Friday, January 27, 2012

ආගමෙන් නිදහස් වී දේශපාලනය ඇදහීම

නිදහස අවශ්‍ය ආගම/දර්ශනය/විද්‍යාව ඇදහීමෙන්ම පමණක් නොවේ. දේශපාලන මතවාදයනුත් මිනිසාගේ නිදහස් සිතීමට බාධා ගෙනෙනවා. සමහරු ධනවාදය, මාක්ස්වාදය, පරිසර වාදය, ලිබරල්, ජාතික චින්තනය වගේ විවිධ දේශපාලන මත අදහාගෙන ඉන්නේ. මේ සේරම ලෝකය කියන දැවැන්ත සංසිද්ධියේ එක එක පැතිකඩවල්. ලෝකය දිහා බලන විවිධ perceptions.

මේ හැම දර්ශනයකම යහපතක් තියෙනවා ඒ වගේම ගත යුත්තකුත් තියෙනවා. එහෙත් මේ එකක් තනිකර අල්ලාගෙන ඒ රාමුවේ සිරවූ විට තමන් මානසික සිරකරුවෙක්.

එතකොට නිදහස් මනසක් ඇති අය චන්දෙ දාන්නේ නැද්ද? නැහැ කාටත් දේශපාලන අදහස් තියෙනවා. ඒවා එකම මතයක සිර කර ගන්න එකයි ගැටලුව. එහෙම එකක සිර නොවන්නා නිල්, කොළ, රතු, කහ, හරිත [කිව්වේ පරිසර වාදයේ පාට] ඕන පාටකට සුදුසු පරිදි චන්දය දෙන්නෙක්. ඒ තීන්දුව චන්දෙ දවසේ ගන්නෙක්. ඔවුන්ට සරලව පාවෙන චන්දදායකයන් කියා කියනවා. රටක අනාගතය යහපත් වන්නේ මේ පාවෙන චන්ද දායකයින් වැඩි වෙන තරමට කියා මට හිතෙන්නේ.

නිදහස් මතවාදියෙකුට රටක් ජාතියක් ජම්මයක් නැද්ද? ඇයි නැත්තේ. කෙනෙකුගේ ජාතිය නීර්ණය කරන්නේ ඒ කෙනා නොවේ. කෙනෙකුගේ රටත් මහන්සි වී වෙනස් නොකලොත් උපන් රටම තමා. එහෙම වෙනස් කලත් ආයිත් තව එක රටක්. මේ රටක නීති, ප්‍රතිපත්ති, ක්‍රියාකාරකම්, සංසිද්ධි, යුද්ධ, කෝලාහල කොයි කාටත් බලපානවා. එ නිසා කෙනෙක් මතවාදීව නිදහස් වීම සමාජය තුල ඔහු හෝ ඇය දරන වගකීම් වලින් නිදහසක් ලැබීමක් නොවේ. ඔවුන්ටත් තමන් ඉන්න රට හෝ පළාත හෝ ගම හෝ පවුල යනාදී දේ නියෝජනය කරන්න වෙනවා.

මේක ගෝත්‍රවාදයක් ද?

ඔව්. හැබැයි අහවල් චින්තනයද ගෝත්‍ර වාදයක් නොවන්නේ?

අනේ අපි නම් නියෝජනය කරන්නේ මානව ප්‍රජාවම...


එතකොට ඒකත් එක්තරා විදිහක ගෝත්‍රවාදයක් නොවේද? ඇයි සත්තු? එයාලා අයිති වන්නේ නැහැ.

මට හිතෙන්නේ ගෝත්‍රවාදය කියන මූලික ගතිය ඕනෑම නියෝජනයක අනිවාර්ය අංගයක්. ආයිත් ඒකෙන් ස්වායත්ත වී ඉන්න බැහැ.

හැබැයි කරුණු දුටු විට ඒවා අනුව ගලපා විවිධ මතවාද වලට හිර නොවී සුදුසු තීන්දු ගැනීම දේශපාලන නිදහස් චින්තනයයි.  පෙර කතා කළා වගේම විවිධ නිදහස් චින්තකයින් ගන්නා තීන්දු වෙනස් වෙන්න පුළුවන්. ඒ නිදහස නිසා.

No comments:

Post a Comment