මනු කියවුම් වලින් කොහොමද කිසියම් අර්ථයක් ගන්නේ කියලා, ආයිත් පනින්නේ අපේ intuition එක. නැවත අපි මවා ගත් චිත්‍රයකින් එනම් ගෙස් එකකින් මනු කියවුම තේරුම් ගන්නවා. සෑම නිරීක්ෂණයක් ම සිත යට තියෙන අරමුණකින් පෙරිලා එන බව කාල් පොපර් මතු කල අදහසක්. කිසිම අරමුණක් නැතිව නිකම්ම “නිරීක්ෂණය කරන්න” කීවාම පොපර් ගේ සිසුවන් දැන හිටියේ නැහැ මොනවා නිරීක්ෂණය කරන්නද කියා. විශ්වය ගැන මනු කියවුම් තිබ්බට ඒවා තේරුම් ගන්න බැහැ. තේරුම් කරන්නේ මනසින්. විද්‍යාවත් ගෙස් එකක් වන්නේ මෙහෙමයි.

විවිධ අයට සර්ව බලධාරී දෙවියන්ගේ දැනුම [ඒ කියන්නේ පරම සත්‍ය], ලෝකය ගැන අනන්ත වූ සත්‍යාවබෝධය ලැබුනා කියා කියනවා. තවත් අය ඉන්නවා මෙතෙක් දන්නා සෑම පරීක්ෂණයකින් ම තම මතය සමත් කරගත් බැවින් එය සත්‍ය කියා හිතන. කියුමෙන් මේ අය විශ්වයේ මනු කියවන්නන් කියා පෙනුනත් එය වැරදියි. මේ ඔක්කොම පෙර කී ලෙසම intuition එකකින් ක්‍රියාත්මක වන්නන්. ඒ කියන්නේ ලෝකය විශ්වය ගැන මිනිස් මොලයක ඇතිවන මවා ගැනීමක් හෙවත් ගෙස් එකක්.

වෙනත් විදිහකින් කීවොත් මේ සියල්ල විශ්වය කියන කළු පෙට්ටිය විස්තර කරන මොඩලයක් වෙනවා. විද්‍යාව කියන්නේ ඉතාම අඩු නිරවද්‍යතාවයකින් ලොකු ලොකු කුට්ටිවලින් පැහැදිලි කිරීම පටන් ගෙන ක්‍රම ක්‍රමයෙන් ඉතාම කුඩා ඒකක  දක්වා නිරවද්‍යතාවය වැඩිවන විදිහට යන ගමනක්. සමහරු හිතනවා කවදා හෝ එය පූර්ණ සත්‍යයක් කරා යාවි කියා. ඒත් තව අය හිතන්නේ අනන්ත වූ විශ්වයක කොයි තරම් කුඩාවට පැහැදිලි කලත් තවත් කුඩා ඒකක තියෙන්න පුළුවන් බවයි. ඒ කියන්නේ විද්‍යාවත් සදාකාලික මොඩලයක් ම බවයි. මෙන්න මෙහෙම විද්‍යාවේ ආකෘතිය ගැන කරන ප්‍රශ්න කිරීම විද්‍යාවේ දර්ශනය ලෙස හඳුන්වන්න පුළුවන්. කැටගරිකලි එය අයිති වනුයේ දර්ශනය කියන ජෙන්රියට විනා විද්‍යාව කියන ජෙන්රියට නොවේ.

කෙසේ වෙතත් මේ කිසිවක් පරම සත්‍ය ලෙස අදහන්නෙක් නිදහස් චින්තකයෙක් නොවේ.

නිදහස් චින්තනය යනු...

නිදහස් චින්තනය එහෙමත් නැතිනම් සිතීමේ නිදහස කියන්නේ බොහොම පුළුල් ක්ෂේත්‍රයක්. නිදහස් නිසාම එය විවිධ අයට රිසි සේ අර්ථ දක්වා ගන්න පුළුවන්. එහෙත් නිදහස් චින්තනය කියන එකෙන්  මූලිකවම අදහස් කරන්නේ කිසියම් රාමුවක හෝ මතවාද පද්ධතියක හිරවූ සිතුවිලි සහමුලින්ම ඉන් නිදහස් කර ගන්න එක.

ජීව විද්‍යාත්මකව ගත්තොත් එහෙමත් නැතිනම් මනෝ විද්‍යාත්මකව ගත්තොත් මිනිසා තුල පරිපූර්ණ නිදහස් චින්තනයක් හට ගන්න පුළුවන් ද කියන එක විවාදාත්මකයි. මොකද මිනිස් මනස හැදිලා තියෙන්නේ මොකක් හෝ මතවාද රාමුවක හිඳ සිතන්න. ලෝකය ගැන අපේ අදහසක් පහල වන්නේ මොලයේ ඇති වන intuition එකක් නිසා. විශ්වය කියන දැවැන්ත යන්ත්‍රයේ මීටරයක්‌ කියවන එකක් නොවේ intuition එක. එය ලෝකය මෙහෙමයි කියා සිතා ගැනීමක්. උෂ්ණත්වමානයක් නැතුව කාමර උෂ්ණත්වය හිතලා කිව්වා වගේ. ඉතින් මිනිසා හැම විටම ඉන්නේ ඒ මවාගත් පරිකල්පනයක. මොකක් හෝ රාමුවක.

මිනිසාගේ සිතුවිලි කියන්නේ හොරාට පෙර කෙහෙල් කැන වැට පැනීමක්. ලෝකය ගැන අපි මවා ගත්තු එහෙමත් නැතිනම් හිතා ගත්තු දෙයකින් ලෝකය විස්තර කරනවා. මේ විස්තරය සැහෙන්න හරි යන්න ඉඩ තියෙනවා. මොකද අපි මේ විස්තරය දෙස බොහොම විචාරශීලීව බලන නිසා. හැබැයි කොයි තරම් හැඩ කලත් ඒක ගෙස් එකක් විතරයි. ඒ ගෙස් එකට අපි ආගම, දර්ශනය, විද්‍යාව කියා කියනවා.

මනෝ විද්‍යා සීමා ඉක්මවා සිත නිදහස් කර ගත හැක්කේ මේ ගෙස් එක ගෙස් එකක් හැටියට සළකා කටයුතු  කිරීමෙන්. එහෙමත් නැතිනම් මේ  intuition එකකින් බිහිවන සංකල්ප පරම සත්‍ය ලෙස නොඅදහීමෙන් පමණයි. එතැනදී අපි කරන්නේ intuition එකේ එල්බ ගෙන නොහිඳ අලුත් අදහස් වලට සූදානම් වී සිටීම.

මිනිස් සිතක් නිදහස් වන්නේ එහෙමයි. නැතිව කිසියම් ඉගැන්නුම් පද්ධතියක එල්බ ගැනීමෙන් නොවේ.